
ජාතික ව්‍යාපාරය හා මහින්ද
අභිෂේකය

කොල්ලනේ ඔහොම නොවෙයි අඹ කන්නේ අඹ උලා කාපියව් ?
තමන් ලබාදුන් අඹ කමින් සිටි ඩී. ඒ. රාජපක්‍ෂගේ දරුවන් දෙදෙනාට
අගමැති සර්ජෝන් කොතලාවල එසේ ප්‍රකාශ කළේය. නිර්භීත පුරුෂයෙකු ලෙස
රටේ ප්‍රසිද්ධව සිටි සර් ජෝන් තම සුපුරුදු ස්‌වරයෙන් එසේ ප්‍රකාශ
කිරීම, ඩී. ඒ. ගේ දෙවෙනි පුතාට ඇල්ලුවේ නැත.
"මට ඔහොම කතා කරන්න උඹ කවුද? යෑයි කියමින් එම පුත්‍රයා තම අතේ
තිබූ අඹ ඇටයෙන් සර් ජෝන්ට දමා ගැසුවේය. තමාට අඹ ඇටයෙන් ගැසූ
කොලුවා දෙස බැලූ සර් ජෝන් උඹත් එහෙනං හොඳ පුතෙක් වෙයි" යනුවෙන්
කොලුවාට පිළිතුරක් ලබාදුන්නේය.
සර් ජෝන්ගේ අගමැති කාලය අවසන් වූයේ ජාතික ව්‍යාපාරය තීරණාත්මක
ජයග්‍රහණයක් ලබා ගනිමිනි. "56 දී මෙරට දේශපාලන බලවේග ජාතික හා
විජාතික ලෙස දෙපිල බෙදී සිටියේය. සර් ජෝන් විසින් නායකත්වය සපයන
ලද්දේ, විජාතික පිලටය. බණ්‌ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ජාතික
පිලේ ක්‍රියාකාරීන් වී සිටි මහා සංඝරත්නය ඇතුළත් එක්‌සත් භික්‍ෂු
පෙරමුණ, එල්. එච්. මෙත්තානන්ද, එන්. කිව්. දියෙස්, පිsලිප්
ගුණවර්ධන ආදීන්ගෙන් සමන්විත වූ සිංහල ජාතික ව්‍යාපාරයය. එම
සටනින් ජය ගැනීමට ජාතික පිල සමත් විය.
මෙම ජාතික විජාතික සටනෙන් වසර 50 කට පසු යළිත් එවැනිම සටනක්
2005 දී ඇතිවිය. එදා එ. ජා. ප. නායකයා ලෙස සර්ජෝන් නායකත්වය දුන්
විජාතික පිලට 2005 දී නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහය. ජාතික
පිලේ නායකයා වූයේ එදා සර්ජෝන්ට අඹ ඇටයෙන් ගැසූ කොලුවා හෙවත්
මහින්ද රාජපක්‍ෂය.
2005 ජාතික විජාතික බලවේග අතර සටන ඇතිවූයේ පැවැති ජනාධිපතිවරණය
හේතුවෙන්ය. එම ඓතිහාසික සටනින් ජාතික බලවේග ජය ගත්තේ හරියටම අදට
වසර හතරකට පෙරය. මේ නිසා සිංහල ජාතික ව්‍යාපාරයේ අනුස්‌මරණීය
දිනයක් ලෙස නොවැම්බර් 18 හඳුන්වාදිය හැකිය. 2005 එම සටනේදී
ජාතික බලවේගයේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂගේ උපන් දිනයද නොවැම්බර්
18 ය. මේ සමපාත වීම හේතුවෙන් නොවැම්බර් 18 වැනිදා දේශපාලන පිටියට
වැදගත් දිනයකි.
අද උපන් දිනය සමරන මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන ගමන ආරම්භ වූයේ සිය
පියාගේ අඩි පාරේ යමින් වුවද, ඩී. ඒ. ගිය දේශපාලන ගමනට වඩා
අත්දැකීම් බහුල දේශපාලන ගමනක යෙදෙන්නට මුල සිටම මහින්දට සිදුවිය.
