සමනල අඩවිය
Peak Wilderness

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ස්‌වභාව රක්‍ෂිත වනාන්තර පහෙන් අවසන්වරට ප්‍රකාශයට පත්කළ රක්‍ෂිතයයි. සමනල අඩවිය 1940 ඔක්‌තෝබර් මස 25 වැනිදා අභයභූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කළ අතර ඊට අයත්ව තිබූ බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 22379 (අක්‌කර 55948) කි. ඉන්පසු සමනල අඩවිය අභයභූමියෙන් තෝරාගත් හෙක්‌ටයාර් 12979 (අක්‌කර 32448) ක්‌ සංරක්‍ෂිත අවශ්‍යතාව සළකා ස්‌වභාව රක්‍ෂිතයක්‌ මට්‌ටමට ගෙන ආ අතර, 2007 සැප්තැම්බර් මස 21 වැනිදා මෙසේ සමනල අඩවිය (චැaන අසකාeරබැss) නමින් ස්‌වභාව රක්‍ෂිතයක්‌ බවට පත් වූයේ එම වනාන්තර කොටසයි. තවත් හෙක්‌ටයාර් 9400 (අක්‌කර 23500) ක්‌ අභය භූමිය ලෙස පවතින අතර සමනළ අඩවියේ ප්‍රකටම කඳුවැටිය වන උසින් ශ්‍රී ලංකාවේ සිවුවැනි ස්‌ථානයට ගැනෙන (උස මීටර් 2243) ශ්‍රී පාද (සමනල කන්ද) කන්දේ බැතිමතුන්ට වෙන්වූ මාර්ග පද්ධතිය හා ශ්‍රීපාද පද්මය පිහිටි මළුව යනාදී වැදගත් ස්‌ථාන අයත් වන්නේ සමනල අඩවිය අභයභූමියටයි. කඳුර වනාන්තර ගණයට ගැනෙන වනගහනයකින් පෝෂිත සමනල අඩවිය මධ්‍යම කඳුකරයේ සබරගමු කඳු පන්තියට අයත් වේ. අතිශය සංවේදී ජලපෝෂිත ඉහළ ජලාධාර ප්‍රදේශයක්‌ වන මෙයින් කළු, වළවේ, කැළණි යන ගංගා ත්‍රිත්වයම සෘජුවම උපත ලබන අතර තවත් ජලධාරා රැසක තිඹිරි ගෙය වේ. ශාක හා සත්ව පෝෂණය අතින්ද ඉහළම වැදගත්කමක්‌ හිමිකරගෙන සිටින මෙම ස්‌වභාව රක්‍ෂිතය ලෝක උරුම වනාන්තරයක්‌ ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. ගෞතම බුදුන්වහන්සේගේ පාදස්‌පර්ශයටද ලක්‌ව ඇති බවට විශ්වාස කරන සමනල අඩවිය වනපෙත බුදුන්වහන්සේ තෙවරක්‌ ලංකාද්වීපයට වැඩමකොට ගතකළ සොළොස්‌මස්‌ථානයන්ගෙන් ස්‌ථාන දෙකක්‌ම අයත්ව පවතින අති උතුම් පිං බිමකි. ඒ ශ්‍රීපාද පද්මය හා (තවමත් විවාදයට තුඩුදී ඇති) දිවා ගුහාවයි.

පිහිටීම

මධ්‍යම කඳුකරයේ සබරගමු කඳු පංතියේ පිහිටා ඇත. සබරගමුව හා මධ්‍යම පළාත් දෙකට ගැනෙන අතර පිළිවෙලින් එහි කෑගල්ල, රත්නපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවලට රක්‍ෂිතය අයත් වේ. රත්නපුර, කුරුවිට, දැරණියගල, නුවරඑළිය හා නුවරඑළිය, මස්‌කෙළිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ රක්‍ෂිතය අයත්වන බල ප්‍රදේශයි. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට හෙක්‌ටයාර් 4897 (අක්‌කර 12243) ක්‌ද, රත්නපුර දිස්‌ත්‍රික්‌කයට හෙක්‌ටයාර් 17483 (අක්‌කර 43707) ක්‌ද රක්‍ෂිතයෙන් අයත්වන අතර කෑගල්ල දිස්‌ත්‍රික්‌ මායිම් දක්‌වා රක්‍ෂිතය විහිදේ.

