ජනප්‍රිය කලාවෙන් උපන් ටැම්පිට විහාර

මධ්‍ය කාලීන සිංහල කලාව වූ කලී වෘත්තීන් අතුරෙන් කෘෂිකර්මය අති සම්භාවනීයයි සැලකූ ඉඩම් නොමැත්තාට තැනක්‌ නොලැබුණු රාජ සභිකයන් මෙන් මනෝඥ ලෙස සම්භාෂණයෙහි යෙදුණු ගොවීන්ගෙන් සැදුම් ලද ජනතාවකට අයත් කලාවකි. එය ආගමික කලාවකි. එහෙයින්ම ජනප්‍රිය කලාවක්‌ ද විය. ආනන්ද කුමාරස්‌වාමි (මධ්‍ය කාලීන සිංහල කලා ප්‍රස්‌ථාවනාව)

සෑම විහාරයක්‌ම මෙන්ම ටැම්පිට විහාර ද අයත් වන්නේ එම ජනප්‍රිය කලාවට ය. ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් මින් අදහස්‌ වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය. කලාතුරකින් ගඩොලින් තැනූ කුළුණු මත ඉදිකළ විහාර ද හමු වේ. මෙම විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයේදී එනම් 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්‌වාම පැවැති ගොඩනැඟිලි විශේෂයකි. 20 වැනි සියවසේ ආරම්භයෙන් පසුව ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක අපට හමු නොවේ. එහෙත් පසුකාලීන අලුත්වැඩියාවන් නිසා 17 වැනි සියවසේ ඉදිකළ ටැම්පිට විහාර ඒ තත්ත්වයෙන් ම අද හමු නොවේ.

අද දැක ගත හැකි වඩාත් පැරැණි ටැම්පිට ප්‍රතිමා මන්දිරය වශයෙන් ලිත සාධක ඇත්තේ මහනුවර මැදවල ටැම්පිට විහාරයටයි. මැදවල තඹ සන්නසට අනුව 14 වැනි සියවසේදී දෙමහල් විහාරයක්‌ ව පැවැති එය ටැම්පිට විහාරයක්‌ ලෙසට පරිවර්තනය කර නැවත ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 1781) රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි. ව. 1755 දී ය. අපගේ අධ්‍යයනයේදී 19 වැනි සියවසේ තැනූ බවට සාධක ඇති ටැම්පිට විහාර කිහිපයක්‌ ම හමුවිය. මාකෙහෙල්වල අභයරාජ විහාරය 1855 දී තනා ඇති අතර ගම්පහ යටවත්ත ටැම්පිට විහාරය තනා ඇත්තේ ක්‍රි. ව. 1861 දී ය. කෑගල්ල මිනුවන්ගමුව ටැම්පිට විහාරය නිම කරවා ඇත්තේ 1886 මැයි 2 දා බවට ලිත සාධක පවතී. මේ අනුව අවසාන ටැම්පිට විහාරය මිනුවන්ගමුව විහාරය බව පෙනේ.

ටැම්පිට විහාර, ඒවා නිර්මාණය කොට ඇති අවධියට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්‍ෂා වී පවතින කුඩා කලාගාර ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය එස්‌. යූ. දැරණියගල පවසයි (ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර සම්ප්‍රදාය හැඳින්වීම)

බෞද්ධ විහාරයක ප්‍රධාන අංග වූයේ දාගැබ, බෝධි වෘක්‍ෂය, උපෝසථඝරය සහ ප්‍රතිමා මන්දිරයයි. අනුරාධපුර සහ පොලොන්නරු යුගවල ඉතා දියුණු ප්‍රතිමා මන්දිර සැලසුම් දක්‌නට ලැබේ. පොලොන්නරුවේ තිවංක පිළිම ගෙය, ථූපාරාම පිළිම ගෙය ආදී නෂ්ටාවශේෂ ඒ බව හෙළි කරයි.

