ගාලූ වරායේ ඉතිහාසය කියවමු

එක්‌පසකින් ගාලු කොටු පවුරෙනුත් අනිත් පසින් රූමස්‌සල කඳු වැටියෙනුත් සෙවනවුණු ගාලු වරාය ඉතා සුන්දර දියකඩකි. ඈත ක්‍ෂතිජය තෙක්‌ පැතිරී විසිරී නිල්වන් අහස්‌ තලයටත් වඩා තද දුඹුරු නිල් පැහැයෙන් යුතුව අතුරුදන්වන මහා කරදිය කඳ නිසා මෙහි සුන්දරත්වය දෙගුණ තෙගුණ වන්නේය.

සැබවින්ම අනාදිමත් කාලයක පටන් පෙරදිග මෙන්ම අපරදිග නාවුකයන් අතර ගාල්ල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නගරයක්‌ හැටියට නොව ආරක්‍ෂිත වරායක්‌ හා ජාත්‍යන්තර වෙළෙඳ පොළක්‌ වශයෙනි. ගාලු නගරය බිහිවීමට බලපෑවේ මෙම ස්‌වාභාවික වරායයි.

ගාලු වරාය ජාත්‍යන්තර වෙළෙඳාමෙහි හා දේශ ගවේෂණයෙහි යෙදුණු නාවිකයන්ගේ ක්‍ෂේම භුමියක්‌ වූහ. ග්‍රීක ඉතිහාස වාර්ථා අනුව ක්‍රිස්‌තුවර්ෂ 4 වැනි සියවස තරම් පැරණි යුගයක සිට ගාල්ල වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතුනි.

එකල මෙරටින් පිටරට යන්නෝද ගාලුවරායෙන් නැව් නැංගාහ. සතියකට වරක්‌ පී. එන්. ඩී. සමාගමේ නැව්වලින් ගමන් කිරීම සඳහා වරායට රැස්‌වූ ජනතාවගෙන් ගාලුවරාය ජැටිය පිරි තිබුණු බව කියවේ. බොහෝ අවස්‌ථාවලදී වරාය පුරා නැව් නවතා තිබෙනු දක්‌නට ලැබීම එකල සුලභ දර්ශනයක්‌ වූ බව එකල සිටියෝ සඳහන් කර ඇත්තාහ. එමෙන්ම 1869 නොවැම්බර් මස 17 වැනි දින සූවස්‌ ඇළ නැව් ගමනා ගමනය සඳහා විවෘත කිරීමෙන් පසු කල්කටාව, චීනය, ජපානය, සහ ඔස්‌ටේ්‍රලියාව බලා යන නැව් අනිවාර්යයෙන්ම ගාලු වරායට පැමිණියේය.

එකල ලන්ඩනයේ සිට පැමිණෙන නැවකට ගාලු වරායට ළඟාවීම සඳහා සති තුනක්‌ පමණ ගතව තිබේ. 1868 දී නැව් 34 ක්‌ද 1869 දී නැව් 58 ක්‌ද 1870 දී නැව් 82 ක්‌ද 1871 දී නැව් 110 ක්‌ද වශයෙන් ගාලු වරායට පැමිණ තිබේ. එමෙන්ම 1936 වසරේ සිට 1945 දක්‌වා දස වසර තුළ නැව් 766 ක්‌ ගාලුවරායට පැමිණ තිබේ. මින් පැහැදිලි වන්නේ එකල ගාලු වරායට විශාල නැව් සංඛ්‍යාවක්‌ පැමිණ ඇති බවය.

එම කාලය තුළදී ගාලු නගරය ඉතාමත් කාර්ය බහුල නගරයක්‌ව පැවතිණි. යුරෝපයේ සිට ඔස්‌ටේ්‍රලියාවට සහ ඈත පෙරදිගට ගමන් කළ මගීන්ට ගාල්ල හොඳ නවාතැන් පොළක්‌ වූහ. මේ නිසා ගාල්ල අන්තර්ජාතික වෙළෙඳපොළක්‌ හැටියට දියුණු විය. චීන, මිසර, පර්සියා, ඉතියෝපියා ජාවා සුමාත්‍රා රෝම, අරාබි ඉන්පසු ඕලන්ද ඉංග්‍රීසි ආදී විදේශීය වෙළෙඳ නැව් එදා මෙහි ළඟා වූයේ ගාලුවරායටය.