මායිම්
සමනළ අඩවිය ස්‌වභාව රක්‍ෂිතය සඳහා පැහැදිලිව සඳහන් කළ හැකි මායිම් නොමැත. බොහොමයක්‌ ප්‍රදේශවලදී පෞද්ගලික අංශයේ හා රජයේ වැවිලි ලෙස පවතින වතු මායිම් මගින් ස්‌වභාව රක්‍ෂිතය හා අභය භූමිය වෙන්වේ. නැගෙනහිර මායිම පැහැදිලිවම මධ්‍යම කඳුකරයේ පිදුරුතලාගල කඳු පන්තියේ හෝටන්තැන්න ජාතික උද්‍යානය දක්‌වා සම්බන්ධවේ. අනෙකුත් සියලුම මායිම්, එනම් උතුරු, බටහිර හා දකුණු මායිම් මෙසේ වතු ඔස්‌සේ දිවේ.

ප්‍රවේශ මාර්ග

සමනල අඩවියේ ශ්‍රී පාදය තෙක්‌ අනාදිමත් කලක පටන් භාවිත කෙරෙන මාර්ග පද්ධතියක්‌ වේ. මෙම අඩවියට අයත්ව. කඳු ශිඛර හා අද්විතීය වනගහනයක්‌ පැවැතියද ප්‍රවේශමාර්ග ලෙස පවතින්නේ ශ්‍රීපාද පද්මය තෙක්‌ වැටී ඇති ශ්‍රීපාද නොහොත් සමනල කන්ද තෙක්‌ ඇති මාර්ග පද්ධතියයි. ඈත. අතීතයේ පටන් මේ දක්‌වා පැහැදිලි ප්‍රවේශමාර්ග හතරක්‌ පවතින අතර ඊට සම්බන්ධ වන තවත් මාර්ග තුනක්‌ද සමඟින් මාර්ග හතක්‌ පවතී. එනම්.

1. හැටන් - මස්‌කෙළිය - නල්ලතන්නිය - ගෙත්තම්පාන - සීතගඟුල - අහස්‌ගව්ව - මහගිරිදඹ - මළුව

2. කුරුවිට - එරත්න - අඩවිකන්ද - පැළැඳ කන්ද - වර්ණගල - සීත ගඟුල - බේරුමැන්ඩිය - මැදඉන්න - ඉදිකටුපහන - ගල්කඩේ - හැරමිටිපහන (ගල්වංගෙඩි කඩේ) මැහැල්ලමල කඳුර - ආඬියාමලතැන්න - ඇහැලකනුව අහස්‌ගව්ව - මහාගිරිදඹ - මළුව.

3 රත්නපුරය - ගිලීමලේ - පලාබද්දල - පවනැල්ල - කොකටියකන්ද - ළිහිණිහෙල - කටුකිතුල වංගුව - ගෝනතල්ල - ගැටනිටුල - කොඩියහෙල - ධර්මරාජගල - ගල්පොත්තකඩේ - සෙවලගල - සීත ගඟුල - හීංගඟුල - හැරමිටිපහන - ගල්වංගෙඩිකඩේ - මළුව.

4 දැරණියගල - මාලිබොඩ - (කුරුවිට පාරේ මැදඉන්න ප්‍රදේශයට සම්බන්ධ වී) හැරමිටිපහන -ආඬියාමලතැන්න - මහගිරිදඹ - මළුව හා අප්‍රධාන මාර්ග තුනක්‌ වන

5 රත්නපුර - මූක්‌කුවත්ත - ඇහැල කනුව,

6 මරේවත්ත - රජමලේ

7. ගවරවිල - මස්‌කෙළිය මාර්ගය

පැරණි රජමාවත.

පලාබද්දල - යට්‌ටෝවිට - ගිලීමලේ - තුංතොට - උඩුපොලාන - සමන්වත්ත - බටේපොළ - ඇඳිරියන්වෙල - දියබෙත්ම - ධර්මරාජගල ඔස්‌සේ සම්බන්ධව පැවති බවට සාධක තිබේ.

ශ්‍රී පාද මළුව ශ්‍රී ලංකාවේ උසින් සිව්වැනි ස්‌ථානයට ගැනෙන කඳු මුදුනයි. පිළිවෙලින් පිදුරුතලාගල කිරිගල්පොත්ත. තොටුපොළ යන කඳු උසින් වැඩිම කඳු මුදුන් ලෙස ගැනේ. මේ අනුව ශ්‍රී පාද මළුවේ සිට ඉතා පැහැදිලිව සතර අතින් විහිදගිය සමනල අඩවිය ස්‌වභාව රක්‍ෂිතය හා අභයභූමිය නිරීක්‍ෂණය කළ හැකිය. සමනල අඩවියට අයත් කඳුපන්තියේ පරිවාර කඳු සියල්ලම මෙහි සිට නිරීක්‍ෂණ්‍ය කළ හැකි වීමද විශේෂයකි.