ප්‍රතිමා මන්දිර තැනීමේ අරමුණ බුද්ධ ප්‍රතිමාවලට වන්දනාමාන කිරීම ය. ඒ නිසා මෙම ගොඩනැඟිලිවල ප්‍රමුඛතම අංගය බුද්ධ ප්‍රතිමාය. මේවා ගඩොල් සහ කලුගල් භාවිතයෙන් ඉදිකළ විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි විය. පිළිම වහන්සේ පැදකුණු කරමින් වන්දනා කිරීම සඳහා ප්‍රදක්‍ෂිණාපථයක්‌ ද විය. (පුරාවිද්‍යාව වී. ඩී. එස්‌. ගුණවර්ධන ගොඩගේ 54 පිට) එවැනි විශාල ගොඩනැඟිලි තැනීම රාජ්‍ය අනුග්‍රහයෙන් කළ යුතු කාර්යයක්‌ විය. මේ නිසා පොලොන්නරු යුගයෙන් පසු රාජධානි සමයන්හිදී විශාල ගොඩනැඟිලි ඉදිවීම සීමා විය. විදේශීය ආක්‍රමණ වැනි වියවුල් ඒ සඳහා හේතුපාදක විය. මහනුවර යුගය උදාවන්නේ යුරෝපීය ආක්‍රමණ ඉහළ යමින් පැවති වකවානුවක ය. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණවලින් මහනුවර රාජධානිය වෙහෙසට පත් ව තිබිණි. මේ නිසා විශාල ප්‍රතිමා මන්දිර තැනීමට රජවරුන්ට ඉස්‌පාසුවක්‌ නොවීය. ඒ හේතුවෙන් කුඩා ප්‍රතිමා මන්දිර රටේ විවිධ ප්‍රදේශවල ඉදිකිරීම සිදුවිය. මේ සඳහා රජු අනුග්‍රහය දැක්‌වූ අතර, එයට අමතරව ප්‍රාදේශීය ප්‍රභූවරුන් සහ දායක දායිකාවන්ගේ සහයෝගය ද ලැබිණි.

මහනුවර යුගයේ ඉදිවූ විහාර පහත සඳහන් පරිදි වර්ග කර දැක්‌විය හැකිය.

(අ) සාමාන්‍ය ප්‍රතිමා මන්දිර (භූමිය මත ඉදිකළ)

(ආ) ලෙන් විහාර

(ඇ) ටැම්පිට විහාර

මේ අතරින් ටැම්පිට විහාර මෙකල ඉතා ජනප්‍රිය වූ ගොඩනැඟිලි විශේෂයක්‌ බව පැහැදිලි වේ. විශේෂයෙන් රටේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවල එය වඩාත් ප්‍රචලිතව පැවතිනි. වයඹ, සබරගමු, මධ්‍යම සහ බස්‌නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක්‌ දැකගත හැකිය. මේ අතරින් වැඩිම ටැම්පිට විහාර සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයෙනි. දෙවැනි තැන වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට හිමි වේ. උතුර සහ නැගෙනහිර පළාත්වලින් මෙම ගොඩනැඟිලි විශේෂය වාර්තා වී නැත.

අදටත් ජීවමාන ස්‌වරූපයෙන් වැඳුම් පිදුම් ලබන ටැම්පිට විහාර උඩරට කලා සම්ප්‍රදාය සුරැකි කුඩා කලාගාර වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන් කුඩා ඉඩකඩක්‌ භාවිතයෙන් බුදුහිමියන් කෙරෙහි භක්‌තිය දැනවීමට කලාකරුවාට තිබූ හැකියාව මින් පැහැදිලි වේ.

දිස්‌ත්‍රික්‌කය ටැම්පිට විහාර සංඛ්‍යාව

                                


ප්‍රභවය

මෙම ගොඩනැඟිලි විශේෂයෙහි ප්‍රභවය පිළිබඳව සැලකීමේදී මත කිහිපයක්‌ ඉදිරිපත් වී ඇති අතර, එයින් වඩාත් පිළිගැනීමට ලක්‌ව ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුරගේ මතයයි. ඔහු ටැම්පිට විහාර සංරක්‍ෂණය කිරීමට ද පුරෝගාමී වූ පුද්ගලයෙකි. මැදවල, දොරබාවිල, අම්බුලුගල වැනි ටැම්පිට විහාර සංරක්‍ෂණය කළේ ඔහුගේ උනන්දුව මතය. මුලින්ම දෙමහල්ව තිබූ විහාර ගෙවල් පසුව ටැම්පිට විහාර බවට පරිවර්තනය වූ බව ඔහු සඳහන් කරයි. මහනුවර මැදවල විහාරය සහ මාවනැල්ල අම්බුලුගල විහාරය ඒ සඳහා උදාහරණ ලෙස ඔහු ඉදිරිපත් කරයි. (ටැම්පිට පිළිම ගේ 2 චාල්ස්‌ ගොඩකුඹුර, කලා සඟරාව 1963 මාර්තු 1 පිට)

