සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම

සෝමාවතිය යන නාමය සඳහන් සෑම මොහොතකම මෙරට ජනතාවගේ සිහියට නැගෙනුයේ විවිධ රශ්මිමාලා විහිදුවමින් අනේකවිධ ඓශ්චර්යමත් සිද්ධි ප්‍රකට කරමින් මහ වන මැද වැඩ සිටින චෛත්‍ය රාජයෙකි. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක්‌ වැඩ සිටින මෙම ස්‌තූපය වර්තමානයේ පොලොන්නරු හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌ක දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා තිබේ. සාපේක්‍ෂ වශයෙන් ගත් විට පොලොන්නරුව නගරයට කිලෝමීටර 40 ක්‌ පමණ උතුරින් පැරැණි මීන්විල්ලු නම් ග්‍රාමයේ පිහිටි මෙම පරම පවිත්‍ර පූජා භූමියට සුංගාවිල ගම්මානය කෙළවරින් ගලා යන පෙරියාරු අතු ගංගාවෙන් එතෙර වී කිලෝමීටර් 13 ක්‌ පමණ මහ වනය මැදින් උතුරු දෙසට ගමන් කළ විට මෙම ස්‌ථානයට ළඟා වීමට පුළුවන. සැබවින්ම මෙම ලිපියෙහි අරමුණ වනුයේ එකී උත්තරීතර සෑය ආශ්‍රිත පුදුම සහගත සිදුවීම් නැවත නැවත හුවා දැක්‌වීම නොව මෙම ස්‌තූපයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පවත්නා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික පසුබිම හඳුනා ගැනීමට උත්සහ කිරීමය. මෙබඳු ඓතිහාසික තත්ත්ව අධ්‍යයනයකදී පාලි සාහිත්‍යය මූලාශ්‍රයවලට හා පුරාවිද්‍යාත්මක නැතහොත් පැරැණි අවධීන්ට අයත් ද්‍රව්‍යාත්මක සාධක කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව පවතියි. ඒ අනුව පාලි ධාතුවංසය, ජීනකාලමාලී, මහාවංසය, දීපවංසය යන ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍රයන් මෙහිදී අපගේ විශේෂ සැලකිල්ලට බඳුන් වේ.

පාලි ධාතුවංසය හා ජිනකාලමාලි යන මූලාශ්‍ර දෙකම සඳහන් කර ඇති පරිදි සෝමාවතී නමින් ස්‌තූපයක්‌ ක්‍රිස්‌තු පූර්ව දෙවන ශත වර්ෂයේදී කාවන්තිස්‌ස මහ රජුගේ නැගණිය වූ සෝමා දේවියගේ ඉල්ලීම පරිදි ඇයගේ ස්‌වාමියා වූ ගිරිඅභය විසින් බුදුන් වහන්සේගේ දක්‍ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට බුබ්බුලාකාරව ගොඩනඟා තිබේ. මෙම ග්‍රන්ථවල එන (ගිරි) අභය කැලණිය ප්‍රාදේශීය පාලන ඒකකයේ විසූ ශිව නම් පාලකයාගේ බෑණනුවන් ය. පාලි හා සිංහල ධාතුවංසයේ මේ සම්බන්ධයෙන් එන තොරතුරු තවදුරටත් විමසුව මනාය. සෝමාවතිය ස්‌තූපය ඉදි කෙරෙන කාල පරිච්ඡේදය ඉතා පැහැදිලි ලෙසම ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවසයි. මෙම කාල වකවානුව මෙරට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විමසීමේදී පෙනී යනුයේ කොටස්‌වලට බෙදී ඒ ඒ ප්‍රදේශවල ස්‌වාධීන කුඩා රාජ්‍ය ව්‍යාප්තව පැවැති කාල සීමාවක්‌ බවයි. මෙකල ප්‍රධාන පාලකයන් දෙදෙනා වනුයේ මහවැලි නදියෙන් උතුරු පෙදෙස පාලනය කළ එළාර රජු හා මහවැලියට දකුණු දෙසින් පාලන කටයුතු කළ රුහුණේ කාවන්තිස්‌ස රජුත් ය. මොවුන් දෙදෙනාට අමතරව ලෝණ නුවර මහානාගත්, කැලණියේ ශිවත්, සේරු නුවර ශිවත් යන ප්‍රාදේශීය පාලකයෝ තම තමාගේ ප්‍රදේශවල ස්‌වාධීන පාලනයක්‌ පවත්වා ගත්හ. විවාහ වීමෙන් අනතුරුව කැලණියේ ශිව රජ විසින් අභය හා සෝම යන යුවළ ගිරිනුවර පදිංචියට පිටත් කර හැරීය. මෙම ගිරි නුවර බොහෝ විට මෙරට කඳුකර ප්‍රදේශය වීමට පුළුවන. ඒ ගැන ඉතිහාසඥයන් හෝ පුරාවිද්‍යාඥයන් අතර පැහැදිලි මතයක්‌ නැත.

