ඕලාරික  ශෘංගාරයේ කවියා දුනුවිල ගජනායක නිලමේ

කෝට්‌ටේ යුගයෙන් පසු ගිහියන් අතට පත් සිංහල කවිය එතෙක්‌ පැවති සීමා බන්ධන බිඳ දමමින් අනුරාග රළ රැළි නංවා මහනුවර යුගය හරහා ගලා යනු දක්‌නට ලැබිණි. මේ ශෘංගාර නදිය පෝෂණය කළ ප්‍රධාන අතු ගංගා දෙක වූයේ පත්තායමේ ලේකම් හා දුනුවිල ගජනායක නිලමේය.

දුනුවිල රාජකරුණා ඒකනායක ධර්මකීර්ති පණ්‌ඩිත මුදියන්සෙ රාළහාමි සාහිත්‍ය ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේ දුනුවිල ගජනායක නිලමේ වශයෙනි. එකල වැදගත් නිලයක්‌ ලෙස ගජනායක තනතුර සලකන ලදී. ගජනායක යනු අලි ඇතුන් පරිපාලනයේ ප්‍රධාන ධුරයකි. ඔහු දුම්බර මිටියාවතේ දුනුවිල නමැති ගමේ උපන්නෙකි. ඔහුගේ පියා මිල්ලව මොහොට්‌ටාල නමැත්තෙකු බව සඳහන්වේ. මහනුවර ශාස්‌ත්‍ර ප්‍රබෝධයේ නියමුවෙකු වූ අත්තරගම රාජගුරු බණ්‌ඩාර පඬිතුමාගේ මෙහෙවරින් මතුව ආ මහඟු මිණක්‌ වුයේ ගජනායක නිලමේය. එතුමාගෙන් ශබ්ද ශාස්‌ත්‍රය උගත් මොහු අංගම්මන සෙනරත් මැතිඳුන්ගෙන් කාව්‍ය ශාස්‌ත්‍රය හදාරන ලදී. කාලිංග බෝධි ජාතක කාව්‍යය, දුනුවිල හටන සහ රති රත්නාලංකාරය මෙම ගජනායක නිලමේ විසින් ලියන ලද කෘතීන් ලෙස සඳහන් වේ.

මොහුගේ රචනා අනුරාගයම මුල් කරගත් ඒවා වෙයි. මහනුවර යුගය වන විට රජුන් හා ප්‍රාදේශීය පාලක නායක කාරකාදීන් පිනවීම සඳහා කාව්‍යකරණය යොදාගත් ආකාරයක්‌ දක්‌නට ලැබේ. එහිදී ශෘංගාරයට මුල් තැන දෙමින් ඉන් කතා නායකයා පිනවීම හා රාගය වඩවාලීම අරමුණු කොට ගෙන ඊට ගැලපෙන කතා පුවත් කාව්‍ය සඳහා වස්‌තුකොට ගැනීමක්‌ සිදුවිය. කාලිංග බෝධි ජාතකය කාව්‍යය සඳහන් වස්‌තු කොට ගත් පුවතද එවැන්නකි. මෙම කෘතිය කිරීම සඳහා ආරාධනය කොට ඇත්තේ විජයකෝන් සෙනවිරත්න අබේකෝන් පණ්‌ඩිත නම් මුදලි කෙනෙකි. ඒ 1780 වර්ෂයේදීය. මහනුවර මහාධිකාරම් නිලය උසුලන ලද්දේ මෙම මුදලිවරයා විසිනි. ආරාධනය සිදු කර වසර 19 කට පසු පොත ලියා අවසන්කොට තිබේ. දීර්ඝ කාව්‍යයක්‌ වන මෙහි පද්‍ය 677 කි. පැරණි ජාතක කාව්‍ය අනුගමනය කළ කව්මග යමින් මෙයද කර ඇති බව පෙනේ. ගජනායක නිලමේගේ කවිත්වය හුවා දැක්‌වෙන විවිධ විරිත් මෙහි දක්‌නට ලැබේ. එහෙත් ඔහුගේ රතිරත්නාලංකාරය හා දුනුවිල හටන අතිශය ශෘංගාරාත්මක රචනා බවට පත්විය. පත්තායමේ ලේකම්ගේ වියොවග රත්න මාලය හා රතිවතී කතාවට පසු හමුවන රාග නිශ්‍රිත කෘතීන් වන්නේ මේවායි.

රතිරත්නාලංකාරය කාව්‍යය ආරම්භ කරමින් එහි දෙවෙනි කවියෙන්ම ඔහු පවසන්නේ යෞවන මදයට පමණක්‌ ඔබින කාව්‍යයක්‌ කරනු ලබන බවයි.

"සිව් මුව සදහට නමකර බැති නා

ලොව් සත සිත තුටුවන ලෙස තරු නා

යව් වන මදයට විතරක්‌ ඔබි නා

කව් පද බැඳුමක්‌ කරනෙමි පෙමි නා"

මින් කවියාගේ අරමුණ පැහැදිළිවේ. මෙහි කවි 233 කි. 151 දක්‌වා එක්‌ කොටසකුත් එතැන්සිට 233 දක්‌වා දෙවන කොටසත් වශයෙන් වෙන්කොට දක්‌වා ඇත. කවියා තමා තුළ ඇති රාග චෛතසිකයන් මතුකරන කතා පුවතක්‌ කවියට නගයි. රූබර යෞවනියක්‌ අවනත කොටගෙන රාත්‍රිය පුරා ඇය සමග සම්භෝග රතියෙහි යෙදුණු ඇයුරුත් යුවතියගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්‌වා නාරි රූපය සියලු තැන් අභිරුචියෙන් වර්ණනය කරන ලද අයුරුත් මෙහි දැක්‌වේ.