අනුරාධපුර යුගයේදී මහල් පිළිම ගෙවල් ඉදිකළ බවට සාධක දක්‌නට නොලැබුණ ද පොලොන්නරු යුගයේදී එවැනිම පිළිම ගෙවල් ඉදිකළ බවට සාධක 1 වැනි විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055 - 1110) අටදාගේ ගොඩනැඟිල්ල සහ කීර්ති නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි. ව. 1187 - 1196) හැටදාගේ ගොඩනැඟිල්ලෙන් තහවුරු වේ. (පුරාණ බෞද්ධ වාස්‌තු නිර්මාණ ගම්පහ දිස්‌ත්‍රික්‌කය සමාජ සංස්‌කෘතික සමීක්‍ෂා 241 පිට) මෙවැනි පිළිම ගෙවල පහළ මාලය පිළිම වහන්සේලා තැන්පත් කර තිබුණ අතර, ඉහළ මාලයේ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබුණි. දළදා මාලිගාවල ඉතිහාසය දෙස බලන විට ඒ සඳහා යොදා ගන්නේ මහල් ගොඩනැඟිල්ලකි. මහනුවර දළදා මාලිගාව ද දෙමහල් ගොඩනැඟිල්ලකි. පොලොන්නරුවේ දළදා ගේ වශයෙන් හඳුනාගෙන ඇති අටදාගේ සහ හැටදාගේ මහල් ගොඩනැඟිලි බව එහි ඉහළ මාලයට පිවිසීමට ඇති පියගැටවලින් පැහැදිලි වේ. දඹදෙණියේ දළදා මැදුර ද තුන් මහල් පහයක්‌ බව මහාවංශය සඳහන් කරයි. (මහාවංශය 82 පරි 6 - 9 පද්‍ය) 6 වැනි පරාක්‍රමබාහු රජු ඉදිකළ කෝට්‌ටේ දළදා මැදුර ද තෙමහල් පහයක්‌ විය (මහාවංශය 91 පරි 17 පද්‍යය) අවසාන දළදා මැදුර වූ මහනුවර දළදා මාලිගය දෙමහල් ගොඩනැඟිල්ලකි. මෙලෙස එවකට ජනප්‍රියව පැවැති ඉතා පූජනීය ගොඩනැඟිලි වූ දළදා මැදුරුවල බලපෑම ද ටැම්පිට විහාර සඳහා බලපාන්නට ඇත.

වර්ෂාධික නිවර්තන කලාපීය රටවල වේයන් ආදී කෘමීන්ගෙන් දැව ගොඩනැඟිලි ආරක්‍ෂා කර ගැනීම සඳහා ගල්කණු මත ගොඩනැඟිලි ඉදිකිරීමේ සිරිත පවතී. ලංකාවේ වී අටු ගල්කණු මත ඉදිකරන්නේ එම ධාන්‍ය වේයන්ගෙන් සහ තෙතමනයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ය. එවැනි විශාල ධාන්‍ය අටු ගඩලාදෙණි විහාරයේ සහ ඇම්බැක්‌කේ දේවාලයේදී දැක ගත හැකි ය. නිවාස ඉදිරිපිට තැනූ කුඩා වී අටු සඳහා ද ගල් යොදා ගැනිණි. ටැම්පිට විහාර ගෙවල් ඉදිකිරීමට පෙර ගල් ටැම් මත ගල් ගෙඩි මත හරහට බාල්ක දමා අම්බලම් වැනි ගොඩනැඟිලි ඉදිකිරීම පැවතිණි. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පනාවිටිය අම්බලම ඉදිකර තිබෙන්නේ අඩි 1 ක්‌ පමණ උස ගල්කණු යොදා ඒ මත හරහට බාල්ක යෙදීමෙනි. (පනාවිටිය අම්බලම සී. ඊ. ගොඩකුඹුර 5 පිට) මහනුවර හේවාහැට ගොඩමුන්නේ අම්බලම ඉදිකර තිබෙන්නේ පස්‌ පුරවා සැකසූ පදනමක්‌ මත ගල් කුට්‌ටි යොදා බාල්ක ඇතිරීමෙනි. (පුරාවිද්‍යාව යනු කුමක්‌ද? වාසනා සිරිමල්වත්ත 40 පිට) නාරම්මල කරගහගෙදර අම්බලම මෙන්ම ගම්පහ ඇවරියවල අම්බලම ද මෙයට සමාන ගොඩනැඟිලි වේ. ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ ද මෙවැනි ගොඩනැඟිලි පැතිරී ඇත. (මැදවල විහාරයේ බිතු සිතුවම් ගොඩකුඹුර 7 පිට) ගල්ගෙඩි මත තිබූ වී අටු පසුකාලීනව උස්‌ ගල්කණු මත හරහට දැව බාල්ක යොදා සාදන ලදී. මෙසේ ධාන්‍ය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණ සඵල වූ අතට ටැම්පිට ප්‍රතිමා ගෘහ සඳහා මෙම පරිණාමය ද බලපාන්නට ඇති බව ගොඩකුඹුර ඇතුළු විද්වත්තුහු පවසති. මෙලෙස ටැම්පිට ගොඩනැඟිලි ඉදිකිරීම බුරුමය, තායිලන්තය, කාම්බෝජය, වියට්‌නාමය, චීනය, ජපානය වැනි පෙරදිග රටවල දක්‌නට ලැබෙන ගොඩනැඟිලි සම්ප්‍රදායකි. (තිරාණගම රතනසාර හිමි දර්ශන සියය 1967 ගුණසේන 259 පිට) මෙලෙස තනන ලද පැරැණි කුඩා අටු හෝ බිහි යට ඉඩ වැස්‌සට නොතෙමෙන අතර අව්වෙන් ද ආරක්‍ෂා වේ. උස්‌ ටැම් මත කරන ලද අටුවලට යටින් ඇති ඉඩකඩ මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගැනීම සිදුවිය. ගොඩකුඹුරේ සඳහන් කරන අයුරින් අපේ පැරැණි ගම්වල වැසියන්ගේ ප්‍රයෝජනයට අමතර කාමර නොතිබූ නිසා අමුත්තන් පැමිණි විට අටුව යට නවාතැන් ගැනීමට ඉඩ දුනි (ටැම්පිට පිළිම ගේ කලා සඟරාව 1963 මාර්තු 2 පිට)

