කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විශ්‍රාම යැමේ කාලය අඩු කිරීම ගැන පිරිමි පොලිස් නිලධාරීන්ගේ විරෝධය සරත් ධර්මසේන සේවා කාලය වසර 20 ක් සම්පූර්ණ කළ කාන්තා පොලිස් නිලධාරීන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යැමට අනුමැතිය දෙමින් පොලිස් දෙපාර්තමේන්තුව මෑතදී නිකුත් කළ චක්‍ර ලේඛයකට පිරිමි පොලිස් නිලධාරීන් දැඩි විරෝධය පළ කර සිටිති. පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් සිදු කිරීමේදී පිරිමි සහ කාන්තාවන් වශයෙන් වෙනසක් නැතිව එකම කාර්යපටිපාටියක් අනුගමනය කරන නමුත් සේවයෙන් විශ්‍රාම යැමේදී කාන්තාවන්ට පමණක් විශේෂත්වයක් දැක්‌වීම පිරිමින්ට කළ අසාධාරණයක් මෙන්ම වෙනස් කොට සැලකීමක් බවත් ඔවුහු කියා සිටිති. වසර 30 ක් පුරා රටට උවදුරක්‌ව පැවැති ත්‍රස්‌තවාදය මැඩලීම සඳහා ක්‍රියාන්විත රාජකාරි කටයුතු වල නිරත වූ පිරිමි පොලිස් නිලධාරීන් පිරිසක් සේවයෙන් සමුගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින නිසා ඒ අයට අඩුම වශයෙන් වසර 22 ක සේවා කාලයෙන් පසුවවත් විශ්‍රාම යැමට අවස්‌ථාව ලබා දෙන්නැයි ඔවුහු ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.