ආබාධිත රණවිරුවන්ගේ  සුබසාධනය වෙනුවෙන්
ඩයලොග් ටෙලිකොම් වෙතින් රුපියල් මිලියන 25 ක්‌


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් ටෙලිකොම්, දේශයේ රණවිරුවන් හට උත්තමාචාරය පුද කරමින් ඔවුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ආරක්‍ෂක කටයුතු අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 25 ක මුදලක්‌ පසුගියදා ප්‍රදානය කරනු ලැබීය. මෙම මුදල් දැනට ඉදිකෙරෙමින් පවතින අත්තිඩියේ රණවිරු මධ්‍යස්‌ථානය නිම කිරීම සඳහා යෙදවෙනු ඇත. අත්තිඩිය රණවිරු මධ්‍යස්‌ථාන පරිශ්‍රයේදී ඩයලොග් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස්‌ විජයසූරිය මහතා විසින් ආරක්‍ෂක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත අදාළ චෙක්‌පත ලබාදීම පසුගියදා සිදුකෙරිණි. අලෙවි වනු ලබන සෑම ඩයලොග් රණවිරු රීචාර්ඡ් කාඩ්පතකින්ම රුපියල් 100 ක මුදලක්‌ ඩයලොග් සමාගම මෙලෙස රණවිරු සුබසාධනය සඳහා වෙන්කරනු ලබයි.

අත්තිඩිය රණවිරු මධ්‍යස්‌තානය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ වන අතර එය ආබාධිත රණවිරුවන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිකාර කරනු ලබන අති නූතන පහසුකම්වලින් යුත් මධ්‍යස්‌ථානයකි. මෙම මධ්‍යස්‌ථානය එකවර පුද්ගලයන් 250 කට නවාතැන් ප්‍රතිකාර සැපයීමේ ධාරිතාවකින් යුතුය.

මුදල් ප්‍රදානය කිරීමේ නිල අවස්‌ථාවෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිකිරීම් කටයුතු පරීක්‍ෂා කරමින් අවශ්‍ය උපදෙස්‌ද ලබාදුන් අතර රණවිරු සුබසාධනය සඳහා ඩයලොග් සමාගම තහවුරු කොට ඇති අඛණ්‌ඩ කැපවීම අගය කරමින් අදාළ මූල්‍ය ප්‍රදානය වෙනුවෙන් ස්‌තුතිය පළ කළේය.
ඩයලොග් ටෙලිකොම් 2009 පෙබරවාරි මස "රණවිරු රීචාර්ඡ් කාඩ්පත" හඳුන්වාදුන් අතර මේ වන විට එමගින් රණවිරු සුබසාධනය සඳහා ලබාදී ඇති මුදල රුපියල් මිලියන 30 කි. මෙම වසර ආරම්භයේදී ඩයලොග් සමාගම "අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහාද රුපියල් මිලියන 5 ක මුදලක්‌ ප්‍රදානය කළේය.
ඡායාරූපයේ දැක්‌වෙන්නේ ඩයලොග් ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස්‌ විඡේසූරිය (වම්පස) සහ ඩයලොග් බලයලත් බෙදාහැරීම් නියෝජිත තිවංක ජයකොඩි, රුපියල් මිලියන 25 ක චෙක්‌පත අත්තිඩිය රණවිරු මධ්‍යස්‌ථාන පරිශ්‍රයේදී ආරක්‍ෂක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ප්‍රදානය කළ අයුරු.


 

 

 
Powered By -