"පොලිටික්‌ස්‌" "පොඩි ට්‌්‍රක්‌ස්‌" සහ අතුරු සම්මත ගිණුම

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් අතුරු සම්මත ගිණුම පෙරේදා (3 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැයක්‌ වෙනුවට මෙසේ අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කිරීම පිළිබඳව පසුගිය දිනවල ආර්ථික හා දේශපාලන අංශවල නොයෙකුත් විවේචනයන්ට බඳුන් වූ අතරම මෙය පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ද, ඊට එරෙහිව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීවරුන් නොයෙකුත් විවේචන පළ කළහ. අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්‌තකයටත් ඇතුළත් කර තිබියදී ඊට එරෙහි වීම හාස්‍යජනක බව මෙහිදී කතානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතා කියා සිටියේය. ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා විපක්‍ෂ නායකවරයාට පිළිතුරු ලෙස කියා සිටියේ ඔහු (රනිල් වික්‍රමසිංහ මහතා) දැන් "පොලිටික්‌ස්‌" වෙනුවට "පොඩි ටි්‍රක්‌ස්‌" කරන්නට පටන්ගෙන ඇති බවයි. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මෙබඳු විවාදයන්ට තුඩුදුන් අතුරු සම්මත ගිණුම සහ එය ගෙන ඒමට නිමිත්ත වූ ඉදිරි මහ මැතිවරණය පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව අප රටේ රාජ්‍ය මුදල් පාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම හා පාලනය පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා කලින් සම්මත වූ පනත්වලින් අනුමත වී ඇති විශේෂ වියදම් කිහිපයක්‌ හැරෙන්නට වෙනත් කිසිදු වියදමක්‌ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව සිදු කළ නොහැකිය. එබැවින් වසරේ සියලුම රාජ්‍ය වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරුණකි.

මේ සඳහා වසරක්‌ පාසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රධාන ලේඛනය වන්නේ විසර්ජන පනත හෙවත් රාජ්‍ය අයවැය ලේඛනයයි. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක්‌ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර දෙසැම්බර් මාසයේදී සම්මත කර ගනී. එහෙත් නොයෙකුත් හේතු නිසා රජයකට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නොහැකි වන අවස්‌ථා ඇත. එසේ අයවැයක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඉදිරි වර්ෂයේ කිසිදු රාජ්‍ය වියදමක්‌ දැරීමට රජයට නොහැකි වෙයි. මේ සඳහා පිළියමක්‌ ලෙස අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කරනු ලබයි.

අතුරු සම්මත ගිණුමක්‌ යනු කුමක්‌ද යන්නත් එය විසර්ජන පනතෙන් (අයවැයෙන්) වෙනස්‌ වන්නේ කෙසේද යන්නත් හඳුනා ගැනීමද මෙහිදී ඉතා වැදගත්ය. අතුරු සම්මත ගිණුමක්‌ යනු ඉදිරි වර්ෂයට අදාළ විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වන අවස්‌ථාවක ඒ වෙනුවට රජයේ වියදම් දැරීම සඳහා ඉදිරිපත් කරන තාවකාලික වියදම් ලේඛනයකි. මෙසේ අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කළත් පසුව අදාළ වර්ෂය සඳහා අනිවාර්යයෙන්ම අයවැය ලේඛනයක්‌ද ඉදිරිපත් කෙරෙන බැවින් මෙය අයවැයට පූර්ණ විකල්පයක්‌ නොවේ. ඒ නිසා අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කරන්නේ අයවැයක්‌ ඉදිරිපත් වනතෙක්‌ කාලය සඳහා රාජ්‍ය වියදම් දැරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහාය.

රාජ්‍ය අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ වර්ෂයක්‌ සඳහාය. එහි ඉදිරි වර්ෂයේ ඇස්‌තමේන්තු ගත රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, ඒ අනුව, ජනිත වන අයවැය හිඟය සහ එය පියවා ගන්නා ආකාරයද දැක්‌වේ. මෙකී අයවැය හිඟය පියවා ගැනීමට අදාළ ආදායම් සහ වියදම් යෝජනාද (අයවැය යෝජනාද) එහි අන්තර්ගත වෙයි. මෙසේ අයවැයක්‌ සම්පූර්ණ වර්ෂයක්‌ සඳහාම ඉදිරිපත් කළත් අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කරන්නේ මාස කිහිපයක්‌ සඳහාය. එය තාවකාලික වියදම් ලේඛනයක්‌ බැවින් ආදායම් උපයා ගන්නා ආකාරය හෝ අයවැය හිඟය පියවා ගන්නා ආකාරය එහි සඳහන් වන්නේ නැත. ඒ නිසා එහි අයවැය යෝජනාද නැත. ඒ නිසා මේ අවස්‌ථාවේදී අයවැයක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුණත් 2010 වර්ෂය සඳහා පසුව අනිවාර්යෙන්ම අයවැය ලේඛණයක්‌ ඉදිරිපත් කිරීමට සිදු වන බව ද කිව යුතුය. ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පත්වන අලුත් පාර්ලිමේන්තුවට මේ අයවැය ඉදිරිපත් වනු ඇත.

