මහවැලිය වසර හයකින් නිමකර
මෙරට කෘෂිකර්මාන්තය දියුණු කරලීමට බිහි වූ
එකම නායකයා හිටපු ජනපති ඡේ. ආර්. ජයවර්ධන
විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙහිඅත්තකණ්‌ඩියේදී කියයි

ලබාගත් යුද ජයග්‍රහණයේ ගෞරවය රනිල් වික්‍රමසිංහටත් හිමිවිය යුතුයි
පෝද්දිවෙල චන්දානන්ද හිමි

දෙහිඅත්තකණ්‌ඩිය රණතුංග - දඩයම්තලාව පී. ජයසිංහ

2010 වසරේ නිම කිරීමට නියමිතව තිබූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වසර 06 කින් නිම කරලා මහවැලි ජලාශ 09 ක්‌ හදලා මහසෙන් මහා පරාක්‍රමබාහු ධාතුසේන රජවරු වාගේ වැව් හදල, මාදුරුඔය හදලා ඉවර වුණාට පසු ඡේ. ආර්. ජයවර්ධන නමැති ජ්‍යෙෂ්ඨ නායකතුමා කීවේ මේ රටේ පාලකයා හා රජතුමා තමා නොවන බව යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විපක්‌ෂ නායකවරයා එසේ පැවසුවේ අම්පාර එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන සංවිධායක දයා ගමගේ මහතාගේ රුපියල් ලක්‍ෂ 15 ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කළ වායු සමීකරණ නව භික්‌ෂු සුව පියස විවෘත කිරීම හා හිටපු ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ 13 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඉකුත් 01 වැනිදා දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලේදී පැවති උත්සවයකදීය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. මහසෙන්, ධාතුසේන, මහා පරාක්‍රමබාහු රජතුමාලාට පසුව මේ රටේ වැව් හදපු ජන නායකයා ලෙස ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉතිහාසයට එකතු වෙනවා. එතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක්‌ හා පාලකයෙක්‌ මෙතෙක්‌ බිහිවෙලා නැහැ.

කඳුරට සංවර්ධනය කරලා මාදුරුඔය හදලා ඉවර වුණාට පසුව ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කීවේ මම රජෙක්‌ නොවේ. මට රකින්න පෙළපතක්‌ නැහැ. මට මුදල් හම්බ කරන්න අවශ්‍ය නැහැ. මට බූදලයක්‌ නැහැ. මේ රටේ මගේ බූදලය තමයි ගොවි ජනතාව. වැව් හදලා, කුඹුරු ඉඩම් දීලා ඔවුන් සංවර්ධනය වී සිටින විට මේ රට ඉබේම සංවර්ධනය වන බවයි. එතුමා සංවර්ධනය කරන මුවාවෙන් මහජන මුදල් සාක්‌කුවේ පුරවා ගත්තේ නැහැ.

1977 ආණ්‌ඩුව පිහිටුවලා කැබිනට්‌ නොවන ඇමැති කෙනකු හැටියට පත් වුණාට පසුව ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ පියා වන සී.පී.ඡේ. සෙනෙවිරත්න ඇමැතිතුමා සමග මහියංගනයට ඇවිත් මහියංගනයේ සිට පාසිකුඩාවලට යන්න දවසක්‌ ගත වුනා. වාරිමාර්ග අමාත්‍යාංශය දෙකට කඩලා වෙනම මහවැලි අමාත්‍යංශය හදලා මෙම ප්‍රදේශය සංවර්ධනය කළේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවයි. ඒ බව කැලේ මැදින් දෙහිඅත්තකණ්‌ඩියට එනවිට ඡේ.වී.පීය පෝස්‌ටර්යක්‌ ගසා තිබෙනවා. මෙම ප්‍රදේශයේ සංවර්ධනයේ අයිතිකරු එක්‌සත් ජාතික පක්‍ෂයයි. නව භික්‌ෂු වාට්‌ටුව ඔක්‌තෝබර් 04 වැනි දින සිට සති තුනකින් හදලා දෙහිඅත්තකණ්‌ඩිය රෝහලේ වෛද්‍ය නිලධාරි වීරපාන මහතා ඇතුළු නිලධාරීන් ලොකු සේවයක්‌ කරනවා. ඒ වාගේම තමයි 2010 ඉවර කරන්න තිබුණු මහවැලිය වසර 06 කින් නිම කරලා ගොවි ජනතාවගේ කෘෂිකර්මය දියුණු කරන්න බිහිවුණු එකම ශේ්‍රෂ්ඨ නායකයා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමායි.