අභය, ගිරි අභය බවට පත්වනුයේ මෙහි විසුමට යැමේදීය. මහාවංසයේ හා ධාතුවංසයේ ද සඳහන් වන තවත් සුවිශේෂී සිදුවීමක්‌ මේ අතරතුර සිදුවිය. එනම් කාවන්තිස්‌ස රජුගේ වැඩිමහල් පුත් ගැමුණු ද දාවා නම් අමාත්‍යයකු ද පිය තනතුරෙහි තබා (ගිරි) අභය විසින් පාලනය කෙරෙන ගිරි නුවරට පිටත් කර හැරීමයි. ගැමුණු කුමරු ඇතුළු පිරිස ගිරි නුවරදී ගිරිඅභයගේ පිළිගැනීමට ලක්‌විය. නමුත් මහාවංසයේ මෙම පුවත සඳහන් වනුයේ වෙනත් ස්‌වරූපයකිනි. එනම් තම පියාගෙන් එළාරට විරුද්ධව යුද පිණිස යැමට ඉල්ලූ අවසරය ප්‍රතික්‍ෂේප වූ බැවින් පිය රජුට ස්‌ත්‍රීවස්‌ත්‍රාභරණ ආදිය යවා මලය දේශයට නොහොත් ගිරි නුවරට පලාගිය බවයි. කෙසේ නමුත් ගැමුණු කුමාරයා ගිරි නුවරට ගිය බව පිළිගත හැකි සත්‍යයකි. මෙම ප්‍රදේශයේදී ගැමුණු හා ගිරිඅභය අතර මත භේදයක්‌ ඇති වූ අතර එහිදී ගිරිඅභය තම බිසව වූ සෝමා දේවියත් සමඟ සේරු නුවර මිත්‍ර පාලකයා වූ ශිව වෙත එළඹෙයි. සේරු නුවර ශිවගේ පාලන කටයුතු සිදු වූයේ වරාභසොණ්‌ඩී නම් විලක්‌ සමීපයේ බව පෙනී යයි. තම උපකාර පතා පැමිණි ගිරි අභය හා සෝමා දේවිය පදිංචි කරවූයේ ද මෙකී විල කෙළවරමය. පසු කලෙක සෝමපුර - සෝමනුවර වශයෙන් ප්‍රසිද්ධ වූයේ ද මෙම නව පාලන ඒකකයයි. එය පසුව අභය රජුගේත් සෝමා දේවියගේත් පාලන මධ්‍යස්‌ථානය ද වේ. සැබවින්ම මෙම විල අවම වශයෙන් කිලෝමීටර 30 ක වත් දුරස්‌ථ පරතරයකින් පැවතිය යුතුය. එසේ නොමැතිව ප්‍රාදේශීය පාලන ඒකක දෙකක්‌ එකම විල්දෙකෙළවර වඩාත් සමීපව පිහිටියේ යෑයි සිතීම ප්‍රායෝගික ද නොවේ. වර්තමාන සෝමාවතිය පූජා භූමියත්, සේරුවාවිල පූජා භූමියත් අතර සෘජු පරතරය යට කී දුර ප්‍රමාණයට ද සාම්‍ය වේ.

