අපේ කෙනෙක්‌ පරාක්‍රම කොඩිතුවක්‌කු

නවතන්න - නවතන්න
ඔය හටන නවතන්නත
එළාර නිරිඳුනි,
ඇතු පිටින් බැස එන්න
දුටු ගැමුණු රජ තුමෙනි
දෙන්න එළාරට පුටුවක්‌......
ගහක්‌ ගානෙ පැදකුණු කොට
කිරි කට්‌ටියෙ කිරි කපලා
රබර් ගහෙන් කිරි දෝලා
කිරි අරගෙන එන අම්මා - සරස්‌වතී
සිනා සපිරි තොල රැඳුනේ - එළාරගේ සිනා කැලුම්
අත් කකියන- තේ ගස්‌ යට - පිනි කෝඩේ තෙමී-තෙමී
කසට වර්ණ නෙත් විදහා - කළු දාඩිය බිබිලි යටින්
බහ නොදොඩා බලා ඉන්නෙ - නැහැ පුඩුවේ
තිරුවංගල් රැස්‌ බැබැලෙන
නිත්‍යකලා - එළාරගේ සහෝදරි
සරත්වතී - නිත්‍යකලා -මැණික්‌ ගගේ එකම තැනින් නෑවේ අපි
සිරීපොදෙ එකට නඩේ වැන්දේ අපි
ඉස්‌කෝලේ එකම ගොඩේ හිටියේ අපි
තෝසෙ කඩේ එකට වඩේ කෑවේ අපි ෘ
කන්තෝරුවෙ "සෝමාදේවිට"- කතරගමදි
ඇඩ්රස්‌ එක දීල තිබුණෙ - සිවලිංගම්...........
එළාර - දුටු ගැමුණු හටන - දුටු ගැමුණුට ජය පිට ජය ෘෘ
එළාර ගේ කුණ ඇතු පිට
නවත්වන්න අත්පොළසන් - නවත්වන්න අත්පොළසන්
නවත්වන්න අත්පොළසන් - අත්පොළසන් කාට කියන් ?
එක .......කඳුළු......බිංදුවක්‌ - කා ළඟද - තිබෙන්නේ -දන් දෙන්ට
ඒ නමට ?- එදා මැරුණෙ - අපේ කෙනෙක්‌ ......ෘ- අපේ ගෙදර
ලේ නෑයෙක්‌.......

වටමඬල සාහිත්‍ය කලා සංග්‍රහයෙන් සතිපතා ඉදිරිපත් කෙරෙන රස වින්දනයට ලක්‌වන කාව්‍ය නිර්මාණය, මා ඇළුම් කරන, මා විසින් රසවිඳ ඇති, මගේ හද සසල කළ නිර්මාණයක්‌ වන අතර, එය හුදෙක්‌ මගේ පෞද්ගලික තෝරා ගැනීමක්‌ම වේ. එම තෝරා ගැනීමේ දී ප්‍රවීන, ආධුනික භේදයක්‌ හෝ එක්‌තරා යුගයකට, කවි කුලයකට අයත් නිර්මාණයක්‌ය යන කරුණු සලාක නොබැලෙන අතර, මා විසින් විඳි රසය පාඨක ඔබ සමග ද බෙදාහදා ගැනීම පමණක්‌ මගේ අරමුණ වේ. කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ නිර්මාණ හා නිසදැස්‌ පද්‍ය සම්ප්‍රදායේ ආරම්භක කවීන්ගේ නිර්මාණ කෙමෙන් පාඨක අවධානයෙන් ඈත් වී ගිය සමයක, 70 දශකයේ නව කවි පරපුර ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලබන නව තරුණ කවි පරපුරක නිර්මාණාවලියක්‌ සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ වේ. මේ නව කවි පරපුරේ පුරෝගාමියා ලෙස පරාක්‍රම කොඩිතුවක්‌කු කවියාද ඔහුගේම සමතැන් ගත් මොනිකා රුවන් පතිරණ කිවිඳිය ද සඳහන් කළ හැකිය. මොනිකා රුවන්පතිරණ කිවිඳිය අද අප අතර නොමැති වූවත්, 70 දශකයේ කවි පරපුරට අයත් පරාක්‍රම කොඩිතුවක්‌කු ඇතුළු ඇතැම් කවීහු අදත් කාව්‍යකරණයෙහි නිරතව සිටිති. ඔවුන්ගේ කවිය ජනතාවට ළං වූ කවිය ලෙස ද හැඳින්වෙන බව අපි දනිමු.

