ගාලූ වරාය අවට මුහුදු තීරයේදී
ගිලීගිය නෞකාවලින් ගොඩගත්  නැංගුරම් හා කාලතුවක්‌කු

නෞකාවකට නැංගුරම නැතිවම බැරි උපකරණයකි. දළ දෙකකින් ඇතකු සිය අනන්‍යතාව හුවා දක්‌වන්නාක්‌ මෙන් කෞකාවන් ද සිය අනන්‍යතාව දක්‌වනුයේ නැංගුරම් වලිනි. සැබවින්ම නැංගුරම් මගින් නෞකාවලට සිදුවන මෙහෙය අති විශාලය. කොටින්ම කිවහොත් නැංගුරම් නොමැතිව නෞකාවක්‌ මහ මුහුදේ යාත්‍රා කරන්නේ ද නැත. ඒ තරමටම නැංගුරම් නෞකාවකට වැදගත් වන්නේය.

නැංගුරම් පිළිබඳ ගාලු වරායේ නියෝජ්‍ය හාබර් මාස්‌ටර් කපිතාන් ගජබා සිරිමාන්න මහතා හරි අපූරු කතාවක්‌ මා සමඟ කීවේය. නැංගුරම් නොමැතිව නෞකාවක්‌ මහ මුහුදේ යාත්‍රා කරන්නේ නම් එය අත්තටු නැති කුරුල්ලකු වාගේ යෑයි ඔහු සිනාසෙමින් කීවේය.

නොගැඹුරු මුහුදේ නෞකා නතර කර තැබීම සඳහා නැංගුරම් අවශ්‍ය වන්නේය. නැංගුරම් අවශ්‍ය වන්නේ නෞකා රඳවා ගැනීම සඳහා ය. නෞකාවක්‌ හරවා ගැනීමට, වරායකට නෞකාවක්‌ ගැනීමේදී මෙන්ම සුළි සුළං, කුණාටු, දියවැල් ආදී ස්‌වාභාවික උපද්‍රවවලදී නෞකා නතර කොට තබා ගැනීම සඳහා නැංගුරම් අවශ්‍ය වන්නේය. නැංගුරම් නොමැතිව මුහුද තුළ නෞකාවක්‌ නතර කොට තැබීමට නොහැකිය.

නෞකා මුහුදේ දී විලංගුලෑමේ කටයුත්ත සිදුකරනුයේ නැංගුරම්වල විශාලත්වය හා ඒවා තදින් මුහුදු පතුල හා සම්බන්ධවීම මගිනි. එමෙන්ම මේවා සම්බන්ධ කරන කඹවල ශක්‌තිය මෙහිදී ඉතා වැදගත් වේ.

නෞකාවක ඉදිරි බවු එක දෙපස (ඇණීය) හි නැංගුරම් දෙකක්‌ රැගෙන යැම සිදු කෙරෙන අතර ඇතැම් නෞකාවල නැවේ පිටුපස නැංගුරම් රැගෙන යයි. අතිරේක නැංගුරමක්‌ නෞකාවක රැගෙන යැමට ද නාවිකයන් අමතක නොකරති. කෙසේ වුවද අතීතයේදී නෞකාවල නැංගුරම් විවිධ වූ හැඩතල වලින් යුතුව තිබී ඇත. නැංගුරම් කුමන ප්‍රමාණයකින් හා විවිධ වූ හැඩතල වලින් යුතු වුවද, මේ සියල්ල මගින් සිදු කරනුයේ නෞකා විවිධ වූ දිශාවලට යොමුවීම වළක්‌වා එක්‌ ස්‌ථානයක නතර කර තැබීමට ආධාර වීමය.

නැංගුරම්වල හැඩතල කොටස්‌ මගින් මුහුදු පත්ල හොඳින් තදව බදා ගැනීම සිදුකෙරේ. අපට හමුවන නැංගුරම් විවිධාකාරය. ඈත අතීතයේදී භාවිත කළේ ගල් නැංගුරම් ය. ඒවා ක්‍රි. ව. 1500 ට පමණ පෙර දී භාවිත කොට තිබේ. කෙසේ වුවද ක්‍රි. ව. 1500 පමණ සිට නෞකා සඳහා භාවිත වන්නේ යකඩ නැංගුරම් ය.

