මතට තිත තබා මඟ නැගුම කළ මේජර් ස්‌කිනර්

ශ්‍රී ලංකාවේ මහාමාර්ග ඉදිකිරීම් පිළිබඳ ඉතිහාසය ලියූ බොහෝ විද්වතුන් එහි ගෞරවය පවරා ඇත්තේ මෙරට ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයකු වූ බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයාට වුවද ලංකාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල ගණ කැළෑ පීරමින් වන සතුන් බහුල ප්‍රදේශයන්හි තම තාවකාලික කූඩාරම් සවිකොට ගෙන නිශ්චිත මිණුම් කටයුතු කරමින් මහාමාර්ග සැදීමේ පුරෝගාමී වූ මේජර් තෝමස්‌ ස්‌කිනර් ගැන කථා කරන්නේ ඉතා අඩුවෙනි. ඔහු බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ පාලන සමයේ දී මෙම කාර්යයේ යෙදී සිටි නිසා ඔහුගේ සේවාවේ අගය යටපත් වන්නට ඇත.

1819 දී මෙරට යුද හමුදාවේ සේවයට බැඳුණු ඔහු විශේෂයෙන්ම පළාත් එළිපෙහෙළි කිරීමේ කටයුත්තට බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයා විසින් යොමුකොට ඇත. 1849 දී ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාවට සන්දේශයක්‌ ඉදිරිපත් කරමින් හා සාක්‌ෂි දෙමින් මෙරට ඉංග්‍රීසි පාලකයන්ගේ

වැරැදි හා සිංහල ජනතාව හරිහැටි හඳුනා නොගෙන කටයුතු කිරීමෙන් 1848

කැරැළිවලට ඒ තත්ත්වයන් හේතු වූ බව පෙන්වා දී තිබේ. ඔහු එම සන්දේශයෙන් එතෙක්‌ කිසිදු ඉංග්‍රීසි නිලධාරියකු නොසිතූ හා නොකෙරූ ආකාරයට සිංහල ජනතාව ඔවුන්ගේ බුද්ධිය, දැනුම, මනා චරිතය ඇතුළු බොහෝ අංග වැදගත් කොට ඉස්‌මතු කර එකී කාරක සභාවට පෙන්වාදී ඇත.

තම සුදු ජාතික මිත්‍ර නිලධාරීන්ගේ මත්පැන් පානය පිළිබඳව ඔහු අප්‍රසන්න හැඟීමෙන් බලා ඇත. ඔහු දක්‌වන පරිදි ඔවුන්ගේ (ඉංග්‍රීසි නිලධාරීන්ගේ) දුරාචාර වර්ණනා විෂයාතික්‍රාන්ත විය. වාසනාවකට මෙන් වයින් බීර නැතහොත් මධ්‍යසාර මට කිසිසේත් භාවිත කළ නොහැකි විය. මෙම බීම වර්ගයක ගඳ වැදීමෙන් වුවද මට වමනය සැදෙයි. මේ නිසා ඔවුන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයන්දී මට පැත්තකට වී ඉන්නට ඉඩ ලැබිණි. වෙරි මතින් සිහිය විකල් වුවන් රැක බලා ගැනීම සඳහා කණ්‌ඩායමේ කෙනෙකු මෙසේ හොඳ සිහියෙන් සිටීම ඇතැම් විට භාග්‍යයක්‌ වියෑ... යි දක්‌වයි.

ඔහු විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංදේශයේ රජය අරක්‌කු රේන්දවලින් ලැබෙන ආදායම කෙරෙහි ගිජුව රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර එහි භාවිතයට ඒකාන්ත වශයෙන් ධෛර්ය දී තුෂ්නිම්භූතව සිටියි. එසේ වුවද යහපත් රජයක යුතුකම විය යුත්තේ පිටිසර පළාත්වල තැබෑරුම් සංඛ්‍යාව සීමාසහිත කරවීමය. යටත් පිරිසෙයින් වැසියන්ගේ කැමැත්තට විරුද්ධව ඔවුන් මත මෙම තැබෑරුම් නොපැටවිය යුතුය. බීමත්කම නිසා වැඩිකල් යන්නට පෙර එකදු වැදගත් උඩරට පරපුරක්‌ මේ රටේ ඉතුරු නොවිය හැකිය. .. දක්‌වා ඇත. සුරාපානය බොහෝ සෙයින් පැතිර තිබෙනවා. මෙයට පෙර කාලවල සුරාපානය අපරාධ හා ලේ වැගිරීම් ගැන අසන්නට දකින්නට නොලැබුණ පළාත්වල පසුගිය අවුරුදුවල එවැනි දේ බහුලව සිදු වුණා.

