ජාවාලේන් සහ කලූතර පාර්ක්‌
පාපන්දු අවසන් තරගය 7දා

සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන සියෑට්‌ ප්‍රිමියර් ලීග් පාපන්දු පළමු කොටසේ අවසන් තරගය සඳහා කලුතර පාර්ක්‌ කණ්‌ඩායම සහ කොළඹ ජාවාලේන් කණ්‌ඩායම දැන් සුදුසුකම් ලබා සිටියි.

ජයග්‍රාහී කණ්‌ඩායමට මුදලින් රුපියල් ලක්‍ෂ 3 ක්‌ පිරිනැමෙන මෙම තරගාවලිය සඳහා දිවයිනේ සුප්‍රකට පාපන්දු කණ්‌ඩායම් 12 ක්‌ තරග වැදුණු අතර අදාළ අවසන් තරගයට වරම් ලබා ඇති කලුතර පාර්ක්‌-ජාවාලේන් තරගය ලබන 7 වැනිදා ප.ව. 3.30 ට කොළඹ කොප්පඤ්ඤවීදිය සිටි පාපන්දු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය යටතේ පෙරේදා (01දා) කුරුණෑගල මාලිගා පිටියේ පැවැති දෙවැනි අවසාන පූර්ව තරගයේදී කුරුණෑගල පෙලිකන්ස්‌ කණ්‌ඩායම ගෝල 1-0 කින් පරදා ජාවාලේන් කණ්‌ඩායම අවසන් තරගය නියෝජනය කරීමට සුදුසුකම් ලබා ගත්තේය.

අති විශාල ජනකායක්‌ මධ්‍යයේ පැවැති මෙම අවසන් පූර්ව තරගය එතරම් තියුණු මුහුණුවරක්‌ නොඉසලූ අතර තරගයේ පළමු භාගයේ 40 වැනි මිනිත්තුවේදී සිය ජයග්‍රාහී සහ එකම ගෝලය වාර්තා කිරීමට ජාවාලේන් ක්‍රීඩක මැක්‌සි ලේටන් සමත්විය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මීට පෙර සතියේ කලුතර වර්නන් යූ. ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී මහනුවර යෝක්‌ කණ්‌ඩායම ගෝල 1-0 කින් පරදා කලුතර පාර්ක්‌ කණ්‌ඩායම ජයගත් අතර මෙම තරගයේද ජයග්‍රාහී සහ එකම ගෝලය වාර්තා කරන ලද්දේ පාර්ක්‌ කණ්‌ඩායමේ සමන්ත ලක්‌මාල් විසිනි.

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.