ජනතාවට වැදගත් වන ප්‍රශ්නය කුමක්‌ද?

ජනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට එනු ඇතැයි අයෙක්‌ කියති. තමා එසේ කරන බවක්‌ කිසිවකුට කියා නැතැයි එවිට ජනරාල් කියයි. ශ්‍රී ලංකාවේ ස්‌ථාවරත්වය බිඳ දැමීමට හේතු විය හැකි ඕනෑම කුමන්ත්‍රණයකදී ශ්‍රී ලංකාවට උපකාර කරන බව ඉන්දියාව කියයි. මේ සියලු කරුණු අතර මීළඟට පවත්වන්නේ ජනාධිපතිවරණයද නැතහොත් මහ මැතිවරණයද යන්න විස¹ගත නොහැකිව ආණ්‌ඩුව ලතැවෙයි. ඒ අතර උදේට කෑවොත් දවල්ට කන්නේ කොහොමද, දවල්ට කෑවොත් රෑට කන්නේ කොහොමද යනාදී වශයෙන් කල්පනා කරමින් මහජනයා ලතැවෙයි.

මේ රටේ ජනයාගේ ආදායමින් හරි අඩක්‌ම වැයවන්නේ ආහාර සඳහා බව හෙළිවී ඇතැයි ඉරිදා (18 දා) "දිවයිනේ" මුල් පිටුවේ පළ වී තිබේ. මේ ප්‍රතිඵලය නියෑඳියක්‌ වශයෙන් තෝරාගත් පිරිසකගේ වියහියදම්වල සාමාන්‍යයකි. සැබෑ තත්ත්වය නම් මාසයේ මුළු වැටුපම ආහාර පිණිස වැය කර එයත්a මදි බැවින් තවත් ණය වන පවුල් දහස්‌ ගණනක්‌ මේ රටේ සිටින බව ය. උදාහරණයක්‌ වශයෙන් මසකට රුපියල් 12000 ක වැටුපක්‌ ලබන ගෘහමූලිකයකු සිටින පස්‌දෙනකුගෙන් යුතු පවුලක්‌ ගනිමු. රුපියල් 12000 දින 30 න් බෙදූ විට දිනක ආදායම රුපියල් 400 කි. පස්‌දෙනකුගෙන් යුතු පවුලකට දිනකට ආහාර වේල් 15 ක්‌ අවශ්‍ය ය. උදේ ආහාර වේල් 5 ට රුපියල් 100 ක්‌ද දිවා ආහාර වේල් 5 ට රුපියල් 200 ක්‌ ද රාත්‍රි ආහාර වේල් 5 ට රුපියල් 150 ක්‌ ද වැය කළ විට දවසේ වියදම රුපියල් 450 කි. එතැනම මේ පවුල දිනකට රුපියල් 50 බැගින් මසකට රුපියල් 1500 ක්‌ ණය වෙයි. මේ මිනිසුන්ට බස්‌වල ගමන් කිරීමටද ඇඳුම් පැළඳුම් සඳහා ද, ලයිට්‌ බිල් ගෙවීමට ද මුදල් ඉතිරි නොවේ. එ බැවින් තර්කයක්‌ වශයෙන් ගතහොත් මේ පවුල කරුවලේ නිරුවතින් ගෙතුලට වී කල් ගෙවිය යුතු ය. ගෙහිsමියා පමණක්‌ යන්තමින් විලි වසාගෙන වැඩට යා යුතු ය. එහෙත් රුපියල් 12000 ක ආදායමක්‌ කළමනාකරණය කිරීම සඳහා වෙනත් ක්‍රම ඇති බැවින් මේ මිනිස්‌සු ද අනෙක්‌ මිනිසුන් මෙන් ලයිට්‌ බිල්/ ගෙවල් කුලී/ වතුර බිල් ගෙවමින් තුන් වේලෙන් දෙවේලක්‌ හෝ ආහාර ගෙන දිවි ගැටගසා ගනිති.

ප්‍රශ්නය මේ මිනිසුන් කෙසේ හෝ ජීවත් වන බව කල්පනාවට ගෙන හිත හදා ගැනීම නොවේ. කෙසේ ජීවත්වේද යන්න සිතා බැලීම ය. දිනෙන් දින ඉහළ නගින උද්ධමනය හමුවේ බඩු මිල පහළ දැමිය නොහැක. ඒ ප්‍රශ්නයට විසඳුම ජනයාගේ ආදායම ඉහළ දැමීම ය. තිස්‌ අවුරුදු යුද්ධයක්‌ පැවැති රටේ යුද්ධය දිනූ ඇසිල්ලෙහි ජනයාගේ ආදායම ඉහළ දැමිය නොහැක. යුද්ධය නැවැතී ඇති නිසා යුද්ධයට වැය කළ සල්ලිත් ඉතිරි නොවේදැයි සමහරු ප්‍රශ්න කරති. එහෙත් අප යුද කළේ ද ණයට ය. ඒ නිසා තවත් අවුරුදු කිහිපයක්‌ම යුද ණය ගෙවීමට තිබේ. එසේ නම් කළ යුත්තේ කුමක්‌ද? මේ වළෙන් ගොඩ එන්නේ කෙසේද?

මුලින්ම බොරු වියදම් නැවැත්විය යුතුය. ජනාධිපතිතුමා ඇතුළු රටේ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ හැර අන් සියලු දේශපාලනඥයන්ගේ විය හියදම් අඩු කළ යුතු ය. දැනට සිටින කරකබල් වැනි දේශපාලනඥයෝ පවා තමන් වෙනුවෙන් ආණ්‌ඩුවේ මුදල් විශාල ලෙස වියදම් කර ගනිති. ඇතැම් සුළු දේශපාලනඥයකු වුව පාරේ යන විට ඉදිරියෙන් වාහන තුන හතරක්‌ ද පස්‌සෙන් වාහන තුන හතරක්‌ ද ගමන් කරති. ඔවුන් එකතුවන තැන්වල පරිභෝජනය සහ පරිභෝජන වියදම නිතැතින්ම නගී. කළ යුත්තේ මේ වැය කපා හැර එම ඉතිරිය රටේ ජාතික ධනයට පොම්ප කිරීම ය. එසේ නැතුව ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට එනවාද නැද්ද යන්න ගැන ලතවීම නොවේ.
 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
     නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.