වර්තමාන සෝමාවතිය ස්‌තූපයේ ස්‌ථානගත වීම පැරැණි මූලාශ්‍රයවල සඳහන් වන තොරතුරු සමඟ නොගැලපේ. මහාවාලුකා හෙවත් මහවැලි නදියට දකුණු දෙසින් පැරැණි රෝහණ රාජ්‍යයට අයත්ව එහි ඉදි වූ බව වංශ කථා තොරතුරුවලට අනුව පෙනේ. නමුත් වර්තමානයේ එය මහවැලි නදියට උතුරින් පිහිටා තිබීම කාටත් ගැටලුවක්‌ වීමට පුළුවන. මේ සඳහා ප්‍රබල විද්‍යාත්මක සාධක ගුවන් ඡායාරූප අධ්‍යයන මගින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වර්තමාන සෝමාවතිය ස්‌තූපයට කිලෝමීටරයක්‌ පමණ උතුරු දෙසින් වර්තමානයේ මහවැලි ගංගාවට සමාන පළලකින් යුක්‌ත පැරැණි මහවැලි ගංගාවක ශේෂ මාර්ග අනාවරණය විය. එම ගංගාව අදින් වසර 1000 කට පමණ පෙර අවධියකදී තම ගමන් මාර්ගය වෙනස්‌ කොට අද දක්‌නට ඇති මාර්ගය තෝරාගත් ආකාරය මෙරට සිටි විශිෂ්ඨ උගතුන් කිහිපදෙනකු විසින් ම පෙන්වා දී ඇත. සැබවින්ම පැරැණි මහවැලි නදිය දඟර සහිතව ගලා ගිය ලක්‍ෂණ අදාළ ගුවන් ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් මොනවට ප්‍රත්‍යක්‍ෂ වේ. රට මැද සිට ගලා ආ ප්‍රබල ජල පහරක්‌ හේතුවෙන් හෝ භූ+ ගර්භ විපර්යාසයක්‌ හේතුවෙන් පෙර කී දඟර සහිත මාර්ගය අතහැර දමා වත්මන් සෘජු මාර්ගය තෝරා ගත් බව පෙනී යයි. එය භූගෝල හා භූ ගර්භවිද්‍යාව මගින් ද සනාථ කෙරෙන ක්‍රියාවලියකි. මේ කරුණු අනුව වර්තමාන සෝමාවතිය ස්‌තූපයේ පිහිටීම පිළිබඳ කිසිදු ගැටලුවක්‌ ඇති නොවන අතරම එය පැරැණි යුගයේ නිවැරැදි ලෙසම රෝහණ රාජ්‍යයේ උතුරු සීමාව වූ මහවැලි නදියට දකුණින් පිහිටි බව පෙන්වා දීමට පුළුවන.

සෝමාවතිය ස්‌තූපයේ පිහිටීම මෙන්ම එහි වැඩ සිටිනවා යෑයි සැලකෙන බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පිළිබව ද කිසි විටෙකත් ගැටලු ඇති නොවේ. ශ්‍රී ලංකාවේ මේ වන විට දළදා වහන්සේ දෙනමක්‌ වැඩ සිටින අතර, මහනුවර දළදා මාලිගාවේ එක්‌ වම් දළදාවක්‌ ඇතැයි සැලකේ. එම වම් දළදාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ක්‍රිස්‌තු වර්ෂ සිවුවන ශතවර්ශයේ කිත්සිරිමෙවන් රජ දවසය. එය රැගෙන ආවේ ඒ වන විට වඩාත් ප්‍රබලව හා ප්‍රසිද්ධව පැවැති මහා විහාරයට ප්‍රතිවරෝධී වූ අභයගිරිකයන් වෙත ය. එම වම් දළදාව මෙරටට රැගෙන ඒමට වසර පන්සීයකට පමණ පූර්වයේදී අපගේ සාකච්ඡාවට බඳුන් වන සෝමාවතිය ස්‌තූපයේ වැඩ සිටිනවා යෑයි විශ්වාස කෙරන දකුණු දළදාව පමුණුවා තිබේ. එය පරිහරණය කරන ලද්දේ මෙරට මුල්ම සංඝ පරම්පරාව විසිනි. එනම් මහා අරිට්‌ඨ භික්‍ෂු පරපුරෙන් පැවත ආ මහින්ද නම් තෙර කෙනෙකු විසින් ගිරි අභය රජුට දකුණු දළදාව ලබා දුන් බව ධාතු වංසය හා පාලි ජිනකාලමාලිය පවසයි. වම් දළදාවට මෙන්ම දකුණු දළදාවට උපස්‌ථාන කරන ලද්දේත් අභයගිරිවාසී භික්‍ෂුන් බව සෝමාවතිය සෑ මළුවේ ඇති ශිලා ලිපියකට අනුව තහවුරු වේ. මෙම කරුණු තුළින් පැහැදිලි වන තවත් කරුණක්‌ වේ. එනම් මුල්ම අවධියේදී දකුණු දළදාවට උපස්‌ථාන කිරීමේ පැවැති පළපුරුද්ද පදනම් කර ගනිමින් ඊට පසුව රැගෙන ආ වම් දළදා වහන්සේ ද අභයගිරිවාසීන් වෙතම පවරන්නට ඇත. ශ්‍රී ලංකාවේ මූඛ්‍ය වංසකථාd ලෙස ගැනෙන මහාවංසය හෝ දීපවංසය වැනි කෘතීන්හි සෝමාවතිය ස්‌තූපය ඉදිකිරීම හෝ දකුණු දළදාව ගැන හෝ වම් දළදාව ගැන හෝ කරුණු සඳහන් නොවන තරම් ය. වම් දළදාව ගැන විටින් විට ඉතා දුර්ලභ වශයෙන් ගාථාවකින් හෝ දෙකකින් කරුණක්‌ සඳහන් කළ ද දකුණු දළදාව හෝ සෝමාවතිය පිළිබඳ කරුණු සඳහන් වන්නේ පොළොන්නරු සමයට අයත් තොරතුරු සමඟ පමණි.

