එළාර රජුගේ හිතුවක්‌කාර නීතිය

ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි එළාර රජ ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ දුටුගැමුණු රජතුමා නිසා ය. දුටුගැමුණු රජුට සමාන කළ හැකි රජ කෙනකු හෝ රාජ්‍ය පාලකයකු ශ්‍රී ලංකා ඉතිහාසයේ හෝ ලෝක ඉතිහාසයෙහි ද දක්‌නට නැත. යුද හමුදාවක්‌ නැතිව තමාම පෞද්ගලිකවම යුද පිටියට ගොස්‌ තම ප්‍රතිවාදී රජු සමඟ පෞද්ගලිකවම සටන් කර ඔහු පරාජය කිරීමට ක්‍රියා කළ එකම රජතුමා දුටුගැමුණු රජතුමා ය.

පාලි මහා වංශයේ එළාර හඳුන්වන්නේ දමිළ රජකු ලෙස ය. මහාවංශයේ "දමිළ" යන්න වැරදීමකින් අර්ථ ගැන්වී ඇතැයි පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය එල්ලාවල මෙධානන්ද හිමියෝ පවසති. "දමිඪ" යන්න පෙරියකුලම්, අභයගිරිය, දීඝවාපී සෙල්ලිපි තුනකම සඳහන් වන බව සඳහන් කරන මහාචාර්ය ස්‌වාමීන් වහන්සේ රාජාවලියේ පෘතුගීසීන් හැඳින්වීම සඳහා ද දමිළ යන වචනය භාවිත කර ඇතැයි ප්‍රකාශ කරන සේක.

ස්‌වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ "දමිළ" යන වචනය සංක්‍රමණිකයා යන අර්ථය දෙන බවත්, වර්තමානයේ "දෙමළ" යනුවෙන් හැඳින්වෙන ජන කොට්‌ඨාසය හැඳින්වීම සඳහා භාවිත කළ වචනයක්‌ නොවන බවත් ය. ස්‌වාමීන් වහන්සේගේ මතය වන්නේ එළාර කාලිංග දේශයෙන් මෙහි පැමිණි කාලිංග වංශික සංක්‍රමණිකයකු බවය. (වැඩි විස්‌තර සඳහා ස්‌වාමීන් වහන්සේ ලියන ලද පොත පත කියවන්න.)

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ද එළාර රජ වර්තමානයේ කියෑවෙන "දෙමළ" ජාතිකයකු නොවන බවයි. රාජවංශ පුස්‌තකය ඇසුරින් ඒ පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ මහාචාර්ය පරණවිතාන මහතා ඉදිරිපත් කරයි. එය කෙටියෙන් මෙසේය. දෙවන පෑතිස්‌ස රජුගෙන් පසුව රජ වන්නේ උත්තිය රජුය. උත්තියගේ පුත්‍රයා වන මහාසිව නෙරපා "මහාරිෂ්ඨ තම්බපන්නිය අල්ලාගත් බව රාජවංශ පුස්‌තකයේ සඳහන් වන්නේ යෑයි පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. මෙම මහාරිෂ්ඨ බිංදුසාර රජු (අසෝක රජුගේ පියා) සිංහලට විරුද්ධව කටයුතු කළ සාස්‌ත්‍රද්‍රමිඩගේ පුත්‍රයෙක්‌ ලෙස රාජවංශ පුස්‌තකයේ සඳහන්ව ඇත.

මහාවංශයට අනුව මහාසිව උත්තියගේ සහෝදරයෙකි. එසේම සේන, ගුත්තික දෙදෙනා පැමිණියේ සූරතිස්‌ස රජුගේ කාලයේදී ය. සේන, ගුත්තික දෙදෙනෙක්‌ ගැන රාජවංශ පුස්‌තකයේ සඳහන් නොවේ. එහි සඳහන් වන්නේ ස මහාරිෂ්ඨ සස මහාරිෂ්ඨ යනුවෙනි. සස මහාරිෂ්ඨ ස මහාරිෂ්ඨගේ පුත්‍රයා ය. ඔහුද තම්බපණ්‌නිය පාලනය කළ බව එහි කියෑවේ. එහෙත් ඔහු අනුරාධපුරයේ රජ කළ බවක්‌ දක්‌වා නැත. සස මහාරිෂ්ඨගේ පුත්‍රයා වූ එළාර අවුරුදු 44 ක්‌ අනුරාධපුරයේ රජ කළ බව ද ඔහු පරාජය කොට දුටුගැමුණු රජ වූ බව ද රාජවංශ පුස්‌තකයේ විස්‌තර කරන බව පරණවිතාන මහතා පවසයි.