අයවැයක්‌ වෙනුවට අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කිරීමට අදාළ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මුදල් හා ක්‍රමසම්පදාන අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කළ අතර ඊට 2009.10.06 දින ඇඹිලිපිටියේ රැස්‌වූ ඇමැති මණ්‌ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව පෙරේදා ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම මගින් 2010 වසරේ ජනවාරි මස 01 දින සිට 2010 වර්ෂයේa විසර්ජන පනත් කෙටුම්පත සම්මත වනතෙක්‌ මාස හතරක කාලයක්‌ සඳහා පොදු සේවාවන් පවත්වාගෙන යැම සඳහා වන රජයේ වියදම් වෙනුවෙන් අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා ඇත. මේ අතුරු සම්මත ගිණුම පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් පසු එය අද (5 වැනිදා) සම්මත කර ගැනීමට ද නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්‌ඩල සංදේශයේ (අතුරු සම්මත ගිණුම - 2010) මෙසේ සඳහන් වේ.

"2008 අංක 43 දරන විසර්ජන පනතේ 1 වන උපලේඛණයේ සහ 2009 වර්ෂයේ පරිපූරක ඇස්‌තමේන්තු මගින් ප්‍රතිපාදන සලසනු ලැබූ එක්‌ එක්‌ වැඩසටහනේ දැක්‌වෙන පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින් සහ මූලධන වියදම් ප්‍රතිපාදන වලින් 1/3 ක ප්‍රමාණය යෝජිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරමි. එසේම එම පනතේ 3 වන උපලේඛනයේ සඳහන් අන්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වන උපරිම වියදම් සීමාවෙන් 1/3 ක ප්‍රමාණයක්‌ ද අත්තිකාරම් ගිණුම් කටයුතු මෙහෙයවීම සඳහා ඇතුළත් කරමි."

මේ සඳහන අනුව අපට පැහැදිලි වන්නේ මේ වසර (2009) සඳහා අයවැයෙන් සහ පරිපූරක ඇස්‌තමේන්තුවලින් අනුමත කරගත් රාජ්‍ය වියදමෙන් තුනෙන් එකක ප්‍රමාණයක්‌ මේ අතුරු සම්මත ගිණුමට ඇතුළත් වන බවයි. ඒ අනුව පෙරේදා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් 197, 478, 109,000 ක්‌ද, මූලධන වියදම් වශයෙන් රුපියල් 158,987, 398.000 ක්‌ සහ අත්තිකාරම් ගිණුම් කටයුතු වශයෙන් රුපියල් 6,222,467,000 ක්‌ද ඇතුළත් කර ඇත. මෙහි එකතුව රුපියල් 362687974000 කි. එනම් රුපියල් බිලියන 362. 6 කි. 2010 වර්ෂය සඳහා පසුව විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන විට අතුරු සම්මත ගිණුම යටතේ අනුමත කළ වියදම් නව පනත් කෙටුම්පතට ඇතුළත් කරනු ලබයි.

දැන් මේ වියදම් පියවා ගන්නේ කෙසේද? ඒ සඳහා ආදායම් ලැබෙන්නේ කොහෙන්ද? සාමාන්‍යයෙන් දැනටමත් සම්මත වී ඇති පෙර අයවැය ලේඛන මගින් ඉදිරිපත්වූ බදු පනත් හා ආදායම් යෝජනාවලට අදාළව රජයට ආදායම් එකතු වීම නොකඩවා සිදු වෙයි. ඒ එකතුවන ආදායම් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වෙයි. අතුරු සම්මත ගිණුම මගින් අනුමත කර ගන්නා වියදම් ඒ අනුව රජයේ ඒකාබද්ධ අරමුදල මගින් දැරිය හැකිය. අතුරු සම්මත ගිණුම ක්‍රියාත්මක වන කාලය තුළ වියදම් දැරීමේදී රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් 1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත යටතේ ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ණය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්‌ඩල සංදේශයේ සඳහන්ය.

