විශ්වවිද්‍යාලයට ගියත් මොන රැකියාව කළත්
ජාතියේ උරුමයන් ඉදිරි පරපුරට ගෙන යැම
අන් සියලූ දේටම වඩා රටකට වටිනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අපේ ඓතිහාසික උරුමයන්, රජවරුන් පිළිබඳව දරුවන්ට කියා දිය යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලයට ගියත්, මොන රැකියාව කළත් තමන්ගේ මෙන්ම ජාතියේ උරුමයන් ඉදිරි පරපුරට ගෙන යැමේ කාර්යභාරය අන් සියලු දේට වඩා රටකට වටින්නේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අනුරාධපුර ස්‌වර්ණමාලී බාලිකා මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

අද මේ විද්‍යාලයට ඇවිල්ලා ඔබ සමඟ කෙටි වෙලාවක්‌ ගත කරන්න ලැබීම ගැන මම සංතෝෂ වෙනවා. එදා මම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මේ විද්‍යාලයට ආවා. අද ජනාධිපතිවරයා වශයෙන් මෙතනට පැමිණීමට ලැබීම ගැන සතුටු වෙනවා.

අද මේ දියණිවරුන්ගේ දක්‌ෂතා මම නැරඹුවා. තාත්තලා හුඟාක්‌ ආදරේ දුවලට. අම්මල ආදරේ නැතිව නොවේ. තාත්තලා පුතාලට ආදරේ නැත්තෙත් නැහැ. නමුත් දුවලා ගැන ආදරයක්‌, කැක්‌කුමක්‌, සමාජයෙන් ආරක්‌ෂා කරගන්න ඕන කියන හැඟීමක්‌ සමාජයේ තියෙනවා. ඒ ගැන අවබෝධයක්‌ තියෙන තාත්තලා තමන්ගේ දුවලා ගැන හිතනවා. තමන්ගේ දුව සමාජයෙන් ආරක්‌ෂා කරගන්න තාත්තලා මහන්සි වෙනවා. අපේ දුවලා ඒ බව තේරුම් ගන්න ඕන.

මේ රටේ කාන්තා පරපුර, රටට, ජාතියට, ආගමට කරන සේවය මනින්න පුළුවන්කමක්‌ නැහැ. ඒ සේවය පොත්වල ලියෑවිලා නෑ. දළ ජාතික නිෂ්පාදිතයට, දළ දේශීය නිෂ්පාදිතය වැනි දේවල්වලට ගණන් ගන්නත් බෑ. මුදලින් මනින්න බැරි, මිමිවලට අහුවෙන්නේ නැති, සේවාවක්‌ මේ රටේ කාන්තා පරපුර මේ රටට කරනවා.

මට මතකයි මගේ අම්මාම බාල කාලේ අපි වෙනුවෙන් කළ කී දේවල්. ආගම, දහම ගැන, භික්‌ෂූන් වහන්සේලාට ගරු කළ යුතු ආකාරය ගැන, වැඩිහිටි නෑයන් රැක ගත යුතු හැටි ගැන, දුප්පතුන්ට සැලකීම ගැන රටට විය යුතු යුතුකම් ගැන කියා දුන්නේ අම්මා. හැසිරීම, ගුණධර්ම, ආකල්ප මේවා බොහොමයක්‌ හැඩ ගස්‌වන්නේ අම්මාගේ අතින්. ඒ කියන්නේ කාන්තාව අතින්. ඒ නිසා කාන්තාව නිසයි අපේ ජාතියේ ගුණධර්ම, සාරධර්ම පරපුරෙන් පරපුරට ගියේ.

ඒ වාගේම අපේ ඓතිහාසික උරුමය රැක ගන්න කාන්තාව කළ මෙහෙවර ඉතා විශාලයි. විහාර මහා දේවිය, ගැමුණු කුමාරයාට උරුමය ගැන මොනතරම් පාඩම් කියා දෙන්න ඇත්ද? මට මතකයි මගෙ අම්මා තමයි ඉතිහාසය ගැන කතා කියා දෙන්නේ. අම්මලා තමයි දුටුගැමුණු කතාව, අපේ වීරත්වය ගැන කතාව පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවේ. බුදුහාමුදුරුවෝ ගැනත් මුලින්ම කියා දෙන්නේ අම්මා. දහස්‌ ගණන් ජන කතා, ජන කවි මතක තියා ගෙන පරපුරෙන් පරපුරට ගෙන ගියේ කාන්තාව. ඒ සේවය මිල කරන්න බෑ. මනින්න බෑ. දුවලටත් තමන්ගේ ජාතිය වෙනුවෙන් ඒ වගකීම පැවරෙනවා. මේ ඓතිහාසික උරුමයන්, රජවරුන් පිළිබඳ උරුමයන්, අපේ දරුවන්ට කියා දෙන්න ඕන. පාසලේදී ඒ වගේම විශ්වවිද්‍යාලයට ගියත්, මොන රැකියාව කළත් තමන්ගේ උරුමය පිළිබඳව, ජාතියේ උරුමය පිළිබඳව ඉදිරි පරපුරට ගෙනයැමේ කාර්යභාරය අන් සියලු දේකට වඩා රටකට වටිනවා.