එළාර යනු පාර්තීය භාෂාවේ රාජ්‍ය නාමයක්‌ වන "අසෙස්‌" යන්නෙන් බිඳී එන්නක්‌ බව පරණවිතාන මහතා පවසයි. සංස්‌කෘතයේදී එය "අජ්‍යය" වන්නේය "අජ්‍යය" රජුගේ පුත්‍රයා හඳුන්වන්නේ අජ්‍යය අයිලයා වශයෙනි. "අයිලයා" යන්න පාලියේදී "එළාල" හෝ "එළාර" වූවා යෑයි පරණවිතාන මහතා පවසයි.

මීට අවුරුදු හතළිස්‌ පහකට පමණ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් සිටියදී ඉදිරිපත් කළ අදහසක්‌ කෙටියෙන් මෙසේ දක්‌වමි. මහාවංශයට අනුව දේවානම්පියතිස්‌ස, උත්තිය, මහාසිව, සූරතිස්‌ස, අසේල, සහෝදරයන් ය. සූරතිස්‌සගෙන් පසු සේන, ගුත්තික දෙදෙනෙක්‌ රජ කරති. මේ අනුව කාලය 40, 10 10 + 10 + 22 + 10 = 102 කි. මුටසිව රජ අවුරුදු 60 ක්‌ රජ කළ බව කියෑවේ. මුටසිව වයස අවුරුදු 30 දී රජ බවට පත්වූයේ නම් මිය යන්නට ඇත්තේ අවුරුදු 90 දී ය. (මහාවංශයට අනුව නම් ඊට වඩා වැඩි විය යුතුව ඇත.) මුටසිව ගේ වයස අවුරුදු 50 දී අසේල උපන්නේ නම් අසේල මිය යන්නේ වයස (102 + 40) එකසිය හතළිස්‌දෙකේදී ය. මෙය පිළිගත නොහැකිය.

උත්තිය රජු පාඨලී පුත්‍රය සමඟ දැඩි සබඳතා පැවැත්වීය. සේන, ගුත්තික යනු උත්තිය රජුගේ පුත්‍රයන් දෙදෙනෙකි. උත්තිය රජුගේ කාලයේදී පාඨලී පුත්‍රයට ගොස්‌ එහි වාසය කළහ. අසෝක රජුගේ මරණයෙන් පසුව ඇති වූ දේශපාලන තත්ත්වය මත පාඨලී පුත්‍රයෙන් පැමිණ වයසට පත්ව සිටි සූරතිස්‌සගෙන් පසු අනුරාධපුරයේ රජ වන්නට ඇත. ඉන් පසුව දේවානම්පියතිස්‌ස රජුගේ පුත්‍රයකු වන අසේල රජ වූ අතර, අසේල මරණයට පත් කොට විදේශ සංක්‍රමණිකයකු වූ එළාර රජ විය. ඔහු විජය රජුගේ පරම්පරාවෙන් පැවතෙන්නකු විය හැකි අතර, විජය රජු පැමිණි දේශයේ සිට එන අතරමඟ චෝල දේශය සමඟ ද සබඳතා පවත්වා පැමිණි බැව් පෙනේ.

