පුවතක පසුබිම

විමුක්‌ති සටන හා වීර මොණරවිල නිලමේ

(වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාගේ 19 වැනි ගුණානුස්‌මරණය නොවැම්බර් මස 26 දිනට යෙදී තිබේ. ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොල ස්‌මාරකය අභියසදී එදිනට ගුණානුස්‌මරණ උත්සවයක්‌ පැවැත්වීමටද නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

ශ්‍රී ලංකාවේ පළමුවැනි විමුක්‌ති අරගලය ලෙස ඉතිහාසයට එක්‌වී ඇති වෙල්ලස්‌සේ සටන මෙහෙයවූ අභීත සිංහල නායකයා වශයෙන් අමරණීයත්වයට පත් කැප්පෙටිපොල නිලමේ ජාතියේ පිනටම පහළ වූ යුග පුරුෂයෙකි. මොණරවිල කැප්පෙටිපොල රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නම් වූ මෙතුමාගේ පියා රාජාධි රාජසිංහ රජුගේ කාලයේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දැරූ ගොලහැල නිලමේ වන අතර, මව මොරණරවිල කුමාරිහාමි විය. ඇහැලේපොල කුමාරිහාමි මෙතුමාගේ එකම සොහොයුරිය වූ අතර, අවාසනාවන්ත ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියෝගයක්‌ පිට බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලදී.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දුර්දාන්ත පාලනයෙන් මිදීම සඳහා උඩරට රදළයෝ සහ වැසියෝ විකල්ප මාර්ගයක්‌ කෙරෙහි අවධානය යොමු කළ අතර, ඒ සඳහා අකමැත්තෙන් වුවද ඉංග්‍රීසීන්ගේ සහාය පැතූහ. නමුත් ඉංග්‍රීසින් උඩරට රාජධානියේ ස්‌වාමිත්වයට පත්වනවා දැකීමේ අභිප්‍රායයක්‌ ඔවුන් තුළ නොවීය. නමුත් 1815 මාර්තු 2 දා මහනුවර ශ්‍රී දළදා මාලිsගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමින් ඉතා සට කපට ලෙස ඉංග්‍රීසීහු උඩරට රාජධානියේ ස්‌වාමිත්වයට පත්වූ බව ඉතා පැහැදිලි කාරණයකි. ඉංග්‍රීසිහු උඩරටින් පන්නා සිහසුනට රජ කෙනෙක්‌ පත්කර ගැනීමේ අවශ්‍යතාවය ඉතා කෙටි කලකින්ම උඩරට වැසියන්ට දැනෙන්නට විය. ගිවිසුම අත්සන්කොට මාස 3 ක්‌ යන්නටත් පෙර මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට උඩරට රදළයන් සහ ගරුතර භික්‌ෂූන් වහන්සේලා රහස්‌ එකඟතාවයකට පැමිණීමෙන් එය තවදුරටත් සනාථ වෙයි.

කැප්පෙටිපොල නිලමේතුමා ඇතුළු තවත් දෙදෙනෙක්‌ ගිවිසුමට අත්සන් කළේ සිංහල අක්‌ෂරයෙන් වුවද අනෙක්‌ සියල්ලෝම දෙමළ හා ඉංග්‍රීසි බසින් අත්සන් තැබූහ. මේ තුළින් ද කැප්පෙටිපොල නිලමේතුමාගේ ජාති මාමක ගතිය ඉස්‌මතුවී පෙනෙයි. රාජ්‍යත්වයේ සංකේතය බවට පත්ව තිබූ දළදා වහන්සේ සම්බන්ධයෙන් ඉංග්‍රීසීන්ගේ අවධානය යොමුවී තිබූ අතර ගරුතර ස්‌වාමීන් වහන්සේලාගේ සහ උඩරට ජනප්‍රධානීන්ගේ අවධානය ඊට වඩා ඒ කෙරෙහි යොමුවී තිබිණි. දළදා වහන්සේ කොත්මලේ සඟවා තැබූ අතර, රන්කඩුව, ඔටුන්න ඇතුළු රාජාභරණ කැප්පෙටිපොල නිලමේ විසින් වෙනත් ස්‌ථානයක සඟවා තැබීය.

