චැම්පියන්ස්‌ ලීග් අවසන් පූර්ව වටයට
රිනවුන්, ගුවන්, බ්ලූස්‌ටාර් සහ දොන් බොස්‌කෝ


සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්‌ඩායමකට වැඩිම ත්‍යාග මුදලක්‌ (රු. ලක්‍ෂ 7 ක්‌) පිරිනැමෙන ඩයලොග් චැම්පියන්ස්‌ ලීග් අවසන් පූර්ව වටය සඳහා රිනවුන්, ගුවන් හමුදා, බ්ලූස්‌ටාර් සහ මීගමුව දොන් බොස්‌කෝ යන කණ්‌ඩායම් සුදුසුකම් ලබා ඇත.

ලබන 14 සහ 15 යන දිනවල පැවැත්වීමට නියමිත අදාළ අවසන් පූර්ව වටය යටතේ රිනවුන් සහ බ්ලූස්‌ටාර් කණ්‌ඩායම්ද ගුවන් හමුදා සහ මීගමුව දොන් බොස්‌කෝ කණ්‌ඩායම්ද තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා කලුතර බ්ලූස්‌ටාර්, මීගමුව දොන් බොස්‌කෝ සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පැවැති තුන්කොන් සටන නිමා කරමින් බ්ලූස්‌ටාර් සහ දොන් බොස්‌කෝ යන කණ්‌ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනුණි.

මෑතකදී ජාතික මට්‌ටමේ පාපන්දු තරගාවලියන් නියෝජනය කිරීමට වරම් ලැබූ දොන් බොස්‌කෝ කණ්‌ඩායම චැම්පියන්ස්‌ ලීග් තරගාවලියක අවසන් පූර්ව වටය දක්‌වා පැමිණි ප්‍රථම අවස්‌ථාවද මෙය වෙයි.

පසුගිය වකවානුවේ ප්‍රිමියර් ලීග් ශූරතාව සහ එෆ්. ඒ. කුසලාන කිහිප වරක්‌ම දිනා ගත් මීගමුව යූත් කණ්‌ඩායම මෙන්ම කොටහේන ඕල්ඩ් බෙන්ස්‌ කණ්‌ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පරාජයන් හේතුකොට ගෙන 2010 චැම්පියන්ස්‌ ලීග් තරගාවලියෙන් ඉවතට ඇද වැටීමද සුවිශේෂී විය.

මේ අතර මෙවර ප්‍රිමියර් ලීග් පළමු කොටසේ අවසන් තරගය සඳහා දැනට වරම් ලබා සිටින කලුතර පාක්‌ කන්ඩායම සහ ජාවාලේන් කණ්‌ඩායම 2010 වසරේ චැම්පියන්ස්‌ ලීග් තරගාවලියට අලුතින් එකතුවීමද කැපී පෙනෙන්නට ඇත.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.