අමරසේකර විවරණය


රටක සමාජ ප්‍රගමනයකට මෙන්ම චින්තනමය විප්ලවයකට ද සාහිත්‍යය ප්‍රබල බලපෑමක්‌ කරන බව අපි අදට ද විශ්වාස කරමු. එබඳු සාහිත්‍යයික මෙහෙවර කළ විවිධ ක්‍ෂේත්‍රවල සාහිත්‍යකරුවන් ලෝක සාහිත්‍යය තුළ මෙන්ම මෙරට සාහිත්‍යය තුළ ද අපි හඳුනා ගනිමු.

වෛද්‍ය ගුණදාස අමරසේකරයන් එබඳු සාහිත්‍යවේදියකු වනවා මෙන්ම අද අපට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියා වනුයේ ද ඔහුය. ගුණදාස අමරසේකරයන් වෙනුවෙන් අද අපේ පෑන ලියෑවෙන්නේ ඔහුගේ අසූ වැනි ඡන්ම දිනය අදට යෙදී ඇති හෙයිනි.

1929 ගාල්ල යටලමත්තේ සිංහල වෙද මහතකුගේත් ගුරුවරියකගේත් දෙවැනි දරුවා ලෙස උපත ලද අමරසේකරයන් ගමේ පාසලින් ද ඉන්පසු බද්දේගම ක්‍රිස්‌තුදේව හා රතනසාර විදුහල්වලින් සහ කොළඹ නාලන්දා විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියෙහිම ලියූ "සෝමා" නමැති කෙටි කතාව අන්තර්ජාතික කෙටි කතා තරගයක ප්‍රමුඛ ස්‌ථානය ලබා ගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. "සෝමා" ද ඇතුළු රතු රෝසමල කෙටිකතා සංග්‍රහය අමරසේකරයන්ගේ පළමු සාහිත්‍ය කෘතිය ලෙස එළිදුටුවේ 1953 දීය.

1951-57 කාලයේ දන්ත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය සරසවියේ ගත කළ යුගය අමරසේකරයන්ගේ නිර්මාණ කෞශල්‍යය ඔප කළා වූ යුගය යෑයි කිවහොත් වඩා නිවැරැදිය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ පේරාදෙණිය ගුරුකුලයේ සාමාජිකයකු ලෙස අමරසේකරයන් ලද සාහිත්‍ය පරිචය අද දින ඔහු පිළිබඳ කෙරෙන ප්‍රත්‍යාවලෝකනයක සංදිස්‌ථානයක්‌ සනිටුහන් කරන බව පැහැදිලිය. ගුණදාස අමරසේකරයන්ගේ ජීවන පරිචය ඔහුගේ ලේඛන දිවියට කෙතරම් පිටුබලයක්‌ වී ද යන්න අදට වඩාත් ගැලපෙන සටහනක්‌ වනු ඇතැයි අපි කල්පනා කරමු. ඔහුගේ නිර්මාණ පෙළ අතර "ගමනක මුල" (1984) නවකතාව පටන් මේ වසරේදී එළිදැක්‌වුණු අලුත්ම නවකතාව වන "අතරමඟ" දක්‌වා මෙරට මැදපංතියේ පහළ වීම හා විකාශනය පිළිබඳ ඔහු කරන විමර්ශනය එබඳු ලියෑවිල්ලකට අප පොළඹවයි.

1953 දී ප්‍රථම සාහිත්‍ය කෘතිය එළිදැක්‌වීමේ පටන් අද දක්‌වා මේ රටේ සිදු වූ යුග පරිවර්තනයන් හා සමාජ පරිවර්තනයන් අමරසේකරයන්ගේ මසැසට මෙන්ම මනැසට ද ගොදුරු වූයේ හුදු කතාන්දරයක රුවින් නොවන බව ඔහුගේ නිර්මාණ පෙළින් ස්‌ඵුට වෙයි. 1984 දී "ගමනක මුල ලියෑවෙන විට 1977 දී මෙරට සිදුවූ දේශපාලනික පරිවර්තනයත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස සිදු වූ සමාජ, ආර්ථික, සංස්‌කෘතික හා ආධ්‍යාත්මික පෙරළියත් අමරසේකරයන් සිය නිර්මාණ පෙළට එක්‌ කරනුයේ මතුපිටින් බලා කෙරෙන විශ්ලේෂණයක්‌ ලෙස නොව අත්දැකීම් විඳිමින් කෙරෙන සමාජ පර්යේෂණයක්‌ ලෙසය. ඕනෑම සාහිත්‍යකරුවෙක්‌ සමකාලීන සමාජ අනුභූතීන් තම නිර්මාණ ඇසුරින් සාකච්ඡාවට බඳුන් කරයි නම් එබඳු නිර්මාණ පසු කාලීනව ද කතා බහට ලක්‌වනු පමණක්‌ නොව ඓතිහාසිකව ද යම් ඇගයුමකට ලක්‌වනු ඇත. සිංහල සාහිත්‍යයේ පමණක්‌ නොව ලෝක සාහිත්‍යයේ ද එබඳු නිර්මාණවලට සනිදර්ශන අපමණය. අමරසේකරයන් මෙරට මධ්‍යම පාංතික ජීවිතය විමසුමට ලක්‌කරමින් ඉදිරිපත් කරන නිර්මාණ පෙළද ඉන් එකකි.