කෙසේ වුවද මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාලු කොටුව ව්‍යාපෘතියේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල මහතා පවසන්නේ පෘතුග්‍රීසින් මෙරටට පැමිණීමට පෙර සිටම ගාල්ල වෙළෙඳ නගරයක්‌ වශයෙන් පැවති බවය. චීන ජාතික වෙළෙන්දෝ 1409 දී ගාල්ලට පැමිණ ඇති බව ගාමිණි දොඩම්වල මහතා පවසයි.

මෙහිදී ඔවුහු චීන භාණ්‌ඩ ප්‍රදර්ශනයක්‌ හා වෙන්දේසියක්‌ ගාල්ල වෙළෙඳ නගරයේ සිදුකොට තිබේ. රත්‍රං, රිදී පෝසිලෙන්, ලාක්‌ෂා, සිලික්‌ හා බෞද්ධ පොත්පත්ද මෙම ප්‍රදර්ශනයට එකතු විය. මෙහිදී විදේශ වෙළෙඳාම සඳහා කදිම තෝතැන්නක්‌ ගාලූ නගරයේ පිහිටා තිබූ බව පෙනේ. මෙම වෙළෙඳසල් වෙත චීන, පර්සියන් රෝම හා අරාබි වෙළෙඳුන් නිරන්තරයෙන් පැමිණ ඇති බව සඳහන් වේ.

මෙකී වෙළෙඳ රටාව වැඩි දියුණුවීමත් සමග බුවනෙකබාහු වැනි රජවරුන් එයට අවධානය යොමු කළ බවද පෙනී යයි. එමෙන්ම ගාල්ල පිළිබඳ විදේශීය දේශ සංචාරකයන් විවිධ අදහස්‌ ඉදිරිපත් කිරීම මෙන්ම දේශීය සංදේශකයන්ගේ අවධානයද නගරය වෙත යොමුවී තිබිණි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පරෙවි සන්දේශයේ (1430 - 1440) 88 පදයේ ගාල්ල ගැන මෙසේ සඳහන් කොට තිබේ.



සරා සොඳින් මහ සයුරතැ මුළුල්ලේ

පෙරා රැගෙනැ රන් මිනිමුතු සියල්ලේ

සරා තිබූ මෙන් සල්පිල් උදුල්ලේ

පුරා මැසිරි දැක යාගන් ගාල්ලේ



මෙහිදී සල්පිල් හා ආපන ශාලාවලින් යුත් ගාලු නගරයේ සිරිය සම්පූර්ණයෙන්ම දැක පියඹා යන ලෙස රාහුල හිමියෝ පරෙවියාට පැවසූහ. සල්පිල් හා ආපන ශාලා ගාල්ල වරාය පදනම් කොට ගෙන ඇති වූ වාණිජ රැල්ල නිසා බිහි වූ බව පෙනී යයි. මෙයින් ගාල්ලේ වෙළෙඳාම ඉතා ඉහළම තත්ත්වයක පැවති බව පැහැදිලි වන්නේය.

එමෙන්ම ඉමර්සන් ටෙනන්ට්‌ ලංකාව ගැන ලියූ පොතෙහි ගාල්ල විශ්වයේ ඇති ඉතාමත් සම්භාවනීය වෙළෙඳ පොළක්‌ හැටියට සඳහන් කර තිබේ. ඔහු එම අදහස ප්‍රකාශ කොට ඇත්තේ බයිබලයේ දැක්‌වෙන ටාශිෂ් නගරය ගාල්ලය යන හැඟීමෙන් යුතුව බවද සඳහන් වේ.

