නීත්‍යානුකූල නොවන කිසිදු පදිංචි කිරීමක්‌
උතුරු නැගෙනහිර පළාත්වල සිදුකරන්නේ නැහැ
ඇමැති අමීර් අලි

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද

නීත්‍යනුකූල නොවන කිසිදු පදිංචි කිරීමක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු නොකරන බව ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා ඊයේ (23 දා) සභාව කල් තබන අවස්‌ථාවේ ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගත් අවස්‌ථාවේ පිළිතුරු කතාව කරමින් පැවැසීය.

උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් පදිංචිව සිටින පිරිස ඉවත් කරන ලෙස ඉල්ලමින් සභාව කල්තබන අවස්‌ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා (ද්‍ර.ජා.සං) මෙසේ කීය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල නීතිවිරෝධීව ජනතාව පදිංචි වන බවක්‌ පේනවා. මේ සඳහා නීත්‍යානුකූල පියවර ගෙන නැහැ. මෙය දිගින් දිගටම සිදුවුණොත් රටේ ඉඩම් නීතිය උල්ලංඝනය වෙනවා.

මොරවැව, සේරුවිල, කිතුල්උතුව, ඉරක්‌කන්ඩි යන ප්‍රදේශවල බහුතර ජනතාවක්‌ පදිංචි වී සිටිනවා. මේ වැඩ නතර නොවුණොත් සුළුතර ජනතාවගේ නීත්‍යනුකූල ඉඩම්වල අයිතිය පිළිබඳ ගැටුම් ඇති වෙයි.

මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ රටේ නීතිය සෑම දෙනාට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. කිසිම කෙනෙකුට හානියක්‌ කිරීම නොවෙයි අරමුණ. බලෙන් පදිංචි වී සිටින අයව ඉවත් කිරීමට මෙතෙක්‌ පියවර ගෙන නැහැ. බලෙන් ඉදිකර තිබෙන නිවාස අයින් නොකළොත් තවත් අය මෙහි පදිංචි වේවි. කූඩාරම් නොගෙන අලුත් අය පදිංචිවෙලා තිබෙනවා. ඒ අයට කිසිම අයිතියක්‌ නැහැ. මෙම ඉඩම්වල පදිංචිය රටේ නීතිය අනුව ලබාදිය යුතුයි. මේ ක්‍රියාමාර්ගය පිටුපස වැදගත් පුද්ගලයන් සිටිනවා. සේරුවිල ප්‍රාදේශීය ලේකම් නිහඬයි. නීතිවිරෝධී ලෙස ලබාගෙන තිබෙන ඉඩම් යළි රජය ලබාගත යුතුයි. මුහුද ආශ්‍රිත ඉඩම් කම්බි වැටවල් ගසා අයිති කරගෙන තිබෙනවා. මෙයින් පැහැදිලි වෙනවා රජය සතු ඉඩම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බව.

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා - අද පස්‌වරු හතරට සෑම පොලිසියකම ග්‍රාමසේවක, කාන්තාවන් හා පිරිමින් දසදෙනා බැගින් සාකච්ඡාවකට කැඳවා තිබෙනවා. සරණාගත කඳවුරුවල අයත් කැඳවා තිබෙනවා. මේක දේශපාලන වැඩක්‌. රජය පිළිබඳ ජනතා අදහස්‌ දැන ගැනීමත් මෙහිදී සිදුවෙනවා.

මුලසුන - දැනුවත් කිරීම ගැන ස්‌තුතියි.

සම්බන්ධන් මහතා - මගේ කාලය ගන්න එපා. බලෙන් පදිංචි වීම්වලට ඉඩ දෙනවද... මේ ඉඩම් නැවත රජය පවරාගත යුතුයි.

(උඩවත්තේ නන්ද හිමි මුලසුනට පැමිණේ.)

පත්කළ මන්ත්‍රී හසන් අලි මහතා (ශ්‍රී.ල.මු.කො.) - මුස්‌ලිම් ජනතාවගේ නිජබිම නැගෙනහිරයි. ත්‍රස්‌ත ක්‍රියා නිසා අපේ ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් වුණා. මේ ඉඩම්වල අද බලෙන් පදිංචි වී සිටින බව පෙනී යනවා.

ජාතිය ගොඩනැගීමේ ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා - ඡන්ද හිමි නාමලේඛනවලට අනුව අවතැන්වුවන් පදිංචි කරනවා. නීත්‍යානුකූල නොවන ආකාරයට පදිංචි කිරීම් කරන්නේ නැහැ.

