අතිරික්‌ත ගුරුවරුන් මාරු නොකළොත්
ලබන වසරේ අලූත් ගුරුවරු ගන්න අවසර නෑ

නිලන්ත මදුරාවල

පාසල්වල අතිරික්‌ත ගුරුවරුන් ගුරු ඌණතා ඇති පාසල්වලට මාරු නොකළහොත් ලබන වසරේදී අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමට අනුමැතිය ලබා නොදෙන බව මහා භාණ්‌ඩාගාරය අධ්‍යාපන අමාත්‍යාංශයට ලිතව දැනුම් දී ඇත. උතුරුමැද පළාතේ පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මහා භාණ්‌ඩාගාරය අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීමට ද හේතු වී ඇත්තේ මෙම තත්ත්වයය.

පළාත් සභා පාසලකින් ජාතික පාසලකට මාරුවීමට 1989 වසරේ සිටම පැවැති තහනම කැබිනට්‌ මණ්‌ඩල තීරණයකින් මේ වන විට ඉවත් කර ඇති අතර මේ නිසා පාසල්වල ගුරු තුලනය කිරීම පහසු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ජාතික පාසල් හා පළාත් සභා පාසල් අතර මෙම වසර අවසානයට පෙර ගුරු තුලනය කිරීමට පියවර ගන්නා ලෙස ජාතික පාසල් විදුහල්පතිවරුන්ට හා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන්ට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස්‌ දී ඇත. ජාතික පාසල්වල අතිරික්‌ත ගුරුවරුන් ඉක්‌මණින් හඳුනාගෙන ඌනතා ඇති පළාත් පාසල්වලට මාරු කරන ලෙස ද අතිරික්‌ත ගුරුවරුන් පළාත් පාසල්වල සිටී නම් ඔවුන් ඌනතා ඇති වෙනත් පාසල්වලට මාරු කරන ලෙස ද තවදුරටත් දන්වා තිබේ.

සමස්‌තයක්‌ ලෙස ගතහොත් ගුරුවරුන් පහළොස්‌දහසක්‌ පමණ අතිරික්‌ත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. විෂයයක්‌ වශයෙන් ඇතැම් විෂයයන්ට ගුරුවරුන් අතිරික්‌තය. ඇතැම් විෂයයන්ට ගුරුවරුවන් හිඟය. ඒ ඒ විෂයයන් අනුව ගුරු අවශ්‍යතා හඳුනාගෙන අතිරික්‌ත ගුරුවරුන් ගුරු ඌනතා ඇති විෂයයන් සඳහා පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ අවශ්‍ය යෑයි අමාත්‍යාංශයේම නිලධාරීහු පවසති.

කෙසේ වුවද ලබන වසරේදීත් අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණුව ලැබූ හා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට සිදුවන අතර ඊට පෙර ගුරු තුලනය කිරීම අත්‍යවශ්‍ය වන බව ඔවුහු පවසති.
 

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.