ජෙනරාල් පොන්සේකාගෙන් ප්‍රකාශ ගැනීමට ඇමරිකාවට කිසිදු අයිතියක්‌ නෑ
ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් සටන පරාජය කිරීමට
මෙරට සියලූ ජාතික බලවේග වහා එක්‌විය යුතුයි

ජානිපෙ නායක විමල් වීරවංශ

අකිත පෙරේරා

ඇමරිකානු බලධාරීන් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ ගනිමින් මෙරට ත්‍රස්‌තවාදය විනාශ කිරීමට දායක වූ ආරක්‌ෂක නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ ගන්නා බවත් එමගින් පෙනී යන්නේ මෙරටට එරෙහි සටන ඔවුන් තවමත් නවත්වා නැති බව යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‌ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (2 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රචාරක ලේකම් කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සහ එම පක්‌ෂයේ පරිපාලන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතාද සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස්‌ පළ කළ විමල් වීරවංශ මහතා මෙසේද පැවැසීය.

ඇමරිකා එක්‌සත් ජනපදයේ අභ්‍යන්තර කටයුතු හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් කරුණු අප විසින් සොයා බැලුවා.

මේ මස 4 වැනිදා එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීම සඳහා දින නියම වී තිබෙනවා. සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය නම් මීට සහභාගි වීමටත් එසේ නැතිනම් සහභාගි නොවීමටත් අයිතිය තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතාට එම රටේ ග්‍රීන් කාඩ් පුරවැසිභාවය ඇති නිසා එම රටේ ආගමන විගමන නීති අනුව කරුණු විමසිය හැකියි. එහෙත් ඉන් එහාට ගිය යුදමය කරුණු හෝ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහි ඊනියා මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳව විමසන්න ඔවුන්ට කිසිදු නෛතික බලයක්‌ නැහැ.

ඔවුන් උත්සාහ කරන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ ගනිමින් ආරක්‌ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ඊනියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා එල්ල කොට ඒ මහතාට එරෙහිව මතයක්‌ ගොඩනැගීමටයි.

ඇමරිකානු බලධාරීන් මෙම සම්මුඛ සාකච්ඡාව මගින් සරත් ෆොන්සේකා මහතාගේ යුදමය භූමිකාවට සහ මෙරට ත්‍රස්‌තවාදය පරාජය කිරීම වෙනුවට ආරක්‌ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ භූමිකාවට එරෙහිව කරුණු ලබා ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ.

ඔවුන්ගේ මෙම කූට උපක්‍රමයට සරත් ෆොන්සේකා මහතා රැවටෙන්නේ නැති බව අපි හොඳින්ම දන්නවා. එහෙත් ඔවුන් උත්සාහ ගන්නේ මිනීමරු කොටි ත්‍රස්‌තවාදය පරාජය කර මුළු ලොවටම ආදර්ශයක්‌ සැපයූ ගෝඨාභය රාජපක්‌ෂ මහතාව කොටුකර ගැනීමේ සැලසුමක්‌ ආරම්භ කිරීමටයි.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයක්‌ ගැනීම සඳහායි ඔවුන් මේ පෙළඹෙන්නේ. පසුගියදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සැසියකට සහභාගි වීමට ගිය පිරිසගෙනුත් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පිsළිබඳව පැයක පමණ කාලයක්‌ ප්‍රශ්න කර තිබෙනවා. එම නිලධාරීන්ට බලය තිබෙන්නේ ආගමන සහ විගමන නීති පිළිබඳ විමසීමට පමණයි.

ඇමරිකාවට අවශ්‍ය වී තිබෙන්නේ ත්‍රස්‌තවාදය මර්දනය කළ ශ්‍රී ලංකා ආරක්‌ෂක නිලධාරීන් කොටුකර මර්දනය කිරීමටයි.

අපේ රටේ ඇතැම් අය ප්‍රජාතන්ත්‍රවාදී සටන් විදිහට දකින්නේ විධායකය අහෝසි කිරීම, උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න වගේ දේවලටයි. එහෙත් ඉන් එහාට ගිය සටන් අපට තිබෙනවා.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කොට ඉන් පසුව අනෙක්‌ ආරක්‌ෂක නිලධාරීන් වාගේම සරත් ෆොන්සේකා මහතාටත් එරෙහිව අනියමින් ක්‍රියාකිරීමට ඔවුන් කුමන්ත්‍රණය කරාවි.

ඇමරිකානු බලධාරීන්ගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව කරන ලද තර්ජනයක්‌ වගේම සරත් ෆොන්සේකා මහතා බියවැද්දීමක්‌ ලෙසයි අප සලකන්නේ.