කුඩා විහාර මන්දිරයකට ගාම්භීර පෙනුමක්‌ ලබා දීමට ද මෙලෙස උස්‌ ගල්කණු මත ඉදිකරන්නට ඇති බවට තවත් අදහසකි. (සෙංකඩගල පුරාණය පියතිස්‌ස සේනානායක 126 පිට)

මේ අනුට ටැම්පිට විහාර ඉදිකිරීමට බලපෑ හේතු කිහිපයක්‌ හඳුනාගත හැකිය.

අ. මහල් දළදා මැදුරුවල බලපෑම.

ආ. තෙතමනයෙන් සහ වේයන්ගෙන් ප්‍රතිමා සහ සිතුවම් ආරක්‍ෂා කර ගැනීම

ඇ. කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක්‌ ලබාදීම.

ටැම්පිට විහාර අතරින් බහුතරයක්‌ එතරම් උස්‌ කණු මත ඉදිකළ ඒවා නොවේ. ඒවා අඩි 1 - 2 ක්‌ පමණ උස්‌ කණු මත ඉදිකරන ලද ඒවා ය. පොලෝ මට්‌ටමෙන් අඩි 7 - 8 ක්‌ උස්‌ ටැම්පිට විහාර කලාතුරකින් දක්‌නට ලැබිණි. අම්බුලුගල, බිංගිරිය, මාහල්ලොලුව, දොරබාවිල, දියසුන්නත වැනි විහාර උස්‌ ටැම් මත ඉදිකළ ඒවා වන අතර මැදවල, දැතව, මීපිටිය, ලෙව්කේ, කෝඳුරුවාපොල, මැටිකොටමුල්ල, නක්‌කාවත්ත ඇතුළු විහාර රැසක්‌ උසින් අඩු ටැම් මත ඉදිකර ඇත.

ඇතැම් තැන්වල පහත මාලයේ ගල්කණු මැදිවන සේ කොට බිත්තියක්‌ බැඳ ඒ මත ව්‍යාඝ්‍ර රූප අඹා ඇත. බුදුමුත්තාව රජමහා විහාරය එයට උදාහරණ සපයයි. (සෙංකඩගල පුරාණය පියතිස්‌ස සේනානායක 125 පිට) තවත් ටැම්පිට විහාර මැදිවන සේ පසුකාලීනව ධර්ම ශාලා ඉදිකර තිබිණි. මාවනැල්ලේ කිරියාතැන්න සම හිඟුල මල්වතු විහාරවල එම ස්‌වභාවය දැකගත හැකිය.

