අධිරාජ්‍යවාදී ධනයෙන් නොව පොදු මහජනතාවගේ සම්මාදමෙන් ගොඩනැඟුණු
නාලන්දය යනු පාසලක්‌ පමණක්‌ නොව ශ්‍රේෂ්ඨ ජාතික වස්‌තුවක සංකේතයක්‌
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අතීත මහා භාරතයේ නාලන්දාව මෙන්ම ශ්‍රී ලංකාවේත් නාලන්දය යෑයි පැවසූ විට මතකයට නැගෙන්නේ හුදු පාසලක්‌ පමණක්‌ නොව ශ්‍රේෂ්ඨ ජාතික වස්‌තුවක සංකේතයක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 26 වැනිදා (සඳුදා) පැවැති කොළඹ නාලන්දා විද්‍යාලයීය 2008 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී රැස්‌ව සිටි පිරිස අමතා අදහස්‌ දක්‌වමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිවරයා නාලන්දා විදුහල්පති හේමන්ත ප්‍රේමතිලක මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර අනතුරුව විද්‍යාලයීය සිසු දරුවන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවට මුල්තැන දෙමින් මඟුල් බෙර සක්‌හඬ මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උත්සව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබූහ.

නාලන්දා මාතාවගේ ශ්‍රේෂ්ඨ ආදි ශිෂ්‍යයකු වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් වත්මන් නාලන්දා සිසු දරුවන් සම්මාන ලැබීම මෙවර නාලන්දා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ කැපී පෙනෙන සුවිශේෂී සිදුවීමක්‌ වූ අතර දක්‌ෂතා දැක්‌වූ සිසු දරුවන් 560 දෙනකු මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

වසර පුරා අවම නිවාඩු ප්‍රමාණයක්‌ ලබා ගනිමින් නාලන්දා දරුවන් වෙනුවෙන් කැපවූ විද්‍යාලයීය ආචාර්ය මණ්‌ඩලයේ ගුරුභවතුන් 12 දෙනෙකු මෙහිදී ජනාධිපතිවරයා වෙතින් සම්මානයට පාත්‍ර වීම ද විශේෂ සිද්ධියක්‌ විය.

නාලන්දා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු ස්‌කොෂ් ක්‍රීඩාගාරය විවෘත කිරීSමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණු අතර විදුහල් ශිෂ්‍යභට කණ්‌ඩායමේ සිසු දරුවන් 98 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ජනාධිපති උත්තමාචාර දැක්‌වීම ද තවත් සුවිශේෂී අවස්‌ථාවක්‌ විය.

මහා සංඝරත්නය, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා, තිස්‌ස කරල්ලියෑද්ද යන ඇමැතිවරුන් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සම්භාවනීය ආරාධිතයන්, ගුරු දෙගුරුන් ආදි සිසුන් හා විද්‍යාලයීය සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උත්සව සභාව අමතා මෙසේ සඳහන් කළේය.

මිත්‍රවරුනි, ආනන්දේ වගේම නාලන්දේ කියන නාමයත් අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වුණ නාමයන්. ඉතිහාසයේ කවර කාලෙක සොයා බැලුවත් නාලන්දේ කියන වචනය සම්බන්ධ වුණේ ශ්‍රේෂ්ඨ වස්‌තුවක්‌ එක්‌ක.

එදා මහා භාරතයේ පිහිටා තිබුණු ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලය හැඳින්වූයේ නාලන්දාව නමින්. ත්‍රස්‌තවාදය පරාද කරලා ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්‌ බවට විරුදාවලිය ලබපු ලංකාවෙත් නාලන්දය කිව්වාම මතකයට එන්නේ අද පාසලක්‌ විතරක්‌ නොවෙයි. ශේ්‍රෂ්ඨ ජාතික වස්‌තුවක සංකේතයක්‌.

ඒ නිසා මේ විද්‍යාලයේ ඉගෙන ගෙන ත්‍යාග ලබපු දරුවන්ට අනාගතයේදී සතුටින් සිහිපත් කරන්න පුළුවන් අතීතයක්‌ හිමි වෙනවා. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. මේ නාලන්දා විද්‍යාලය මගෙත් පාසල. නාලන්දාවේ ගත කළ ඒ අතීතය තාමත් ඉතා සුන්දර මතකයක්‌ බව මේ දරුවන්ට කියන්න ඕනෑ. පාසල් අවධියේ ඇති කර ගත්ත යාළු මිත්‍රකම් ජීවිත කාලය පුරා පවතින බව මම හොඳින්ම තේරුම් ගත්තේ නාලන්දාව නිසා. ඒ වගේම අපි අමතක කරන්න නරකයි. අතීතයේ අපේ මේ විද්‍යාලය ගොඩ නඟන්න කැපවුණු විශිෂ්ටයෝ ගැන. මීට සිය වසකටත් කලින් ඉඳන් මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඒ අය මේ විද්‍යාලය ගොඩ නඟන්න අනන්ත කැපකිරීම්, පරිත්‍යාග කරන්න ඇති.

