අපරාධ කරුවකු නොවී කලාකරුවකු වීමට
මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාවයි
"ඒකා අධිපති" යළි කරලියට ගෙන එන ධර්මසිරි බණ්‌ඩාරනායක


නාට්‍යවේදී ධර්මසිරි බණ්‌ඩාරනායකගේ ප්‍රථම ස්‌වතන්ත්‍ර වේදිකා නාට්‍ය නිර්මාණය වූ "ඒකා අධිපති" වසර 33 කට පසු ප්‍රති නිෂ්පාදනයක්‌ ලෙස අද සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට්‌ හිදී වේදිකාගත වෙයි. 1999 දී අවසන් වරට ට්‍රොaජන් කාන්තාවෝ වේදිකා නාට්‍ය නිර්මාණයෙන් දශකයක පමණ කාලයක්‌ නිහඬව සිටි ඔහු "ඒකා අධිපති" නාට්‍යයෙන් ඇරැඹී මකරාක්‌ෂයා, ධවලභීෂණ, යක්‌ෂාගමනය සහ ට්‍රොaජන් කාන්තාවෝ යන වේදිකා නාට්‍යයද ප්‍රති නිෂ්පාදනයෙන් ප්‍රේක්‌ෂකාගාරය කුළුගන්වන්නට සූදානම් වෙයි. මේ සටහන ඔහු හා කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය - එවකට මෙරට දේශපාලන හා සමාජ සංස්‌ථාව පිළිබඳ ඔබේ කියෑවීම "ඒකා අධිපති" නමින් දේශපාලන ප්‍රහසනයක්‌ ලෙස 1976 දී වේදිකාවට පැමිණියා. එදා ඔබ කළ සාකච්ඡාව අදටත් වලංගුද?

පිළිතුර - "ඒකා අධිපති" මගෙ පළමු ස්‌වතන්ත්‍ර නිර්මාණය රචනා වෙන්නේ 1975 දී. ඊට පසු මා අතින් නාට්‍යයක්‌ රචනා වී නැහැ. මේ නාට්‍යයට පසුබිම් වන්නේ 1971 කැරැල්ල, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සභාග රජය වගේම රටේ සිදු වුණු දේශපාලන ඝාතන කලබල මේ තත්ත්වයන් පිළිබඳ මා තුළ ඇති වූ පරිකල්පනයයි "ඒකා අධිපති" නමින් ලියෑවෙන්නේ. ෆැසිස්‌ට්‌වාදී පාලන තන්ත්‍රයක්‌ බිහි වෙද්දී ඒ මර්දනයට යටත් වන ජනයාගේ ඉරණමත් ඔවුන් ඉන් මිදෙන්නට දරන උත්සාහයත් මෙහි තේමාව බවට පත් වෙනවා. 1976 නොවැම්බර් මාසයේ මේ නාට්‍යය නිෂ්පාදනය කරලා පෙන්වන විට අප නොසිතූ විරූ ආකාරයක ප්‍රේක්‌ෂක ප්‍රතිචාරයක්‌ ඇති වූවා. ඒ වනවිට සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනුගමුවේ, හෙන්රි ජයසේනගේ මකරා, නාට්‍ය ඔස්‌සේ මතු කළ දේශපාලන සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකි උත්සාහයක "ඒකා අධිපති" නාට්‍යය තිබුණා. මේ නාට්‍යය පිළිබඳව ඉතා හොඳ විචාරයකුත් ගොඩනැඟුණා එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1996 දක්‌වා මේ නාට්‍යය පෙන්වන්න අපට හැකි වුණා.

1976 මේ නාට්‍යය ලාංකිSය සමාජයේ ප්‍රදර්ශනය වන මොහොත අද හා සමානයි. නමුත් වකවානු දෙකක්‌. එදා අපි මේ නාට්‍යය පළමු වරට පෙන්වා අවසන් වූ පසු බණ්‌ඩාරනායක මැතිනියගේ රජය බිඳ වැටිලා මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කරලා තිබුණා. අද අපි මේ නාට්‍යය පුහුණුවීම් ආරම්භ කළේ මැයි මාසේ. නමුත් වේදිකාගත කිරීමට සූදානම් වනවිට මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්වෙලා.