ඉක්‌බිති ලක්‌දිව බොහෝ දේශපාලන විපර්යාසයන්ට භාජන කළ පෘතුගී්‍රසින් 1505 දී මුල්වරට ගාලුවරායට පැමිණේ. අහම්බෙන් මෙසේ පැමිණෙන පෘතුග්‍රීසීන්ට මෙරට සිටි වෙළඳුන්ගේ නොසතුට පළවේ. 1594 දී පෘතුග්‍රීසීන් විසින් ගබඩා පිහිටුවූ මැණික්‌කඩවර, රුවන්වැල්ල හා ගාල්ල කාලීන වැදගත්කම අනුව සිදුකරනු ලැබීය. මෙයින් ප්‍රධාන ස්‌ථානයක්‌ විදේශීය වෙළෙඳාම පදනම් කොට ගෙන වෙළෙඳපොළ ක්‍රියාත්මක වූ ගාල්ල සඳහා හිමිවිය. වැඩි වශයෙන්ම කුරුඳු, ගම්මිරිස්‌, නිපදවන ලද්දේ ගාල්ල, මාතර දිස්‌ත්‍රික්‌කවලය.

ගාල්ලේ බීරළු කැස්‌බෑලෙලි රටා, රිදී ආදී අත්කම් මෙම කාලයේදී ඉතා ජනප්‍රිය විය. එකල කොළඹ වරාය තුළ පිහිටි ගල්පර හේතුවෙන් වැලි කඳු ගොඩ ගැසීම හා ඊසාන දිග සුළං නිසා කොළඹ වරාය ක්‍රියාත්මක වූයේ කාලයකට පමණකි. මේ නිසා අතීතයේ සිට ගාලුවරාය ස්‌වභාවිකවම ආරක්‍ෂා සහිත වූ බැවින් හා ප්‍රධාන වෙළෙඳාම ඉතා කෙටි මාර්ගයක්‌ වූ බැවින් ආර්ථික තත්ත්වය කෙරෙහි ගාල්ලට වැඩි අවධානයක්‌ යොමුවිය. වැඩි වශයෙන් මුස්‌ලිම්වරුද මේ අනුව ගාල්aaලේ වෙළෙඳ කටයුතුවල නිරතවූහ.

කෙසේ වුවද අතීතයේ විවිධ යුද කටයුතු හා වෙනත් අවශ්‍යතා සඳහා භාවිත කළ ගාල්ල අවට ප්‍රදේශයන් දසවන සියවසෙන් පසු ක්‍රමයෙන් වෙළෙඳාම මත පදනම් වූ ආර්ථික පරිසරයක්‌ ලෙසට පරිවර්තනය විය. මේ සඳහා වඩාත් බලපාන ලද්දේ කෝට්‌ටේ රාජධානිය පිහිටුවීමය. එම යුගයේදී වෙනත් වෙළෙඳ මධ්‍යස්‌ථානවලට වඩා ගාල්ල ප්‍රදේශයට අවධානය යොමු වූ බව පැහැදිලි වේ. මේ සඳහා බලපෑවේ එකල ආර්ථික රටාව වෙළෙඳාම කෙරෙහි වැඩි නැඹුරුතාවකින් යුතු වූ බැවිනි.

කොළඹ මාතර අතර වෙරළාසන්න මාර්ගයේ පිහිටි ගාලුනගරයට දෙපසින් වූ අතීත නගර විවිධ කාර්යයන් සඳහා එකල යොදා ගැනිණි. ඒ ගාලු වරාය පසුබිම්කොට ගෙනය. එමෙන්ම ගාලුවරාය ලංකාවේ ප්‍රධාන වරායක්‌ වශයෙන් පැවති අවධියේ ගාල්ලට ලැබුණු ලියුම් කොළඹට ගෙනයැම සඳහා දිවීමෙහි දක්‍ෂ මිනිසුන්ද කඩින් කඩ යොදවා තිබූ බව සඳහන් වේ.