එළාර රජකම් කළේ දේශීයයන්ගෙන් පිරුණු රාජ්‍යයකය. එළාර කතා කළේ දේශීය භාෂාවයි. එළාරගේ හමුදාවෙහි සිටියේත්, දුටුගැමුණු රජුගේ හමුදාවේ සිටියේත් දේශීයයන් ය. පරණවිතාන මහතා පවසන අන්දමින් ම අනුරාධපුරයේ සිටියේ දේශීයන් මිස විදේශිකයන් නොවේ. ඉන්දීය ඉතිහාසඥයන් කියන අන්දමට විදේශ ආක්‍රමණය කළ හැකි චෝල රාජ්‍යයක්‌ දකුණු ඉන්දියාවේ නොතිබිණ. දෙපාර්ශ්වයේම සිටියේ තමන්ගේ දේශීයයන් බැවින් ඔවුන් මරණයට පත්කිරීමට දුටුගැමුණු රජු අකමැති විය. තමාම මැරෙන්නට වුව ඉදිරිපත් වූයේ එබැවිනි.

එළාර රජු නීතිය ක්‍රියාත්මක කළ ආකාරය මහාවංශය දක්‌වා ඇත්තේ මෙසේය. "රජතෙමේ විනිශ්චය කාලයෙහි සතුරන් කෙරෙහිත්, මිතුරන් කෙරෙහිත් මධ්‍යස්‌ථ වී, ඇඳ ඉස පසෙක ඉතා දික්‌ යොතකින් විනිශ්චය කැමැත්තවුන් විසින් හඬවනු පිණිස මිනියක්‌ එල්වීය. ඒ රජහුගේ එක්‌ පුතෙක්‌ ද දුවක්‌ ද වූහ. ඒ කුමාර තෙමේ රථ නැගී තිසාවැවට යන්නේ මව් සමඟ මඟහොත්, ඉතා තරුණ වස්‌සකු රිය සකින් බෙල්ල ඇක්‌ම නොදැන මැරුවේය. දෙන තෙමෝ කීප සිත් ඇත්තී ගොස්‌ ඒ මිනි ගෙඩිය ගැසුවා. රජ තෙමේ ඒ චක්‍රයෙන්ම පුත්‍රයාගේ හිස සිඳවී......." "තල් රුකෙක (කැදැල්ලක) හුන් ළිහිණි පැටියෙකු එක්‌ සර්පයෙක්‌ කෑයේය. ඒ පැටියාගේ මව් ළිහිණි තෙම මිනිය ගැසුවාය. රජ තෙම ඒ සර්පයා ගෙන්වා උගේ බඩ පලා, ඒ පැටියා බැහැර දමා තල් ගස ඇණ ගැස්‌සී...." "රථයාගේ විය ගස කොණින් බුදු සෑයක එක දෙසකින් බුන්නේය.

අමාත්‍යයෝ තුමු රජහට "දේවයිනි, අපගේ සෑය තෙමේ ඔබ විසින් බිඳිනා ලදැයි කිවූහ. මේ රජ තෙමේ නොදැන කළ දෙයෙහින් රථයෙන් බැස චක්‍රයෙන් මාගේ හිස සිදම්හ" යි මඟ හොත්තේය. "මහා රජාණෙනි, අපගේ ශාස්‌aතෘ තෙමේ පරහිංසා නොකැමැති සේක. සෑය පියවි කොට කමා වුව මැනවැයි ඔහුට කිවූය." "එක්‌ මැහැල්ලක්‌ තොමෝ වී වේලන්නට අව්වෙහි දැමුවා. නොකල් වැස්‌සෙක්‌ වැස ඒ වී තෙමුවේය. ඕ තොමෝ වී ගෙන ගොස්‌ ඒ මිනිය පහළා. ඒ අකල් වැස්‌ස අසා මැහැලී යවා, රජ තෙමේ දහම්හී වැටෙන්නේ සුදුසු කල වර්ෂාව ලබා යයි ඇයගේ බස විනිශ්චය කරනු පිණිස පෙහෙව හොත්තේය. එවක්‌ පටන් ඒ විජිතයෙහි දහවල් වැසි නොවැටුණේය. වර්ෂාව තෙමේ සතියෙක්‌ සතියෙක්‌ හී රෑ මැදියම වැස්‌සේය."