පොලොන්නරු රාජ්‍ය සමයේ වඩාත් ශක්‌තිමත් පාලකයා ලෙස හඳුනාගත හැකිව පවතින්නේ මහා පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1153 - 1186) රජුය. ඔහු සිදුකළ සේවාවන් දක්‌වන මහාවංසය ගිරිතලේ වැවෙන් කාවේරි නම් ඇළක්‌ මාර්ගයෙන් කදුරුවඩමන් (කදුරුවෙල) වැවටත් එහි සිට සෝමාවතී නම් ඇළක්‌ මගින් ඇරිමද්දී විජය නම් ගමටත් ජලය රැගෙන ගිය බවට තොරතුරු සඳහන් වෙයි. සෝමාවතී නම් ඇළ පිළිබඳව එන සඳහන මෙහිදී අපට අතිශය වැදගත් වේ. මහා පරාක්‍රමබාහුට සෝමාවතී නමින් බිරිඳක්‌ සිටි බව හඳුනා ගැනීමට අපහසුය. එසේ නම් පොලොන්නරුව රාජ්‍ය සමය වන විට සෝමාවතී නමින් ප්‍රදේශයක්‌ ප්‍රසිද්ධව පැවති බව පෙනේ. මෙසේ කෙනෙකුගේ නමින් ප්‍රදේශයක්‌ ප්‍රසිද්ධව පැවතීමට කිසියම් ප්‍රබල ඓතිහාසික පුවතක්‌ පැවතිය යුතුය. එය සෝමාවතිය ස්‌තූපය නිසා ඇති වූ ප්‍රකට නාමයේ පැවැත්ම විය හැකිය. මෙහිදී තවත් වැදගත් කරුණක්‌ වන්නේ එම රජුගේම බිරිඳ වූ ලීලාවතිය විසින් රජු සිටින කාලය තුළදීම සෝමාවතිය ස්‌තූපයට කරන ලද පුද පූජාවන් පිළිබඳව කරුණු සඳහන් පුවරු ලිපියක්‌ සෝමාවතිය චෛත්‍යය මළුවේ තිබී හමු වීමය. අනෙක්‌ අතට සෝමාවතිය ස්‌තූප මළුව ආශ්‍රිතවත් මහාවනය තුළත් ක්‍රිස්‌තුපූර්ව අවධිය දක්‌වාම පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබීම මෙහිදී තවදුරටත් වැදගත් වන්නකි. කාලිංග මාඝ ආක්‍රමණය දක්‌වාම එනම් මෙරට ප්‍රධාන පාලන මධ්‍යස්‌ථානය දඹදෙණියට සංක්‍රමණය වන තුරුම සෝමාවතිය ස්‌තූපයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් වඩාත් ජනාකීර්ණව මෙන්ම සශ්‍රීකව ද පැවැති බව තහවුරු වේ.

සෝමාවතිය ස්‌තූපය හා ඒ ආශ්‍රිත ප්‍රාදේශීය පුරාවස්‌තු, ශිලා ලේඛන ගැන ද මෙහිදී අපගේ අවධානය යොමු කළ යුතුව පවතියි. සෝමාවතිය චෛත්‍ය ආශ්‍රිතව මේ වන විට අභිලේඛන හෙවත් සෙල්ලිපි 10 ක්‌ පමණ අනාවරණය කරගෙන තිබේ. එම ලිපි ක්‍රිස්‌තු පූර්ව පළමුවන ශත වර්ශයේ සිට ක්‍රිස්‌තු වර්ෂ 12 වන සියවස දක්‌වා ගමන් කරයි. රාජ්‍ය මැදිහත්වීම්, ජනාවාස ව්‍යාප්තිය හා සමාජ ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ වූ වසර 1300 ක ඉතිහාසයක්‌ මෙම ලිපි මගින් අනාවරණය කරයි. එකල මහවැලි නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ආර්ථික කටයුතුවලින් ලද ධනය මෙකී විහාරයේත්, සෝමාවතිය ස්‌තූපයේත්, නඩත්තුවට, සංවර්ධනයට යොමු කළ යුතු බවට පනවන ලද රාජකීය නියෝග එම සෙල්ලිපිවලින් හෙළිදරව් කරයි. මීට අමතරව ඇළ මාර්ග පිදීම, තොටුපළවල් පිදීම, කුඹුරු යායවල් පිදීම, පිළිබඳවත් ඒ තුළින් කරුණු හෙළි කෙරේ. මා විසින් සෝමාවතිය රක්‍ෂිත ප්‍රදේශයේ වසර තුනක පමණ සිට කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂන තුළින් පෙනී ගියේ ශිලා ලේඛන හමුවන එකම පුරානටබුන් බිම මෙම සෝමාවතිය බවය. කොම්භනාච්චි, ත්‍රිකොණමඩු ආශ්‍රිතව කළ පුරාවිද්‍යා ගවේෂණවලදී ගල්ලෙන් සහිත (රුහුණු සෝමාවතිය නමින් 1980 දශකයේදී හැඳින්වු) ස්‌ථානයක්‌ ද පරීක්‍ෂා කළෙමි. එහි "බත" (ස්‌වාමි) යන වචනය එන සෙල්ලිපි කොටසක්‌ දක්‌නට ලැබිණි. එල්ලාවල මේධානන්ද නායක ස්‌වාමීන් වහන්සේ ද එම අක්‍ෂර දෙක පිළිබඳව කරුණු සඳහන් කර තිබේ..