මේ තැබෑරුම් හැම ගමකම විවෘත කරනු ලැබේ. බොහෝ විට මෙසේ කරන්නේ මුලාදෑනින්ගේ විරෝධය නොසලකාය. එසේම ගැමියන්ට ගැහැට වන පරිදිය. සුරාවට මිනිසුන් ඇබ්බැහි කිරීම පිණිස පටන් ගැනීමේදී එය නොමිලේ බෙදාදීම අවශ්‍ය වෙයි. මෙසේ නොමිලයේ ලැබෙන සුරා බී ඇබ්බැහි වූ විට එය නියත පුරුද්දක්‌ වන බව රේන්දකාරයෝ දනිති. ඇතැම් පෙදෙස්‌වල අද බීමත්කම කොතෙක්‌ දුරට පැතිර ඇත්තේද යත් ඔහුන් කුඹුරේ පැසීගෙන එන අස්‌වැන්න අරක්‌කු සඳහා රේන්දකාරයාට උකස්‌ කරන බව දනිමි. 1818 රාජෙද්‍රහී නඩුවට චෝදනා ලැබ නිදහස්‌ වූ මොල්ලිගොඩ යුරෝපීය ඇසුරින් සුරා පානයෙන් මියගිය බවත් එක්‌විසි හැවිරිදි ඔහුගේ පුත්‍රයාත් බීමත්කමින් මියගිය බවත් උසස්‌ මොල්ලිගොඩ නාමය එයින් අවසන් වූ බවත් සඳහන් කර තිබේ. මේ ආදී ලෙසින් ඉංග්‍රීසි ආණ්‌ඩුව මගින් රට පුරා අරක්‌කු තැබෑරුම් පිහිටුවමින් රේන්ද බදු දෙමින් කළ ක්‍රියාව විවේචනය කළ මේජර් ස්‌කිනර් සත්‍ය වශයෙන්ම මෑත කාලයේ අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමියා යෑයි දැක්‌විය හැකිය.

1811 ඉපදුන ස්‌කිනර් 1819 ලංකාවේ හමුදා සේවයට එන විට වයස 15 කි. පසු කාලයේ ලංකාවේ මිනුම් කටයුතු පිළිබඳ ප්‍රධානියකු වූ ඔහු ඇඳ ඇති ලංකාවේ සිතියම් බෙහෙවින්ම නිවැරැදිය. ඒවා ඉංග්‍රීසි කාලයේ අඳින ලද ඉතා වැදගත් සිතියම් සේ සැලකේ. වසර කිහිපයක්‌ ගත වීමට පෙර අඹන්පිටියේ සිට දුර්ග මාර්ගය ඔස්‌සේ වරකාපොළට පැමිණීමට සැතපුම් 11 ක මාර්ගය සාදන ලෙස බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයා ඔහුට නියම කළේය. වල් අලින්ගේ වධ විඳිමින් ඔහු විසින් මෙම කාර්යය මනාව ඉටුකළ ආකාරය ඔහු විසින් විස්‌තරාත්මකව සටහන් කර තිබේ.

1832 දී මුතුපර පිහිටි අරිප්පු සිට නුවර කලාවියේ අගනුවර වූ අනුරාධපුරයට පාරක්‌ තැනීම භාර කළේද ඔහුටය. ඔහු එහි යන විට රජයේ කිසිම ඒජන්තවරයකු මේ ප්‍රදේශයට ගමන් කොට නොතිබුණි. ඔහු සඳහන් කරන පරිදි සැතපුම් හතළිස්‌ පහක්‌ වූ කැලෑ පාර ඔහු පළමු කඩදාසියක අඳින ලදී. බොහෝ සෙයින් සෘජු මාර්ගයක්‌ තැනීමට ඔහු කළ උත්සාහය සාර්ථක විය. මේ සඳහා මාර්ගයේ එක්‌ අන්තයකින් මාර්ගය කැපීම ලුතිනන් මැක්‌ස්‌කල්ට භාර කළ ඔහු අනිත් අන්තයෙන් පාර කැපීම ආරම්භ කොට දෙදෙනාම එකට මුණගැසීමෙන් පාර සම්පූර්ණ වූ ආකාරය පිළිබඳ රසවත් කතා වාර්තා කර තිබේ.