පත්කළ මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමි (ජා.හෙ.උ) - සම්බන්ධන් මහතා කියන්නේ මේ ලංකාවේ සිදුවන දේවල් නොවේ. මුස්‌ලිම් ජනතාවගේ නිජබිම නැගෙනහිරයි කියා කියන්න කිසිම සාධකයක්‌ නැහැ. උල්ල කියන ගමේ සිංහල පවුල් 125 කගේ ඉඩම් ආක්‍රමණය කළේ කවුද? ඉඩම් නැති අයට ඉඩම් දිය යුතුයි. ඒකට ආක්‍රමණය කරලා හරියන්නේ නැහැ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ) - මේ පාර්ලිමේන්තුවේ කාර්ය භාරය රටේ අනාගතය යහපත් කිරීමයි. මේක තීරණාත්මක අවස්‌ථාවක්‌. පාර්ලිමේන්තුවේ තීරණ, කතාබහ මත අනාගතය තීරණය වෙනවා. පාර්ලිමේන්තුවෙන් ජාතිවාදය පැතිරවීම සුදුසු නැහැ. බලය ලබාගැනීමට පටු ෙච්තනාවෙන් දේශපාලන බලය යොදවනවා.

නැගෙනහිර පළාත අද අන්වර්ථ ගැටුමකට මුල් වෙමින් තිබෙනවා. යුද්ධය ඉවර වෙලා. කඩිනමින් අවතැන්වූවන් පදිංචි කරවීම අතිශය වැදගත්. සම්බන්ධන් මහතාගේ ඇතැම් අදහස්‌වලට අප එකඟ නැහැ.

අවතැන් වූවන් යළි පදිංචි කරවීම රජයේ ප්‍රමුඛතාවක්‌ ලෙස සලකලා තිබෙනවාද? රජය ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගත යුතුයි. එම ප්‍රදේශවල මාර්ග, පාලම් හදන්න, කොමිස්‌ ගන්නේ. ඒක රජයේ ප්‍රතිපත්තිය. කොමිස්‌ වචනය කියන එක ඇතැමුන්ට රිදෙනවා. යළි පදිංචි කරවීමේදී ඒ පළාත්වාසීන්ගේ අදහස්‌ ලබාගත යුතුයි. ඉඩම් නිරවුල් කිරීමේදී රජය වගකීමෙන් කටයුතු කළ යුතුයි. උසාවියකට ගොස්‌ බැලුවොත් තිබෙන්නේ ඉඩම් නඩු. ඉඩම් මත ගැටුම් ඇතිවෙලා තිබෙනවා. ජාතිකත්වයේ ගැටුම් ඉඩම් මත ඇතිවෙලා තිබෙනවා. ඉඩම කියන්නේ පුටුව හා සමානයි. ඉඩම දේපළක්‌ නොවේ. සංස්‌කෘතික භාණ්‌ඩයක්‌. අතීත පරම්පරා විද්‍යමාන කිරීමක්‌.

ඉඩම් පිළිබඳ ප්‍රශ්නය අප සංවේදීව සිතා බැලිය යුතුයි. යළි පදිංචි කරනතුරු රජයේ ඉඩමක පදිංචි කිරීම වහා නතර කළ යුතුයි. ඉඩම් මත නීතියේ පටලැවිල්ලක්‌ තිබෙනවා. රජයේ ඉඩම් යළි පවරා ගන්න ගැසට්‌ කළ යුතුයි. එක එක ආකාරයේ රජයේ ඉඩම් පවරා ගැනීම සාධාරණ නැහැ. නිලාවේලි වෙරළේ සශ්‍රීක ඉඩම් කොල්ලකන්න දෙන්න එපා. ඡන්ද පදනම මත මේවා කරන්න එපා. නැගෙනහිර ඉඩමක්‌ අත්පත්කර ගැනීම ව්‍යාපාරකරණයක්‌ වෙලා. සිංහල, දෙමළ, මුස්‌ලිම් අම්මාවරු එකම ඉස්‌පිරිතාලෙක විලිරුදාවෙන් කෙඳිරිගාන යුගයක්‌ අද අපට අවශ්‍යයි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කේ. තංගේෂ්වරී මහත්මිය (ද්‍ර.ජා.සං) - මඩකලපුව ජනතාව සුනාමියෙන් දුක්‌විඳි අය. අවතැන් අය යළි පදිංචි කළ යුතුයි. ඉරණකුලම් ප්‍රදේශයේ පවුල් 52 ක්‌ තවම පදිංචි කරලා නැහැ. මහපාරේ ඉන්නේ. නමුත් රජය කියනවා එහි තවම බිම්බෝම්බ ඉවත් කරලා නැහැ කියලා. අපේ ප්‍රදේශයේ පාරවල් ගන්න දෙයක්‌ නැහැ.

ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා - නැගෙනහිර මේ ගැටලුව අලු යට ගින්දර වගේ එකල අපට දැනගන්න ලැබුණා.

(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මුලසුනට පැමිණේ.)

අමීර් අලි මහතා - වාකරේ මුස්‌ලිම් ජනතාවට තවම ඔවුන්ගේ ඉඩම් ලබා දී නැහැ. ද්‍රවිඩ ජනතාවට නිවාස ලබා නොදිය යුතුයි කියා මම කියන්නේ නෑ. ඒත් මුස්‌ලිම් ජනතාවටත් ඒ අසාධාරණය සිදුව ඇතැයි සම්බන්ධන් මහතා තමාගේ යෝජනාවේ සඳහන් කර නැහැ. මේ ප්‍රදේශවල ජනතාවට රජයෙන් කිසිදු බලපෑමක්‌ කරලා නැහැ. හානියට පත් වූ ජනතාව කවුරු වුණත් කමක්‌ නෑ රජය ඔවුන්ට සහන ලබාදෙනවා. ඡන්ද ලේඛනයේ සිටින අය පමණයි අපි පදිංචි කරන්නේ. අනෙක්‌ අය පිටත් කරනවා. සේරුවිල කිසිම පදිංචි කිරීක්‌ කර නෑ කියා ප්‍රාදේශීය ලේකම් තහවුරු කරනවා. නිත්‍යානුකූල නොවන කිසිදු පදිංචි කිරීමක්‌ මේ ප්‍රදේශවල පදිංචි කරවන්නේ නැහැ.


----------------------------------

වී. ජී. ජිනදාස රටට විශාල සේවයක්‌ කළ නායකයෙක්‌
ඇමැති මෛත්‍රිපාල සිරිසේන

සුමනදාස අබේවික්‍රම හොඳින් කතා කරපු අවංක දේශපාලකයෙක්‌
සරත්චන්ද්‍ර රාජකරුණා (එ.ජා.ප.)

නන්ද ගුණසිංහ හබරාදුවට කළ සේවය ඉතා ඉහළයි
චන්දිම වීරක්‌කොඩි (ශ්‍රීලනිප)

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වී. ජී. ජිනදාස, සුමනදාස අබේවික්‍රම සහ නන්ද ගුණසිංහ යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සිය ශෝකය පළ කරමින් කතා කළහ.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23 වැනිදා) රැස්‌විණි.

නිවේදන, ලිපිලේඛන හා පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

වී. ජී. ජිනදාස මහතාගේ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා - එතුමා ප්‍රදේශයට කළ සේවය අතිමහත්. පොදු මහජනතාවගේ යහපත උදෙසා කළ සේවය විශාලයි.

(උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට පැමිණියහ.)

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා - එතුමා මන්ත්‍රීවරයෙක්‌ වීමට පෙර පළාත් පාලන පුරෝගාමියෙක්‌. අද ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට එතුමා ආදර්ශයක්‌. සුවිශේෂී ලක්‍ෂණවලින් හෙබි අයෙක්‌. පාර්ලිමේන්තුව තුළ සංවරව, වැදගත් ලෙස කටයුතු කළා. එජාපය නඟාසිටුවීමට විශාල වැඩ කොටසක්‌ සිදු කළා. එතුමා ශ්‍රේෂ්ඨ පවුලක අයෙක්‌.

නාගරික සංවර්ධන ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා - ප්‍රදේශයේ ජනතාව සමඟ සිටිමින් ආගමික, සංස්‌කෘතික කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කළා. ප්‍රදේශයේ අඩුපාඩු සොයා බලා කටයුතු කළා. එතුමාගේ කටයුතුවලට ආදරණීය බිරිඳ, දරුවන් මහත් ශක්‌තියක්‌ ලබාදුන්නා.

ප්‍රදේශයේ ජනතාව එතුමාට ආදරය කළා. කුළුපගව කටයුතු කළා. පන්සල නිරතුරුවම ඇසුරු කළ පුද්ගලයෙක්‌. සියලු ආගම්වල පුද්ගලයන් සමඟ සුහදව ඇසුරු කළා. සෑම භාෂාවක්‌ සම්බන්ධයෙන් හොඳ දැනීමක්‌ තිබුණා. හොඳ පියෙක්‌. හොඳ ස්‌වාමිපුරුෂයෙක්‌. හොඳ මිත්‍රයෙක්‌.

ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා (එජාප) - එතුමා ජීවතුන් අතර නැති වුණත් කළ සේවය ජනතාවගෙන් ඈත් වෙන්නේ නැහැ.

ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර සිටි අහිංසක දේශපාලනඥයෙක්‌. මාතලේ දිස්‌ත්‍රික්‌කයට කළ සංවර්ධන වැඩ අතිවිශාලයි. අපට ශ්‍රේෂ්ඨ නායකයෙක්‌ අහිමි වුණා. එසේම ප්‍රදේශයටත් ශ්‍රේෂ්ඨ නායකයෙක්‌ අහිමි වුණා.

හිටපු ඇමැති සුමනදාස අබේවික්‍රම මහතාගේ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති වැඩබලන අගමැති මෛත්‍රිපාල සිsරිසේන මහතා - කෘෂිකර්ම ක්‍ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක්‌ එතුමාට තිබුණා. අක්‌මීමන ආසනයේ ක්‍රියාකාරී දේශපාලනයක නිරත වුණු දේශපාලනඥයෙක්‌. විදෙස්‌ රටවල සමුළුවලට ද එතුමා සහභාගි වුණා. වසර ගණනාවක්‌ කාලය, ශ්‍රමය වැයකරමින් ජනතා සේවයේ නිරත වුණා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා (එජාප) - අවංක දේශපාලනඥයෙක්‌. තම අදහස කෙළින් ප්‍රකාශ කළා. කිසි කෙනෙකුට යටත් වුණේ නැහැ. අප අතරින් වෙන්වීම පාඩුවක්‌. අක්‌මීමන ප්‍රදේශයට කළ සේවය ගැන ජනතාව දැනුත් කතා කරනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්‌කොඩි මහතා (ශ්‍රීලනිප) - එතුමා ප්‍රදේශයට කළ සේවය අප කුඩා කාලයේ දුටුවා. විශාල පිරිසකට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ රැකියා ලබාදුන්නා. පිරිසිදු, කෙළින් කතා කරන දේශපාලනඥයෙක්‌. එතුමාගේ දරුවන් සමාජයේ වැදගත් රැකියාවල නිරත වී සිssටිනවා. එවැනි දරුවන් රටට දායාද කළ එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්‌.

හිටපු ඇමැති නන්ද ගුණසිංහ මහතාගේ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා - එතුමා විශිෂ්ට ගණයේ සාහිත්‍යධරයෙක්‌. සම සමාජ පක්‍ෂය හා සම්බන්ධ වූ එතුමා ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළා. අධ්‍යාපනයේ දියුණුවට ඉමහත් සේවයක්‌ සිදු කළා. කොග්ගල - වරාබොක්‌ක වාරි යෝජනා ක්‍රමය ඇති කරමින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට දායක වුණා. ප්‍රදේශයේ සුරාසල් ආරම්භ කිරීමට ඉඩ නොදුන් දේශපාලනඥයෙක්‌. ප්‍රදේශයේ කලාව, සංස්‌කෘතිය, ක්‍රීඩාව නඟාසිටුවීමට මහත් සේවයක්‌ සිදු කළා. පක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව ප්‍රදේශයට සිදු කළ සේවය අතිමහත්.

ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා (එජාප) - උගත්, බුද්ධිමත්, අවංක සමාජ සේවකයෙක්‌. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ලෙස විශාල සේවයක්‌ සිදු කළා. පක්‍ෂ විපක්‍ෂ සෑම කෙනෙකුගේම හිත දිනාගත් මන්ත්‍රීවරයෙක්‌.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්‌කොඩි මහතා (ශ්‍රීලනිප) - සම සමාජ පක්‍ෂයට සම්බන්ධ වී වාමාංශික දේශපාලනය කළ දේශපාලනඥයෙක්‌. ගාලු දිස්‌ත්‍රික්‌ තරුණ නියමු සංසදයේ පුරෝගාමියෙක්‌ ලෙස දීර්ඝ කාලයක්‌ කටයුතු කළා. හබරාදුව ජයග්‍රහණය කරවන්න එතුමා මහත් සේවයක්‌ සිදු කළා. සංවර්ධනය නොදැක තිබූ හබරාදුව ආසනය සුවිශේෂී ලෙස සංවර්ධනය කිරීමට එතුමා කැපවුණා. එතුමාට ආවේණික සුපිරිසිදු ගති ලක්‍ෂණ තිබුණා. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවන්න දිවා රෑ නොබලා වෙහෙස වුණා.

(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මූලාසනයට පැමිණේ.)

චන්දිම වීරක්‌කොඩි මහතා - එතුමාගේ හිඩැස පුරවන්න එතුමාගේ පුතා තිසර ගුණසිංහ මහතා කටයුතු කරනවා.

නොවැම්බර් (03 වැනිදා) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌වේ.

 

 

 
Powered By -


 උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.