පාලි ධාතුවංසයට අනුව සෝමාවතිය ස්‌තූපය ගොඩනඟන ලද භූමිභාගය වඩා පුළුල් ලෙස පැතිරුණු සමතලා බිම්කඩක්‌ බව පෙනේ. ධාතුවංසයේ "එතැන් පටන් ඒ රජ ඒ භූමිය වල් අරවා කණුමුල් උදුරවා ඇර, බෙර ඇසක්‌ සේ සමතලා කරවා, ඉක්‌බිති උළුවඩුවන් ගෙන්වා" යනුවෙන් එන සඳහන මෙහිදී වැදගත් වේ. බෙර ඇසක්‌ සේ සමතලා කිරීමට නම් යට කී පරිදි පුළුල් භූමි භාගයක්‌ තිබිය යුතුය. වංසකථාවේ එන තොරතුරු වර්තමාන සෝමාවතිය භූමි භාගය ආශ්‍රිත භූමි දර්ශනය සමග සමපාත වනුයේ මේ හෙයිනි. මේ චෛත්‍ය ආශ්‍රිතව පCඳ්¹වාසයකින් යුක්‌ත විහාරයක්‌ ද කරවූ බව ධාතුවංසය පවසයි. වර්තමාන සෝමාවතිය ස්‌තූපය ආශ්‍රිතව ද පCඳ්චාවාස ආරාම ඉදිකිරීමේ ගෘහ නිර්මාණාත්මක ක්‍රමවේද යොදා ගනිමින් ඉදිකළ එනම් ආවාස නටඹුන් හමුවිය. මේ හේතුවෙන් ධාතු වංසයේම එන තොරතුරුවලට අනුව දකුණු දළදාව ලබාදුන් මහින්ද තෙරුන් සමඟ මුල් කාලයේ විසූ 60 නමක්‌ භික්‍ෂූන්ට ද ඒ ඒ තැන්වල විහාර 60 ක්‌ කරවා පූජා කොට ඇත. මහා වනාන්තරයේ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ අධ්‍යයනවලදී මෙම අවශේෂ විහාරවලට අයත් යෑයි සිතිය හැකි නටඹුන් ද 30 කට ආසන්න ප්‍රමාණයක්‌ මේ වන විට අනාවරනය කරගෙන තිබේ. ඒ අතර මැදශාලාව, පුල්ලේයාර්පට්‌ටි, ගල්කණුවාන, දේවදෙච්තිය, කොම්භනාච්චි ත්‍රිකෝණමඩු ගල්ලෙන් සහිත පුරාවිද්‍යාක්‍ෂේත්‍ර, කන්දකාඩුව, පොට්‌ටුඅම්මාගේ ඔරුව කපාපු තොට, ඊරියාවල ආදිය වේ. මේවා විශාල ආරාම සංකීර්ණ නොව ඉතා කුඩා ප්‍රමාණයේ ආගමික මධ්‍යස්‌ථාන ලෙස පෙනී යයි. අදාළ කලාපයේ හමුවන එකම මහා විහාර සංකීර්ණය ලෙස සැලකිය හැක්‌කේ වර්තමාන සෝමාවතිය චෛත්‍යය ආශ්‍රිත පූජා භූමියයි.