නැංගුරම් ලෙස අතීතයේදී බර ලී කොට වැල්වල ආධාරයෙන් භාවිත වුණා. ඊට පසු ලී සහ ගල් යන දෙකම නැංගුරම් සඳහා යොදා ගත්තා. පෙරදිග ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ගල් ලණුවල ගැටගහලා බරක්‌ හැටියට නාවිකයන් නැංගුරම් යොදා ගත්තා. නැංගුරම් සඳහා යකඩ භාවිතයට ගත්තේ ඊට පසුව. ඒවා විවිධ හැඩතල වලින් යුක්‌තයි. ඒ සඳහා ලී කොටන් බද්ධ කරලා තියෙනවා.

නැංගුරම්වල අතීතය ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්‌ථානභාර නිලධාරි කේ. ඒ. චJද්‍රරත්න මහතා විස්‌තර කළේ ඒ ආකාරයෙනි.

එහෙත් අප මේ කියන්නට යන්නේ ගාලු වරාය අවට මුහුදු තීරයේ ගිලී ගිය නෞකාවලින් හමු වූ ඉපැරැණි ගල් නැංගුරම් හා කාලතුවක්‌කු ගැන ය. දැනට හමු වී ඇති ගල් නැංගුරම් විවිධ වූ හැඩතල වලින් යුක්‌ත අතර ඒවා බොහෝ විට වසර 600 - 1000 ත් අතර පෙර භාවිත වූ ඒවා බවට හඳුනාගෙන තිබේ.

ඒවා අතුරින් කිලෝ 800 ක්‌ පමණ බරින් යුතු, දිග මීටර් තුනකින් හා සෙන්ටිමීටර් දහයකින් යුතු පළල සෙන්ටිමීටර් පනහකින් යුතු විශාල ගල් නැංගුරමක්‌ ගාලු වරාය ආශ්‍රිත මුහුදු තීරයේදී සොයාගෙන තිබේ. එම ගල් නැංගුරම් අරාබි නෞකාවකට අයත් බව සමුද්‍ර පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.

මෙකී ගල් නැංගුරම තුළ වූ දැවමය කොටස්‌වලින් එහි කාලය නිර්ණය කිරීමෙන් පසු එය වසර 600 ක්‌ පමණ ඉපැරැණි ගල් නැංගුරමක්‌ බවට හඳුනාගෙන තිබේ.

නැංගුරම් සඳහා දැව යොදා ගැනීම වරින්වර අලුත්වැඩියා වලදී සිදුවී තිබෙනවා. එම දැවමය කොටස්‌ බටහිර ඔස්‌ටේ්‍රලියානු කෞතුකාගාරයේ සංරක්‍ෂණයෙන් පසු අපිට භාරදීලා තියෙනවා. ඒ අනුව නැංගුරමේ පාෂාණමය කොටස්‌වල කාලවකවානු වසර 600 කට පෙර භාවිත වූවක්‌ බවට හඳුනාගෙන තිබෙනවා.

දකුණු පළාත් ප්‍රධාන පුරාවස්‌තු සංරක්‍ෂක කේ. වයි. ගාමිණී සමන් මහතා එසේ කීවේය.

මෙයට අමතරව තවත් විශේෂිත වූ හැඩතල ත්‍රිකෝණාකාර හා හතරැස්‌ හැඩයට හුරුකම් වලින් යුත් ඉතා පැරැණි නැංගුරම් තුනක්‌ ගාලු වරාය ආශ්‍රිතව ගවේෂණ කටයුතුවලදී හමුවී තිබේ. එම නැංගුරම් සියල්ල ගාල්ල මුහුදු පුරාවිද්‍යා රසායනාගාරය මගින් සංරක්‍ෂණය කොට ඇත්තේය. මෙකී පාෂාණ නැංගුරම් ගාලු වරාය අවට බොක්‌කෙන් හමුවීම තුළින් අපිට පැහැදිලි වනුයේ පාතුගීසීන් ලංකාවට පැමිණීමට පෙර සිටම ගාලු වරායට ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නෞකා ගමනාගමනය සිදු වී ඇති බවය.

එමෙන්ම ගාලු වරාය තුළදී 1659 දී මුහුදුබත් වූ ඇවොන්ස්‌ටාර් නෞකාව සඳහා යොදාගත් විශාල යකඩ නැංගුරම් ද ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂකයන් විසින් ගොඩගෙන එහි සංරක්‍ෂණ කටයුතු සිදුකොට ඇත. මෙම නැංගුරම ගොඩගැනීම විදේශීය විශේෂඥයන් හා ලංකාවේ පුරාවිද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබීය.