අම්පාර එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායක හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහතා - 1970 - සිට 1977 දක්‌වා මේ රට පාලනය කරපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාලන කාලය තුළ ගොවිජන ප්‍රදේශවල ගොවි ජනතාවට තමන්ගේ සහෝදරයා, අම්මා, තාත්තා බලන්න හාල් කිලෝ 2 ක්‌ අරගෙන යන්න බැරිවුණා. හාල් පොලු වැටෙන කොට ජනතාවගේ වාසනාවට 1977 ඡේ. ආර්. ජයවර්ධන නායකතුමාගේ පාලනය කාලය තුළදී මහවැලි ව්‍යාපාරය පැමිණ ගොවි ජනතාවට ඉඩම් දීලා මේ රටේ නව සංවර්ධන වැඩසටහනක්‌ දියත් කළා.

ඊට පෙර 1950 අම්පාර ගල්ඔය මිටියාවත ඩී.ඇස්‌.සේනානායක නායකතුමා සංවර්ධනය කර කුඹූරු ඉඩම් ලබාදීලා කෘෂිකර්මය ඉහළම තැනකට ගෙනාවා. ගොවිතැන විදුලිය වාගේම කර්මාන්ත සංවර්ධනය අතින් මේ සංවර්ධනය කරපු පක්‍ෂය ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය අමතක කරන්න කාටවත්ම බැහැ.

දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි ඩබ්. පී. කේ. වීරපාන මහතා - දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයේ මහා සංඝරත්නයට අසනීප වූ විට ඉන්න භික්‌ෂු වාට්‌ටුවක්‌ මෙම රෝහලේa තිබුණේ නැහැ. රෝහල දියුණු කරන්න මගේ පෞද්ගලික මුදල් පවා වැය කරනවා. දේශපාලන බේදයකින් තොරව වායු සමීකරණ භික්‌ෂු සුව පියසක්‌ හදාදීම පිළිබඳ දයාගමගේ මහතාට ස්‌තූති කරන අතර අපේ අරමුණ විය යුත්තේ කවුද හරි කියන එක නොව කුමක්‌ද හරි කියන පණිවුඩය ජනතාවට ලබාදීමයි.

උහන ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ සභාපති පෝද්දිවෙල චන්දනන්ද හිමි.

මේ රට ලබාගෙන තිබෙන යුද ජයග්‍රහණයේ ගෞරවය රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් හිමිවිය යුතුයි. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා යුදAධය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සතුටු වෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ නම කියන්නේ නැහැ. ඒක සදාචාරාත්මක නැහැ.

කුඩාවිල සෝමාලෝක හිමියෝ පංචශීලය පැවැත්වූ අතර උත්තලපුර විහාරාධිපති රජගම උපනන්ද හිමි එක්‌සත් ජාතික පක්‍ෂ මහා ලේකම් තිස්‌ස අත්තනායක, නියෝජ්‍ය මහා ලේකම් ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම්, අම්පාර හිටපු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රදාස ගලප්පත්ති, චන්දන වනිගසූරිය, චන්ද්‍ර ලාල් ආදිහෙට්‌ටි, නන්දන බණ්‌ඩාර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක්‌ කාරියවසම්, සුමණදාස වික්‍රම ආරච්චි, රෝෂන් ඩයස්‌, ඩී.ඇම්. අජන්ත යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.