ජනකවි වරුණ

හතර කුර එවන් මම දෙමි ඉස්‌පිල්ල

කෝට්‌ටේ සාහිත්‍ය යුගය ප්‍රභාමත් කළ මහ පඬිරුවනක්‌ වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝය. රහල් හිමියන්ගේ ගුරු දේවයා වූයේ විදාගම හිමියන් වේ. කෑමට වී නැතිව අසරණ වූ විදාගම හිමියන් රාහුල හිමියන් වෙත වී එවන මෙන් ඉල්ලා සිටියේ තේරවිලි කවකිනි.

"ක" යනු නැතිවෙලා බොහෝ කල් දැන් අපට

"උ" යනු නැති වෙච්චි අල් අකුරු දොළහට

"මි" යනු සිද්ධ වෙයි සිහි නොකොළොත් අපට

"ල" යනු ළඟ අකුරු ඉස්‌පිලි එවන් මට

මෙයට අගනා පිළිතුරක්‌ සිරි රහල් හිමිපාණෝ ලියා යෑවූහ. එනම් වී තිබෙන බවත් ගොන් බැඳි කරත්තයක්‌ තම පන්සලට එවන මෙන්ය.

පතල කර මිතුරේ මං කී මැසිවිල්ල

අතර මං වුණෙත් අවුරුදු මංගල්ල

නිතර මස්‌ දෙන්ට විඳිනා වැදි ගොල්ල

හතර කුර එවන් දෙමි මම ඉස්‌පිල්ල

ප්‍රේමදාස රොඩ්රිගෝ



ශ්‍රී දළදා මාළිගාවේ දියඅගල

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ඇති විසිතුරු දිය අගල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) සෙංකඩගල නගරයේ අලංකාරයට කළ එක්‌ නිර්මාණයකි. අදත් ඒ නගරයට දළදා මැදුරට අලංකාරය ගෙන දෙයි. දියඅගලේ ඉතිහාසය කෙටියෙන් බලමු. සෙංකඩගල මුලින්ම අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජු (1592-1604) නගරය වටා පවුර දියඅගල කළ බව චූලවංශය කියයි. රජ මැදුර ගාව දළදා මාළිගාව මුලසිටම විය. පර සතුරු උවදුරු වැළැක්‌වීමට රජ මැදුර හා දළදා මැදුරද පවුර හා දිය අගලින් වටවී තිබුණි. දිය අගලෙන් අලංකාරය මෙන්ම ආරක්‌ෂාවද ලැබුණි. දිය අගල අසල රජමැදුර මුර කළ භට කණ්‌ඩායම් විය. මුල දී අම්පිටිය කන්ද හා වාකරේ කන්ද දෙසින් ගලා ආ දැවැන්ත පිරිසිදු ජලධාරා හීල්පැන්කඳුර ලෙසින් මල්වතු විහාරය, ටිගොල්වෙල, මහමළුව, දළදා මැදුර , නාථ දේවාලය දෙසට ගලාගෙන ගියේය. මුලදී දිය අගලට ජලය, ලැබුණේ උඩවත්ත කැලෙන් ගැලූ ස්‌වභාවික දිය ධාරා හා හීල්පැන්කඳුරෙනි. හීල්පැන්කඳුර නිසා මහමළුවේ කොටසක්‌ පවා "අලකොල" ලෙසින් නිතර වගුරු බිමක්‌ විය.

දිය අගල වඩාත් ක්‍රමවත් අලංකාර සැලැස්‌මකට සකස්‌ කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. (1798-1815 දිය අගලට ඉන්පසු ජලය ගලා ආවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුම කල කිරි මුහුද හෙවත් අලුත් බෝගම්බර වැවෙනි. දියඅගල ඉදිකළ ශිල්පීන්ගේ ප්‍රධානියා අප්‍රකටය. සමහරවිට පත්තිරිප්පුව හා කිරිමුහුද කළ දේවේන්ද්‍ර විය හැකිය. දිය අගල යාව දියරැළි බැම්මේ අලංකාර සිදුරුවල රාත්‍රි කල පහන් දැල්වූ බව ඩේවිගේ උඩරට විස්‌තරයේ කියවෙයි. දියඅගල එදා දළදා මැදුර පටන් උඩරට රජමාළිගාව, විෂ්ණු දේවාලය, පිළිමතලව්වේ වළව්ව (ඉංගී්‍රසීන් මෙම වළව්ව පවරාගෙන පසුකල එහි ෆැවිලියන් හවුස්‌ හෙවත් ඉංගී්‍රසි ආණ්‌ඩුකාර මන්දිරය 1832 පමණ කරවීය. අද මේ ෆැවිලියන් හවුස්‌ ජනාධිපති මන්දිරයයි.) හරහා ත්‍රිකුණාමල වීදිය කෙළවර ආදාහනමළුව විහාරය අවට තිබූ බොරවැව දක්‌වා සැතපුම් කාලක්‌ පමණක්‌ දිගට ගලාගෙන ගියේය. ෆැවිලියන් හවුස්‌ මන්දිරය ගොඩනැගිSමේදී උඩවත්ත කැලේ බිමෙන් කැපූ පස්‌ පුරවා දැමීම වර්ෂාවට පස්‌ සේදී ඒම, ජනගහනය වැඩි වී ජනාවාස පුළුල්වීම සමග බොරවැව දක්‌වා තිබූ දියඅගලේ දිගු කොටස්‌ පසුකල වැසී ගියේය. කටුගස්‌තොට දෙසට පාර සකස්‌ කිරීමේදී 1840 පමණ බොරවැවද පස්‌ දමා වසා දැමුණි. සිංහල රාජමාළිගාව උඩරට ඒජන්තගේ නිල නිවාසය වූ අතර දළදා මැදුර අවට දිය අගල පවා පස්‌වලින් පුරවා දමන ලදී.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල දිය අගල ජලජ පුෂ්ප හා මාළුන්ගෙන් ගහණ විසිතුරු නිර්මාණයක්‌ වූ බව එකල ලියෑවුණු පාලිසිරිගම සන්දේශය හා කිරළ සන්දේශය කියයි. ශ්‍රී වික්‍රම රජු කල වනවිට සිංහල රජමාළිගාව හා දළදා මැදුර අසලින් අවශ්‍ය විට උස්‌ පහත් කළ හැකි පාළම් දෙකක්‌ වූ බව ඩොයිලිගේ උඩරට විස්‌තරයේ එයි. එක්‌ පාලමක්‌ රජමැදුරට යාමටයි. අනෙක දළදා මැදුරට යාමටයි. පුරාවිද්‍යා දෙපාර්තමේනත්=ව මගින් පස්‌ පුරවා තිබූ පැරණි දිය අගල යළිත් හාරා මතු කරගත් අතර විෂ්ණු දේවාලයේ ඉදිරිපිට දිය අගලේ කොටස මෑතකල මතු කරගත් එකකි

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ එස්‌. කේ. ජයවර්ධන
සොම්කැළුම්,
නාපාන, ගුන්නෑපාන.
 

 
Powered By -