ඩයලොග් සී. ඩී. එම්. ඒ- ජනාධිපති රන් කුසලාන ජාතික මට්‌ටම
සිරිදුව-සිරි පැරකුම් විජයබා-විජය
"ඒ" කාණ්‌ඩයෙන් අවසන් පූර්ව වටයට


ඉන්ද්‍රජිත් සුබසිංහ

මාදම්පේ සේනානායක විදුහලේදී පසුගිය සති අන්තයේ පැවැති ඩයලොග් සී.ඩී.එම්.ඒ. ජනාධිපත් රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්‌ටමේ "ඒ" කාණ්‌ඩයේ තරගාවලියේදී පිරිමි අංශයෙන් සීදුව සිරිදූව කණ්‌ඩායමත් කාන්තා අංශයෙන් හුංගම විජයබා කණ්‌ඩායමත් ශූරයන් බවට පත්විය.

එම කාණ්‌ඩයේ අවසන් තරග ඉතා උණුසුම් මුහුණුවරක්‌ ගත් අතර පිරිමි අවසන් තරගයේදී සීදුව සිරිදූව හමුවේ ප්‍රබල තරගයක්‌ දීමට ආණමඩුව සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සමත් විය. එහි ප්‍රථම වටය ලකුණු 25-18 ක්‌ ලෙසින් සිරිදූව කණ්‌ඩායම ජයගත් නමුත් දෙවැනි වටය ලකුණු 23-25 ක්‌ වශයෙන් සිරි පැරකුම් පිල ජය ගත්තේය. ලකුණු 25-21 ක්‌ වශයෙන් තෙවැනි වටය සිරිදුව පිල ජයගත් නමුත් සිව්වැනි වටය 22-25 ක්‌ ලෙස ජය ගනිමින් තවදුරටත් තරගයේ රැඳී සිටීමට සිරි පැරකුම් ක්‍රීඩකයෝ සමත්වූහ. එහෙත් තීරණාත්මක 5 වැනි වටය ලකුණු 15-12 ක්‌ ලෙස ජයගත් ගියවර අනුශූර සිරිදුව කණ්‌ඩායම තරගය වට 3-2 ක්‌ ලෙස ජය ගනිමින් කාණ්‌ඩ ශූරයන් බවට පත්විය.

"ඒ" කාණ්‌ඩයේ කාන්තා අවසන් තරගයට හුංගම විජයබා කණ්‌ඩායම සමග කොත්වාඩිය විජය කණ්‌ඩායම සුදුසුකම් ලැබූ අතර ලකුණු 25-20 සහ 25-18 ක්‌ ලෙස පළමු සහ දෙවැනි වට ජයගනිමින් තරගයට ප්‍රවේශ වීමට විජයබා කණ්‌ඩායමට හැකියාව ලැබිණි. එහෙත් තෙවැනි සහ සිව්වැනි වට පිළිවෙළින් ලකුණු 23-25 සහ 21-25 ක්‌ ලෙස ජයගත් විජය කණ්‌ඩායම හුංගම කණ්‌ඩායමේ ජයග්‍රහණය ප්‍රමාද කළේය. තීරණාත්මක 5 වැනි වටය ලකුණු 15-11 ක්‌ ලෙස ජයගනිමින් තරගවට 3-2 ක ජයක්‌ සමග කාන්තා ශූරියන් බවට පත්වීමට විජයබා කණ්‌ඩායමට හැකියාව ලැබිණි.

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති රන් කුසලාන තරගාවලියක ජාතික මට්‌ටමේ තරගයකදී උතුරු පළාත් නියෝජනයක්‌ ලබාදෙමින් මෙම කාණ්‌ඩයේදී තරග වැදුනු යාපනය ආවරංකල් කණ්‌ඩායම ගියවර අනුශූර සිරිදුව කණ්‌ඩායම සමග යෙදුණු තරගයේදී එක්‌ තරග වටයක්‌ ජය ගැනීම මෙම අදියරේ කැපී පෙනෙන සිදුවීමක්‌ විය.

එම කාණ්‌ඩ තරගාවලියේදී තවත් විශේෂත්වයක්‌ වූයේ පසුගියවර අනුශූරියන් වන ගම්පහ සියනෑතරු කණ්‌ඩායම අසාර්ථක වෙමින් තරගාවලියෙන් ඉවතට විසිවීමයි.

මේ වන විට ඩයලොග් සී.ඩී.එම්.ඒ. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්‌ටමේ කාණ්‌ඩ දෙකෙහිම තරග අවසන්ව තිබේ. ඒ අනුව මෙම සති අන්තයේ (කතිර ක්‍රමයට) පැවැත්වෙන පිරිමි අවසන් පූර්ව තරගවලදී සීදුව සිරිදුව ක්‍රීඩා සමාජය සමග තලහගම්මාඩුව අරුණ ක්‍රීඩා සමාජයත්, ගම්පහ සියනෑ කණ්‌ඩායම සමග ආණමඩුව සිරිපැරකුම් කණ්‌ඩායමත් තරග වැදීමට නියමිතව සිටිති. එම කාන්තා තරගවලදී හුංගම විජයබා කණ්‌ඩායම සමග රදාවාන පෝල්මන් බර්ඩ්න් කණ්‌ඩායමද, මාවතගම කැෂුවලයින් කණ්‌ඩායම සමග කොස්‌වාඩිය විජය කණ්‌ඩායමද තරග වදිනු ඇත.

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.