මෙම විජාතික බලවේගවල උත්සාහය එදා 2005 දීත් මතුවුණා. එදා මේ රටේ සියලුම ජාතික බලවේග එකතුවී කර තබා එය පරාජය කරනු ලැබුවා.

මේ මෙහොතේත් ජාතික හා විජාතික බලවේගවල ගැටුමක්‌ පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා වෙන වෙන අතුරු සටන් පාඨ එළියට අදින්නේ නැතුව මේ විජාතීය බලවේගයන්ට එරෙහිව පෙරට පැමිණිය යුතුයි.

මේ මොහොතේදී ජාතික බලවේග අතර බෙදීමක්‌ ඇති වුණහොත් මෙරට පැවැති ත්‍රස්‌තවාදය අවසන් කිරීමට ක්‍රියා කළ ආරක්‌ෂක ලේකම්වරයා ඇතුළු ආරක්‌ෂක බලධාරීන්ව කොටු කර ගැනීමට ඔවුන්ට පහසුවේවි.

එදා 2005 දී එකතු වූ දේශමාමක බලවේග 2010 දීත් එක්‌විය යුතුයි. ඒ එකමුතුකම ජාතිය විසින් ඉල්ලා සිටිනවා. එය ඓතිහාසික බලපෑමක්‌. මේ මහ පොළොවේ ජීවමාන කළ යුතු බලපෑමක්‌ විදිහටයි අපි දකින්නේ.

ඒ මහා එකතුවීම මේ රටේ මීළඟ මහා පරිවර්තන යුගය බවට පත් කළ යුතුයි. උපාධිධාරීන්ගේ රැකියා ගැටලු විසඳීමට, අධ්‍යාපන ප්‍රශ්න විසඳීමට,

රැකියා ක්‍ෂේත්‍රයේ ගැටලු විසඳීමට වගේම වියළි කලාපයේ ගොවියන්ගේ ගැටලු විසඳන යුගයට මේ රට අපි ගෙන යා යුතුයි.

විදේශීය බලවේග උත්සාහ කරනවා ඒ මහා සමාජ, සංස්‌කෘතික, ආර්ථික පරිවර්තනයට පනින පිම්ම නවත්වන්න. ඒ අධිරාජ්‍ය බලවේගවලට අවශ්‍ය පිම්ම පන්නවා ගන්න ඔවුන් උත්සාහ කරනවා.

ඒ නිසා අපි තනි සටන් පාඨයක්‌ වෙනුවට ඒ සටන් පාඨයද ඇතුළුව ජාතිය විසින් පැනිය යුතු ජාතික පිම්ම පැනීමට සියලු ජාතිමාමක බලවේග පෙළ ගැසිය යුතුයි.

සියලු වාද බේද පසෙක තබා අපි එක්‌විය යුතුයි. එදා කොටියගේ සහායට කොටියා පිටුපසින් සිටි බලවේග දැන් ඉදිරියට ඇවිත් මුහුණට මුහුණ සටනක්‌ ඉල්ලනවා. ඊට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය හැකියාව මේ රටේ ජාති මාමක බලවේග සතුවනවා.

අපි කියා සිටිනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම සම්මුඛ සාකච්ඡාවට සහභාගි නොවිය යුතුයි කියා. ෆොන්සේකා මහතාගෙන් අනවශ්‍ය සම්මුඛ සාකච්ඡා ලබා ගැනීමට ඔවුන්ට අයත් සීමාවේ බලයක්‌ නැහැ. ඔවුන්ට අයිතියකුත් නැහැ.

සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිස ඇමරිකාවට ගියේ රජයේ වියදමින් රාජ්‍ය නිලධාරියකු විදිහටයි. මෙය ඔහුගේ පෞද්ගලික ගමනක්‌ නොවෙයි. එවැනි රාජ්‍ය සංචාරයකට එක්‌ වූ නිලධාරියකුගෙන්ම මෙරට රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සාක්‌ෂි ලබා ගැනීමට කිසිසේත්ම අයිතියක්‌ ඔවුන්ට නැහැ.

ඒ වගේම තවත් කරුණක්‌ මතු කරන්න අපි කැමැතියි. ඒ තමයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‌ෂය තවම ප්‍රකාශයක්‌ සිදු කර නැහැ.

සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා තිබෙන්නේ ගෝඨාභය රාජපක්‌ෂ මහතා ගැන නිසායි ඔවුන් කිසිදු ප්‍රකාශයක්‌ සිදු කර නැත්තේ. එහෙම ප්‍රකාශයක්‌ කරලා පෙන්නන්න කියා අපි යූ.එන්.පී. යට අභියෝග කරනවා.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.