දෙමහල් විහාර බවට පත් ටැම්පිට විහාරවල බිම් මහල විවිධ ආගමික කටයුතු සඳහා භාවිත කෙරේ. නාවින්න සහ දියසුන්නත ටැම්පිට විහාරවල බිම් මහල පෝය ගේ වශයෙන් ද, දොරගමුව බිංගිරිය ටැම්පිට විහාරවල බිම් මහල ධර්ම ශාලාව ලෙස ද යොදාගෙන ඇත. දඹදෙණිය විජයසුන්දරාරාමයේ සහ දන්තුරේ විහාරවල බිම් මහල තවත් ප්‍රතිමා ගර්භයක්‌ ලෙස යොදාගෙන ඇත.

උස්‌ ටැම්පිට විහාරවලට පිවිසිය යුතු වූයේ දැව තරප්පු පෙළකිනි.

බිහල්පොල කෝඳුරුවාපොළ කොළඹගම කලෝටුවාව වැනි ස්‌ථානවල ටැම්පිට විහාර ඉදිකර තිබෙන්නේ ගල් පර්වත මත ය. එයින් පෙනෙන්නේ වේයන්ගෙන් වන කරදර නොමැති පර්වත මත පවා ටැම්පිට විහාර පිහිටුවා ඇති බව ය.

ටැම්පිට විහාර ඉදිකිරීම

ටැම්පිට විහාර ඉදිකරන ලද්දේ පොළොව සමතලා කොට පදනමක්‌ ඉදිකර හෝ නොමැතිව ගල්ටැම් සිටුවීමෙන් පසුව ය. මේ සඳහා යොදාගත් ගල්ටැම් ඒ කාර්යයටම සකසා ගත් ඒවා නොවීමට ද ඉඩ තිබේ. නටබුන් වූ පැරැණි ගොඩනැඟිලිවල ගල්ටැම් ද ඒ සඳහා යොදාගෙන ඇති බවට සාධක හමු වී ඇත. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දොරබාවිල ටැම්පිට විහාරයට යොදාගත් ගල්කණු අතර 10 වන සියවසට අයත් අත්තාණි කණු 2 ක්‌ ද ඇත.
(Architecture of Sri lanka C. E. Godakumbura 1976 15 P) මෙම ටැම් ඔපමට්‌ටම් කිරීම බොහෝ විට සිදුව නැත. එහෙත් දන්තුරේ ටැම්පිට විහාරයේ අලංකාර කැටයමින් යුත් ටැම් යොදාගෙන තිබේ. මෙම ටැම් බොහෝ විට අඟල් 9 - 9 ප්‍රමාණයේ කළුගල් කුළුණු මත ඉදිකෙරිණි. අඟල් 9 - 12 ප්‍රමාණයේ ටැම් ද භාවිත කර තිබේ.

ගල්කණු මත දිගට සහ හරහට දැව බාල්ක යොදා එම සැකිල්ල මත ඝනකම් ලෑලි අතුරා සකස්‌ කර ගත් වේදිකාවක වරිච්චි බිත්ති බැඳ ගැනේ. මෙම ලෑලි අඟල් 2 - 3 ක්‌ පමණ ඝනකම විය. බොහෝ ටැම්පිට විහාර ඉදිකිරීමට ශක්‌තිමත් දැවයක්‌ වූ නා භාවිත කළ බව පැවසේ. ඊට අමතරව මිල්ල කැටකෑල ආදී දැව ද භාවිත කෙරිණි. (සබරගමු වංශ කථාව 2 වෙළුම 503 පිට) ලෑලි තට්‌ටුවේ සිව්කොණ කිතුල් කණු සිටුවා උණ ලී බඩ ලී පුවක්‌ රීප්ප ආදිය ගෙන තද වැල්aවලින් බිත්ති රාමුව සකසා ගැනේ. ඊට පසු මැටිවලින් පුරවා දෙමැට්‌ට ගසා දෙපැත්තට පෙනෙන ලී පටි වසා ගනී. ඊට පසු බිත්තියෙහි ඇති පලුදු මැකී සමතලා වන සේ කපරාරු කර ගැනේ. සමහර විට වරිච්චි බිත්තියට ලෑලි යොදා එයට මැටි ගසා ගත් අවස්‌ථා ද හමු වේ. රඹුක්‌කන වල්ගම ටැම්පිට විහාරය එවැන්නකි. (ටැම්පිට විහාර ඇම්. ඩී. ලාල්චJද්‍ර පුරාවිද්‍යා 7 කලාපය 1993 - 9 පිට) මකුළු මැටි හෝ හුණු බදාම ආලේපයෙන් බිත්ති සුදුකර ගැනේ. අනතුරුව ඔප දමා බිතුසිතුවම් අඳිනු ලැබේ. බිත්තිවලට සහ පිටත දැව කණුවලට ද බර යෙදෙන සේ පියස්‌ස සකස්‌ කෙරේ. පියස්‌ස සඳහා යොදාගත්තේ මහනුවර යුගයේ ජනප්‍රිය වූ පෙති උළු ය.