ඒ සමගම 1833 මහජන වැඩ භාරදී තිබියදීම පේරාදෙණියේ පාලම තනා නිමකළ ආකාරය සඳහන් කර ඇත. මෙය එකම ඇණයක්‌ හෝ මුරිච්චියක්‌ නොමැතිව බුරුත දැවයෙන්ම මහවැලි ගඟ හරහා තනන ලද අති මනෝහර පාලමක්‌ බවත් මෙහි ආකෘතියක්‌ දකුණු කෙන්සිස්‌ටන් කෞතුකාගාරයේ තබා ඇති බවත් ඔහු වාර්තා කරයි.

ඔහු තම ජීවිත කතාවේදී කියා ඇති අයුරු බොහෝ විට ඔහුගේ දිවා ආහාරය වී ඇත්තේත් රොටී කෑල්ලක්‌ හා කෝපි කෝප්පයකි. සවසට බත්, ජාඩි කරවල හා ව්‍යංජනයක්‌ මෙන් පිසින ලද කැලෑ අලය. භෝජනයෙන් පසු කෝපි කෝප්පය හා සුරුට්‌ටුව රාත්‍රියට අවශ්‍ය විය.

1841 දී මුළු දිවයිනේම පාරවල් හා පාලම්වල වගකීම ඔහු පිට පැවරී ඇත. ඔහු විසින් උතුරු මැද පළාතේ මාර්ග සැදීමෙන් ඇති කරන ලද ගමනාගමන පහසුව අනුරාධපුරයේ දියුණුවට බෙහෙවින් හේතු කාරක වී ඇත. අරිප්පු අනුරාධපුර මාර්ගය ඇතුළු නුවර කලාවියේ මාර්ග සෑදීමේදී අඩි 25 ක්‌ පළලට බිම සමතලා කොට තලා රෝද සහිත වාහනයකට යා හැකි සේ සකස්‌ කළ බව ඔහු කියා ඇත. රට පුරා මාර්ග කිහිපයක්‌ම සැදූ ඔහු පවසන පරිදි කෝපි වගාව දියුණු වීමත් සමගම කොළඹ හා එම ප්‍රදේශ සම්බන්ධ කිරීමට රත්නපුරය මාර්ගය පැල්මඩුල්ල දක්‌වා දීර්ඝ කිරීම 1870 න් පසු කරන ලදී. එතැන් සිට තවත් සැතපුම් 38 ක්‌ අතිශය දුෂ්කර දේශීය කඳු පාරකි. හපුතලේ දක්‌වා පාර නිම කළහොත් කොළඹට කෝපි ගෙන ඒමේ පහසුව හා ලාභය පෙන්වා දී විශාල පරිශ්‍රමයකින් හපුතලේ දක්‌වා මාර්ගය සැදීමෙන් කෝපි වගාවේ සංවර්ධනයට අතදී ඇත. දේශීය නිලධාරීන් සමග ඉතා කුළුපගව කටයුතු කිරීම හේතුවෙන් දේශීයන් අතර ඔහු පිළිබඳ ඉතා හොඳ ආකල්පයන් පැවතුනි. ඔහු නිවාඩු යන අවස්‌ථාවෙත් විශ්‍රාම යන අවස්‌ථාවෙත් දේශීය නිලධාරීන් එක්‌වී ඔහුගේ කුළුපගකම මෙන්ම රටට හා ඒ ඒ ප්‍රදේශවලට කරන ලද සේවය පිළිබඳව ඉමහත් සේ ප්‍රශංසා කර ඇත.

