|
|
|
|

එක්‌සත් ජාතික පෙරමුණ
ගිවිසුමට අත්සන් තැබීම අද
පියසේන දිසානායක
රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන ඒකාබද්ධව
ගොඩනැගූ එක්‌සත් ජාතික පෙරමුණ නව සන්ධාන ගිවිසුමට අත්සන්
තැබීම අද (03 දා) පෙරවරු 11.30 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී
ජයවර්ධනපුර කෝට්‌ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු
කෙරේ.
එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන
පාර්ශ්වය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්‌සත්
සමාජවාදී පක්‍ෂය, නව සිහළ උරුමය ඇතුළු දේශපාලන පක්‍ෂ 16
ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි පෙරමුණ ප්‍රමුඛ බහුජන සංවිධාන 40
ක් ඒකාබද්ධව මෙම එක්‌සත් ජාතික පෙරමුණ ගොඩනඟා ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන අරමුණ කරගත්
බව නව සන්ධානය දසරාජ ධර්ම ප්‍රතිපත්ති මත පදනම් වන අතර එහි
නායකයා ලෙස එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.
නව දේශපාලන සන්ධානය සමඟ එක්‌වීම පිළිබඳව ආණ්‌ඩු පක්‍ෂයේ
මෙන්ම විපක්‍ෂයේ තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් මේ දිනවල
සාකච්ඡා කරමින් තිබෙන අතර සන්ධානය ගොඩනඟා මාස දෙකක් ඇතුළත
එම දේශපාලන පක්‍ෂ සිය සන්ධානය සමඟ එක්‌වන බව එක්‌සත් ජාතික
පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවැසීය.
එක්‌සත් ජාතික පෙරමුණ නව දේශපාලන සන්ධානය ගොඩනඟා අද ඊට
අත්සන් තැබීමෙන් අනතුරුව ඉදිරි සතියේ සිට ආණ්‌ඩුවේ දූෂණ
අක්‍රමිකතා පිළිබඳ මෙන්ම රටේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් රට පුරා දියත්
කිරීමට තීරණය කොට තිබේ.
එක්‌සත් ජාතික පෙරමුණ සමඟ එකතුව සිටින දේශපාලන පක්‍ෂ සහ
බහුජන සංවිධාන ඒකාබද්ධව ඉදිරියේදී පැමිණෙන ඕනෑම ජාතික
මැතිවරණයකට මුහුණදීමට ද තීරණය කර ඇත.
|
|
|
|