"70 දී ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ පැවැති පාර්ලිමේන්තුවේ
ලාබාලම මන්ත්‍රීවරයා ලෙසය. එම පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසි
වාරයේ ස්‌තූති යෝජනාව ගෙන ඒමේ භාග්‍ය හිමි වූයේද මහින්දටය.
බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ වශයෙන් රට නිදහස් කළ ජනරජ
ව්‍යවස්‌ථාව ගෙන ආ පාර්ලිමේන්තුවට ස්‌තූති යෝජනාව ගෙන ඒමට
හැකිවීම, ඔහුගේ දේශපාලන ගමනේ සංකේතීය සන්ධිස්‌ථානයක් ලෙස
හැඳින්විය හැකිය.
පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරයෙක් ලෙස පත් වූ මහින්දට තම
පාර්ලිමේන්තු ජීවිතයේ මුල් වසර ඇතුළත අභියෝගාත්මක තත්ත්වයකට
මුහුණදීමට සිදුවිය. ඒ "71 කැරැල්ලය. එම තීරණාත්මක මොහොතේදී රට
තරුණ පරපුර රැක ගැනීම සඳහා, මුල් අවස්‌ථාවේ සිටම මහින්ද උත්සාහ
කළේය. අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායකගේ වැඩිමහල් දියණිය වූ
සුනේත්‍රා හා ජ. වි. පෙ. නායක රෝහණ විඡේවීර අතර හමුවක් සංවිධානය
කිරීමට මහින්ද කටයුතු කළ මුත් එම උත්සාහය සාර්ථක නොවීය. නමුත්
එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්‌ඩුපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදීම
පොලිස් ප්‍රශ්න කිරීමට මහින්ද ලක්‌විය.
88-89 සටනේදීද, 71 දී මෙන්ම ජ. වි. පෙ. තරුණයන් වෙනුවෙන් කතා
කරන්නට මහින්ද ඉදිරිපත් විය. ඒකීය ශ්‍රී ලංකාව වෙන් කරමින් ඇති
කරන ලද ඉන්දු ලංකා ගිවිසුමටත්, පළාත් සභා ක්‍රමයටත් එරෙහිව තම
ජීවිත පූජාවෙන් සටන් වැදුණු තරුණයන් වෙනුවෙන් පෙරමුණ ගෙන කතා කළේ
මහින්ද රාජපක්‍ෂය. සත්‍යපාල වන්නිගම වැනි දේශප්‍රේමී තරුණ උගතුන්
එජාප ආණ්‌ඩු විසින් මරා දමද්දී ඔවුන් බේරා ගැනීමට මහින්ද මුළු
වැර යොදා උත්සාහ කළේය.
බටලන්ද වධකාගාරයේ සිරකර ගෙන සිටි නීතිඥ විඡේදාස ලියනාරච්චි,
අතුරුදන් වූ මොහොතේ සිට ඔහු වෙනුවෙන් කතා කළේ මහින්ද රාජපක්‍ෂය.
බටලන්ද වධකාගාරයේදී ලියනාරච්චි කෲර ලෙස වධහිංසා පමුණුවා මරා දමා
තිබුණි. මෙම තරුණයන් බේරා ගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ
සභාවාරයකදී එහි ලොබියට රිංගා ගත් මහින්ද, එහි සිට රට වෙනුවෙන්
උද්ඝෝෂණය කිරීම නිසා මරණය තීන්දු කරන ලද දේශප්‍රේමීන් බේරාගැනීම
වෙනුවෙන් ජාත්‍යන්තර නායකයන්ගේ ඇස යොමු කරගත්තේය.
ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අතරේම, ඒ උදෙසා සටන් කරන
පිරිස් රාජ්‍ය මර්දනයට ලක්‌වන විට ඒ වෙනුවෙන් කතා කිරීමට මහින්ද
පෙරමුණ ගත්තේය.
චන්ද්‍රිකා ආණ්‌ඩුව සමයේaදී රට බෙදීමට ගෙනා පැකේජයට එරෙහිව
කැබිනෙට්‌ටුවේ සිටියේ මහින්ද පමණය.