මෙවර අයවැයක්‌ වෙනුවට අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් වන්නේ ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ නිසාය. ප්‍රධාන වශයෙන්ම මහ මැතිවරණය නිසාය. මීට පෙර ද මැතිවරණ පැවැති අවස්‌ථාවලදී පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණම් ඉදිරිපත්ව ඇති අතර මෙය අලුත් දෙයක්‌ ද නොවේ. වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අප්‍රේල් වලින් අවසන් වන නිසා 2010 අප්‍රේල් මසට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතුව ඇත. ඉන්පසුව පත්වන්නේ අලුත් පාර්ලිමේන්තුවකි. අලුත් ඇමැති මණ්‌ඩලයකි. එහිදී අමාත්‍යාංශ ගණන ඒ ඒ අමාත්‍යාංශවල විෂයන් සහ ඒ ඒ අමාත්‍යාංශ යටතට වැටෙන රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලද වෙනස්‌කම් සිදුවීමට ඉඩ ඇත. ඒ නිසා ඉදිරි මැතිවරණයෙන් පසුව මේ වෙනස්‌කම් අනුව 2010 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සැකසීමට අයවැය සම්පාදකයන්ට පුළුවන. මේ අවස්‌ථාවේදී අයවැයක්‌ වෙනුවට අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කිරීමට හේතුවන තවත් ප්‍රධාන කරුණක්‌ ද තිබේ. එනම් ලබන අප්‍රියෙල් මසට පෙර නිල කාලය අවසන් වන වත්මන් පාර්ලිමේන්තුවෙන් ඉදිරි සම්පූර්ණ වර්ෂය සඳහාම බලපැවැත්වෙන අයවැය ලේඛනයක්‌ සම්මත කර ගැනීමට සුදුසු හා යෝග්‍ය නොවීමයි.

ආර්ථිකමය වශයෙන් සාකච්ඡා කළ මේ කරුණු කාරණා කෙසේ වෙතත් අයවැයක්‌ වෙනුවට අතුරු සම්මත ගිණුමක්‌ ඉදිරිපත් කිරීමට එරෙහිව නොයෙකුත් දේශපාලන මතද ඉදිරිපත්ව ඇත. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ අයවැයක්‌ වෙනුවට අතුරු සම්මත ගිණුමක්‌ ගෙන ඒමට රජයට සිදුවූයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව අයවැයක්‌ හදන්න බැරි අර්බුදයකට ආණ්‌ඩුව මුහුණ දී සිටින නිසා බවයි. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පසුගිය දිනවල ප්‍රකාශ කර තිබුණේ අයවැයක්‌ ඉදිරිපත් කරන්න බැරි තරමට රජයේ ආදායම් බිඳවැටී ඇති බවයි. රජයේ ආදායම් විශාල වශයෙන් අඩුවීම නිසාත්, රජයට අතිරේක වියදම් දැරීමට සිදුව ඇති නිසාත් උග්‍ර රාජ්‍ය මූල්‍ය අර්බුදයකට රජයට මුහුණදීමට සිදුව ඇති බව ඇත්තය. මෙහිදී දැනට පවතින බදු ව්‍යහය පිළිබඳව සමස්‌තයක්‌ ලෙස සලකා බලා අදට ගැලපෙන පරිදි එහි සුදුසු වෙනස්‌කම් සිදුකිරීමද අවශ්‍යය. පවතින බදු ක්‍රමය සමස්‌තයක්‌ ලෙස සමාලෝචනය කර මේ වෙනස්‌කම් සිදු කළ යුතු අතර පවතින අකාර්යක්‌ෂමතා හඳුනාගෙන රාජ්‍ය බදු පරිපාලනය වඩාත් කාර්යක්‌ෂම කර ගැනීමද කළ යුතුමය. මෙවැනි සමාලෝචනයක්‌ දැන් සිදුකරමින් පවතින බව මහා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පසුගිය දිනවල මාධ්‍යයටද ප්‍රකාශ කර තිබුණි.

මේ අනුව සිදුකෙරෙන වෙනස්‌කම් ඉදිරි අයවැයට ඇතුළත් කරනු ඇතැයි අපි අපේක්‌ෂා කරමු. ඊට පෙර පැවැත්වෙන මහ මැතිවරණය දෙසත්, එහිදී රජයේ දේශපාලනය මෙන්ම ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා පැවසූ පරිදි "පොලිටික්‌ස්‌" වෙනුවට කරන විපක්‍ෂ නායකවරයාගේ "පොඩි ටි්‍රක්‌ස්‌" දෙසත් අපි බලා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

 

 
Powered By -