භෞතික ලක්‍ෂණ

සබරගමු කඳු පංතියට අයත් කඳුපන්තීන් රැසක්‌ම සමනළ අඩවියට අයත්ව පවතී. බෑන සමනළ, කුණුදිය පර්වතය, ගොන්මොල්ලිය, දෙතනගල, දෝතළුගල, සප්තකන්‍යා එම ප්‍රධාන කඳුවැටි වේ. මේ ඔස්‌සේ උපත ලබන හා ගලාහැලෙන දියකඳුරු රැසකි. එමෙන් තීව්‍ර බෑවුම් ඔස්‌සේ දියඇලි රැසක්‌ද කඩාහැලේ කළු, කැළණි, වළවේ ගංගා සෘජුවම හටගන්නේ සිරිපා අඩවියේ සමණළ ගිරෙනි. මෙම ගංගාවන්ට සම්බන්ධව දියපහර 295 ක්‌ පවතින බව තහවුරු වී ඇති අතර, මේ හේතුව නිසා ජල පෝෂිත අගය අතින් ශ්‍රී ලංකාවේ පවතින ඉහළම වනාන්තර 246 න් ප්‍රමුඛ තැන සමනළ ගිරට හිමිවන බව පර්යේෂකයින්ගේ මතයයි. එසේම ජලගැලීම් පාලනය, පස ආරක්‍ෂා කිරීම හා මිහිදුම් ඇද ගැනීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර 269 න් මුල්තැනද මෙම වනාන්තරයට හිමිවන බව එම පර්යේෂණ වාර්තා තවදුරටත් පෙන්වා දේ.

සමනල අඩවිය පටියක්‌ මෙන් බටහිර නැගෙනහිර දිශානුගතව විහිද යයි. දිගින් කිලෝමීටර් 45 ක්‌ වන මෙම බිම් තීරුවේ සාමාන්‍ය පළල කිලෝමීටර් 18 කි. පළල අඩුම ස්‌ථානය කිලෝමීටර් 106 ක්‌ වන පටු බිම්කඩ මාරාතැන්නයි. සමනල අඩවිය මීටර් 457 සිට මීටර් 2243 දක්‌වා උස පරාසයක විහිදේ. උච්චතම ස්‌ථානය ශ්‍රී ලංකාවේ උසින් සිව්වැනි ස්‌ථානය ගන්නා ශ්‍රීපාද මළුවයි.

සමනල අඩවිය තෙක්‌ කඳුකර හා උප කඳුකර වනාන්තරවලින් සමන්විතවේ. ඉහළ කඳුමුදුන්වලදී දැඩි සුළංවලට ලම්භකවූ මුහුනත්වලදී කඳුකර කුරු වනාන්තර ආකාර දක්‌නට ලැබේ. සෘජු ප්‍රපාතාකාර බෑවුම්, තැනි, දෙණි, පතන් යනාදියද, ජලාශ්‍රිත පරිසර පද්ධතිද මෙහි දක්‌නට ලැබේ.

කාලගුණ හා දේශගුණ වැදගත්කම

සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.

අතීත තොරතුරු

ගෞතම බුදුරජාණන්වහන්සේ තෙවනවර ලංකාද්වීපයේ කැළණියට වැඩම කළ අවස්‌ථාවේදී සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයක්‌ පිළිගෙන සමන්ත කූටය මුදුනේ ශ්‍රී පාදය පිහිට වූ බවත්, ඉන්පසු දිවා ගුහාව නම් ස්‌ථානයේ දිවා විහරණය කළ බවත් කියනු ලැබේ. එතැන් පටන් මෙම ස්‌ථානය බෞද්ධයින්ගේ අති උතුම් මුදුන්මල් කඩක්‌ ලෙස බැතිමතුන් විසින් සලකනු ලැබේ. හින්දු බැතිමතුන් විසින් විෂ්ණු (රාම) දෙවියන්ගේ පාදය ලෙසද ශිව භක්‌තිකයින් විසින් ඊෂ්වර දෙවියන්ගේ පාදය ලෙසද, කතෝලිකයින් විසින් ආදම්ගේ පාදය ලෙසද, ඉස්‌ලාම් භක්‌තිකයින් විසින් ද ශ්‍රී පාදය වන්දනා කරනු ලැබේ.