මේ නාට්‍යයේ මුල් පිටපතේ ඇලපිල්ලක්‌, පාපිල්ලක්‌ අද වෙනකං වෙනස්‌ කරලා නැහැ. ඒ වෙනස්‌ නොකිරීමට ප්‍රධාන හේතුව, වුණේ 76 සමාජය ඇමැතූ නාට්‍යයේ කිසියම් ස්‌ථානයක්‌ වෙනස්‌ කළොත් එය ඒ කාල වකවානුවේ සමාජය ඇමතුවේ කිනම් කාරණා පදනම් කරගෙන ද යන ඓතිහාසික බවට හානියක්‌ වන නිසයි.

ප්‍රශ්නය - මකරාක්‌ෂයා පටන් ට්‍රොaජන් කාන්තාවෝ දක්‌වා වූ ඔබේ වේදිකා නිර්මාණ ඒ ඒ කාලවකවානුවල සිදුවූ සමාජ දේශපාලනික ස්‌වභාවයන් විවිධ ස්‌ථරයන්ගෙන් සාකච්ඡාවට බඳුන් කරනවා. දශක හතරක පමණ කාලයක සිදුවූ මේ පරිවර්තනයන් පිළිබඳ ඔබේ කියෑවීම කෙබඳු ද?

පිළිතුර- 1983 මේ රටේ ආරම්භ වූ සිවිල් යුද්ධය පසුබිම් කරගෙනයි 1985 දී මම මකරාක්‍ෂයා නිර්මාණය කළේ. ඊළඟට 88 ධවල භීෂණ නිර්මාණය කරන විට 89 ඒ නාට්‍යයේ අන්තර්ගතයට සමාන ස්‌වරූපයක්‌ මේ රටේ ගොඩනැඟෙනවා. 1994 යක්‌ෂා ගමනය හදනකොට හිට්‌ලර් වැනි පාලකයකුගේ නැගිටීම ගැන ලියෑවුණු ඒ නාට්‍යය හා සමාන තත්ත්වයක්‌ ලාංකීය දේශපාලනය තුළ ගොඩනැඟී තිබුණා. ට්‍රොaජන් කාන්තාවෝ නාට්‍යය මම ඉදිරිපත් කළේ විශේෂයෙන් යුද විරෝධී තේමාවකින් ඒ නාට්‍යය රචනා වී තිබූ නිසා. මේ හැම නාට්‍යයකම දේශපාලන ප්‍රස්‌තුතයක්‌ ඇතුළත්. හේතුව මා තෝරා ගන්නා නාට්‍ය මේ සමාජයත් සමග සංවාදයක්‌ ගොඩනැගිය හැකි නාට්‍යය වීමයි. නාට්‍යකරුවකු ලෙස එය මගේ වගකීමක්‌ ලෙසයි මුල පටන් මා සලකන්නේ.

ප්‍රශ්නය - ට්‍රොජන් කාන්තාවෝ නිර්මාණය වීමෙන් පසු (1999) මේ දක්‌වා ගෙවුණු දශකයක පමණ කාලයේ මේ රටේ සමාජ දේශපාලනික විපරිතයන් පුළුල් ලෙස සිදු වූවා. මේ තත්ත්වයන් සාකච්ඡාවට ලක්‌කරන්නට අදහස්‌ නොකළේ ඇයි?

පිළිතුර- එබඳු ප්‍රශ්නයක්‌ මට එල්ල කරන්නට පුළුවන්. නමුත් එබඳු සාකච්ඡාවකට යන්න මා උත්සාහ නොකළා යෑයි හැඟෙන්නේ නෑ. ඇත්තෙන්ම එක්‌ නාට්‍යයකින් පසු තවත් නාට්‍යයක්‌ නිර්මාණය කිරීමේ මගේ කාල පරාසය ටිකක්‌ ඈතයි. ඇතැම් විට මං සිනමාවේ යෙදී සිටිය නිසා වේදිකා වට පිවිසෙන්න තිබූ අවකාශය අඩු වූ අවස්‌ථාව තිබුණා.

මේ අවස්‌ථාවේ මේ නාට්‍යය ඉදිරිපත් කරන්න පෙළඹුණු ප්‍රධානතම හේතුව ලංකාවේ නාට්‍ය කලාවේ පවතින ඕලාරික ඇල්මැරුණු ස්‌වභාවයයි. මේ කලාවේ ප්‍රගමනය සඳහා කටයුතු කළ මහා පරම්පරාවේ සියල්ලන්ම දැන් මිය ගිහින්. මෑත දී මියගිය හෙන්රි ජයසේනයන්ගෙන් ඒ පරම්පරාව අහෝසි වුණා. ඔවුන් මුළු මහත් සමාජයක්‌ ඇමතූ දැවැන්ත නාට්‍යකරුවෝ. ඔවුන්ගේ නිර්මාණවලට දායක වෙලා ඔවුන් ඇසුරු කර ලබාගත් දැනුමත් අපට ගලා ආවා.