මෙහි වර්ෂාව පිළිබඳ කරුණෙන් පෙන්වා දීමට අදහස්‌ කරන්නේ "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්ප්තිහෙතුච පීතො භවතු ලෝකොච, රාජා භවතු ධම්මිකෝ" (කලට වැසි වසීවා - සශ්‍ය සම්පත් ලැබේවා - ලෝකයා ප්‍රීති වේවා - රජු දැහැමියෙක්‌ වේවා) යන අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙහි සඳහන් අදහසයි. එළාර රජුගේ සෙසු තීන්දු දෙස බලන විට පෙනී යන්නේ රජු දේශීය නීතිය පිළිබඳව අනවබෝධයෙන් තීරණ ගෙන තිබෙන ආකාරයයි. එළාර රජකම් කළේ දේශීයයන් පිරුණු රාජ්‍යයකය. රජු නිතර භික්‍ෂුන් වහන්සේ මුණ ගැසුණේය. මිහින්තලාවට නිරතුරුව ගියේය. උත්තිය රජු මෙන් මිහින්තලාව සමඟ දැඩි සබඳකමක්‌ පැවැත්වීය. එවකට ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බුද්ධාගම පැතිර තිබිණ. සමහර විට බෞද්ධයකු වූවා විය හැක. කෙසේ වෙතත් ඔහු කිසිම ආගමකට (බුද්ධාගම ද ඇතුළුව) කරපු සේවයක්‌ නැත.

ඔහු නීතිය පසිඳලූ ආකාරය දෙස බලන විට පෙනී යන්නේ බෞද්ධ අදහස්‌වලට පටහැනිව නීතිය පසිඳලූ බවයි. එය ජෛන අදහස්‌වලටත් පටහැනිය. හිංදු ආගමික අදහස්‌වලටත් පටහැනිය. කෞටිල්‍යගේ අර්ථ ශාස්‌ත්‍රයට ද පටහැනිය. මනු නීතියට ද පටහැනිය. ඒ වන විට ඉන්දියාවට ද පැතිර තිබූ ගී්‍රක නීතියට ද පටහැනිය. ඒ වන විට බටහිර ඉන්දියාවට ප්‍රවේශ වෙමින් තිබූ රෝම නීතියට ද පටහැනිය. කොටින්ම කියතොත් මහාවංශය දී ඇති උදාහරණ විශ්ලේෂණය කරන කල්හී පෙනී යන්නේ රජු හිතුවක්‌කාර ලෙස අසාධාරණ තීරණ ගත් පුද්ගලයකු බවයි. මහාවංශයට අනුව පෙනෙන්නේ රජු දඬුවම් දීමට නොපැකිළ ඉදිරිපත් වන බවය.

මනු නීතියේ සඳහන් වන්නේ "දඬුවම් මනුෂ්‍ය සංහතිය පාලනය කරයි" යනුවෙනි. රජුගේ පුත්‍රයාගේ රථයට යට වී තරුණ වසුපැටවකු මරණයට පත් වී ඇතත්, ඔහු එය හිතාමතා කළ වැරැද්දක්‌ නොවේ. එළාර තම පුතාට දී ඇති දඬුවම සාධාරණද? එකල පැවැති කවර නීතියක එවැනි දඬුවමක්‌ දීමට විධිවිධාන සැලසී තිබුණේද? මනු නීතියේ එවැන්නක්‌ සඳහන් නොවේ. කෞටිල්‍යයේ අර්ථ ශාස්‌ත්‍රයේ එවැන්නක්‌ සඳහන් නොවේ. අසෝක සතුන් මැරීම තහනම් කර ඇතත්, ඊට දෙන දඬුවම් සඳහන් කර නැත. එළාර රජ කරන කාලයේ රෝමයේ පැවැති නීතිය මෙයයි.

