ටයිටස්‌ තොටවත්ත වැනි කලාකරුවන්
මේ ලක්‌ දෙරණේ තව තවත් බිහිවේවා

ආනන්ද විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන

සචිත්‍ර ඇල්වලගේ

"ටයිටස්‌ තොටවත්ත වැනි යුග පුරුෂයන්, කලාකරුවන් මේ ලක්‌ දෙරණ මත තව තවත් බිහිවිය යුතුයි. ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් සිනමාකරුවකු වන ටයිටස්‌ තොටවත්ත මහතා තම පාසලේදීම උපහාර ලැබීම සුවිශේෂී අවස්‌ථාවක්‌. අපේ රටේ වාසනාවට උපන් ඔහු ළමා ලෝකයේ මිත්‍රයකු වුණා. වරක්‌ ටයි මහත්තයා "මා රටට දුන් යමක්‌ වීද, ඒ ආනන්දය මට ලබාදුන් දේය" කියා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් ටයි මහත්තයාගේ නිහතමානී බවත්, ආනන්ද විද්‍යාලයේ සුවිශේෂී බවත් රටට පැහැදිලි වුණා. තමන් ගැන නොසිතා රට ගැන සිතන මෙවන් කලාකරුවන් රටට ණය නැහැ. සිංහල සිනමාවේ බිහිවූ අපූර්වත්වයෙන් පිරි සොඳුරු කැරලිකරුවකු ලෙස ටයිටස්‌ තොටවත්තයන්ව හැඳින්විය හැකියි."

කොළඹ ආනන්ද විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන මහතා මෙසේ පැවසුවේ පසුගිය 5 වැනිදා පැවැති ටයිටස්‌ තොටවත්ත අභිනන්දන උළෙලේදීය. ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවති මෙය ආදි ආනන්දීය මාධ්‍ය කවය සහ ජාතික රූපවාහිනි සංස්‌ථාවේ හඬ කැවීම් අංශය විසින් සංවිධානය කරන ලදී. එහිදී යොවුන් සිනමා විචාරක මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර විසින් රචිත මරදාන ඇස්‌. ගොඩගේ ප්‍රකාශනයක්‌ වන "සොඳුරු අදියුරු සකසුවාණෝ" කෘතිය එළිදැක්‌වීම ද සිදුවිය.

එම උළෙල ඇමතූ ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතා,

ටයි මහත්තයා ගැන කෘතියක්‌ රචනා කරමින් නුවන් නයනජිත් ඉටු කළේ ඉතා විශිෂ්ට කාර්යයක්‌. ඉදිරි පරම්පරාවට මෙතුමා හඳුන්වාදෙමින් ගත යුතු ආදර්ශය කුමක්‌දැයි මෙම ග්‍රන්ථයෙන් මනාව පැහැදිලි කර දෙනවා. මෙතුමා සමග වැඩ කරන්න බොහෝ දෙනා බිය වුණා.

සිනමාවෙන් රූපවාහිනියට පැමිණි මෙතුමා ඒ ක්‍ෂේත්‍රය ගැන මනා හැදෑරීමක්‌ කළා. ටයි මහත්තයා අතිදක්‍ෂ සංස්‌කරණ ශිල්පියෙක්‌. ටයිම් කෝඩ් තාක්‍ෂණය මුල්වරට භාවිත කළේත්, එතුමායි. ඒ කාලේ උදේ පහ වෙනකොට අපිත් සමග ඔහු රූපවාහිනියේ වැඩ පටන්ගෙන රටට ආදර්ශයක්‌ දුන්නා. රූපවාහිනි හා සිනමා මාධ්‍යයට හෙළ සිප්යුරු වදන් දායාද කළ සොහොයුරන් ලෙස ටයිටස්‌ මහතාත් ඔහුගේ අයියා වන ඊලියන් ද සිල්වා මහතාත් ඉතිහාසයට එක්‌ වෙනවා. කිසිවෙකුට බිය නැති සෘජු අදහස්‌ තිබෙන කෙනෙක්‌. ජනවාර්ගික අර්බුදය ඇතිවූ මුල් යුගයේ සිංහල, දෙමළ, ඉංගී්‍රසි භාෂා ත්‍රිත්වයම එකවර යොදාගෙන විකාශය වූ මෙරට ප්‍රථම රුපවාහිනි වැඩසටහන නිර්මාණය කළා. ජාතික රූපවාහිනියට හඬ දෙකැවි මැදිරියක්‌ දායාද කිරීමම එතුමා කරගත් මහා පින්කමක්‌.