බුද්ධ වර්ෂ 156 දී ග්‍රීක අධිරාජ්‍යවාදී මහා ඇලෙක්‌සැන්ඩර් රජු යකඩ දම්වැල් ආධාරයෙන් සමනලගිර නැග ඇති බවටත් බුද්ධ වර්ෂ 563 දී කාෂ්මීර මේඝවර්ණ රජු සමනලගිර නැග ඇති බවටත් වාර්තා ඇත. ඉන්පසු පොළොන්නරු යුගයේදී මෙහි ආගමික ප්‍රබෝධය ඇතිකර ඇත්තේ නිශ්ශංකමල්ල රජු විසිනි. මහා විජයබාහු රජුද ඊටම සහාය පළකර ඇත.

ප්‍රාග් ඓතිහාසික තොරතුරු

දේවනම් ජනකොට්‌ඨාශය සමනල අඩවියේ දිවි ගෙවූ බව විශ්වාස කරන අතර සමන් දෙවියන්ගේ වාසභූමිය ලෙස සමන්ත ගිර සලකනු ලැබේ.

සමනල අඩවියට අයත් බටදොඹ ලෙන හා බටතොට ලෙන ප්‍රකට ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පිහිටි ස්‌ථාන දෙකකි. මේ මගින් වසර 36000 ක්‌ පමණ පැරණි මානව ජනාවාස සාධක හඳුනාගෙන ඇත. සමනල අඩවිය පුරා මෙවන් ජනාවාස තිබූ බව විශ්වාස කරයි.

ජෛව විවිධත්වය
වනාන්තර කලාප හා ශාක විවිධත්වය

සමනල අඩවිය ඉහළ කඳුකර හා උප කඳුකර වනාන්තර ආකාරවලින් යුක්‌තවේ. මීට අමතරව ජලජ පරිසර පද්ධති. තෘණපිටි, සවානා, පතන්, ගල්පර ආශ්‍රිත ශාක ප්‍රජාද දරයි. තෙත් වාර්ෂා වනාන්තර සහිත කලාපයට ගැනෙන මෙහි වනාන්තර තුළ ප්‍රධාන ශාක ප්‍රජා තුනක්‌ දක්‌නට ලැබේ. ඒ ගණ වනගහනය යටිරෝපණය හා අපිශාක වශයෙනි.

සමනල අඩවියේ සාර්ථක ශාක හා සත්ව තොරතුරු ගවේශණයක්‌ මේතාක්‌ සිදුවී නොමැත. මෙහි වන වියනේ දඹ, කීන, මඩොල්, වෙරළු, දවුල් කුරුඳු, දොරණ, රත්දුන්, රත්මිහිරි, කිතුල් වැනි ශාක ප්‍රජාවක්‌ දක්‌නට ලැබෙන අතර, යටිරෝපණයේ නෙලු, බෝවිටියා, මහරත්මල්, කොක්‌මොට, ගිනිහොට, බේරු, ලියන්, කටුකිතුල්, රණබට, රන්දෝතළු. වැනි මීටර් 15 ක්‌ තරමේ උසට වැඩෙන ශාක ප්‍රජාවකින් සමන්විතය.

උඩවැඩියා විශේෂ රැසක්‌, බේදුරු මහාරාවණා රැවුල, ලයිකන, මාකැන්ටියා, කුඩාහැඩයා, මහහැඩයා වැනි ශාක අපිශාක ලෙස හමුවේ. දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළාව මත හරිත ඇල්ගී, නීලහරිත ඇල්ගී, පොගනේටම්, මාකැන්ටියා වැනි විල්ලූද ශාක, දිලීර (හතු) බහුල ලෙස දැකගත හැකිය. මගගිරිදඹ ප්‍රදේශයේදී හොඳින් අව් රශ්මිය ලැබෙන ස්‌ථානවල මහසුදනා, කුඩා සුදනා, නගාමැරූ අල, වැනි වටිනා දුලබ ඖෂධ ශාක වැඩේ. මහබෝටියා, පූ බෝටියා, මහනුග, කලානුග, ඉරුරාජ, සඳරාජ වැනි දුර්ලභ ඖෂධ ශාක රැසක්‌ රක්‍ෂිතය තුළින් වාර්තාවන අතර වනාන්තරයට අලංකාරයක්‌ එක්‌කරන මහරත්මල් නොහොත් අසෝකමල් ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන්ම වාර්තාකර ඇත්තේද ශ්‍රීපාද මාර්ගය අසබඩදීය. ඒ ලෝක ප්‍රකට දේශ ගවේෂකයකු වූ ග්‍රීක ජාතික ඉබන් බතුතා විසින් 1343 දීය. ශ්‍රී ලංකාවෙන් වඳව ගිය බවට විශ්වාස කළ මැන්ඩෝර ශාක විශේෂයක්‌ද යළිත් 1981 දී සමනල අඩවියෙන් යළිත් වාර්තා කොට ඇත.