ඔහු මෙරටට ආවේ 1818 කැරැල්ල යන්තමින් අවසන් වීමත් සමගය. අනතුරුව රටේ ඉතා දුෂ්කර ප්‍රදේශවල කටුක දිවියක්‌ ගෙවමින් ඔහුගේ රාජකාරිය ඉටුකර ඇත. මේ අතරින් සමනොළ අඩවියේ මිනුම් කටයුතු කරමින් අඟලේ සිතියම් ඇදීමේ කාර්යය බොහෝ සෙයින් දුෂ්කර කාර්යයක්‌ වී ඇත. වැසි සහිත ප්‍රදේශවලදී ඔහුගේ දෙපාවල එල්ලී සිටි කූඩැල්ලන් කඩා දැමීමෙන් තුවාල ඇති විය හැකි නිසා ලේ බී ගැලවී වැටෙන තුරු උන්ට සිටීමට හැරීම නිසා ගමන්වලදී ඔහුගේ දෙපාවල කූඩැල්ලන් සමූහ වශයෙන් එල්ලී සිටි බව පවසා තිබේ.

මහනුවර මාර්ගය වෙනුවට දුම්රිය මාර්ගය සෑදීමට ද ඔහු ආරම්භයේ දී සම්බන්ධ වී ඇත. කඩුගන්නාව දුර්ගය මැදින් වැටී ඇති පාර හා සත්කෝරළය මැදින් වැටී ඇති පාර සාදන ලද්දේ ඔහු විසිනි. මෙම කටයුතු කිරීම සඳහා 1841 දී මාර්ග පිළිබඳ කොමසාරිස්‌ තනතුරට පත් කර ඇත.

ඔහු විශ්‍රාම යැමේදී දේශීයයන් විසින් කරන ලද ස්‌තුති ප්‍රකාශනවලදී දක්‌වා ඇති විශේෂ කරුණක්‌ වන්නේ ඉංජිනේරුවරයන් ලෙස පුහුණු වනු පිණිස ස්‌වදේශික තරුණයන් රජයේ කම්හලට ඇතුළු කිරීමෙන් කළ සේවයයි. එය බොහෝ සෙයින් අගය කර තිබේ. 1867 දී ඔහු මෙරට අතහැර යන විට ඔහු මෙරටට පැමිණෙන විට තිබූ මාර්ග රහිත රට ඇතුළට යැමට හැකි පරිදි මාර්ග ගණනාවක්‌ ඇති රටක්‌ බවට පත් කිරීම ගැන ප්‍රශංසා බොහොමයකින්ම ඔහුට සංග්‍රහ කර ඇත්තේ දේශීය ප්‍රධානියෝ ය. පළමුවෙන් ලංකාවට පැමිණි රජ පවුලේ කෙනෙකු වන එඩින්බරෝ ආදිපාදිවරයාට ලංකාවේ ස්‌වභාවික සෞන්දර්යය පෙන්වාදීමට තෝරාගෙන අත්තේද තෝමස්‌ ස්‌කිනර් මහතා ය. ඊට හේතුව වශයෙන් සිලෝන් ඔබ්සර්වර් පත්‍රය ලියා ඇත්තේ දැනට ජීවතුන් අතර සිටින අන් හැම දෙනාටම වඩා ලංකාව පිළිබඳ තොරතුරු මැනවින් දන්න තැනැත්තා නිසාය යනුවෙනි.

නුවර කලාවියේ සේවය කරන කාලයේ ඔහු විසින් ලියා ඇති විශේෂ කරුණක්‌ සඳහන් කළ යුතුව ඇත. එනම් ඔහු තම බෝතලයකට තේ පැන් දමා තුවායකින් හොඳින් ඔතා තබන බවත් එහි වාෂ්පීකරණය නිසා හිම මෙන් සීතල තේ පානය කරන බවත්ය. වර්තමානයේ ද නුවර කලාවියේ වෙළෙඳුන් කුරුම්බා ගෙඩියේ මතුපිට ලෙල්ල සැස දමා තබන්නේ එයින් කුරුම්බා ගෙඩියේ වතුර සිසිල් වන බැවිනි.

විශ්‍රාම යැමෙන් අනතුරුව එංගලන්තයේ දී තම දියණිය වන ඇනි ස්‌කිනර් සමග ජීවත් වූ ඔහු 1877 ජූලි 24 දින අභාවප්‍රාප්ත විය.

අනුෂි තිසාරා කාරියවසම්
 

 
Powered By -