මිදෙල්ලව කෝරාළ නම් ජන කවියකු 1836 දී රචිත තිසර සංදේශය නම් කාව්‍යයක නිකවැටිය බුදුමුත්තාව ටැම්පිට විහාරය සෑදූ අයුරු විස්‌තර කෙරේ. එය අනෙක්‌ විහාරවලට ද පොදු විස්‌තරයකි.

කොටමින් ගලුත් සදවා බිම ඔට්‌ටු කොට

අදිමින් දැවත් ඒ මතුපිට තට්‌ටු කොට

තබමින් තෙබත් හැම වඩුවැඩ කිට්‌ටු කොට

හිටපන් ඇවිත් මතුපිට දැව තට්‌ටු කොට



යට ලී තලන් කොඳු පේකඩ කරු සැදුණ

කැටලී කැටත් උළුවහු ගෝනැස්‌ පෙළින

කෙටි ලී කෙටුත් හැම වඩුවැඩ නිම කරන

වට ලී පටන් දැක හිනැහෙන් සිත ලෙසින



තියා යකඩ ඇණ දී වඩිගු තද කොට

සොයා උලු සෙවිලි කොත් පළ¹ රුවට

සකස්‌ කරන ලද ගල්කණු නිසි සේ බිම සිටුවා දැව බාල්ක එකී ගල්කණු මත තැබිණි. ඊට පසු තට්‌ටුව සෑදීමට හරස්‌ බාල්ක යොදා ඒවා සවිමත් කෙරිණි. මෙම ගොඩනැඟිල්ල බාල්ක හරස්‌ බාල්ක හා පේකඩ සහිතව ඉදිවිය. එහි කැටයම් කරන ලද කුළුණු සහ උළුවහු ද කැටයමින් යුත් ගොනැස්‌ පරාල ද විය. පියස්‌සේ වඩිම්බුව යකඩ ඇණවලින් තද කොට තිබේ. එහි උළු සෙවිලි කර මුදුනෙහි කොත් පළ¹ අලංකාර කර තිබේ. (ගම්පහ දිස්‌ත්‍රික්‌කය සමාජ සංස්‌කෘතික සමීක්‍ෂා 244 පිට)

උස්‌ නොවූ ටැම්පිට විහාරවලට ඇතුළුවීම සඳහා ඉදිරිපසින් දැව තරප්පු මෙන්ම කලුගල් හෝ ගඩොල් භාවිතයෙන් ඉදිකළ පියගැට ද යොදාගෙන තිබේ. පළලින් අඩු මෙම තරප්පු හෝ පියගැටවල එක්‌ වරකට ගමන් කළ හැක්‌කේ එක්‌ අයකුට පමණි. දෙමහල් ටැම්පිට විහාරවල උඩුමහලට ගමන් කිරීමට ඇති තරප්පුව උඩුමහලේ බාල්කයට සවි වී ඇති අතර ඒ ඔස්‌සේ ප්‍රතිමා මන්දිරයේ ඉදිරිපස ආලින්දයට පිවිසිය හැකි විය. මෙම තරප්පුව උඩුමහලේ ලෑලි පොලොවට සම්බන්ධ වන ස්‌ථානය අවශ්‍ය පරිදි වසා දැමිය හැකි අයුරින් අගුලු දමා දොරකින් වසා දැමීමට පුළුවන.

බිංගිරිය දඹදෙණිය වැනි විහාරවල මේ දොරවල් අදටත් දැක ගත හැකි වේ. කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරවල ඇතුළුවීමට සහ පිටවීමට ඇත්තේ තනි දොරක්‌ පමණි. තරමක්‌ විශාල ටැම්පිට විහාරවල දොරවල් දෙකක්‌ දැක ගත හැකිය. ලංකාවේ විශාලම ටැම්පිට විහාරය වන බිංගිරියේ දොරටු 3 කි. තනිදොර සහිත ප්‍රතිමා මන්දිරවල ඇතුළු අඳුරු ස්‌වරූපයෙන් යුක්‌ත නිසා පහන් ආලෝකයක්‌ නොමැතිව බිතු සිතුවම් පැහැදිලිව නොපෙනේ.