වර්ෂ 1980 දී පමණ යට කී කුම්භනාච්චි ත්‍රිකෝණමඩු ප්‍රදේශය ආශ්‍රිත ගල්ලෙන් සහිත (කටාරකෙටු) පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය ආගමික ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම්වලට ලක්‌කොට තිබේ. එහි පැරැණි නටඹුන් ලෙස කටාර කෙටූ ගල්ලෙන් දෙකක්‌, ආසනයක්‌. කැටයම් රහිත සිරිපතුල් ගලක්‌, බෝධිසත්ව ප්‍රතිමාවක කොටසක්‌, බිමට සමතලා කරන ලද ඉතා කුඩා ප්‍රමාණයේ චෛත්‍යයක නටඹුන්, විශාල ගල් පදනමක්‌ මත ඉදිකළ ගොඩනැඟිල්ලක නටබුන් ආදිය වේ. 1980 දශකයේ නව රුහුනු සෝමාවති විහාරය නමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂුන් වහන්සේලා විසින් පරිහරණය කරන ලද්දේ මෙම ගල්ලෙන් සහිත පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයයි. එයින් එක්‌ ගල්ලෙනක්‌ නූතන ඉදිකිරීම්වලට බඳුන් වී ඇති අයුරු දක්‌නට ලැබිණි. බැතිමතුන් සඳහා රචිත පොත් පිංචක යට කී බෝධිසත්ව ප්‍රතිමා කොටස සෝමාවතී දේවියගේ පිළිරුව වශයෙන් හඳුන්වා තිබෙනු දක්‌නට ලැබිණි. එය සැබැවින්ම වැරදි අවබෝධයකින් යුතුව කර ඇති සඳහනකි. ධාතුවංසයේ හෝ පාලි ජිනකාලමාලියේ එන තොරතුරු සමඟ මෙම නව රුහුණු සෝමාවතිය නමින් කලක්‌ හැඳින්වූ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ නටබුන් කිසිසේත් සාම්‍ය වන බවක්‌ හඳුනා ගැනීම අපහසුය. මෙම ස්‌ථානයේ පවතින්නේ වෙනත් පුරාවිද්‍යාත්මක අගයකි. එනම් මූල ඓතිහාසික යකඩ යුගයේ එනම් මෙරට යකඩ තාක්‍ෂණය භාවිත කළ මුල් අවධියේ විසූවන්ගේ වාසස්‌ථානයක්‌ වශයෙනි. පසුකාලීනව විවිධ පිරිස්‌ විසින් භාවිත කළ බවට ද පුරාවිද්‍යා සාක්‍ෂි අනාවරණය විය.

මීට අමතරව අදාළ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක පසුබිම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන විට පෙනී යන්නේ දැනට පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ වනගතව පවතින බවයි. 1890 දී මෙරට විසූ විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයකු වූ ද පළමු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වූ ද එච්. සී. පී. බෙල් නම් මහා පඬිවරයා සෝමාවතිය ලෙස හඳුනාගෙන ඇත්තේ ද වර්තමාන සෝමාවතිය පුද බිමයි. ඔහු විසින් රචිත Eචසටර්චයස්‌ Zeහක්‌බසජ් නම් කෘතියේ ද සෙනරත් පරණවිතාන විසින් රචිත ෂබිජරසචඑසදබි දෙ ජැහකදබ නම් කෘතියේ ද සෝමාවතියේ සෙල්ලිපි පිළිබඳවත් අදාළ ථූපය සෝමාවතිය ලෙසත් හඳුන්වා තිබීම වැදගත් කරුණකි. සැබවින්ම මෙම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය ආශ්‍රිත මතුපිට දත්ත පමණක්‌ පදනම් කරගෙන එහි ක්‍ෂේත්‍ර ඓතිහාසික සංදර්භගත කිරීමකට පෙළඹීම ඉතා අසීරු කරුණක්‌ වුවද සෝමාවතිය ස්‌තූපය වංසකතාවේ සඳහන් ආකාරයට වඩාත් ප්‍රබල ලෙස පුරාවිද්‍යා සාධක ප්‍රකට කරන බැවින් බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින ස්‌තූපය මෙය බවත් එය වඩාත් ප්‍රායෝගික යථාර්ථයක්‌ වන බවත් සඳහන් කළ හැකිව පවතියි.