ට්‍රොජන් කාන්තාවෝ කරනකොට සමහරු මගෙන් ඇහුවා මේකේ චන්ද්‍රිකා කොතැනද ඉන්නේ, ප්‍රභාකරන් කොතැනද ඉන්නේ, කියා නමුත් පවතින සමාජ ක්‍රියා ධුරය අරගෙන නාට්‍ය රචනා කරලා ඒවා සමාජගත කිරීම නොවේ අපේ වගකීම. අද වෙනකොට මේ "ඒකා අධිපති" නාට්‍යය ප්‍රදර්ශනය කරන මොහොතේ මට එන අභියෝග දිහා බැලුවාම මේ සමාජය කොතැනද තියෙන්නේ කියා සමාජය විසින්ම මට කියා දෙනවා. නමුත් ඒවා මට ආඩම්බරයට කාරණා නොවේ. "ඒකා අධිපති" 76 නාට්‍යයක්‌. අද වෙන කොට අවුරුදු තිස්‌තුනක්‌ ගත වෙලා තියෙනවා. නමුත් ඇතැම් කොටස්‌ මේ නාට්‍යයට විරුද්ධව එක එක මත ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ සමාජය ගිsහින් තියෙන තැන පැහැදිලි වෙනවා. කලාකරුවන් විසින් නොවේ, මේ තත්ත්වය ඇති කළේ. මේ ආකාරයට දේශපාලනය විසින් ජනතාවගේ විඥනය විනාශ කළ රටක ඒ ජනවිඥනය නැවත ගොඩනැගිය යුත්තේ කලාකරුවන්. නමුත් මේ මොහොත වෙනකොට කලාකරුවනුත් දේශපාලනය උදෙසාම කැපවූ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ බවට පත්වෙලා. ඒ හේතුවෙන් ජනතාවට ලොකු හිඩැසක්‌ මතු වෙලා තියෙනවා. කලාකරුවා පිළිබඳ ජනතාව අතර තිබෙන ගරුත්වය අහෝසි වෙලා තියෙනවා.

එවැනි ජනයා අමතන්න මෙවැනි කලා කෘතියක්‌ මා ඉදිරිපත් කරනවා. ඒ පමණක්‌ නොවේ. මගේ අනෙකුත් නිර්මාණ සියල්ලම අනුපිළිවෙළින් සමාජයට ගෙනෙන අතරම ආතර් මිලර්ගේ The Crusible නාට්‍යය අලුත් නිෂ්පාදනයක්‌ ලෙස ඉදිරිපත් කරනවා. එහි සිංහල පරිවර්තනය ගාමිණී වියන්ගොඩ විසින් මායා බන්ධන ලෙස ඉදිරිපත් කරල තිබෙනවා. එය "මායාවේශ" නමින් ලබන වසරේ දී වේදිකාගත කරනවා. ඒ අනුව මගේ සියලුම නාට්‍ය සමාජය අමතන්න පුළුවන් මට්‌ටමකට ගේන්න උත්සාහ කරනවා.

ප්‍රශ්නය- 1976 වනවිට ඔබේ නාට්‍ය සඳහා හොඳ ප්‍රෙAක්‌ෂකාගාරයක්‌ සැකසී තිබූ බව ඔබ කිSවා. අද වෙනකොට දේශපාලනය විසින් ජනතාවගේ විඥනය විනාශ කර ඇති බවත් ඔබ කීවා. එසේ නම් අද ප්‍රේක්‌ෂකාගාරය පිළිබඳ ඔබේ තක්‌සේරුව කෙබඳුද?