1972 "පොඩි මල්ලියෙ" නමින් තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කරන පරාක්‍රම විසින් 2007 වර්ෂය දක්‌වා පළකරන ලද කාව්‍ය සංග්‍රහ අතර, අකීකරු පුරුෂයකුගේ ලෝකය, අලුත් මිනිහෙක්‌ ඇවිත්, රශ්මි, දෙවියන්ගේ මිනිසුන්, සිවමන් ගජමන්, ලොවි කහට, ආලෝක මිනිසා, ජෝති රශ්මි රාත්‍රි හා සංසාරෙට, මං ආසයි නම් කාව්‍ය කෘතීන් වේ. "ඉන්දු සහ ලංකා" හා "පිබිදෙන පැය" නම් පරිවර්තන කාව්‍ය සංග්‍රහද ඔහුගේය. සම්මානිත කවියකු වන පරාක්‍රම ගේ මුල් යුගයේ බොහෝ නිර්මාණ විරෝධාකල්ප රැගත් නිර්මාණ සේ සැලකේ. පොඩි මල්ලියේ කෘතියේ එන ඉහත නිර්මාණ මෙන්ම අකීකරු පුත්‍රයකුගේ ලෝකය කෘතියේ හමුවන විප්ලවවාදියකුගේ නඩු විභාගය වැනි නිර්මාණ ඊට නිදසුන්ය. පරාක්‍රම විසින් නිර්මිත විප්ලවවාදියාගේ ප්‍රකාශයෙහි ප්‍රබලකම කොතෙක්‌ දැයි, ඔහුගේ පහත ඉල්ලීමෙන් මනාව පෙනේ.

"සොක්‍රටීස්‌ මෙන් ප්‍රශ්න නගන්නට ඉඩ දියෝ
ඩේ කාට්‌ස්‌ වගේ සැක කරන්නට ඉඩ දියෝ
ගඟක්‌ මෙන් ගසා ගෙනයන්ට මට ඉඩ දියෝ
පිහියක්‌ මෙන් පලාගෙන යන්ට මට ඉඩ දියෝ
පුරුෂ ලිංගයක්‌ සේ මතුවෙන්ඩ ඉඩදියෝ....."

අපේ කෙනෙක්‌ නම්, පරාක්‍රමගේ පළමු කාව්‍ය සංග්‍රහය සමඟ අපට හමුවන මේ නිර්මාණය තුන්කල් දුටු කවියෙකුගේ අපූරු නිර්මාණයක්‌ සේ හැඳින්විය හැකිය.

එළාර දුටුගැමුණු ඓතිහාසික පුරාවෘත්තයට නව මානයක්‌ නව දෘෂ්ටියක්‌ නව අර්ථකථනයක්‌ එක්‌කිරීමට කවියා ගත් වෑයමක්‌ ලෙස අපේ කෙනෙක්‌ මට පෙනේ. සාහිත්‍යකරුවා ජනතාව සමග ජීවත් වුQවත්, ජනතාවට වඩා ඉදිරියෙන් අනාගතය දෙස දකින්නට හැකි සුවිශේෂ පුද්ගලයෙක්‌ බව නොවේද පරාක්‍රම තම කවියෙන් අපට පවසා සිටින්නේ? ඔහුගේ මේ නිර්මාණය බිහිවන 1972 වර්ෂය වන කල අපි සිංහල දෙමළ ජාතීන් අතර වූ විරසකයක්‌ පිළිබඳ අවාසනාවන්ත, රුදුරු, කුරිරු අත්දැකීම් දැඩි ලෙස විඳ නොසිටියෙමු. 70 දශකයේ අගභාගයේ ඇරඹි 83 පමණ වූ වකවානුවේදී උත්සන්නවී, දශක හතරකට පමණ ආසන්න කාලයක්‌ තුළ ජාතීන් දෙකක්‌ අතර පෙරදා වූ සහෝදරත්වය ළෙන්ගතුකම කැබලිවලට කැඩී බිඳී සුනු විසුණු වන අයුරු පරාක්‍රම කොඩිතුවක්‌කු කවියා 70 දශකයේ මුල් භාගයේ දුටුවේ කෙසේද? මේ කාව්‍ය නිර්මාණයට ප්‍රස්‌තුත වන විෂයෙහි අපූර්වත්වය එයයි. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කවියා තුළ ඉපදුණු මානුෂීය දයාව, මෛත්‍රීය පිළිබඳ ඉඟියක්‌ මගින් කවියා පාඨක සිත් වඩාත් නැඹුරු කරවීමට උත්සාහ ගන්නේ බුදු දහමේ කියෑවෙන මූලික සංකල්පයක්‌ වන මෛත්‍රිය පිළිබඳ චින්තාවලියට නොවේද?