බුදුරැස්‌ විහිදෙන සෝමාවතිය නමින් වර්තමාන සමාජයේ ලොකු කුඩා ගිහි පැවිදි බෞද්ධ අබෞද්ධ කාගේත් සම්භාවනාවට පාත්‍රව ඇති මෙම ස්‌තූපය වර්ෂ 2100 ට පමණ පෙර පැවැති සමාජ, ආර්ථික, පදනම මත ඉදි වූවකි. ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේ එනම් මෙරට ඓතිහාසික යුගය ආරම්භ වන කාල පරිච්ඡේදය වන විට අනුරාධපුරය, තිස්‌සමහාරාමය, අකුරුගොඩ ආදී නාගරික ශිෂ්ටාචාර මෙන්ම සෝමාවතිය චෛත්‍යය ආශ්‍රිත ප්‍රදේශය ද ප්‍රබල නාගරික සමාජයක්‌ පිළිබිඹු කරයි. විශේෂයෙන්ම සේරුවාවිල තඹ නිධිය ආශ්‍රිතව සිදු වූ ලෝහ තාක්‍ෂණික ක්‍රියාකාරකම්, ත්‍රිකුණාමලය (ගෝකණ්‌ණ වරාය) ආශ්‍රිතව පැවැති ආර්ථික පසුබිමත් මහවැලි නදිය ඒ ඒ ස්‌ථානවලින් හරස්‌ කොට ඇළ මාර්ග මගින් ජලය ගෙන ගොස්‌ ඉතා පුළුල් ආකාරයෙන් සිදුකරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියත් මහවැලි නදිය හරහා සිදුකෙරුණු දේශීය - විදේශීය වෙළෙ¹මේ නියෑලුණු සමාජයක්‌ මෙම නාගරික සමාජයට පසුබිම විය. මෙබඳු නාගරික සභ්‍යත්වයක්‌ ආශ්‍රිතව නිෂ්පාදනය ක්‍රියාවලියේ නියුතු වන ග්‍රාමීය සමාජ ද වූ බවට සාධක හමු වී ඇත. මෙම නාගරික සමාජයේ ධනය ආයෝජනය කර එම සමාජයේ ම අවශ්‍යතාව මත දකුණු දළදාව වැනි ප්‍රධාන ධාතුවක්‌ තැන්පත් කොට සෝමවතිය ස්‌තූපය ඉදිකර තිබේ. වසර 2000 කට වඩා පැරැණි යකඩ නිෂ්පාදනාගාරයකට අදාළ විශාල යබොරකුට්‌ටි, (කරදබ Sක්‌ටි) කළුරතු බඳුන් (ඊක්‌ජන aබා Red උaරු) සහිත ප්‍රදේශ සෝමාවතිය ස්‌තූපය ආශ්‍රිතව අප විසින් අනාවරණය කර ගැනුණි. ප්‍රභූ පැලැන්තිය විසින් සුභාවිත භාජන වර්ග ලෙසට යට කී බඳුන් වර්ග පෙන්වා දීමට පුළුවන. සෝමාවතිය ස්‌තූපය අසලින් ම මෙබඳු සාධක අනාවරණය වීම පාලි සාහිත්‍යය මූලාශ්‍රවල සඳහන් වන තොරතුරු සමඟ තවදුරටත් අපගේ විශ්වාසය තහවුරු කරන්නකි.

ශ්‍රී ලංකාවේ වංසකථාවලත්, අභිලේඛනවලත් සෝම යන නාමය සහිතව පූජනීය ඉදිකිරීම් කීපයක්‌ ගැනම කියවේ. ඒ අතුරින් වළගම්බා රාජ්‍ය සමයට අයත් ප්‍රවෘත්තිය ද වේ. ද්‍රවිඩ ආක්‍රමණයකට මුහුණ දිය නොහැකිව පලා යන වළගම්බා දෙවන වර රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව සෝමා නම් වූ දේවිය වෙනුවෙන් සෝමාරාමයක්‌ කළ බව මහා වංශයේ සඳහන් වේ. සැබවින්ම මෙය අනුරාධපුර මහා විහාරය ආශ්‍රිතව කරන ලද්දක්‌ බව මහාවංශයේ 33 වැනි පරිච්ඡේදයේ 86- 89 ගාථාවලින් මැනවින් පැහැදිලි වේ. අනෙක්‌ අතට වළගම්බා රජු රාජ්‍යත්වයට පත් වනුයේ පළමුවර ක්‍රිස්‌තුපූර්ව 103 දීය. ඔහු දෙවන වර රාජ පදවියට පත් වනුයේ ක්‍රිස්‌තු පූර්ව 89 - 77 කාලයේදී ය. වළගම්බා රජුගේ පියා සද්ධාතිස්‌ස රජුය. වැඩිමහල් සොහොයුරා දුටුගැමුණුය. මේ දෙදෙනාගේම පියා කාවන්තිස්‌ස රජුය. බුදුන් වහන්සේගේ දකුණු දළදාවක්‌ හා සෝමාවතිය ස්‌තූපය ඉදිකිරීමක්‌ පිළිබඳව තොරතුරු සඳහන් වන්නේ කාවන්තිස්‌ස රාජ්‍ය සමයට අයත්වය. පාලි ධාතුවංසයේ හා ජිනකාලමාලියේ කරුණු සඳහන් වනුයේ ගැමුණු කුමරු පිළිබඳ පමණි. එබැවින් සෝමාවතිය ස්‌තූපය ගොඩනැඟෙන කාල පරිච්ඡේදයේදී සද්ධාතිස්‌ස කුමරායා ඉපදී සිටියා ද යන්නත් සැක සහිතයට. ඉපදී සිටියත් ඔහු ඉතා ළදරු වියේ පසුවන්නට ඇති බව නම් නිසැකය. කරුණු මෙසේ හෙයින් වළගම්බා රජුගේ පියා වූ සද්ධාතිස්‌ස රජුත් ඉපදීමට පෙර අවධියකදී සෝමාවතිය ස්‌තූපය ඉදිකර ඇති බව පෙනේ. කරුණු මෙසේ හෙයින් වලගම්බා රජු සෝමාවතිය ස්‌තූපයට සම්බන්ධ කර දැක්‌වීම පදනම් රහිත බව පෙන්වා දීමට පුළුවන. තවදුරටත් මෙම කරුණු විශ්ලේෂණය කරතොත් බුදුන්ගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර සෝමාවතිය චෛත්‍යය ඉදිකිරීමෙන් වසර 130 පමණ පසුවය වළගම්බා රජු ඉපදී ඇත්තේ. එසේම වළගම්බා රජු තම දේවියගේ නමින් ඉදිකළ සෝමාරාමය, වර්තමාන අනුරාධපුර මහා විහාර සීමාවේ ඇති ලංකාරාමය බව සෙනරත් පරණවිතාන ආදී උගත්තු පෙන්වා දී ඇත.