පේරාදෙණියේ දී තමා දැරූ සාහිත්‍ය මතවාද ප්‍රශ්න කිරීමට යොමු වූ අමරසේකරයන් එහිදී සාහිත්‍යය හා සමාජය අරබයා ගැඹුරු අධ්‍යයනයකට යොමු වූ අතර ඒ සමගම මෙරට සමාජ විකාශනය අවබෝධ කර ගැනීමෙහිලා දෘඪතර ප්‍රයත්නයක නිරත වූ බව ඔහු පිළිබඳ ලියෑවෙන සටහනක එයි. සාහිත්‍යකරුවකු ලෙස සහෘද පාඨක වින්දනය උදෙසා පමණක්‌ සිය නිර්මාණකරණය යොදවා හුදෙකලා නොවූ අමරසේකරයන් මෙරට ජනතාව අත්විඳින නන්විධ සමාජ අර්බුද අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවාට විසඳුම් ලබා ගැනීමට ද අව්‍යාජ ප්‍රයත්නයක නියෑළි බව අසත්‍ය කතාවක්‌ (1977) හා ප්‍රේමයේ සත්‍ය කතාව (1978) යන නිර්මාණද්වයෙන් ප්‍රකට වෙයි. අද වනවිට මෙරට පොදු ජනතා අයිතිවාසිකම් ආරක්‍ෂා කරගනු වස්‌ විවිධ සිවිල් සංවිධානවල පෙරමුණ ගනිමින් ඔහු කරන මෙහෙවර උක්‌ත ප්‍රයත්නයෙහි උච්ඡතම අවස්‌ථාව නොවේ දැයි අපි කල්පනා කරමු.

නවකතා, කෙටිකතා හෝ කාව්‍ය ක්‍ෂේත්‍රය තුළ නිර්මාණකරණයෙහි නියෑළෙන්නාට යම් සිද්ධාන්තගත නිර්ණායකයන් මත ගොඩනැඟෙන්නට සිදු වුවද අමරසේකරයෝ සිය නිර්මාණයන් ඉහළින් රඳවා තැබුයේ එබඳු රාමුගත නිර්මාණකරුවකු නොවීමේ වාසනාවෙනි. ඔහුගේ නිර්මාණ පාඨකයා හා සමීප වූයේ ද එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. තමා අත්දකින, තමා තුළ කම්පනයක්‌ ඇතිකරන සමාජ අර්බුද අනුභූතීන් ආකෘතිගත නොවී සුගම සරල භාෂා රටාවකින් ගෙනහැර පෑම පාඨකයා ඔහුගේ නිර්මාණ වඩා ආලෝලනය කිරීමට හේතු විණැයි කිව හැක.

ගමනක මුල (1984), ගම්දොරින් එළියට (1985), ඉණිමඟේ ඉහළට (1992), වංකගිරියක (1993), යළි මඟ වෙත (1993), දුරු රටක කිරියක (2001), ගමනක මැද (2006) හා අතරමඟ (2009) යන නිර්මාණ පෙළ ග්‍රන්ථ නාමාවලිය වශයෙන්ද ගත් කල අප මෙතෙක්‌ කතාබහට ලක්‌කළ අමරසේකරයන්ගේ සමාජ විවරණ ප්‍රයත්නය ඛණ්‌ඩනය කර දක්‌වයි. ඒ ඒ කෘතිය එළිදැක්‌වූ වර්ෂය සහ එම කාලවකවානුවේ සමාජ අර්බුදයේ ස්‌වභාවයත් මධ්‍යම පාංතික සමාජය නියෝජනය කරන පියදාස නමැති චරිතය ඔස්‌සේ සාකච්ඡාවට බඳුන් කරයි. එහෙත් එය හුදු වාර්තාමය ස්‌වරූපයකට ලඝූ නොවන්නට අමරසේකරයන් සතු ප්‍රතිභාව මෙම නිර්මාණ පෙළට දෙන දායකත්වය අතිමහත්ය.

අද දින අසූවස්‌ සපුරන මේ මහා සාහිත්‍යවේදියා මෙරට කවිය, කෙටිකතාව, නවකතාව හා විචාරය යන ක්‍ෂේත්‍ර හතරෙහිම අභිවර්ධනයට මහඟු දායකත්වයක්‌ ලබා දෙමින් සිය අනන්‍යතාව අමරසේකර සම්ප්‍රදානය වශයෙන් සනිටුහන් කිරීමෙන් නිදහසින් පසු සිංහල සාහිත්‍යයෙහි පහළ වූ විශිෂ්ටතම සාහිත්‍යකරුවා බවට පත්ව හමාරය.
 

 
Powered By -