තීරණාත්මක මොහොතේදී ඒකීය ශ්‍රී ලංකාව රැක ගැනීමේ මෙහෙයුමට
නායකත්වය දීමට මහින්දට සිදුවන තරමටම මහින්දගේ ඒකීය ශ්‍රී ලංකාව
වෙනුවෙන් තිබු කැපවීම වැදගත් විය. ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයෙන්
රටම හෙම්බත් වූ තිස් වසරක අවසානයේ පැමිණ තිබුණේ, රට දෙකඩවීමේ
ඉරණම කරාය. 87-89 කාලයේදී පළාත් සභා ඇති කරමින් ඊළාම් කරණය සඳහා
පාර කපමින් සිටි එජාපය, 2000 දී පාර්ලිමේන්තු බලය හිමිකරගෙන ඊළම
නීත්‍යානුකූල කර ගැනීම සඳහා ත්‍රස්‌තවාදීන්ට ගිවිසුම් මගින් පාර
කියා දෙමින් සිටියේය. 2005 දී එජාපයට පාලන බලය ඇතිවූයේ නම් එය
නිසැක ලෙසට මායිම් සීමා ගසා රට දෙකඩවීමේ කාලය වන්නට තිබුණි.
නමුත් මහින්ද රාජපක්‍ෂගේ පාලනය ඊළමට සදාකාලිකව තිත තැබුවේ, විනාශ
කරන්නට නොහැකි බවට දෙස් විදෙස් ප්‍රතිගාමී බලවේග පාරම් බෑ එල්.
ටී. ටී. ඊ. ය සහමුලින් වනසමිනි.
එදා ඒකීය රටක් වෙනුවෙන් සටන්වැදි තරුණයන් මරා දැමීමට වධකාගාර
ඉදිකර, තම ඇමැති නිවස්‌නය ආසන්නයේ සිට එම තරුණයන්ට වද වේදනා
ලබාදෙමින් ඔවුන්ගේ මරලතෝනිය සතුටින් අසා සිටී, ඔවුන්ට එල්ලා පහර
දී මරා දැමූ නායකයන්, එල්. ටී. ටී. ඊ. ය වනසන මොහොතේදී සිටියේ ද
සුපුරුදු පරිදි කොටියාගේ පැත්තේය. මහින්දට පුළුවන්ද කොටියා
පරද්දන්න යෑයි ඔවුන් මුල සිටම ඇසුවේය. නමුත් ජාතික බලවේග සමග
සිටිමින් ඒකීය ශ්‍රී ලංකාව ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදා ගන්නට
මහින්දට හැකිවිය.
එම ජයග්‍රහණය තවත් සියවසකට ජාතියම ප්‍රමෝදයට පත්කර අවසානය.
නමුත් විජාතික බලවේග තවමත් ඔවුන්ගේ උත්සාහය අත්හැර නැත.
අද එම ජයග්‍රහණය උදුරා ගැනීම සඳහා විජාතික පිල ජාතික මෙහෙවරක
යෙදුණු අනභිබවනීය චරිත උපයෝගී කරගැනීමට සූදානම් වෙමින් සිටියි.
මහින්ද ජනාධිපති කරන සටනේ පෙරමුණ ගෙන සිටියේ, ජ. වි. පෙ.ය.
මහින්ද සැමදාම සිටියේ ජ. වි. පෙ. තරුණයන් රැක ගැනීමේ සටනේය. මේ
නිසා මහින්ද හා ජ. වි. පෙ. අතර මිත්‍ර සන්තාවය අලුත් දෙයක්
නොවීය.