ක්‍රිස්‌තු වර්ෂ 10 වන සියවසට අයත් අනුරාධපුර වෙස්‌සගිරියෙන් හමුවූ අංක 01 දරණ පුවරු ලිපියේ ද වන්පුල්ලා නම් උපාසකයාගේ වීරාංකුරාරාමයට අයත් වූ මූලසෝ විහාරයක්‌ ගැන ද කියවේ. (මූලසෝම නොවේ) මෙම විහාරය හා සෝමාවතිය සම්බන්ධ කරමින් ඇතමෙක්‌ කරුණු දැක්‌වුවද, ඒවායේ කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක පදනමක්‌ නැත. එබැවින් බුදුන් වහන්සේගේ දක්‍ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට ඉදිකරන ලදැයි පැවසෙන සෝමාවතිය ස්‌තූපය හා එහි පිහිටීම නිවැරැදි ලෙස ම වර්තමානයේ කාගේත් අවධානයට පාත්‍ර වී ඇති පූජනීය භූමිය හා මැනවින් සැසඳෙන බව වසර ගණනාවක්‌ මුළුල්ලේ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ, සමීක්‍ෂණ මගින් පෙන්වා දී තිබේ.

වර්තමාන සෝමාවතිය ස්‌තූපය මෙරට සියලු ජනයාගේ ගෞරවාදරයට පාත්‍රව ඇති අතර එහි පුරාවිද්‍යාත්මක අගය තහවුරු වන පරිදි ආගමික මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් පවත්වා ගෙන යනු ද පෙනේ. මේ අවස්‌ථාවේදී ජනාධිපතිතුමාගෙනුත්, සංස්‌කෘතික හා ජාතික උරුමයන් භාර ඇමැතිවරුන්ගෙනුත්, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගෙනුත් ඉල්ලීමක්‌ ද කරනු කැමැත්තෙමි. වනාන්තරය පුරා විහිදී ඇති නටඹුන් ක්‍ෂේත්‍ර සියල්ලම හෝ හැකි කීපයක්‌වත් සංරක්‍ෂණයට බඳුන් කර මෙරට මහජනයාට දැක පහන් සංවේගය උපදවා ගැනීමට කටයුතු කරන ලෙසය. මහ වන මැද උරුමය ලොවට ගෙනහැර පෑමේ භාරදූර කාර්ය අප හැකි උපරිමයෙන් සිදු කරන අතර, ඔබතුමන්ලාගේ අවධානය, අනුශාසනය, අනුග්‍රහය ඒ සඳහා ලැබීම ද මහා පිටිවහලක්‌ වනු ඇත.

(වසර 03 කට ආසන්න කාලයක්‌ සිදුකරන ලද පුරාවිද්‍යා ගවේෂණවලින් අනාවරණය වූ පුරාවිද්‍යාත්මක සාධක මත පදනම්ව මෙම ලිපිය සකස්‌ කරන ලදී.)

මැදමහනුවර ධම්මසිරි හිමි,
පුරාවිද්‍යා අධ්‍යයන අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v