සෙංකඩගල යුගයේ මහා මන්ත්‍රාචාර්යවරයා
ඌවේ කුඩා මොහොට්‌ටාල

සිංහල සාහිත්‍ය ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අවසාන කාලය වන්නේ සෙංකඩගල මුල් අවධියයි. ක්‍රි.ව. 1600 න් පසු එළඹෙන කාල වකවානුව භාෂා ශාස්‌ත්‍ර සාහිත්‍ය කලාවන්ගේ තවදුරටත් පිරිහී යැමේ ලක්‍ෂණ කියාපාන්නක්‌ විය. එසේ වුවද මෙතෙක්‌ නොවූ විරූ ආකාරයේ සාහිත්‍යමය රචනාවන්ගේ බිහිවීමක්‌ ද මෙකල සිදුවනු පෙනේ. දෙමළ පොත්, සිංහලට නැගීම, ගැමි කවියේ උදාව, විත්ති කඩඉම් පොත් පමණක්‌ නොව දෙමළ වචන මිශ්‍ර මන්ත්‍ර, අංගම් පිඹීම, කොඩිවින, හදි හූනියම්, බලි බිලි පුද පූජා ආදී භූත විද්‍යාත්මක දේද ඊට ප්‍රතිකාර විධි ද නක්‍ෂත්‍ර, වෛද්‍ය පොත පත ද දකුණු ඉන්දීය ආභාෂය ඔස්‌සේ මෙරටට පැමිණීම මෙකල දක්‌නට ලැබිණි.

බුද්ධ කලකෝලාහල බහුල මෙම කාලවකවානුව සාහිත්‍යයේ උන්නතිය සඳහා සුදුසු වාතාවරණයක නොපැවතිණි. උගතුන්, බුද්ධිමතුන් දුලබ කාලයක්‌ වූ අතර ජීවත්ව සිටි අය ද රජුන්ට ප්‍රශස්‌ති ගයමින් ලාභ සත්කාර අපේක්‍ෂා කළෝ වූහ. ඔවුන් අතර කැපී පෙනෙන අයකු ලෙස සෙංකඩගල රාජ සමය තුළ සටහන් වන විශේෂිත පුද්ගලයා වන්නේ ඌවේ කුඩා මොහොට්‌ටාලයන්ය.

දෙවන රාජසිංහයන්ගේ සටන් වර්ණනාවට නගමින් මෙකල සිටි කවීන් විසින් කෘතීන් ගණනාවක්‌ කළ බව කියෑවේ. එහි ප්‍රධානියා ඌවේ කුඩා මොහොට්‌ටාල වූ අතර ඔහු හා සමකාලීනව විසුවා යෑයි සඳහන් වන කවීන් කිහිප දෙනකු ගැනද අසන්නට ලැබේ. බිම්තැන්නේ ස්‌වාමි, බුන්නපාන ඒකනායක රාළ, වේවැල්දෙනියේ මොහොට්‌ටාල, ගණේෂ්වර දේවාලයේ බ්‍රාහ්මණ රාළ, මළවරන්නැහේ යන අයගේ නම් මේ අතර වෙයි. මොවුන් දෙවන රාජසිංහයන් අරභයා ස්‌තෝත්‍ර, ප්‍රශස්‌ති ගැයුම් කරන ලද්දේ උසස්‌ සාහිත්‍ය කෘති බිහිකිරීමේ අරමුණින් නොව ලාභ ප්‍රයෝජන උදෙසා වෙයි. රාජසිංහ සිරිත 1, රාජසිංහ 2, පරංගි හටන, ශ්‍රීනාමය, පවන ආදී පොත් ස්‌ථිර වශයෙන් කවුරුන්ගේදැයි සඳහන් නොවෙතත් මෙකල ලියෑවුණ ඒවා වෙයි. මින් රාජසිංහ විරුදාවලිය කුඩා මොහොට්‌ටාල විසින් ලියන ලද්දකැයි පිළිගැනේ.

මෙම කවියා සෙංකඩගල යුගයේ වඩාත් ප්‍රකට හා ජනප්‍රිය පුද්ගලයකු බවට පත්ව විසූ බව කියෑවේ. ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරු හිඟ වුවද එවක සමාජයේ සුවිශේෂ ස්‌ථානයක්‌ ඔහුට හිමිවී පැවතිණි. රාජසිංහ විරුදාවලිය කුඩා මොහොට්‌ටාලගේ කවීත්වය ප්‍රකට කෙරෙන කෘතියකි. රාජසිංහ රජු පිළිබඳව බැඳුන විරුදාවලීන් 18 ක්‌ ගැන සඳහන් වන අතර ඒ සියල්ල මුද්‍රණයෙන් එළිදැක්‌වී නොමැත. ශ්‍රීනාමය නමැති කෘතිය ඌවේ කුඩාමොහොට්‌ටාලගේ පද්‍ය පන්තීන් ද ඇතුළත් එකකැයි ද සඳහන් වේ. මේ පොත් අතර ඔහු විසින් ලියන ලදැයි සැලකෙන කවි 112 කින් ද සින්දු 8 කින් ද යුතු පොතක්‌ ඇත. මෙම රචනා විමසා බලන විට කුඩා මොහොට්‌ටාල කවියකු වශයෙන් මෙකල සිටි දක්‍ෂ අයකු වූ බව පෙනේ. ඔහු සංස්‌කෘත භාෂාව පිළිබඳ හොඳ වැටහීමකින් යුතු අයකු වූ බව ද කියෑවේ. එසේම නාදරටා අනුව ගායනා කළ හැකි ඉමිහිරි විරිතින් පද්‍ය බන්ධනයෙහි හේ සමතකු විය.