කිරි කට්‌ටියේ කිරි කපනා සරස්‌වතී ගහකින් ගහකට නොයයි. ඈ ගහක්‌ ගානේ පැදකුණු කරන්නීය. ඇගේ දෙතොලේ රැඳුණු සිනහව එළාරගේ සිනා කැලුම්ය. පිනි කෝඩේ තෙමි තෙමී තේ ගස්‌ යට දලු නෙළනා, නිත්‍යකලා එළාරගේ සහෝදරීය. සරස්‌වතීලා, නිත්‍යකලාලා, සෝමාදේවිලා, සිවලිංගම්ලා ජීවත්ව සිට ඇත්තේ එකම ගෙදරකය. ඔවුන් එකම පවුලේ නෑදෑයන්ය. කතරගම ගොස්‌ මැණික්‌ ගඟේ නාන්නේ එකම තැනින්ය. සිරිපාදෙ නගින කල නඩේ හැමෝම නගින්නේ එකම ගල් පඩි මතිනි. රහස්‌ ප්‍රේමයට සිංහල දෙමළ බේදයක්‌ නොවිණ. සෝමාදේවිට ඇඩ්රස්‌ දෙන සිවලිංගම්? මේ නම් අපූරුතම සහෝදරත්වයක්‌ නොවේද? එහෙත් ඒ සහෝදරත්වය නොරැඳුණේ කොතැනද? එළාර හා දුටුගැමුණු අතරද? දුටු ගැමුණු ජයගෙන එළාරගේ කුණ ඇතුපිට රැඳුණු මොහොතේ නැගුන අත්පොලසන් කාගේ ජය වෙනුවෙන්ද? හොඳ කලා නිර්මාණයක අගය සාර්වත්‍රිකයි. පරාක්‍රම හැත්තෑවේ අපට අත් විඳින්නට සැලැස්‌වූ කාව්‍යමය අත්දැකීම් අපි විසින් මෑත කාලයේ දී සැබැවින්ම අත් නොවින්දෙමුද? අපේ කෙනෙක්‌ නිර්මාණය අද දවසේ වුව අප හදවතේ රිදුමක්‌ ඇති කරන්නේ එනිසාය.

ගෙවුණු වසර කිහිපය තුළ සිංහල දෙමළ දෙජාතීන් අතර සහෝදරත්වය, උතුරු දකුණු එක්‌ කෙරෙන පාලම් පිළිබඳ රචනා වූ ගී, කවි කෙතෙක්‌ද? නිමැවුණු ටෙලිනාටක, සිනමා පට කෙතරම්ද? ඉන් එකකුදු හෝ අප හද සසල කිරීමට සමත්වීද? දකුණින් මාළු ඇඹුල් තියල් රැගෙන උතුරට නෑගම් යනවා යෑයි කියූ පමණින්, මේ දෙජාතීන් අතර කැකෑරෙමින් පැවැති වෛර ගින්නට සිහිලක්‌ එක්‌ කෙරිණිද? එම නිර්මාණ බහුතරයක්‌, ව්‍යාජ, අවංක නොවූ, හුදු ප්‍රචාරාත්මක හා රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක කොටසක්‌ නොවීද? එහෙත් පරාක්‍රමගේ 1972 කවිය, ප්‍රචාරකත්වයෙන් මිදුණූ මනුෂ්‍යත්වය අමතන කවියකි. ඔහු තම නිර්මාණයේ අවසන අප ඉදිරියේ නගන ප්‍රශ්නයට පිළිතුරක්‌ අපි සතුද?

"එක.. කඳුළු.. බිංදුවක්‌
කා ළඟද - තිබෙන්නේ
දන් දෙන්නට - ඒ නමට?
එදා මැරුණෙ - අපේ කෙනෙක්‌....ෘ
අපේ ගෙදර
ලේ නෑයෙක්‌....
අද දවසේ හෝ අප එලෙස සිතනවාද?

බුද්ධදාස ගලප්පත්ති
 

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.