බොහෝ විදේශ ප්‍රවෘත්ති ගාල්ලට ලැබුණේ වරායට ළඟා වූ නැව් මගිනි. විශේෂයෙන් පුවත්පත්වල පළකිරීම සඳහා කොළඹට යෑවිය යුතු ප්‍රවෘත්ති සීග්‍රයෙන් ගෙන යැම සඳහා 1850 සිට පරෙවියෝද යොදා ගත්හ.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේ අඩ සියවසකට වැඩි කාලයක්‌ ලංකාවේ ප්‍රධාන වරාය වශයෙන් ගාලුවරාය පවත්වාගෙන යනු ලැබීය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී අවුරුදු හයක්‌ ඇතුළත පි. එන්. ඕ. සමාගමට අයත් නැව් තුනක්‌ම ගාලුවරායේ ගල්පරවල හැපී ගීලා බැස ඇති බව සඳහන් වේ. මෙකී තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ කානවන් සාමිවරයා විසින් 1866 නොවැම්බර් මස 28 වන දින ලංකාණ්‌ඩුකාර සර් හර්කියුලිස්‌ රොබින්සන් ආණ්‌ඩුකාරයා වෙත ලිපියක්‌ යොමු කරමින් ඉල්ලා සිට ඇත්තේ රන්පවුම් 3000 ක්‌ පමණ වැය කොට ගාලුවරාය දියුණු කළ යුතු බවයි. ඉක්‌බිති ගාලුවරාය දියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පරික්‍ෂාකර බැලීම සඳහා 1869 ඔක්‌තෝබර් මස 30 වැනි දින අට දෙනකුගෙන් යුත් කමිටුවක්‌ද පත්කරනු ලැබීය.

කෙසේ වුවද අනාගතයේදී ගාල්ල දිවයිනේ වෙළෙඳ කේන්ද්‍රස්‌ථානයක්‌ නොවන බවත් උඩරට පළාත්වල නිෂ්පාදන පහසුවෙන් කොළඹට ගෙන ඒමට හැකි නිසාත් කොළඹ වරාය දියුණු කිරීමට පාලකයෝ පියවර ගත්හ. මේ අනුව විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්‌ඩුකාරයාගේ කාලයේදී එනම් 1873 දී කොළඹ වරාය සකස්‌ කිරීම ආරම්භ විය. 1882 දී එහි නැව් නවතා තැබීම සඳහා විවෘත විය. ඉන්පසු ගාලු වරායට හිමිවූයේ ද්විතීක ස්‌ථානයකි.

මේ නිසා ගාලු නගරය පරිපාලන නගරයක්‌ බවට පත්විය. 1941 වසර දක්‌වාම ගාල්ලට කෙලින්ම පිටරටවලින් සහල්, සීනි, පිටි, මිරිස්‌, අල පරිප්පු, රටලූණු, රතුලූණු, යකඩ බඩු සිමෙන්ති හා වෙනත් ධාන්‍ය වර්ග ගෙන්වීම සිරිතක්‌ ලෙස පැවතුණි. දාවිත් මුදලාලි කේ. ඩී. ජුහානිස්‌ මුදලාලි, වී. ඩී. ඇස්‌ ප්‍රනාන්දු මුදලාලි, වී. වී. හරමානිස්‌ අප්පුහාමි, පී. ඇල්. ඇස්‌. ලෙච්චමින් ශෙට්‌ටියාර් පිටරටවලින් මෙරටට බඩු ගෙන්වන ලද විශාල වෙළෙඳ පිරිසක්‌ද එකළ විය.

කෙසේ වුවද වර්තමානයේ නම් ගාලුවරාය කාර්යබහුල වරායක්‌ නම් නොවේ. එදා තිබූ වෙළෙඳ නගරය අද ගාල්ලේ දක්‌නට නැත. කොටින්ම කිවහොත් ගාලු නගරය වර්තමානයේ නොවිදිමත් අවධිමත් නගරයක්‌ හැටියට හැඳින්වුවද වරදක්‌ නැත. සැබවින්ම ගාලුවරාය මෙන්ම ගාලු නගරයද අද නිද්‍රdශීලී ස්‌ථාන බවට පත්ව ඇත්තේය.

අප මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි ගාලු නගරය වෙළෙඳ නගරයක්‌ බවට පත්වූයේ ගාලු වරායත් සමගය. එහෙත් අද ගාලු වරායට බොහෝවිට පැමිණෙන්නේ සිමෙන්ති පුරවාගත් නෞකාය. ගාලුවරාය සංචාරක වරායක්‌ ලෙස දියුණු කිරීමට රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. මීට සමගාමීව ගාලුනගරය සංචාරක නගරයක්‌ ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බැව් ගාල්ල ආසනයේ ශ්‍රි. ල. නි. ප. සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා පවසයි.

