o

 
 
 
 
 

 

නීති වීරෝධී ලෙස මසුන් මැරූ ධීවරයෝ 28 දෙනෙක්‌ දැලේ

ඒ. ඡේ. ඒ. අබේනායක

නීති විරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් මසුන් මැරීම සිදුකළ ධීවරයන් 28 දෙනකු ධීවර බෝට්‌ටු තුනක්‌ ඇතුළු ධීවර ආම්පන්න තොගයක්‌ සමඟ බේරුවල පොලිසිය මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශවාසී ධීවරයන් පිරිසක්‌ විසින් කරනු ලැබූ පැමිණිල්ලක්‌ අනුව නාවික හමුදාව හා ඒකාබද්ධව පෙරේදා රාත්‍රියේ සිට ඊයේ අලුයම දක්‌වා බේරුවල මුහුදු සීමාවේ ගැඹුරු මුහුදේ සිදුකළ වැටලීමකදී සැකකාර ධීවරයන් හා ධීවර ආම්පන්න අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

ඉතා සුළු ධීවරයන් පිරිසක්‌ දේශපාලඥයන් කිහිපදෙනකුගේ ආරක්‍ෂාව ලබමින් සිදු කරන එම නීති විරෝධී මත්ස්‍ය මැරීම නිසා මත්ස්‍ය සම්පත මුළුමනින්ම විනාශයට ලක්‌වෙන බව පෙන්වා දෙමින් පසුගියදා ප්‍රදේශවාසී ධීවර ජනතාව උද්ඝෝෂණයකද නිරත වූහ. එම නීති විරෝධී ක්‍රියාව මැඩපැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එහිදී පොලිසියටද දැඩි චෝදනා එල්ල වී තිබිණි.

ලැබුණ පැමිණිල්ලක්‌ අනුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ අනුව ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස හා බෝට්‌ටු ඇතුළු ධීවර ආම්පන්න මුදාහරින ලෙස දැඩි බලපෑම් එල්ලවී තිබූමුත් සෘජුව සිය රාජකාරිය ඉටුකළ පොලිසිය සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණි.
 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.