කැප්පෙටිපොල නිලමේත් ඔහුගේ මස්‌සිනා වූ ඇහැලේපොල නිලමේත් ඉංග්‍රීසීන්ගේ සැකයට පාත්‍ර වනුයේ මේ රාජ්‍යාභරණ සඟවා තැබීමේ සිද්ධිය උඩය. ගිවිසුම ප්‍රකාර "සිංහලේ චාරිත්‍ර වාරිත්‍ර කඩ නොකර පවත්වන්නට ඕනෑ බවට ඉංග්‍රීසිහු සපථ කර සිටිය ද එය ඒ ආකාරයට ඉටු නොවීම ගැන කැප්පෙටිපොල නිලමේ තුළ දැඩි වේදනාවක්‌ හා කෝපයක්‌ විය. දිසාව භාර නිලධාරියෙක්‌ වශයෙන් තමන්ට ලැබිය යුතු ගරු බුහුමන්ද ඉංග්‍රීසීන්ගෙන් තමන්ට නොලැබෙන බව එතුමාට පැහැදිලි විය. සිංහල පවුල්වලට පැවරුණු රාජකාරී මුස්‌ලිම් මිනිසුන් අතට පත්වන අවස්‌ථා ද විය. ඌවේ කටුගහ මොහොට්‌ටාල දිසාවේ නමින් හඳුන්වා ගැනීම පිළිබඳව කැප්පෙටිපොල නිලමේ තුල තදබල කලකිරීමක්‌ විය. මේ අතර ආරච්චිවරු සහ විදානේවරු කැප්පෙටිපොල නිලමේට විරුද්ධව ඉංග්‍රීසීන්ට විවිධ පැමිණිලි කරන්නට වූහ. ඉංග්‍රීසීන්ගේ පීඩාකාරී පාලනය කෙරෙහි කලකිරීම් උඩ වෙල්ලස්‌සෙන් පැන නැඟුනු අරගලය අහම්බෙන් සිදුවූවක්‌ නොවන අතර, 1817 නොවැම්බර් මාසය වනවිට එහි ගිණිපුපුරු මතුවන්නට විය. 1815 ඉංග්‍රීසීන් සමඟ කන්ද උඩරටට පැමිණි පිරිස්‌ මුළු ඌවම කොල්ල කෑ අතර, එය වළක්‌වාලීමට ඉංග්‍රීසිහු අසමත් වූහ. මුහුන්දරම් තනතුරක්‌ හඡ්ජි නම් වූ මුස්‌ලිම් අයෙකුට දීම ඌව වෙල්ලස්‌ස වැසියෝ දැඩි කෝපයට පත්වූහ. හඡ්ජි මුහන්දිරම් මරා දමනු ලැබූ වෙල්ලස්‌සේ ජනතාව මේ ගැන සොයා බැලීමට පැමිණි බදුල්ලේ ඒජන්ත තැනද මරා දැමූහ.

වෙල්ලස්‌සේ මේ අරගලය මර්දනය කිරීම පිණිස ඉංග්‍රීසීන් විසින් 1817 නොවැම්බර් 01 දින කැප්පෙටිපොල නිලමේ සමඟ භට පිsරිසක්‌ යෑවූහ. කැප්පෙටිපොල නිලමෙතුමා අරගලය මර්දනය කිරීම පසෙකලා කැරලිකරුවන් සමඟ එක්‌විය. රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින දොරේසාමි විසින් කැප්පෙටිපොල නිලමේතුමා මහඅදිකාරම් තනතුරට පත්කරගනු ලැබීය. උඩරට ඉහළපෙලේ නායකයකු කැරැල්ලට නායකත්වය දීමට ඉදිරිපත්වීම නිසා එහි ආකර්ෂණය සහ උණුසුම ලැව් ගින්නක්‌ මෙන් උඩරට පුරාම විහිදී යන්නට විය. කැප්පෙටිපොල, නිලමේතුමාගේ තීරණය හදිසි තීරණයක්‌ද, නොඑසේ නම් කල්තියා සූදානම් කරන ලද සැලසුමක්‌ද යන්න අපැහැදිලිය. නමුත් ඒ තීරණය රට, ජාතිය හා ආගම වෙනුවෙන් ඒ අවස්‌ථාවේ හැටියට ගන්නට තිබූ අභිමානවත් එමෙන්ම අති ශ්‍රේෂ්ඨ වූ තීරණයක්‌ බවට ගැටලුවක්‌ නැත.