නමුත් මහින්ද අගමැති කරන මොහොතේ සිට ඊට එරෙහිව ජ. වි. පෙ. පෙළ
ගස්‌වන්නට විජාතික බලවේග උත්සාහ කළේය. නමුත් අවසානයේදී හෝ එම
බලපෑමෙන් මිදී මහින්ද ජනාධිපති කරන සටනට ජ. වි. පෙ. සිය සහයෝගය
ලබාදුන්නේය. අද "පොදු අපේක්‍ෂක කුඩය" යටට ජ. වි. පෙ. රැගෙන යමින්
ජාතික බලවේග ලැබූ ජයග්‍රහණය ආපසු හැරවීමට විජාතික බලවේග උත්සාහ
දරමින් සිටියි. එදා තමන් පක්‍ෂයේ ආදරණීය නායකයා ඇතුළු දේශපාලන
මණ්‌ඩලයේ එක් අයකු හැර සියලු දෙනාම මරා දැමූ, හැටදාහකට අධික තම
පක්‍ෂයේ සාමාජිකයන් මරා දැමූ එජාපයේ වුවමනාව ඉටු කිරීමට ජ. වි.
පෙ. යොදා ගන්නා තැනට විජාතික බලවේග ජ. වි. පෙ. තුළට රිංගා තිබේ.
බෙදුම්වාදී ත්‍රස්‌තවාදයට උඩගෙඩි දුන් පාර්ශ්වය හෙට දවසේ රජ
කරවීම උදෙසා ජ. වි. පෙ. අද සිටම දරදිය අදින තැනට පත්ව තිබීම
අදහාගත නොහැකි තරමේ වෙනසකි. තිස් වසරක බෙදුම්වාදී යුද්ධයෙන් රට
ජයග්‍රහණය කරවීම තම පළමු කේවල් කළ නොහැකි ප්‍රතිපත්තිය බවට පත්
කරගෙන තිබූ ජ. වි. පෙ, එම තිස් වසරක යුද්ධයේදී ත්‍රස්‌තවාදියාට
සෑම අතින්ම සහයෝගය ලබාදුන් එජාපයේ න්‍යාය පත්‍රය සපල කිරීම උදෙසා
දරදිය අදින පක්‍ෂයක තත්ත්වයට ඇද වැටී තිබේ.
රටේ ඉරණම විසඳෙන වැදගත් මොහොතක් දැන් ළඟ ළඟම පැමිණෙමින් තිබේ.
2005 නොවැම්බර් 18 වැනි දින ලැබූ ජයග්‍රහණය ආපසු හැරවීමේ වෑයම
විජාතික බලවේග සිය කරට ගෙන තිබේ. ජාතික බලවේග 56 දී, 2005 දී
මෙන්ම මේ මොහොතේදී ද තමන්ගේ ශක්‌තිය රට වෙනුවෙන් ගොනු කරගෙන
තිබේ. සටන ආපසු හැරවීමට ඉඩ නොදී ඉදිරියට ගෙන යැමේ කර්තව්‍යය
ඇත්තේ ඒ තුළය.
මහින්ද රාජපක්‍ෂගේ මූලික තැනුම් ඒකකය වූයේ මේ රටේ ජාතික බලවේගයන්
දකුණේ විහාරස්‌ථාන සියයක නායක හිමිවරුන්ගේ යෝජනාව අනුව මල්වතු
මහා විහාරයෙන් මහින්ද රාජපක්‍ෂට ශ්‍රී රෝහණ ජන රංජන සම්මානය ලබා
දුන්නේය. එම සම්මානය මහින්දට ලබා දෙමින් " මේ රෝහණ ජනරංජන
සම්මානය අපි දෙන්නේ තුන්කල් බලලා" යනුවෙන් මල්වතු මහා නාහිමියෝ
වදාළහ.
ඉන්පසු මහින්ද අගමැති පුටුවට ගෙන ඒමට ජාතික ව්‍යාපාරය සිය මුළු
වෙර යොදා බලපෑම් කළේය. ඒ මොහොතේ මහින්දට තිබූ එකම ශක්‌තිය වූයේ
එයය. මහින්ද ජනාධිපති කරවන සටන කරට ගත්තේද මේ ජාතික ව්‍යාපාරයය.
එහි බලපෑම මත අනෙක් ව්‍යාපාරද මහින්දගේ සටනට තම දායකත්වය
සැපයීය.
එළඹෙන තීරණාත්මක මොහොතේද ජාතික ව්‍යාපාරය සිය වගකීම ඉටු කරනු ඇත.
මනෝඡ් අබයදීර |