එම අවස්‌ථාව ඇමතූ ජාතික රූපවාහිනියේ අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ මහතා,

අපේ පරම්පරාව ටයි මහත්තයා දුටුවේ සිනමාකරුවකු ලෙසයි. නමුත් අපේ දරුවන් ආදරණීය ටයි මාමා ලෙස වැළඳගත්තා. ඔහු කළ වැදගත්ම කාර්යය තමයි, ඔහුගෙන් පසු කාලයට මෙම කටයුතු කරගෙන යැමට ගෝලයන් නිර්මාණකරුවන් බිහි කිරීම. ටයි මහත්තයා විශ්‍රාම ගිහිල්ලා වසර 10 කට වැඩි වුණත් අදටත් එතුමාගේ නිර්මාණ රූපවාහිනියේ විකාශය වනවා. එතුමා රූපවාහිනියට ලබාදුන් ආලෝකය දිනෙන් දින දසත පැතිරෙමින් තිබෙනවා.

එහිදී අදහස්‌ දැක්‌වූ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා,

ටයිටස්‌ තොටවත්ත කියන්නේ ලක්‌ පොළව මත බිහිවූ ශේ්‍රෂ්ඨතම කලාකරුවෙක්‌. මම දායක වූ මුල්ම ටෙලිනාට්‍ය තමයි ටයි මහත්තයාගේ රන් කහවණු.

මේ ශේ්‍රෂ්ඨ කලාකරුවා සමග ටික දවසක්‌ වැඩ කළාට පසුවයි අපට වැටහුණේ එතුමාගෙන් අපේ ජීවිතවලට ආලෝකයක්‌ ලැබුණු බව.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස්‌ මහත්මිය,

1950 දශකයේ මුලදී තමයි ටයිටස්‌ව මුලින්ම දුටුවේ. සංදේශය, ගම්පෙරළිය චිත්‍රපට සංස්‌කරණය කරද්දී ඔහුගේ හැකියාවන් අප දුටුවා.

එම උළෙලේ විශේෂ දෙසුම සිදු කළ සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා,

ටයි මහත්තයා සරල සුන්දර මිනිසෙක්‌. නමුත් ඔහු මෙතරම් අසමාන පුද්ගලයකුදැයි දැන ගන්නේ සොඳුරු අදියුරු සකසුවාණෝ පොත කියවූ විටයි. ටයි මහතාගේ චරිතය ගැන ගවේෂණයක යෙදෙමින් නුවන් නවකතාකරුවකු සේ මෙම පර්යේෂණාත්මක වියමන ඉතා සාරවත් ලෙස ලියා තිබෙනවා.

ලේඛක නුවන් නයනජිත් කුමාර පැවසුවේ, ටයිටස්‌ තොටවත්ත වැනි යුග පුරුෂයන් ඉදිරි පරපුර තුළත් බිහිවීමට මඟපෙන්වීමේ අරමුණෙන් මෙම කෘතිය නිර්මාණය කළ බවයි.

මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්‌ටි මහතා පැවසුවේ, එතුමාගෙන් ඉගෙනගත් දේ ඉදිරි පරපුරටත් ලබාදීමට අපේ පරපුර සූදානම් බවයි.

තොටවත්ත මහතාගේ බිරිඳ සුජාතා තොටවත්ත, සොහොයුරා ඊලියන් ද සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක්‌ ඊට සහභාගි වූහ. මෙහිදී ආනන්ද විදුහලෙන්, ජාතික රූපවාහිනියෙන්, ආදී ශිෂ්‍ය සංගමයෙන් සහ කලාකරුවන්ගෙන් ටයිටස්‌ තොටවත්ත කලාකරුවාණන් වෙත උපහාර තිළිණ ප්‍රදානය කෙරිණි.‍

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.