"ශශධර නිභ විතත කීර්ති තේජ රාශි වේද ජාත

මතිධර කවි රාජ ලෝල නෛක දාත පාරි ජාත

දෘඪතර වර චාරුධීර අචලිත කේසර සුභූ ත

ශ්‍රැතිධර නෘප සිංහරාජ ජයතු භානු වංශ ජාත"

මෙවන් කවිවලින් පෙනෙන්නේ සංස්‌කෘත වචන එලෙසින්ම යොදාගෙන ශබ්දවාහිනිය ඇතිකරන කවි රචනා ලියන ලද බවයි. මේවා පසුකාලීන කවීන්ගේ ද ආභාෂයන්ට ලක්‌විය.

එසේම රාජ්‍ය ස්‌ත්‍රොaතද ඌවේ කුඩා මොහොට්‌ටාල විසින් රචනා කර තිබේ. ඒවා සින්දු සේ සැලකේ. සමහර පාදවල මාත්‍රා 50-60 තරම් දීර්ඝ වූ බන්ධන ඔහුගේ නිර්මාණ අතර වෙයි. "නොතැකුම් රුදු විරුදු අඩම්බර නොකරම් කර සිරිදු උතුම්

රඟ සැතැපුම් සැදු මහරු විකුම් බුජ රන් මන්දිර සැපා"

මෙහි මාත්‍රා 52 කි. මෙවන් දිගු විරිත් මොහුගේ රචනාවල දක්‌නට ලැබෙනුයේ මුල් වරටය. මේවා සින්දු සේම විරිදු ලෙස ද සැලකිල්ලට භාජන විය. ශැති රම්‍ය රචනා ලෙසින් සිංහල සාහිත්‍යයට අලුත් අංගයක්‌ එක්‌ කළ කවියකු ලෙස ඌවේ කුඩා මොහොට්‌ටාලට විශේෂ ස්‌ථානයක්‌ හිමිවනු පෙනේ. ඔහුගේ රාජසිංහ විරුදාවලිය විමසන විචාරකයෝ හෙතෙම හෙළ බස පමණක්‌ නොව සකු බසද ඉන්දියානු පොත පතද නාට්‍ය ශාස්‌ත්‍රය ද ප්‍රගුණ කරන ලද අයකු ලෙසට පිළිගනු ලබත්.

ඌවේ මොහොට්‌ටාල ඌව ප්‍රදේශයේ මොහොට්‌ටාල තනතුර දරන ලද්දෙකි. ඔහුගේ නියම නම නොව අන්වර්ථ නාමය භාවිතයට යෙදී ඇති බවක්‌ මින් පෙනේ. දෙවන රාජසිංහගේ උපන් බිම ද ඌව බැවින් මොවුන් කුඩා කල සිට සමීප ඇසුරේ වැඩුන බව කියෑවේ.

කුඩා මොහොට්‌ටාල ජීවත් වූ වකවානුව යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම් ඉතා තදින් සමාජය තුළ මුල්බැස තිබූ යුගයකි. ඔහු මෙම කාර්යයෙහි ලා ඉතා ප්‍රසිද්ධව සිටි අයකු බව පෙනේ. මෙකල යාග හෝම පූජා හා යන්ත්‍ර මන්ත්‍ර බෙහෙවින් සමාජය තුළ පැතිර යන්නට පටන්ගෙන ඇත්තේ දකුණු ඉන්දීය හා මලල පිරිස්‌ මෙහි පැමිණ පදිංචිවීම නිසාය. විත්ති, කඩඉම් හා බණ්‌ඩාරවලීන්a පිළිබඳ ලියෑවුණු පොත පතෙහි තොරතුරුවලින් මෙම කුඩා මොහොට්‌ටාල පිළිබඳ විස්‌තර හෙළිවේ. මන්ත්‍ර ශාස්‌ත්‍රයෙහි කෙළපැමිණියකු ලෙස මෙතෙම සැලකේ. එබැවින් රටේ විශාල සැලකිල්ලකට ලක්‌විය. "පාතාල බහිරව ශාස්‌ත්‍රය" නම් පොතක්‌ පිළිබඳ මෙකල තොරතුරු වාර්තා වන අතර කුඩා මොහොට්‌ටාලගේ ඇසුරේ මේවා පැවැති බව කියෑවේ. මේ පිළිබඳ සාහිත්‍ය වංශයෙහි කරුණු දක්‌වන පී. බී. සන්නස්‌ගල සූරීන් පවසන්නේ අමුද්‍රිත මෙම පොත තමා ද දුටු බවයි.

