තිස්‌ස රජු සොයාගත් "මෝස්‌ කෝඩ්" ක්‍රමයෙන් කාවන්තිස්‌ස විය

සිංහලයා ඉතා නිහතමානි ජාතිකයෙකි. වැඩියෙන් නිහතමානී වීමට ගොස්‌ නිවටද වන්නේය. කොපමණ නිවට ද කිවහොත් අප සොයා ගත් දේවල්වලට පේටන්ට්‌ බලපත්‍ර ගන්නේද විදේශිකයන් ය. ඇතැම් අවස්‌ථාවල බටහිරයා පැමිණ අප සොයා ගත් දේ අපටම හඳුන්වා දෙයි.

කාවන්තිස්‌ස රජුගේ නම ගැන නොයෙකුත් කතා ඇත. නිහාල් දර්ශන බෝගහගේ මහතා සැප්තැම්බර් 23 වැනි දින "තිස්‌ස කාවන්තිස්‌ස වුණේ මෙහෙමයි" යන ලිපිනයෙන් පෙන්වාදී ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්, වලගම්බා රජ පරපුරකින් පැවත ආ නිසා නිගණ්‌ඨයා මහා කළු සිංහලයා කිවූ බවය. වළගම්බා රජ පරපුරකින් පැවත ආ බව එතුමාණන්ට අවබෝධ වී තිබීම අපගේ භාග්‍යයකි. එයින් අදහස්‌ වන්නේ අපත් කියන්නා සේ අනුරපුරයේ දේවානම්පියතිස්‌ස රජුගේ මල්ලී මහානාගගේ ඥතිත්වයක්‌ කාවන්තිස්‌ස රජුට නැති බවද? නැතහොත් දේවානම්පියතිස්‌සගේ අත්තා පණ්‌ඩුකාභය යක්‍ෂ ලේ ධාතුවකින් උපන් වග එතුමාත් පිළිගන්නා බවද? කෙසේ හෝ මහාවංස ලෝලී ඉතිහාසඥයන් මෙයට විරුද්ධව හඬක්‌ නොනැගීම පුදුමයට කාරණයකි.

බෝගහගේ මහතා පෙන්වා දුන් පරිදි කපුටෙකු සේ කළු නිසා ඒ නම යෙදුණා විය නොහැකි බව ඇත්ත වශයෙන් ම පිළිගත යුත්තකි. මගේ අභිමානි හෙළන්නා ග්‍රන්ථයෙන් ද කාවන්තිස්‌ස රජුට ඒ නම ලැබුණු හැටි සාකච්ඡා කොට ඇත. එහිදී මාත් කළු පැහැය පිළිබඳ මතය ඉහත සඳහන් විදියටම ප්‍රතික්‍ෂේප කරමින් කාවන්තිස්‌ස රජුට ඒ නම ලැබුණු සැටි මෙසේ සාකච්ඡා කෙරුවෙමි.

සමහරුන්ගේ මතය එතුමා කාක ගෝත්‍රිකයකු බවය. එසේ නම් රුහුණ එක්‌සත් කළ කාවන්තිස්‌සගේ පියා ගෝඨාභය රජුත් කාක ගෝත්‍රිකයකු නොවේද? ලංකාවම එක්‌සේසත් කළ එතුමාගේ පුත් දුටුගැමුණු රජුත් කාක ගෝත්‍රිකයකු නොවේද? ඒ ශේ්‍රෂ්ඨයන් කාක කර ගැනීමට කාක ගෝත්‍රිකයන් උනන්දු නොවූයේ ඇයි?

ප්‍රබලම මතය වී තිබෙන්නේ රජු කපුටු බස දන්නා නිසා කාක වණ්‌ණ වූ බවයි. ඒ සඳහා රසවාහිනිය කපුටකුගේ හා කපුටියකගේ මහා යාං හෑල්ලක්‌ ද දක්‌වයි. එහෙත් සතුනට ඇත්තේ සීමිත වුවමනාවන් ය. ඒ සඳහා ඔවුනට ඇත්තේ සීමිත වචන සමූහයකි. ඇතැම් අවස්‌ථාවල මිනිසුන් සමීපයේ සිටින සතුනට වඩා වුවමනාවන් තිබෙන නිසා වඩා අදහස්‌ පළ කළ හැක.

කපුටු කතා දැන ගැනීම මහා කලාවක්‌ නොවේ. කෑමක්‌ ඇත. භයකුත් ඇත. කපුටු හඬක්‌ ඇත. කපුටු හඬක්‌ නඟී. කෑමක්‌ ඇත. භයක්‌ නැත. කපුටු හඬකුත් නැත. කපුටු කතා ඔන්න ඔහොමය. කපුටු සාස්‌තර ද ඇත. කපුටා හඬන ආකාරය අනුව, හූණා ශරීරයේ පතිත වන ආකාරය අනුව සාස්‌තර කීමේ ක්‍රමයක්‌ සොයාගෙන තිබෙන්නේ මිනිසාම ය. කෙසේද යත් සර්පයකු දෂ්ට කළ විට එන දූතයාගේ ලක්‍ෂණ අනුව ලෙඩාගේ තත්ත්වය කියන්නේ වෙද මහතාය. එසේ නැතිව දූතයා නොවේ.

