යළිත් සහල් හිඟයක්‌ මවා පා
සහල් මිල නැංවීමේ වෙළෙඳ මාෆියාවක්‌

ජනිත සෙනෙවිරත්න

මහා පරිමාණ මෝල් හිමියන් කීපදෙනකු යළිත් වරක්‌ සහල් හිඟයක්‌ මවාපාමින් සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව වෙළෙඳපළ ආරංචි මාර්ග පවසයි. මේ වන විට ද වෙළෙඳපොළේ අවශ්‍ය තරම් සහල් තොග නැතිකමින් සහල් හිඟයක්‌ සුළු වශයෙන් පවතී.

පවතින තත්ත්වය මත සහල් තොග රජය මගින් පමණක්‌ ගෙන්වීමට රජය තීරණය කර ඇතත් ඒ අනුව සහල් මිලෙහි අඩුවීමක්‌ සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි. එයට හේතුව රජය මගින් ගෙන්වනු ලබන සහල්වල මිල ගණන් ද වෙළෙඳපොළ මිලට සමාන වීම නිසා බව ද කියති.

මහාපරිමාණ මෝල් හිමියන් මේ වන විට සහල් තොග සඟවාගෙන තිබෙන බව ද සහල් මිල වැඩි කරනතු=රු ඔවුන්ගේ සහල් තොග වෙළෙඳපොළට ඉදිරිපත් නොකරන බව ද වාර්තා වී ඇත.

දැනට සහල් කිලෝවක්‌ ආනයනයේදී රජය රුපියල් විස්‌සක බද්දක්‌ අයකරන අතර එම බද්ද ගෙවන්නට මේ වන විට ලෝක වෙළෙඳපොළ මිල අනුව කිලෝව රුපියල් 30 ත් 35 ත් අතර මිලකට පිටරටින් සහල් ගෙන්වා අලෙවි කළ හැක. කෙසේ වෙතත් මහාපරිමාණ සහල් මෝල් හිමියන් සහල් බදු ඉවත් කරන්නට ඉඩ නොදෙන අතර ඒ සඳහා ඇතැම් ප්‍රබල දේශපාලනඥයෝ ද සම්බන්ධව සිටිති.

මෙම ගැටලු සඳහා වහාම විසඳුම් ලබා නොදුනහොත් සහල් මිල යළිත් වරක්‌ විශාල වශයෙන් ඉහළ යන්නට ඉඩ තිබේ.

රජය මගින් දැනට සහල් සඳහා පාලන මිලක්‌ පනවා ඇතත් විවිධ නම්වලින් හඳුන්වමින් ඉතාම ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීම මේ දිනවල වෙළෙඳපොළේ යහමින් සිදුවේ.

මේ කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා වෙළෙඳ හා පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට දුරකථනයෙන් කතා කළ විට ඔහුගේ පුද්ගලික ලේකම්වරයා පැවැසුවේ සහල් හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය අඩු මිලට මෙරටට ගෙන්වීමේ කටයුතු සඳහා ඔහු මියන්මාරය බලා ගොස්‌ ඇති බවයි.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.