"කිසිවකු වෙනත් පුද්ගලයකුගේ වහල් පිරිමියකු හෝ ගැහැනියක හෝ සිව්පා සතකු සාවද්‍ය ලෙස මරනු ලැබ ඇත්නම්, එම අවුරුද්දේදී වූ වැඩිම අගය අයිතිකරුට ගෙවීමට ඔහුට නියම කළ යුතුය. වහලුන් හෝ හරකුන් මැරීමෙන් පිටස්‌තරව අනිකුත් දේ සම්බන්ධයෙන් කිසිවකු වෙනත් කෙනෙකුට සාවද්‍ය ලෙස පිළිස්‌සීමෙන්, කැඩීමෙන් හෝ නාස්‌ති කිරීමෙන් අලාබ කරනු ලැබ ඇත්නම්, පසුගිය දින තිහේදී එම ද්‍රව්‍යයේ තිබූ අගය අයිතිකරුට ගෙවීමට ඔහුට දඬුවම් වශයෙන් නියම කළ යුතුය."

තමන්ගේ පුතාට එවැනි දරුණු දඬුවමක්‌ දුන්නේ නම් සාමාන්‍ය ජනතාවට කොපමණ දඬුවම් අසාධාරණ අන්දමින් දෙන්නට ඇද්ද? මනුස්‌මෘතියෙහි එක්‌ තැනක මෙසේ සඳහන් වෙයි. "නිකරුණේ සතකු මරන්නා ඒ සතාගේ ලෝම ගණනේ පරලොවදී මැරුම් කයි" යනුවෙනි. ළිහිණි පැටවකු කෑ සර්පයා රජු විසින් මරා දමනු ලබයි. එසේ නම් ළිහිණි පැටියකු කෑ සර්පයාට එළාර රජු දුන් දඬුවම සාධාරණ ද? එය කවර ආගමකටවත් එවකට පැවැති කවර නීතියකටවත් එකඟ නොවේ.

බුදු සෑයෙහි රථය වැදී කොටසක්‌ කැඩී ගිය පසුව රජ තමා වෙතට දීගත් දඬුවම සාධාරණ ද? රජ වැරදි තීරණයක්‌ ගන්නා අවස්‌ථාවේදී නිවැරැදි තීරණයක්‌ දෙනු ලන්නේ රජුගේ අමාත්‍යවරයා ය. සත්‍ය වශයෙන්ම මරණය පතා ක්‍රියා කළ පුද්ගලයකු වූයේ නම් ඔහු දුටුගැමුණු රජු සමඟ යුද්ධයට ගොස්‌ මිනිස්‌ ඝාතන සංහාරයක්‌ කිරීමට බලාපොරාත්තු වන්නේ නැත. සත්‍ය වශයෙන්ම ශ්‍රේෂ්ඨ මානව හිතවාදියකු ලෙස එම මිනිස්‌ ඝාතන සංහාරය වළක්‌වන්නේ, තම ජීවිතය කැප කරමින් ඉදිරියට එන දුටුගැමුණු රජතුමා ය.

මහාවංශය දී ඇති උදාහරණ තුනේ තත්ත්වය එසේ නම්, එළාර රජුගේ අත්තනෝමතික, හිතුවක්‌කාර තීරණ නිසා සාමාන්‍ය ජනතාව කොතරම් අසාධාරණයන්ට, දුක්‌ පීඩා වේදනාවන්ට ලක්‌වන්නට ඇද්ද? ඒ අසාධාරණයන්ගෙන්, දුක්‌ පීඩාවන්ගෙන්, වේදනාවන්ගෙන් රජ රට ජනතාව බේරා ගැනීම සඳහා දුටුගැමුණු කුමරයා කුඩා කාලයේ සිටම අදහස්‌ කළේය. ඊට තම පියා විරුද්ධ විය. පියාගෙන් පසුව සහෝදරයා විරුද්ධ විය. තවත් අය විරුද්ධ වන්නට ඇත. විදේශීය බලවේග ද විරුද්ධ වන්නට ඇත. ඒ සියල්ල මැඬ පවත්වා අවුරුදු සිය ගණනකට පසුව දුටුගැමුණු රජු ශ්‍රී ලංකාව එක්‌සත් කළේය. මෙම ලිපියේ කරුණු පිළිබඳව ශාස්‌ත්‍රීය ලෙස අදහස්‌ දක්‌වන්නේ නම් ස්‌තුතිවන්ත වෙමි.

නීතිඥ ආරියසේන එදිරිවීර
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v