මේ මහා මන්ත්‍රාචාර්ය කුඩා මොහොට්‌ටාල පසු කාලයේ ද රාජසිංහයන් ළඟින් ඇසුරු කළ දිනපතා රාජ්‍ය සේවය සඳහා රජවාසලට ගිය අයෙකි. ඔහුගේ අභාවය පිළිබඳ විවිධ ජනකතා ගෙතී තිබේ. ඉන් පෙනෙන්නේ එවක සමාජයේ විශාල ප්‍රතිරූපයක්‌ ඔහු වටා ගොඩනැගී පැවැති බවයි. ඔහුගේ අභාවය පිළිබඳව කියෑවෙන ශෝකජනක ජනකතාවක්‌ ඉතා ප්‍රකටව පවතී. එය මෙසේය.

කුඩා මොහොට්‌ටාල දිනපතා රාජ්‍ය සේවය සඳහා රජවාසලට යැම සිරිතක්‌ විය. රජවාසල දොරටුව අසල අඹ ගසක්‌ වෙයි. දිනක්‌ මොහොට්‌ටාල වාසලට යන විට අඹ ගසෙහි කොල්ලෙකු සිටිනු දැක තිබේ. කොලුවා මොහොට්‌ටාලට විසිළු කරනු ඔහුට පෙනිණි. කොලුවා උඩ සිටියදී අඹ අත්ත යටින් යැම තමාට තරම් නොවන බැවින් බසින ලෙසට අණ කළේය. නොබැසි කොලුවා තවත් විසුළු කරන්නට විය.

මෙය සිදුවිය නොහැක්‌කක්‌ ලෙස සිතූ මොහොට්‌ටාල ගසෙහි සිටි කොලුවා අමනුෂ්‍යයකු බව තීරණය කළේය. ඒ බහිරවයා බව ඔහුට අවබෝධ විය. රජවාසලට නොගොස්‌ හැරී ආ මොහොට්‌ටාල බහිරවයා බැඳලීම සඳහා බහිරව බන්ධනය ජප කළේය. ඉන් බහිරවයා තැතිගෙන වෙවුලා ඇතුළත මහා ගින්නකින් දැවෙන්නා සේ වේදනා දෙන්නට විය. බහිරවයා හඬාගෙන සතරවරම් දෙවිවරුන් සොයා ගොස්‌ විස්‌තරය කීවේය. එහෙත් මොහොට්‌ටාලගේ නියෝගයක්‌ නිසා දෙවිවරුන්ගෙන් පිළිසරණක්‌ නොවීය. එහෙත් විභීෂණ උපදෙසක්‌ දුන්නේය. එනම් රාජසිංහ රජු හමුවී උවදුරින් මුදා ගන්නා ලෙස අයෑදුමයි. බහිරවයා රජු හමුවී සියල්ල පවසා සිටියේය. රජු මොහොට්‌ටාල බහිරව බන්ධනය ඉවත් කර බහිරවයා මුදාහැරියේය. ඉන් පසු ඔහු සිය නිවස බලා යැමට පිටත්විය. බන්ධනයෙන් මිදී තරහෙන් පුපුරමින් බහිරවයා මග රැක සිටියේය. තමන්ට කළ විනයෙන් පළිගැනීමට සිතූ ඔහු මොහොට්‌ටාලගේ හිසට ගලකින් දමා ගැසුවේය. එම ගල් පහරින් මොහොට්‌ටාල මරුමුවට පත්විය.

මේ පුවත ඇසූ රජතුමා අතිශය කම්පාවටත් බලවත් ශෝකයටත් පත්විය. බන්ධනය ඉවත් කිරීමෙන් පසු අනතුරක්‌ නොකරන ලෙස බහිරවයා පොරොන්දු කර ගැනීමට රජතුමාට අමතක වීම ගැන ඔහු පසුතැවිල්ලට පත්විය.

කෙසේ වෙතත් මින් පෙනෙන්නේ මොහොට්‌ටාල අකාලයේ අනතුරකින් මියගොස්‌ ඇති බවයි. ඌවේ කුඩා මොහොට්‌ටාල යනු එවක අතිශය ප්‍රසිද්ධියට හා ගෞරවාදරයට පත්ව හුන් පුද්ගලයකු බව නම් පැහැදිලිය.

ගුණපාල ජයතිස්‌ස
 

 
Powered By -