ඉගෙන ගත්තොත් විතරයි රටට වැඩදායී පුරවැසියෙක්‌ බිහි කරන්න පුළුවන් වෙන්නේ. එදා වගේ නොසැලෙන ධෛර්යය මිනිස්‌සු, ධනයට, බලයට නොනැමෙන මිනිස්‌සු පිරිසක්‌ බිහි කළොත් විතරයි ලෝකය හමුවේ අපට හිස ඔසවන්න පුළුවන් වෙන්නේ. එදා ඕල්කට්‌තුමා වගේම මේ විද්‍යාල බිහි කරන්න මුල්වුණු හික්‌කඩුවේ සුමංගල හාමුදුරුවෝ අධිරාජ්‍යවාදයට යට වුණේ නැහැ. මහා ධනස්‌කන්ධයට යට වුණේ නැහැ. ධනය නෑ කියලා බලා ගෙන හිටියෙත් නෑ කැප වීමෙන් වැඩ කළා.

කිරි කපන කාලෙට කැට අරගෙන ඒ ගම් පළාත්වල ඇවිදලා ආධාර එකතු කළා. පොල් කඩන කාලෙට ඒ පැති වලට ගිහින් ආධාර එකතු කළා. ආධාර එකතු කරන්න පවත්වපු සංදර්ශනවලට ආපු හිඟන උදවියත් තමන් හිඟා කාපු ශත දහය පරිත්‍යාග කරලා මේ විද්‍යාලය ගොඩනඟන්න සම්මාදන් වුණා. එදා පාරේ බුලත් විට විකුණන අම්මලත් මේ බෞද්ධ විද්‍යාල ගොඩනඟන්න සම්මාදන් වුණා. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ගේ ධනයෙන් නොවෙයි මේ විද්‍යාල ගොඩනැගුණේ රටේ පොදු ජනතාවගේ සම්මාදමෙන්. ඒ නිසා මේ පාසල් සමස්‌ත ජාතිය සතු වස්‌තුවයි කීවට වරදක්‌ නෑ.

ආදරණීය දරුවනි, පාසලක ආදර්ශ පාඨය තියෙන්නෙ හදවතේ දරා ගන්න. නාලන්දාවේ ආදර්ශ පාඨය "අපදාන සෝහනී පඤ්ඤා" ප්‍රඥව චරිතය නිසා බබළනවා කියලයි කියන්නේ. ඒ වගේම තමයි කොයිතරම් ඥානය, දැනුම, ප්‍රඥාව තිබුණත් යහපත් චරිතයක්‌ නැත්නම් ඒ කිසි දෙයක්‌ බැබළෙන්නේ නෑ. ප්‍රඥාව බබළන්න යහපත් චරිතයක්‌ තියෙන්න ඕනෑ. චරිතවත් බව කියන්නේ අහිංසක කමට නොවේ. ගහන්න ගහන්න හිස නමා ගෙන ඉන්න නිවට කමටත් නොවෙයි. සමාජයෙන් ඈත් වෙලා ප්‍රශ්නවලට මුහුණ නොදී නිකම්ම ඉඳීමත් චරිතවත් බව නොවෙයි. චරිතවත් බව ලැබෙන්නේ ධෛර්යයෙන්, විශ්වාසයෙන්, විනයානුකූලව වැඩ කිරීමෙන් පමණයි.

මිත්‍රවරුනි, එදා තිබුණු අපේ අධ්‍යාපන ක්‍රමයේ ශීලය ගොඩ නඟලයි ප්‍රඥාව දෙන්නේ. අධ්‍යාපන ආයතනවල මුලින්ම කළේ හික්‌මීම ලබා දෙනඑකයි. හික්‌මුණු තැනැත්තාට ඊළඟට ශිල්පය ලබා දුන්නා. කවර විෂයන් ඉගැන්වුවත් හික්‌මීම ඇති කරලයි ඉගැන්වුවේ. අංගම් සටන් ශිල්පය ඉගැන්වුවත් පංච ශීලය සමාදම් කෙරෙව්වා. ශිල්පය කඩුවක්‌ වගෙයි. ඒක දෙන්න ඕනෑ හික්‌මුණු චරිතවත් තැනැන්තාට කියලයි විශ්වාසය තිබුණේ. භාවනාව වුණත් නොහික්‌මුණු කෙනෙක්‌ කළොත් එයින් ඉර්දි බල ලබා ගෙන නොවැදගත් දේවල්වල යෙදෙනවා. ලාභ ප්‍රායෝජන තකා විඡ්ජා පෙන්නන්න ඉර්දි බලය පාවිච්චි කරන්න එපා කියලයි කිව්වේ.

ඒ නිසා චරිත හික්‌මවලා විනය ඇති කරලා ඥානය ලබාදීම ඉතාම වැදගත් දෙයක්‌. එදා බලංගොඩ මහානායක හාමුදුරුවෝ මේ විද්‍යාලයට "අපදාන සෝභනී පඤ්ඤා" කියලා ආදර්ශ පාඨය දෙන්න ඇත්තේ බොහෝ දුර හිතලයි.