මේ පාසලේ අරමුණු අතර තියනවා, රජරට සංස්‌කෘතික උරුමයන් හා හරයන් ආරක්‌ෂා කර ගනිමින් සාර්ථක දියණියක්‌ බිහි කරන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක්‌ දිය යුතුයි කියලා. ඔබට තියෙන්නේ මහා ඓතිහාසික, දැවැන්ත උරුමයක්‌. මේ අනුරාධපුරයේ තමයි මම විශ්වාස කරන්නේ ලෝකයේ මුලින්ම කාන්තා විමුක්‌තියේ නාදය ඇසුණු රාජධානිය, සංඝමිත්තා තෙරණිය තමන්ගේ මෙහෙණින් වහන්සේලාට මඟපෙන්වන හඬ මුලින්ම ඇහුණේ අනුරාධපුරයෙන්. අපේම රටේ කාන්තාවක්‌ වුණ අනුලා දේවිය මෙහෙණි සස්‌නට ඇතුළු වෙලා කාන්තාවන්ට විමුක්‌තියේ මඟ පෙන්නුවේත් අනුරාධපුරයේදී.

ආදරණීය දුවේ, මේ රටේ දරුවෝ, දුවලා එදාත් අධ්‍යාපනය නිසා වැජඹුණා. අර සීගිරි පර්වතේ තියන කුරුටු ගී වලින් කොටසක්‌ කාන්තාවෝ ලියපුවා. ඒවා කුරුටු ගී වුණාට එළු සඳැස්‌ ලකුණ අනුව ලියපුවා. එහෙම නම් ලංකාවේ කාන්තාව එදාත් හොඳින් ඉගෙන ගත්තා. අදත් මේ රටේ කාන්තාවන්ට දුවලාට විශේෂ පිළිගැනීමක්‌ තියෙනවා.

අනුරාධපුරයේ උපන්න මේ දරුවෝ මේ දුවලා මේ ඓතිහාසික උරුමය හදවතේ තබා ගන්න ඕනෑ. හැම වෙලාවෙම ගෙදර බුදුන් අම්මා කියන බණ පදය අනුරාධපුරයෙන් ඇහුණු ඒ බණ පදය සිහිපත් කරන්න. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ රටේ කාන්තාවන්ට තියෙන්නේ සම තැනක්‌ නොවෙයි. උත්තරීතර පූජනීය තැනක්‌. දුරු රටවල්වලින් එන නොයෙක්‌ වාද කරපින්නාගෙන ඒ පූජනීය තැන අහිමි කර ගන්න අපේ කාන්තාවන්ට අයිතියක්‌ නැහැ. අද මේ රටේ කාන්තාවන්ට විශේෂ පිළිගැනීමක්‌ තියෙනවා. මෑතක ටයිම්ස්‌ සඟරාවේ මම දැක්‌කා කාන්තාවන්ට ඉහළම තැන හිමිව තිබෙන්නේ ලංකාවේ කියලා.

කාන්තා අයිතීන් ගැන කථා කරන, මානව හිමිකම් ගැන කථා කරන උදවිය ඉන්නේ අපේ රටට වඩා හුඟාක්‌ පහළින්. සර්වජන ඡන්ද බලය පිරිමියට වගේම කාන්තාවටත්, එකටම ලැබුණා. නිදහස්‌ අධ්‍යාපනයත් කාන්තා පිරිමි හැමෝටම එක සමානව ලැබෙනවා.

ආදරණීය දුවේෘ ඔබ වෙනුවෙන් අපි ඒ නිදහස්‌ අධ්‍යාපනය රැක ගන්නවා විතරක්‌ නොවෙයි එය වර්ණවත් කරනවා. අපි මේ වර්ෂය තොරතුරු තාක්‌ෂණ වර්ෂය ලෙස නම් කරලා තියනවා. ඉංග්‍රීසි, තාක්‌ෂණ විෂයන්, මෙතෙක්‌ පාසලේ උගන්වපු නැති බොහොමයක්‌ දේ, නොමිලේ උගන්වනවා.