පිළිතුර- ප්‍රේක්‌ෂකයාගේ පාර්ශ්වයෙන් බැලුවොත් එදාට වඩා අද අගහිඟකම් බොහෝමයි. "ඒකා අධිපති" කරනකොට මම රජයේ ලිපිකරුවෙක්‌. ලිපිකරුවෙක්‌ ලෙස ජීවත් වෙන්න එදා මට පහසුකමක්‌ තිබුණා. නමුත් අද මගේ නාට්‍ය කණ්‌ඩායමේ ශිල්පීන්ට එදා කළ ගෙවීම කරන්න මට බැහැ. මුදල මුල් කරගත් සමාජයක්‌ කියලා අපි මේ සමාජයට චෝදනා කරනවා. නැහැ සමාජයේ මේ මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න බැහැ. ජීවත්වීම පිළිබඳ මිනිස්‌සු තුළ පවතින වේදනාව යම් යම් දේශපාලන බලවේග විසින් ගසාකනවා. දේශපාලනික සත්වයෙක්‌ ලෙස මනුෂ්‍යයා විඳින වේදනාව බොහෝ දේශපාලන ව්‍යාපාරවලින් තමයි වටහා ගත යුත්තේ. ඒ කලාකරුවාගේ සංවේදීභාවය තුළ ඒ වේදනාව සමාජගත කරනවා. සමාජයක අප යම් අනතුරක සිටින බව කියා පෑම කලාකරුවාගේ වගකීමක්‌ කියා මා හිතනවා. මම එහෙම කරනවාද නැද්ද කියන එක සමාජය තීරණය කරයි.

ඊයේ පෙරේදා ඉඳලා හැම තැනම ප්‍රචාරය කරලා තියෙනවා මේ නාට්‍යය රඟදැක්‌වෙන්නේ නෑ කියලා. කලා කෘතියකට විරුද්ධව එවැනි බලවේගයක්‌ එන සමාජය මොන තරම් සාහසික ද? සමස්‌ත සමාජයම ප්‍රචණ්‌ඩත්වය මුල් කරගෙන මර්දනය මුල් කරගෙන මේ විදිහට කොයි තරම් කාලයක්‌ ගමන් කරන්නද? ඒකට අවනත වෙලා, ගැති වෙලා, දීන වෙලා නොවේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ. මේ කසුකුසුව දැනගත් බොහෝ පිරිස්‌ මට කතා කරලා සංවේගය පළ කළා.අද වෙනකනං වක කලාකරුවෙක්‌ කතා කළේ නෑ.ඇතැම් තලාකරුවන් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ දේශපාලනයට මෙය දැඩි විවේචනයක්‌ වෙනවා. මං හිතන්නේ තක්‌කඩිකම ඒකට දෙන්න තියෙන එකම උත්තරේ ඕකයි. දේශපාලනඥයන් ගැන කතා කරනවාට වඩා වැදගත් අපි යෙදී සිටින මාධ්‍ය තුළ සිටින සෙසු කලාකරුවන් ගැන කතා කිරීම. අපි පොදු පිරිසක්‌ ලෙස අපියි අපේ කලාව පෝෂණය කළ යුත්තේ. ඒ දැනුම සහිත සමාජයක්‌ ගොඩනැඟීම කලාකරුවාගේ වගකීමක්‌.

ප්‍රශ්නය(- නැවත අපි ඔබේ නිර්මාණය දෙසට යොමු වෙමු. මේ නාට්‍ය මුල් නිෂ්පාදනයෙන් දීර්ඝ කාලයකට පසුවයි ප්‍රති නිෂ්පාදනය වන්නේ. එහිදී ශිල්පීන්ගේ රංගන අඛණ්‌ඩතාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි නේද?

පිළිතුර(- 1976 මෙහි ප්‍රධාන භූමිකාව මම රඟපෑවේ රඟපාන්න වෙන නළුවෙක්‌ නැති නිසා. නාට්‍ය පෙළ ලියුවේ කීයටවත් මම රඟපාන්න නොවේ. හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයේ රඟපෑම පිළිබඳ මා තුළ විශාල උත්තේජනයක්‌ ඇති කළා. ඒ නාට්‍යයෙන් ලබාදුන් හැඟීම් ධාරාවන් හා මගේ මනස තුළ පුළුල් කළ දේශපාලනික කාරණා මගේ මුළු ජීවිතය පුරාම අද වෙනකන් මා තැන්පත් කරගෙන ඉන්නවා. ඒ තැන්පතුව තුළ ඒකාධිපති නාට්‍යයට ප්‍රවිශ්ඨ වන විට මා විසින් කළ නිරූපණය සියල්ලන්ගේ ඇගයීමට ලක්‌ වුණා. ඒ චරිතය මා මුලින්ම නිරූපණය කළේ මට අවුරුදු 26 දී. අඛණ්‌ඩව 1996 දක්‌වා ආවා. අද මට අවුරුදු 60 ක්‌. මෙය මට ආශ්වාදයක්‌. ඊට හේතුව මේකයි. ඒ පෙළ නැවත කියන කොට මා තුළම මගේ තරුණ වියේදී මා ඇමතුවේ කුමන වූ කාරණාද මේ සමාජයට කියන හැඟීම ඇති වෙනවා. අද වෙනකොට මා තැති ගන්වන සුළු සමාජයක්‌, එය අහන්න සූදානම් නැති සමාජයක්‌ බවට පත් වෙන කොට තවත් ඒක මගේ කරගෙන තවත් ප්‍රබල ලෙස රංගනයේ යෙදෙන්නට මා උත්සාහ කරනවා.