සත්ත්ව විවිධත්වය

සමනළ අඩවියෙන් වාර්තාවන විශාලතම ක්‍ෂීරපායින් විශේෂය අලියාය. තෙත් කලාපයේ දිවිගෙවන අවසන් අලි ගහනයට අයත් එක්‌ කොටසක්‌ සිංහරාජ වනාන්තරය අවට දිවිගෙවන අතර ඉතිරි කොටස දැකගත හැක්‌කේ සමනල අඩවියෙනි. සාමාජිකයින් අට දෙනකුගෙන් සමන්විත රැළක්‌ මෙහි දිවිගෙවන බව විශ්වාස කෙරේ. රත්නපුර, කුරුවිට හා මාලිබොඩ මාර්ගවලට සම්බන්ධවන සුදුවැල්ල - හැරමිටිපහන - මැදඉන්න - බේරු මණ්‌ඩිය ප්‍රදේශවල මොවුන් දිවිගෙවන බවට සාධක තිබේ.

කොටියා, හඳුන්දිවියා, වල් බළලා, කොළ දිවියා, ඌරා, වැලිමුවා, මුගටියා, හම්බාවා, රිලවා, වලස්‌ වඳුරා, ගෝනා, දඬුලේනා වැනි ක්‍ෂීරපායින් විශේෂ රක්‍ෂිතයේ දිවි ගෙවති. උභයජීවීන් හා උරගයින් පිළිබඳ පැහැදිලි වාර්තා නැතත් තෙත් කඳුකර කලාපීය සුවිශේෂ වූ උභයජීවී හා උරග විවිධත්වයක්‌ සමනල අඩවියේදී නිරික්‍ෂණය කළ හැකිය. උභය ජීවී විශේෂ 21 ක්‌ හා උරග විශේෂ 38 පමණ මෙහි වාර්තාවේ. මල්කරවලා, ලේමැඩිල්ලා, දලවමැඩිල්ලා, රළුඅංකටුස්‌සා, කඟමුව අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරාකටුස්‌සා, කරමල් බෝදිලිමා, ගැරඩි සිකනලා උරගුන් අතර ප්‍රමුඛය. සමනල විශේෂ රැසක්‌ මෙහිදී වාර්තාවේ. සමනල අඩවියට නම ලැබීමට මෙම සමනල ඝනත්වයද හේතුවී තිබේ.

සමනල අඩවියෙන් වාර්තාවන සුවිශේෂීම සත්ව කොට්‌ඨාශය කුරුල්ලන්ය. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක්‌ මෙහි පෙන්නුම්කරන අතර ශ්‍රී ලංකාවට ඒකදේශීය වූ කුරුල්ලන්, නේවාසික කුරුල්ලන් හා පර්යටනික කුරුල්ලන්ද ඒ අතර වේ. පර්යේෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් අතරින් අරංගයා හැර අන් සියලුම විශේෂ සමනල අඩවියෙන් වාර්තාවේ. පීතකන් කොණ්‌ඩයා, සිතැසියා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුළභව දැකගත හැකි කුරුල්ලන් වේ.

සමනළ අඩවියෙන් පක්‍ෂින් විශේෂ 160 ක්‌ පමණ වාර්තාවේ. හමුවන මත්ස්‍ය විශේෂ 17 කි. ඒ අතරින් ඒකදේශිකයින් වන ලේ තිත්තයා, බුලත්හපයා, හල්මල් දණ්‌ඩියා, මල්පුළුට්‌ටා, දෙපුල්ලියා යන තර්ජනයට ලක්‌වූ විශේෂ හමුවේ.

(විශේෂ ස්‌තුතිය වනජීවි සංරකAෂණ දෙපාර්තමේන්තුවට, ශ්‍රීපාද පද්මය භාරකාර හිමියන්ට, පද්මය අවාර භාරකරු ආරියරත්න, අසිත ඉන්දික වීරවර්ධන හා නිමල් කණහැරආරච්චි මහත්වරුන්ට.)


ජගත් කණහැරආරච්චි
ඡායාරූප -වාසල සේනාරත්න

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.