කැප්පෙටිපොල නිලමේතුමාගේ නික්‌මයාම ඉංග්‍රීසීන්ට තර්ජනයක්‌ මෙන්ම ගැටලුවක්‌ ද විය. ඇහැලේපොල මහ නිලමේ කැප්පෙටිපොල නිලමේතුමාගේ මස්‌සිනාවීමත්, උඩරට සෑම රදල පවුලක්‌ සමඟම කැප්පෙටිපොල නිලමේගේ ඥාති සම්බන්ධතාවයක්‌ තිබීමත් උඩ කැප්පෙටිපොල නිලමේගේ නික්‌මයාම උඩරට සුදු ආදිපත්‍ය දෙදරා යැමට ප්‍රබල හේතු සාධකයක්‌ විය. උඩරට සටන ප්‍රබල ලෙස ඇවිලී යද්දී කැප්පෙටිපොල නිලමේ දරුණු පාචන රෝගයකට ගොදුරු විය. හඟුරන්කෙත පැවැත්වූ දළදා පූජාවට ගෙන ගොස්‌ ඇත්තේ වත්තන් කරගෙනයි. මේ අතර කැරලිකරුවන් තුළ මතභේද ඇතිවිය. කැරලිකරුවන්ගෙන්ම කොටසක්‌ දොරේසාමි හා කැප්පෙටිපොල අල්ලා සිර කළ අතර, කැරැල්ලේ නව නායකත්වයක්‌ ලියලන්නට විය. කැරලි නායකයෝ ක්‍රම ක්‍රමයෙන් ඉංග්‍රීසීන්ට යටත් වන්නට විය. ලුතිනන් විලියම් ඕනිල්ට මුස්‌ලිම් වැසියකුගෙන් ලැබුණු ඔත්තුවක්‌ අනුව ඔක්‌තෝබර් 28 දින කහල්ල නම් ස්‌ථානයේදී නිවසක්‌ වටලනු ලදුව කැප්පෙටිපොල නිලමේතුමා ඇතුළු තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

1818 නොවැම්බර් 16 දින යුද්ධාධිකරණ තීන්දුවක්‌ උඩ නොවැම්බර් 26 දින බෝගම්බරදී කැප්පෙටිපොල හා මඩුගල්ල නිලමේගේ හිස ගසා මරා දමන ලෙස තීන්දු විය. එය ඒ ආකාරයටම සිදුවිය. කැප්පෙටිපොල සහ මඩුගල්ලේ නිලමේගේ ඉල්ලීමක්‌ උඩ නොවැම්බර් 26 දින උදෑසන දෙදෙනාව දළදා මාලිගයට ගෙන එන ලදී. දළදා වහන්සේ ඉදිරියේ වැටී තම අවසන් දළදා වැඳීම කළ කැප්පෙටිපොළ නිලමේ ඉතා හොඳ සිහියෙන් හා කල්පනාවෙන් නොබියව සිටි බව එහිදී ඔහු විසින් සිදු කරන ලද කරුණු කාරණාවලින් පැහැදිලිවම පෙනී යයි. තමා ඇඳ සිටි තුප්පොට්‌ටිය ගලවා දළදා වහන්සේට පූජා කළ කැප්පෙටිපොල නිලමේ තමා අසල සිටි ඌවේ ඒජන්ත තනතුර දැරූ සයිමන් සෝයර්ස්‌ මහතාටද පිං අනුමෝදන් කළේය.

මඩුගල්ලේ නිලමේගේ හැසිරීම ඊට ඉඳුරාම වෙනස්‌ විය. දළදා කුටිය දෙසට දිව ගොස්‌ ඔහු සැඟවීමට තැත් කරන විට මෝඩයෙක්‌ මෙන් නොහැසිරෙන ලෙස කැප්පෙටිපොල නිලමේ ඔහුට තදින්ම අවවාද කළේය. මේ දෙදෙනාගේම දේහයන්, බෝගම්බර වැව් ඉවුරේ භූමිදාන කරන ලදී. කැප්පෙටිපොල නිලමේතුමාගේ හිස පරීක්‍ෂණ කටයුතු සඳහා මාර්ෂල් විසින් එංගලන්තයේ එඩින්බර්ග් නුවර වෛද්‍ය සංගමයට පරිත්‍යාග කළ අතර, 1948 දී නැවත ලංකාවට ගෙනවිත් මහනුවර දළදා මාලිගයේ ඓතිහාසික මහමලුවේ ස්‌මාරකයක්‌ තනා තැන්පත් කරන ලදී. (1954 සැප්තැම්බර් 14 දින)

ඇතැම්විට කැප්පෙටිපොල නිලමේතුමාගේ විමුක්‌ති අරගලය ජයග්‍රහණය කලේ නම් අපේ ඉතිහාසයේ ගමන් මග මීට වඩා හාත්පසින්ම වෙනස්‌වීමට ඉඩ තිබිණි. හරියටම වසර 191 කට පෙර දවසක බෝගම්බරදී දංගෙඩියට හිස දුන් සිංහලයේ මුල්ම විමුක්‌ති අරගලය මෙහෙයවූ අභීත නායක වීර සෙන්පති මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු.

ශ්‍රී දළදා මාලිගාවේ
ඩේවිඩ් හේවාපතිරණ

 
Powered By -