මේ රටේ කාන්තාවන්ගෙන් 90% ක්‌ම අධ්‍යාපනය ලබාපු අය. විශ්වවිද්‍යාලයට වැඩිපුරම ඇතුළු වෙන්නෙත් දුවලා. අම්මලා තමයි අද දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුරම මහන්සි වෙන්නේ.

ඒ වගේම අපේ රට ඉතාම වාසනාවන්තයි. අපේ පාසල් ගුරුවරු ගුරුවරියන් අතරින් වැඩිපුරම ඉන්නේ ගුරුවරියෝ. ගුරුවරියන් වැඩිපුරම ඉන්න නිසා මගේ දරුවන්ට මව් සෙනෙහස නොඅඩුව ලැබෙනවා. ගුරුවරියන් හැටියට ගෙදරදී තමන්ගේ දරුවන්ට උගන්වන දේ ඒ කියන්නේ අපේ ඓතිහාසික උරුමයන් දරුවන්ට උගන්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මේ රටේ ආර්ථිකය ගැන, මේ රටේ නව සංවර්ධනය ගැන අපේ දරුවන්ට කියලා දිය යුතුයි. අද සංවර්ධනය අපේ ගමේ දරුවන්ට ලැබිලා තියෙනවා. වරායන් 05 හැදෙනවා. මහා මාර්ග ගොඩනැඟෙනවා. හම්බන්තොට වරායේ පතුල බලන්න අද අවස්‌ථාව ලැබිලා තියෙනවා. එලෙස ගොඩනැඟෙන වරායක්‌ මීට පෙර දකින්න ලැබිලා නැහැ. ගමේ සංවර්ධනයට ගම නැඟුම ව්‍යාපෘතියට පමණක්‌ අපි බිලිsයන 38 ක මුදලක්‌ වෙන් කරලා තියනවා මේ අවුරුදු 04 ට. අන් කවරදාටත් නැති විදිහට අද ගම සංවර්ධනය වෙලා තියෙනවා. ලෝකයේ ප්‍රබල රටවල බැංකු කඩා හැලෙනකොට, මිලියන ගණන් සේවකයෝ එළියට දානකොට අපේ බැංකු අපි ශක්‌තිමත්ව පවත්වාගෙන ගියා. ඒ මේ මහා යුද්ධයක්‌ කරගෙන යන ගමන්. අපි මේවා පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕන.

ඔබ සමාජය පිළිබඳ වඩා හොඳ දැනුමකින් කටයුතු කරන්න. අපි මේ රටේ මොන සංවර්ධනය ඇති කළත් වැඩක්‌ නැහැ. රට නිදහස්‌ කරගත්තත් වැඩක්‌ නැහැ. අපට සාරධර්මවලින් පිරි, මතින් තොර රටක්‌ නැත්නම් සමාජය අයාලේ ගිය සමාජයක්‌ බවට පත්වෙනවා නම් මේ සංවර්ධනයේ ප්‍රතිලාභ අපට ලබන්න බැහැ.

අද මේ දුවලා දැක්‌කම මට මතක්‌ වෙනවා සිංහබාහු නාටකය. දුවලා දන්නවා ඇති සිංහබාහු කියන අපේ විශිෂ්ට නාට්‍යය ගැන. අපේ වංශය ආරම්භ වුණු හැටි කියන පුරාණ කථාවකින් තමයි, මේ ශ්‍රේෂ්ඨ නාට්‍යය ගොඩ නඟලා තියෙන්නේ. ඒ සිංහබාහු නාට්‍යයේ තියනවා සිංහයා දවසක්‌ කැලෑවේ ඇවිදලා ආපහු ගල් ගෙට එනකොට, ගල්ගෙය බිඳලා, ලෙන්දොර ඇරලා, ලෙනේ හිටපු සොඳුරත්, පුතාත් යන්න ගිහින්. ඒ විතරක්‌ නොවෙයි දියණියත් නෑ. ලෙන පාලුයි. සිංහයට ලොකු දුකකුත්, පාලුවකුත් දැනුණා. එයා වැළපුණා. වැඩිපුරම වැළපෙන්නේ තමන්ගේ දුව ගැන කිය කියා.

"ඇයි ප්‍රිය දියණියේ නුඹවත් නොසිටියේ, නුඹ සිටියා නම් කවයි, පොවයි, මා ගැන විමසිල්ලෙන් සොයයි බලයි." කිය කියා සිංහයා වැළපෙනවා. එවැනි දුකක්‌ මටත් මේ දියණිවරුන් දැක්‌කම ඇති වෙනවා. ඒ මගේ පුද්ගලික ජීවිතය සමඟ බැඳී පවතින්නක්‌.
 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.