මෙම නැංගුරමේ සංරක්‍ෂණ කටයුතු වසර හතක්‌ පමණ සිදුකළා. දැන් මෙම නැංගුරම නව සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ විශේෂිත ඇවොන්ස්‌ටාර්, ගැලරිය තුළ තැන්පත් කොට තිබෙනවා. මෙහි සංරක්‍ෂණ කටයුතු සඳහා සහභාගි වූ ප්‍රධාන පුරාවස්‌තු සංරක්‍ෂක කේ. වයි. ගාමිණී සමන් මහතා එසේ පැවසුවේය.

මෙහි සංරක්‍ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජනක වරුෂවිතාන, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අනුෂා කස්‌තුරි, විදේශ විශේෂඥයන් ලෙස ජෝන් කපෙන්ටර් හා වනිෂා යන අය ද තම දායකත්වය ලබා දී තිබේ.

විශේෂයෙන් මෙම පුරාවස්‌තු අධික කාලයක්‌ ලුණු ඉවත් කිරීම සඳහා තබා තිබුණා. ලුණු ඉවත් කිරීම සඳහා විද්යුත් විච්ඡේදන ක්‍රමය යොදාගත්තා. නැංගුරම ගිල්වා තැබීම සඳහා මාධ්‍යය ලෙස යොදා ගත්තේ කොස්‌ටික්‌ සෝඩා. නැංගුරමේ සංරක්‍ෂණ ක්‍රියාවලිය සිදුකළ ආකාරය ගාමිණී සමන් විස්‌තර කළේ ඒ ආකාරයෙනි.

නැංගුරම් නිෂ්පාදනයේදී භාවිත කොට ඇත්තේ රදමටයඑසරදබ නමැති යකඩය. මෙහිදී කම්මල්කරුවන් විසින් අවශ්‍ය ආකාරයට යකඩ නවා තලා අවශ්‍ය නැංගුරම් සකස්‌ කොට ඇත. යකඩ නැංගුරම් ද විවිධ වූ හැඩතලවලින් යුතු අතර ඒවා විවිධ කාලවලදී ක්‍රමයෙන් වෙනස්‌වෙමින් පැවතිණි.

ගාලු කොටු බැම්ම ආශ්‍රිතව සිදුකරනු ලැබූ කැණිම්වලදී නැංගුරම් හතරක්‌ සොයාගනු ලැබීය. ඒ කොටු බැම්ම අභ්‍යන්තර සංරක්‍ෂණයේදී ය. එම නැංගුරම් සොයා ගැනීම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාලු කොටුව ව්‍යාපෘතියේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. නැංගුරම් දෙකක්‌ නෙප්චූන් බැස්‌ටියන් කැණීම්වලදී සොයාගත් අතර අනික්‌ නැංගුරම් දෙක ෆ්ලෑග් රොක්‌ බැස්‌ටියා අසල කැණීම්වලදී සොයාගනු ලැබීය.

මෙහි එක්‌ නැංගුරමක්‌ දිගින් සෙන්ටිමීටර් 379 කි. අනිත් නැංගුරමේ දිග සෙන්ටිමීටර් 333 කි. මෙකී නැංගුරම් නෞකා කටයුතු සඳහා භාවිත කොට ඒවා නුසුදුසු තත්ත්වයට පත්වූ පසු වෙනත් කටයුතු සඳහා භාවිත කොට ඇති බව මෙතුළින් පැහැදිලි වන්නේය. මෙහි නැංගුරම් දෙකක්‌ සමාන ලක්‍ෂණ දරන අතර, අනික්‌ නැංගුරම් දෙක විශේෂිත වූ වෙනස්‌කම් දක්‌වමින් නිපදවා තිබේ. මෙම නැංගුරම් වලින් දෙකක්‌ කොඩි කණුවක්‌ සවිකිරීමේ ආධාරක ලෙස ගෙන තිබූ බව අනාවරණය වී ඇත.

කෙසේ වුවද ගාලු කොටු බැම්ම මතින් හමුවූ මෙම නැංගුරම්වල මුල් නිෂ්පාදනය ඒවා කිනම් නැවක භාවිත වූවා දැයි හඳුනා ගැනීමට තරම් කිසිම සාධකයක්‌ නොතිබූ බැව් ගාමිණී සමන් මහතා අප සමඟ කීවේය.