ආදරණීය දරුවනි, ඒ නිසා චරිතවත් බව ඇති පුරවැසියොයි මගේ රට හදන වැඩට බහින්න ඕනෑ. රටට වැඩ කරන්න පටන් ගන්න කෙනෙකුට ලොකු ධෛර්යක්‌ තියෙන්න ඕනෑ. කිසිවෙකින් නොසැලෙන කෙනෙක්‌ වෙන්න ඕනෑ. ඒ. ටී. ආරියරත්න මහත්මයා නාලන්දා විද්‍යාලයෙන් තමයි සර්වෝදය කියන ව්‍යාපාරය ආරම්භ කළේ. එතුමා ධෛර්යවන්ත රට වැසියෙකුට දෙන්න තියන හොඳ උදාහරණයක්‌. මේවාගේ වැඩ කරලා සාර්ථකත්වයට පත් වෙන්න පියවර රාශියක්‌ පසු කරන්න ඕනෑ. ඒවා පියවර කියනවාට වඩා අභියෝග කිව්වොත් නිවැරදියි. පළවෙනි පියවරේදී වැඩ කරන කෙනාව ගණන් ගන්නේ නෑ. නොතකා හරිනවා. උදව් ඉල්ලුවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඊළඟට අමාරුවෙන් වැඩ කරගෙන යනකොට ඊළඟ පියවරේදී හිනා වෙනවා. සමච්චලයට ලක්‌ කරනවා. එදා ආනන්ද විද්‍යාලයේ විද්‍යාව සිංහලෙන් උගන්වනකොට බොහොම දෙනෙක්‌ හිනා වුණා. ඈත ගම්වල දරුවන්ට වාගේම භික්‌ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි උගන්වන කොට හිනා වුණා. මම අගමැති කාලේ රට එක්‌සේසත් කිරීමේ අරමුණින් ශාසනයේ එකඟතාවය ගන්න පංසල් යනකොට මට හිනාවුණා. මේ හිනා වෙනකොට පසුබාන්න එපා. ලැඡ්ජාවට පත් වෙන්න එපා. ලැඡ්ජා වෙන්න බය වෙන්න ඕනෑ පව් කරන්නයි. හිනා වෙයි කියන බයට වැඩ නොකර හිටියා නම් මේ ලෝකයේ ජනතාවට කුඩයක්‌වත් ඉහළගෙන යන්න ලැබෙන්නේ නෑ. මුලින්ම කුඩයක්‌ හදලා ඉහළ ගෙන ගිය නිර්මාණ ශිල්පියාට ඒ මුළු නගරයම හිනාවුණාලු. හිනහ වුණත් නොනැවතී ඉදිරියට යන කොට ඊළඟට අපහාස කරනවා. ඒ අපහාසයට ඔරොත්තු දෙන්න ඕනෑ. අපේ රට නිදහස්‌ කර ගන්න යුද්ධ කරගෙන යනකොට අපටත් අපහාස කළා. යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කියලත් අපහාස කළා. අපිට ජාත්‍යන්තර ලෝකය සලකන්නේ නෑ කියලා අපහාස කළා. නමුත් මේ කිසිවකින් නොසැලී ඉදිරියට යන්න ඕනෑ.

අපහාස කරලත් නතර කරන්නේ නැතිනම් ඊළඟට කරන්නේ බාධා කරන එක. පෙත්සම් ගහන එකේ ඉඳන්, බොරු චෝදනා කරන එකේ ඉඳන්, කටකතා කියන එකේ ඉඳන් නොයෙක්‌ බාධා කරනවා. එහෙම කරලත් නතර කර ගන්න බැරි වුණොත් අතින් පයින් පහර දෙනවා. මරා දාන්නත් උත්සාහ කරනවා. නමුත් එතැනදීත් නොසැළී ඉදිරියට ගියොත් ඊළඟට කරන්නේ ඒ තැනැත්තාව අගය කරන එක. වන්දනා කරන එක. ඊට පස්‌සේ උදව් ඉල්ලගෙන පස්‌සෙන් එනවා. ඕනෑම කෙනෙක්‌ රටට වැඩ කරන කොට මේ අවස්‌ථා පහ පහු කරන්න ඕනෑ. ආනන්ද නාලන්ද විද්‍යාල මේ තත්ත්වයට එනකම් මේ අවස්‌ථා පසු කරන්න ඇති. මුලින්ම ආනන්දයට කොටුවේ තිබුණ බිල්ඩිම තවදුරටත් බද්දට දෙන්න බෑ කියලා ළමයි ටිකක්‌ එක්‌ක එළියට දැම්මා. ඒත් ආනන්දය නොනැවතී ඉදිරියට ආවා. ආනන්දයෙන්ම මේ නාලන්දය බිහිවුණා.

මිත්‍රවරුනි, එදා කුළියට දෙන්න බෑ කියලා එළියට දාපු මේ පාසල් දෙක අවට අද දහස්‌ ගණනක්‌ ගෙවල් කුලියට ගන්න උත්සාහ කරනවා. ඒ මේ පාසලට දරුවෙක්‌ ඇතුල්කර ගන්න. බාධා මැඩ ගෙන ශ්‍රේෂ්ඨත්වයට ආවාම සලකන්නේ එහෙමයි.
 

 
Powered By -