දෙමහල් තත්ත්වයට පත් ප්‍රතිමා ගෘහවල පිටතින් දෙවන මට්‌ටමේ පියස්‌සක්‌ ඉදිකොට දෙමහල් ස්‌වරූපය බාහිරව පෙන්නුම් කර තිබේ. ඉන් ගොඩනැඟිල්ලට අලංකාරයක්‌ ද එක්‌ව ඇත. අම්බුලුගල බිංගිරිය දංතුරේ දියසුන්නත වැනි විහාරවල මේ ලක්‍ෂණය කැපී පෙනේ. කුඩාම ටැම්පිට විහාරවල හැරෙන්නට අනෙක්‌ සෑම විහාරයකම ප්‍රතිමා ගෘහය වටා යන සේ ප්‍රදක්‍ෂිණා පථයක්‌ ඉදිකර තිබේ. ප්‍රදක්‍ෂිණා පථය වටා ඇති දැව කණු මැදි වන සේ දැව බීරළු වැටක්‌ කෙටි බිත්තියකින් හෝ සමහර අවස්‌ථාවලදී සම්පූර්ණ බිත්තියක්‌ ද දැක ගත හැකිය. පිළිම ගේ වටා පැදකුණු කරමින් වන්දනා කිරීමට බැතිමතාට ඉඩ සලසා දීම ප්‍රදක්‍ෂිණා පථයක්‌ ඉදිකිරීමේ අරමුණ විය. පොළොවෙහි ඉදිකළ විහාරස්‌ථානවල ද මෙම ප්‍රදක්‍ෂිණා පථය දැක ගත හැකිය. එය හැඳින්වූයේ මෙපිටමාලය වශයෙනි. පූජනීය වස්‌තුවකට වන්දනා කරන විට ඒ වටා ගමන් කිරීමේ සිරිතක්‌ බොදුණුවන් අතර පවතී. එය ප්‍රදක්‍ෂිණා කිරීම හෝ පැදකුණු කිරීම නම් වේ. පැදකුණු කරන විට වන්දනාකරුවා දකුණු අත පූජනීය වස්‌තුව දෙසට තිබෙන අයුරින් ගමන් කළ යුතු වේ. දකුණු අත වම් අතට වඩා උතුම් කොට සැලකීම පැරැණි සිංහල සිරිතකි. (සිරි දළදා මාලිගාව ඡේ. බී. දිසානායක 7 පිට)

මෙම විහාරවල පියස්‌ස පෙති උළු සෙවිලි කිරීමට යෝග්‍ය ආනතියකින් යුක්‌ත විය. එය පල හතරක පියස්‌සකි. සම සතරැස්‌ හෝ දිගටි විය. සමහර පියසි ආනති දෙකක්‌ සහිතව නිර්මාණය කොට වඩාත් දැකුම්කළු බවක්‌ ලබා දී ඇත. පියස්‌සේ මුදුනට මැටි කොත් එකක්‌ හෝ දෙකක්‌ සවි කෙරිණි. පියස්‌ස වටා යන සේ බෝ පත් ආකාරයේ මැටි වඩිම්බු උළු සවි කෙරිණි. මෙම උළු කැටවල සිංහල සිංහ මෝස්‌තර සහ හංසයන් හෝ මොනරුන් ද උන්නත ආකාරයට දක්‌වා තිබේ. වඩිම්බු උළු යෙදීමෙන් අලංකාරය මෙන්ම පරාලවල අග නොතෙමී ආරක්‍ෂා වීම ද සිදු වේ. ටැම්පිට විහාරවල පියස්‌සට යෙදූ පරාල කෙළවර සිට අඩි 2 - 2 1/2 ක්‌ පමණ දිගට කැටයම් කර අලංකාර කර තිබේ. මෙලෙස කැටයම් කළ පරාල එකිනෙක වද්දා පියස්‌ස සවිමත් කිරීම සඳහා පරාලවල අඟල් 3/4 ප්‍රමාණයේ සිදුරු සාදා එම සිදුරු හරහා එකිනෙක පරාල හරහා යන සේ

හතරැස්‌ ලී කූරු සවිකර තිබේ. ගෝනැස්‌ යනු පරාලයටම ව්‍යවහාර කරන හැඳින්වීමක්‌ වුවත් පසුකාලීනව එය පරාල කෙළවරට යොදන කැටයමට පමණක්‌ යෙදේ. ගොනාගේ ඇස ආකාරයට මෙය ඇති නිසා ගොනැස්‌ නම් වේ. (ටැම්පිට විහාර ඇම්. ඩී. ලාල්චJද්‍ර පුරාවිද්‍යා 7 කලාපය 1993 10 පිට)