එමෙන්ම ගාලු බොක්‌කේදී ගිලීගිය ඇවොන්ස්‌ටාර් නෞකාවේ තිබී සොයාගත් කාලතුවක්‌කු හා කාලතුවක්‌කු උණ්‌ඩ පිළිබඳ මෙහිදී සඳහන් කළ යුතුය. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්‌ථානභාර නිලධාරි කේ. ඒ. චJද්‍රරත්න මහතා පවසන පරිදි මෙකී නෞකාවේ තිබී හමුවී ඇති කාලතුවක්‌කු සංඛ්‍යාව විසිහතරකි. ඒ අතර උණ්‌ඩ ද විශාල සංඛ්‍යාවකි.

ඇවොන්ස්‌ටාර් හෙවත් සැඳෑ තරුව නෞකාව ඕලන්ද නෞකාවකි. මෙය වෙළෙඳ නැවකි. මෙකී නෞකාව මුහුදු මට්‌ටමේ සිට මීටර් අටක්‌ පමණ ගැඹුරින් ගිලී ඇති අතර එහි දිග මීටර් 30 කි. පළල මීටර් අටකි. ඕක්‌, බුරුම තේක්‌ක යන ලී වර්ගවලින් නෞකාව සාදා තිබී ඇත. මෙම නෞකාව ලන්දේසීන් විසින් බ්‍රිතාන්‍යයන් සමඟ මුහුදේදී ඇති වූ ගැටුමකින් පසුව අත්පත් කර ගෙන පසුව එය අලුත්වැඩියා කොට ඇති බව ගවේෂණවලදී අනාවරණය වී තිබේ.

මෙකී නෞකාව යොදාගෙන ඉන්දියාව හා ලංකාව අතර භාණ්‌ඩ, අලි ඇතුන් ප්‍රවාහනය කළ බැව් අතීත වාර්තාවලින් පෙන්නුම් කරන්නේය. මෙම නෞකාව අවසන් වරට පුවක්‌ ප්‍රවාහනය සඳහා ලංකාවේ සිට ඉන්දියාව වෙත ගමන් කිරීමට තිබියදී කුණාටුවකට හසුවීමෙන් නැංගුරම කැඩී යැමෙන් එය ගොඩබිම දෙසට ගසාගෙන විත් විනාශයට පත් වූ බව සඳහන් වේ.

සැඳෑ තරුව නෞකාවේ තිබී ගොඩගත් කාලතුවක්‌කු හා උණ්‌ඩ කිහිපයක්‌ සංරක්‍ෂණය කොට නව සමුද්‍ර කෞතුකාගාරයට යවා ඇත. තවත් විශාල කාලතුවක්‌කු උණ්‌ඩ ප්‍රමාණයක්‌ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ රසායනාගාරයේ සංරක්‍ෂණය වෙමින් පවතී.

ගොඩගත් කාලතුවක්‌කුව තුළ අවශ්‍ය භාවිතයට සුදුසු පරිදි උණ්‌ඩ පුරවා තිබුණා. මෙය සංරක්‍ෂණයේදී අදාළ උණ්‌ඩය ඉවත් කළා. මෙහි සංරක්‍ෂණ කටයුතු විශාල යකඩ ටැංකියක්‌ තුළ තබා සිදුකළා. කාලතුවක්‌කු සංරක්‍ෂණයේදී විශාල රසායන ද්‍රව්‍ය වැයවීමක්‌ සිදුවෙනවා. එමෙන්ම මේ සඳහා විශාල මිනිස්‌ ශ්‍රමයක්‌ ද අවශ්‍ය වෙනවා. ප්‍රධාන පුරාවිද්‍යා සංරක්‍ෂක ගාමිණී සමන් මහතා එසේ කියන්නේය.

කාලතුවක්‌කු පිළිබඳ විමසන විට ඒවා සඳහා භාවිත කළ උණ්‌ඩ පිළිබඳ අධ්‍යයනය කිරීම ද වැදගත් ය. ඇවොන්ස්‌ටාර් නෞකාව තුළින් විවිධ වර්ගයේ ප්‍රමාණවලින් යුත් උණ්‌ඩ හමු වී ඇත. මේ අනුව විවිධ ප්‍රමාණයේ උණ්‌ඩ අනුව කාලතුවක්‌කුවල ප්‍රමාණයන් ද වෙනස්‌ව තිබූ බව පැහැදිලි වේ.

ගාලු වරාය ආශ්‍රිතව මුහුදු තීරයෙන් ගොඩගෙන සංරක්‍ෂණය කොට ඇති මෙම මුහුදු පුරාවස්‌තු ඉදිරියේදී විවෘත කිරීමට නියමිතව ඇති නව සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේදී කරලියට පැමිණෙනු ඇත.

ලලිත් චාමින්ද
 

 

 
Powered By -