කාවන්තිස්‌ස රජුට ඒ නම ලැබුණේ මෙහෙමයි. තම පිය රජු ගෝඨාභය නිරවුල් කර දුන් ඒ රාජ්‍යය මේ අතිජාත පුත්‍රයා මනා කොට රැක ගන්නට සැරසේ. රජු එකොළොස්‌ දහස්‌ එකසිය දස දෙනකුගෙන් යුත් සේනාවක්‌ සංවිධානය කරයි. එය පමණක්‌ නොසෑහේ. අනුරපුරය දැන් පිට දේශක්‌කාරයකුගේ අතේය. ඒ නිසා කුවේණියගේ කාලයේ තිබුණා මෙන් හොඳ ඔත්තු සේවයක්‌ තිබිය යුතුයි. එහෙත් මෙතැනදී කුවේණියට නොතිබූ ගැටලුවක්‌ පැන නඟී. ඉස්‌සර සිටියේ අමිශ්‍ර හෙළයන්ය. විජයාවතරණයෙන් පසු සියල්ල වෙනස්‌ විණි. වරින් වර ආ පිටරැටියන් සමග හෙළයෝ මිශ්‍ර වී සිටිති. ඒ නිසා සතුරන් අප අතරම සිටිය හැක. ඔත්තුකරුවකු තවත් ඔත්තුකරුවකුට දෙන ඔත්තුව පිටස්‌තරයකුගේ කනට ද යා හැක.

ඒ නිසා මේ බුද්ධිමත් රජ අලුත්ම සංඥ ක්‍රමයක්‌ නිපද වූයේය. මේ සඳහා යොදා ගත්තේ "කාක්‌" යන පදයයි. දෙවැනි ලෝක යුද්ධයේදී "එස්‌.ඕ.එස්‌" පණිවුඩ යෑවූ ආකාරයටයි මෙය යෑවුණේ. මේ මෝස්‌ කෝඩ් ක්‍රමය පාවිච්චි කොට ඇතම්හු ලෝක යුද්ධයේදී ඔත්තු සැපයීමේද නිරත වූහ.

කාක්‌කා යනු ඕනෑම තැනක සිටින පක්‍ෂියෙකි. එසේම ඌ අනිකුත් පක්‍ෂීන්ට වඩා වේලාසනින් අවදි වී සියලුම පක්‍ෂීන්ට පසුව කූඩු කරා යයි. සුලභ පක්‍ෂිකයකු වන ඌ මිනිසා අතරම ගැවසී තොරතෝංචියක්‌ නැතිව කෑගසයි. ඉතින් කාක්‌ නාදය කොහෙන් කොයිවේලේ ඇසුවද කිසිවකුට සැක පහළ නොවේ.

දික්‌ ස්‌වරයෙන් කා... ක්‌ කී විට එක්‌ අදහසකි. කෙටි ස්‌වරයෙන් කා... ක්‌ කී විට තව අදහසකි. මේ දික්‌ ස්‌වර, කෙටි ස්‌වර නාද රටා, නැගෙන වාර ගණන අනුවත්, ඒ ස්‌වර දෙක මිශ්‍ර කරන ක්‍රම අනුවත් විවිධ අර්ථ ගැන්විය හැක. තව කපුටන්ට කරව් නාදයක්‌ ද ඇත. එයත් මිශ්‍ර කරගෙන බොහෝ දේ කිව හැකිය.

මෙයයි කාක වණ්‌ණය. කුවේණිය සේනාධිනායිකාව ලෙස සිටි කාලයේ මහා කාලසේන රජුට කළ හදිය හොඳින් දැන සිටි තිස්‌ස රජු බුද්ධි අංශය තම භාරයේම රඳවා තබා ගත්තේය. ඒ නිසා කපුටු සංඥාව උපයෝගී කර ගෙන එවන සෑම පණිවිඩයක්‌ම රජතුමා දක්‌වාම එවීමට සතර වාහල්කඩ ඔත්තුකරුවන් සතර දෙනකු යොදවා තිබිණි. මේ බව සනාථ කරන එක්‌ සිද්ධියකි, රජ වාසල මහා දානයක්‌ දෙන අවස්‌ථාවකදී කාක්‌කකු පැමිණ රන් රුවන් පිරි යාත්‍රාවක්‌ අසල වරායට පැමිණ තිබෙන බව රජුට කිව්වා යෑයි කියන පුවත.

කාක්‌කා නම් පක්‍ෂියාට එවැනි පුවතක්‌ කිව නොහැක. අඩුම වශයෙන් ඌට මාළු නැවක්‌ ආවා කියාවත් කිව නොහැක. මෙයින් ගම්‍ය වන්නේ රජ වාසල එක්‌ වාහල්කඩක සිටි ඔත්තුකරුවකු තමාට ලැබුණු ඔත්තුව රජුට සංනිවේදනය කළ අයුරුය. රජතුමා කාක්‌ හඬකට උනන්දුවෙන් කන්දී සිටි ආකාරයත්, අනතුරුව වරායට පැමිණි නෞකාව ගැන අවශ්‍ය උපදෙස්‌ දුන් ආකාරයත් දුටු අය රජුට කාක්‌ බස කතා කළ හැකි යෑයි සිතන්නට ඇත.

බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස අවසන් තීරණ ගත්තේ රජුය. මෙවැනි මනා පාලන සංවිධාන නිසා එතරම් බලවත් එළාර වුවද රුහුණට අතපොවන්නට නොපැමිණියේය.

තිලකා රන්දෙනිය
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v