අයවැය වෙනුවට ඉදිරිපත් කරන
අතුරු සම්මත ගිණුම අද
එජාපය සහ ජවිපෙ 5 දා විරුද්ධව ඡන්දය දෙති

අජිත් අලහකෝන්

2010 වසරේ පළමු මාස හතර සඳහා රජයේ වියදම් ඇස්‌තමේන්තුව දැක්‌වෙන අතුරු සම්මත ගිණුම අද (03 දා) පෙරවරුවේ අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කෙරේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය වෙනුවට මෙවර අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කරනු ලබන්නේ ඉදිරි කාලයේදීත් පාර්ලිමේන්තු මහ මැතිවරණයක්‌ පැවැත්වෙන නිසා බව රජය ප්‍රකාශ කරයි. නව ඇමැති මණ්‌ඩලයක්‌ සහිත නව පාර්ලිමේන්තුවක්‌ පත් වූ පසු 2010 වසර සඳහා නව අයවැයක්‌ ඉදිරිපත් කරන අතර එතෙක්‌ රජයේ වියදම් සඳහා මෙම අතුරු සම්මත ගිණුම අද ඉදිරිපත් කෙරේ.

2010 වසරේ පළමු මාස හතර සඳහා රජයේ සමස්‌ත වියදම රුපියල් කෝටි 36060 ක්‌ (බිලියන 362 ක්‌) ලෙස ඇස්‌තමේන්තු කර තිබේ.

ඒ යටතේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 195.5 ක්‌ ලෙස හා ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 158.9 ක්‌ ලෙස ද ඇස්‌තමේන්තු කර තිබෙන අතර රජයේ අත්තිකාරම් ගිණුම සඳහා රුපියල් බිලියන 6.2 ක්‌ ද ලෙස සමස්‌ත වශයෙන් වියදම ඇස්‌තමේන්තු ගතකර ඇත.

අද පෙරවරුවේ ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම 05 වැනිදා දක්‌වා විවාදයට ගැනෙන අතර 05 වැනිදා පස්‌වරුවේ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිතය.

මේ අතර අයවැයක්‌ වෙනුවට අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කිරීම වෙනුවෙන් රජයට විරෝධය දක්‌වමින් 05 වැනිදා අතුරු සම්මත ගිණුමට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇත.

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.