ස්‌ත්‍රියකගේ දැඩි විරහ වේදනාව කියා පෑමට කවියා මහත් කැමැත්තක්‌ දක්‌වන ලද බව පෙනේ. එය අඳෝනාවක ස්‌වරූප ගනී. මේ එක්‌ කවකි.

"බාල වයසෙහිම නොද න්නා-මන

මාල කමට මා ගෙ න්නා

කෝල නොව සුරති උග න්නා - කිම

දීල ගියේ මෙම දුක්‌ ගි න්නා"

මෙවැනි කවිවලින් පොත පිරී ඇත. කවියෙහිද නැවුම් එළියක්‌ ඇතිව රචනා කර තිබේ. මෙතෙක්‌ නොවූ තරමේ බොළඳ හැඟීම් දැනවීමක්‌ මෙයින් කෙරේ. ඔහුගේ දුනුවිල හටනද මෙසේම අනුරාගී හැඟීම් දනවන කෘතියකි. එය සිය උපන් ගම වන දුනුවිල තමාට අහිමිවීම නිසා එය යළි ලබාගැනීමේ අරමුණින් ලියන ලද්දකැයි කියවේ.

ක්‍රි. ව. 1811 තරම් කාලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ අගමැති ලෙස සිටි ඇහැළේපොල නිලමේ වර්ණනා කිරීම මෙහි අරමුණ වී ඇත. කවියා සෙයින්ම රාග නිශ්‍රිත චරිතයක්‌ වූ ඇහැලේපොළද රාග මතින් මත්කොට පොළඹවාලීම සිදු කරන අයුරු මින්පෙනේ.

ඇහැළේපොල හා සම්භෝගයෙහි යෙදෙන යුවතිය නිවසට ගිය පසු ඇයගේ සිරුරේ තිබුන කැලැල් මව දකී. මව ඒ පිළිබඳ දියණියගෙන් විමසයි. දියණිය බොරු පිළිතුරක්‌ ලබාදෙයි. එය ප්‍රශ්න හා පිළිතුරු ලෙස තනි කවි වශයෙන් නිමවා ඇත. එම කවිවලටද අලුත් එළියක්‌ ලබාදීමට කවියා සමත්වේ.

"නිමල කුසුම්ලා බැඳතිබූ ඔප ලා -තිගෙවරල අවුල්වූ සැටි කිය නුමු ලා

කොමල යෙහෙලියක්‌ විත් ඉස බ ලා-

මගෙ වරල අවුල්කර දැමුවයි මුද ලා"

මෙසේ එකින් එක මව අසන ප්‍රශ්නවලට දෙන බොරු පිළිතුරු වශයෙන් කාව්‍යය රචනාවෙයි. අවසන දියණිය තමා ඇහැලේපොළ මැතිඳුන්ගේ නිවසට ගොස්‌ එතුමා සමග සමහන් සුවයේ යෙදුන බවත් සිරුරේ ඇති ලකුණු එහිදී සිදුවූ ඒවා බවත් පවසයි.

කවියා පෞද්ගලික ලාභ අපේක්‍ෂාවක්‌ සඳහා ඇහැලේපොළ අවනත කර ගැනීම පිණිස මෙම රාගාන්විත රචනය කළ බව පෙනේ. මේ පිළිබඳ පවතින ජන කතාද අසන්නට ලැබේ. දුනුවිල පරම්පරාවට අපහාස කිරීම සඳහා මෙය ලියන ලදැයි යන මතයක්‌ද වේ. එමෙන්ම ඇහැලේපොළ නිලමේ දුනුවිල නිලමේගේ දියණිය සමග අනියම් සම්බන්ධයක්‌ පවත්වා ඇය ගැබ්බර වීම නිසා වෙනත් අයකු විසින් මෙම කාව්‍යය ලියා පලකළ බවද ජනවහරේ එයි. කෙසේ වෙතත් පොදු පිළිගැනීම දුනුවිල හටන ගජනායක නිලමේගේම කෘතියක්‌ බවයි.

ඇහැලේපොළ අගමැති ලෙස සිට ඇත්තේ වසර තුනක තරම් කෙටි කාලයකි. රතිරත්නාලංකාරය එහි මුල් වසරේ ලියා ඇති අතර ඔහු අගමැතිව සිටි අවසාන භාගයේ දුනුවිල හටන ලියවී ඇත. මෙමගින් ගජනායක නිලමේ තමාට අහිමිවූ දුනුවිල ගම්මානය යළි ලබාගත් බවද කියවේ.

මහනුවර යුගයේ ලියවුන මෙම ශෘංගාර කාව්‍ය කොළඹ යුගයේ කවීන් විෂයයෙහි තදින් බලපාන ලදබව පෙනේ. අනුරපුරයේ පෞඪ ඉතිහාසයක සිට නිමල දිය දහරින් පිරි නදියක්‌සේ පොළොන්නරු දඹදෙණි යුගයන් හරහා ගලා ආ අපේ සාහිත්‍යය කෝට්‌ටේ යුගයෙන් පසු බොරවී ඉවුරු කඩා බිඳ දමමින් ගලාගිය ආකාරයක්‌ මින් පෙන්නුම් කෙරේ.

ගුණපාල ජයතිස්‌ස

 

 
Powered By -