සමහර ටැම්පිට විහාර ඉදිරියෙන් ගඩොල් කුළුණු මත පියස්‌සක්‌ යොදා මණ්‌ඩපයක්‌ තනා තිබේ. එය ටැම්පිට විහාරයට පැමිණෙන බැතිමතුන්ට එක්‌රැස්‌ වීමට මෙන්ම හේවිසි මණ්‌ඩලයක්‌ ලෙසද යොදා ගෙන ඇත. සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයක එක්‌ වරකට උපරිම වශයෙන් 10 - 15 දෙනකුට වඩා වැඳුම් පිඳුම් කළ නොහැක. දැව තට්‌ටුවට දරාගත හැකි බර මෙන්ම විහාරයේ කුඩා බව ද එයට හේතු වේ.

ටැම්පිට විහාරවල වර්තමාන තත්ත්වය

අද වන විට මෙම අගනා ජාතික උරුමය වැනසී යන ස්‌මාරක විශේෂයක්‌ බවට පත්ව ඇත. එයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ගොඩනැඟිලි අබලන් වීමයි. පෙති උළු හෝ සිංහල උළු යෙදූ පියස්‌ස පහසුවෙන් දිරාපත් වන අතර එවිට වර්ෂා ජලය කාන්දු වීම නිසා බිත්තිවලට සහ බිතුසිතුවම් ප්‍රතිමා ආදියට හානි පැමිණේ. උළුකැටවල මුල්ම තෙමීමක දී එයට පිළියම් නොයෙදීම නිසා ටික කලක්‌ යන විට වහළ දිරාපත් වේ. පැරැණි පරාල නිසා දිරාපත්වීම ඉක්‌මන්ය. බොහෝ විහාර මන්දිර පුරාවිද්‍යා ස්‌මාරක නිසා විහාරාධිපති හිමිවරුන්ට පිළියම් යෙදිය නොහැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වුව ද ඉන් ඉක්‌මන් ප්‍රතිචාරයක්‌ නොලැබෙන බව විහාරාධිපති හිමිවරු පැවසූහ. රඹුක්‌කන කිරියාතැන්න විහාරයේ පුරාවිද්‍යා සංරක්‍ෂණය සඳහා වසර 1 1/2 කට පෙර ඉදිකළ තහඩු පියස්‌ස ද මේ වන විට දිරාපත්ව ඇත.

පහන් දැලි හා හඳුන්කූරු පත්තු කිරීම නිසා බොහෝ බිතුසිතුවම් අඳුරු පැහැයට හැරී ඇත. ඒ අතරින් සමහරක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්‍ෂණය කර තිබේ. එමෙන්ම සමහර ස්‌ථානවල ටැම්පිට ස්‌වරූපය වෙනස්‌ වන පරිදි විහාරාධිපති හිමිවරු විසින් ගොඩනැඟිලි අලුත්වැඩියා කර ඇත. කලුගල් ටැම් වසා ගඩොල් බිත්ති බැඳ තිබේ. ගරා වැටෙමින් පවතින විහාර නවීකරණය කිරීමට හිමිවරු පෙළඹෙන්නේ ඒවායේ විනාශය වැළැක්‌වීමට වුවත් නිසි සංරක්‍ෂණ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා පුරාවිද්‍යාත්මක අගය වැනසී යයි. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ මංගලගම සහ හිඟුල ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අනුරාගොඩ වැනි විහාර ද එයට නිදසුන් වේ.

පැරැණි බිතුසිතුවම් කෘත්‍රිම තීන්ත ආලේපයෙන් අදක්‍ෂ සිත්තරුවන් ලවා අලුත්වැඩියාව නිසා බොහෝ බිතුසිතුවම් විකෘති වී නොවටිනා තත්ත්වයට පත්ව ඇත. සමහර විහාරවල පැරැණි බිතුසිතුවම් වෙනුවට අලුතින්ම සිත්තම් සහ මූර්ති නිමාකර තිබේ. ඒ නිසා සිදුව ඇති හානිය ඉතා විශාලය.

එහෙත් මේ විනාශයන්ගෙන් මිදුණු අගනා ටැම්පිට විහාර රැසක්‌ මහනුවර, කෑගල්ල. කුරුණෑගල, මාතලේ ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයකම පවතී. ඒවා කැපවීමෙන් ආරක්‍ෂා කරන විහාරාධිපති හිමිවරුන්ට සහ ඒවායේ සංරක්‍ෂණය කටයුතු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

කුසුම්සිරි විජයවර්ධන

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v