වාර පරීක්‍ෂණ පැවැත්වීමේ නව ක්‍රමවේදය නිසා සමස්‌ත පාසල්
පද්ධතියේම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අවුල් ජාලයක්‌ වෙලා
ලංකා ගුරු සේවා සංගමය කියයි

පාසල් වාර පරීක්‍ෂණ පැවැත්වීමේ නව ක්‍රමවේදය යටතේ සමස්‌ත පාසල් පද්ධතියේම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට මුළුමනින්ම බාධා එල්ල වී ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලිපියක්‌ යවමින් මේ බව පවසන එම සංගමය එහි මෙසේද සඳහන් කර ඇත.

2009 වර්ෂයේ 03 වැනි වාරයේ සහ ඉන් ඉදිරියට පාසල් වාර විභාග පැවැත්වීමට අදාළව ඔබතුමාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන ලේකම්ගේ 2009/30 හි 2009. 09. 29 යන චක්‍රලේඛයට ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

එම චක්‍රලේඛයට අනුව මේ වනවිට පාසල් 3-10 ත් අතර ප්‍රමාණයක්‌ එක්‌කර ප්‍රශ්න පත්‍ර සැකසීමට මුද්‍රණයට හා බෙදාහැරීමට, පාසල් කාණ්‌ඩ (පාසල් පවුල්) පිහිටුවා ඇත. ඒ සඳහා සම්බන්ධවන ගුරුවරුන් විශාල ප්‍රමාණයක්‌ මේ වනවිට එම කමිටු රැස්‌වීම්වලට සහභාගි වීමට යැම හේතුවෙන් සමස්‌ත පාසල් පද්ධතියේම අවසන් වාරයට නියමිත විෂය නිර්දේශයට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට මුළුමනින්ම බාධා එල්ලවී ඇති බව ගුරුවරුන් විසින් අප සංගමයට දන්වා ඇති අතර මේ නිසා පාසල් පරිපාලනයට ද බරපතල ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බව විදුහල්පතිවරුන්ගෙන් වාර්තා වේ.

මෙය සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද සිදුකරන බලවත් අසාධාරණයකි. එමෙන්ම විදුහල්පතිවරුන්ට තම පාසල් පරිපාලනයට ගැටලු ඇතිකරන්නකි. ඒ අනුව මෙරට පාසල් පද්ධතිය තුළ පැනනැගී ඇති මෙම අර්බුදකාරී තත්ත්වයට ඔබතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය සෘජුව වගකිව යුතු බව අවධාරණය කරන අප සංගමය, මේ සම්බන්ධව විරෝධය පළ කර සිටිමු.

දෙවැනි පාසල් වාර විභාගය පැවැත්වීමේදී බරපතල ගැටලු ගණනාවක්‌ ඇතිවූ බව රටම දන්නා කරුණකි. එහිදී පාසල් පරිපාලනයට හා පන්ති කාමර ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට බලපෑම් නොවන පරිදි කටයුතු කිරීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයත් ඒ සඳහා යොදාගත හැකි මානව හා භෞතික සම්පත් කළමනාකරණයත් පිළිබඳව අප සංගමය ඔබතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමට කටයුතු කළෙමු.

නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක්‌ හෝ සාකච්ඡාවක්‌ නොකළ ඔබතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය මෙවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට කටයුතු කිරීමෙන් පැවැති ගැටලුව වෙනත් ස්‌වරූපයකින් පාසල් පද්ධතිය තුළ පැනනැගී ඇති බව අපගේ විශ්වාසයයි.

මෙහිදී තවත් විශේෂ කරුණක්‌ වන්නේ කලාප තුළ සේවයේ නියුතු සුදුසුකම් ඇති, විධිමත් පත්වීම් ලත් දක්‍ෂ විෂය අධ්‍යක්‍ෂවරුන් සහ ගුරු උපදේශකවරුන් අතළොස්‌ස ද මෙම ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් බැහැර කර තිබීමයි.

දෙවැනි පාසල් වාර විභාගය පැවැත්වීමේදී ඇතැම් කලාප හා පළාත් අධ්‍යක්‍ෂවරුනුත් විෂය අධ්‍යක්‍ෂවරුනුත් සහ උපදේශකවරුනුත් සිදුකළ බරපතල නොසලකාහැරීම් නිසා පැනනැගි අර්බුදය මේ වනවිට හෙළිදරව් වී අවසන්ය. නමුත් රේ‚ය අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ඒ සඳහා විධිමත් විනයානුකූල පියවරක්‌ ගත්තේ ද යන්න අදටත් අපැහැදිලි කරුණකි. නමුත් එවැනි ගැටලුවකදී සියලු දෙනා ඊට වැරදිකරුවන් සේ සලකා ඔවුන්ව අදාළ වගකීම්වලින් සම්පූර්ණයෙන් බැහැර කර එම කාර්යභාරය වෙනත් පාර්ශ්වයකට එනම් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පැවැරීමට යැම තුළින් අද සමස්‌ත පාසල් පද්ධතිය තුළම වෙනත් අර්බුද ගණනාවක්‌ ඇති කිරීමට මඟපාදා ඇත.

එහෙයින් මෙම අත්තනෝමතික, අන්තවාදී ක්‍රියාමාර්ග වහා වෙනස්‌ කිරීමට බල කරන අප සංගමය මෙවර පැවැත්වීමට නියමිත තෙවැනි පාසල් වාර විභාගය සඳහා රේ‚ය අමාත්‍යාංශයේ සිට සියලුම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ සේවය නියුතු සුදුසුකම් ඇති විධිමත් පත්වීම් ලත් විෂය අධ්‍යක්‍ෂවරුන්ගේ සහ ගුරු උපදේශකවරුන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, ඒ හරහා පාසල් පන්ති කාමර වල ඉගෙනුම් උගැන්වීම් ක්‍රියාවලියට හා පාසල් පරිපාලනයට මේ වනවිට මතුව ඇති බාධා අවම කිරීමට පියවර ගන්නා ලෙසත් ඉතා ඕනැකමින් ඉල්ලා සිටිමු.
 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.