ගාලුවරාය තුළ සංචාරකයන්ගේ රුවල් නැව් අලුත් වැඩියා කිරීම සඳහා මේ වනවිටත් එහි අංගනයක්‌ ඉදිවෙමින් පවතී. එමෙන්ම ගාලු නගරය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන සියයක මුදලක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබාදී තිබේ. කෙසේවුවද ගාලු නගරයේ නගර සංවර්ධන සැලැස්‌ම නම් තවමත් ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනේය. නගර සැලැස්‌මෙන් ගාල්ල බස්‌ නැවතුම් පොළ හැලීගොසිනි. තවමත් ගාලු නගරයේ දක්‌නට ඇත්තේ සුනාමි ෙ€දවාචකයෙන් පසු ජ. වි. පෙ. මගින් ඉදිකළ බස්‌ නැවතුම් පොළය.

ගාලු නගරය සංචාරක නගරයක්‌ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කළද සුනාමි ෙ€දවාචකයේ නෂ්ඨාවශේෂ තවමත් නගරය තුළ දක්‌නට තිබේ. සැබවින්ම මෙය නගරයට පැමිණෙන සංචාරකයන්ට නම් අප්‍රසන්න දසුනකි. එමෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගාලු නගරයේ පෞරාණික බව ආරක්‍ෂා කරමින් නගරයට ආවේණික පැරණි ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුව ගොඩනැඟිලි ඉදිකිරීමට හා අලුත්වැඩියා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් උපදෙස්‌ දී ඇත.

ගාලු කොටුව තුළ ඇති පෞද්ගලික නිවාසවල එම කටයුතු මේ වනවිටත් සිදුකොට තිබේ. කෙසේ නමුත් ගාලු නගර සැලැස්‌ම යටතේ දැනට වෙරළ පාර හා වෙරළ උද්‍යානය ඉදිකොට ඇත. පාපන්දු ක්‍රීඩාංගණයක්‌ද වෙරළ ආසන්නයේ ඉදිකොට තිබේ. ගාල්ල කළුවැල්ල මාර්ගය පුළුල් වෙමින් පවතී.

එහෙත් බොහෝ නගර සැලසුම් තවමත් සිමාවී ඇත්තේ සැලසුම්වලට පමණි. කරාපිටිය නගරයේ සාප්පු සංකීර්ණයක්‌ ඉදිකරනවා. ලබුදූව සුපිරි වෙළෙඳ සලක්‌ ඉදිකරනවා. ඕරොප්පුවත්තේ සාප්පු සංකීර්ණයක්‌ ඉදිකිරීමට සැලසුම් කොට තිබෙනවා. කොටුව තුළ දැනට වසා දමා ඇති උමං මාර්ග විවෘත කිරීමට හා කොටුවේ සිට රූමස්‌සල දක්‌වා බෝට්‌ටු සේවාවක්‌ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් වෙනුවෙන් ආරම්භ කරනවා. දැනටමත් නාගරික මාළු වෙළෙඳ සල නවීකරණය කොට තිබෙනවා. හිල්ටොප් ගොඩනැඟිල්ල අංගසම්පූර්ණ සංචාරක හෝටලයක්‌ බවට පත්කරනවා.

මේ ගාලු නගර සංවර්ධන සැලැස්‌ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉකුත් දා පැවති රැස්‌වීමකදී නිලධාරීන් හා දේශපාලනඥයන් කී කථාන්දරයන්ය.

ගාලු නගරය ඈත අතීතයේ සිටම සංචාරකයන්ගේ පාරාදිසයකි. යුද්ධය නිමවීමත් සමග ගාලු නගරයට පැමිණෙන සංචාරකයන්ගේ ද පැමිණීම විශාල වශයෙන් වැඩි වී තිබේ. මේ නිසා සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකොටගෙන ගාලුනගරය සංවර්ධනය කළහොත් ගාලු නගරයේ පෙර තිබූ ශ්‍රී විභූතීය යළි උදාකර ගත හැකි බව නම් සක්‌සුදක්‌සේ පැහැදිලිය.

විශේෂ ස්‌තුතිය ගාලුකොටුව ව්‍යාපෘතියේ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල මහතාට

ලලිත් චාමින්ද

 
Powered By -