රංග කාර්යය පිළිබඳ මා මගේ කණ්‌ඩායමට හැම විටම කියන දෙයක්‌ තියෙනවා. මේ අප ජීවත්වන වටාපිටාවේ තියෙන දේවල් උකහාගෙන ඒවා තේරුම් නොගත් නළු නිළියන්ට පැවැත්මක්‌ නැහැ. මොකද අද නළුවා කියන රූපයේ හැඩය දැන් වර්ණ කමිස, වර්ණ සරොං ඇඳලා අලුත් විලාසිතා ලෝකවල ගැවසෙනවා කියලා. සැබෑ ලෙස මිනිසුන්ට තේරුම්ගත හැකියි. කුමන වූ පිරිසක්‌ අතරද කලාව පරිහරණය වෙන්නේ කියලා. මා ඔවුන්ට නිග්‍රහ කරන අරුතින් නොවේ කියන්නේ. නමුත් ඔවුන් සමාජයට පෙන්වා දෙන්නේ මේකයි කලාව කියලා.

ප්‍රශ්නය(- මෙතැනටම එක්‌ විය යුත්තක්‌ තිබෙනවා. ඒ මෙහි භාෂා භාවිතය. බොහෝම කඨෝර නමුත් කාව්‍යමය භාෂා භාවිතයක්‌ මෙහි යොදා ගැනුණා. ඒ භාෂා ඒකමිතියක වැදගත් නොවේද?

පිළිතුර(- ඒ යුගයේ මේ නාට්‍යය හොඳම නිෂ්පාදනය බවට පත් වීමට මේ කාරණා හේතු වුණා. මෙහි පෙළ හා නිෂ්පාදනය වෙනස්‌ කළේ නැහැ. අද නාට්‍ය කලාව ගැන මා ලබන සියලු අත්දැකීම් මගේ අලුත් නාට්‍යයේයි සටහන් වෙන්නේ. මේ නාට්‍යය කෞතුක භාණ්‌ඩයක්‌ ලෙස සමාජගත කරනවා.

ප්‍රශ්නය(- ඔබ වේදිකා නාට්‍ය ශිල්පියෙක්‌ වගේම ප්‍රතිභාපූර්ණ සිනමා ශිල්පියෙක්‌. මගේ ප්‍රශ්නය වන්නේ ඔබ ප්‍රකම්නය කරන ඔබ තුළ කැසකන සමාජ දේශපාලනික ප්‍රපංචයන් මුදාහරින්න හොඳම මාධ්‍ය සිනමාව ද වේදිකාවද?

පිළිතුර(- වේදිකාව, මම වඩා ආදරය කරන්නේ වේදිකාවට. මොකද නාට්‍ය කලාව සජීවී කලාවක්‌. සජීවීව මිනිසුන් මුණගැසෙන කලාව වේදිකාව. සිනමාව අවතක්‌සේරු කරනවා නොවේ. එය හුදු තාක්‍ෂණික මාධ්‍යයක්‌. එය සින්තටික්‌ ආර්ට්‌ එකක්‌. වේදිකාවේදී මුණ ගැසෙන මිනිස්‌සු මා දැනුවත් කරන අතර මගෙන් දැනුවත් වෙනවා. අදටත් ලෝකේ තිබෙන ප්‍රබලම කලාව නාට්‍ය කලාවයි. එය මිය යන්නේ නෑ. කුමන කුමන පරිවර්තන සිද්ධ වුණත් කුමන කුමන තාක්‍ෂණ ප්‍රගතීන් ආවත් නාට්‍ය කලාව පවතිනවා. නාට්‍ය කලාවට තියෙනවා පවතින්න පුළුවන් ඒ තරම් සුවිශේෂ හැකියාවක්‌. නාට්‍යකරුවන් ලෙස අප සොයාගත යුත්තේ ඒ පවතින්න පුළුවන් හැකියාව කොයි කොයි අංශවලද තිබෙන්නේ කියා. එය කෙටියෙන් කිව්වොත් නාට්‍ය කලාවේ ඉඳලා චිත්‍රපටයට යන කොට මං හුඟක්‌ දේවල් චිත්‍රපටයට ගෙනගොස්‌ තිබෙනවා. නමුත් චිත්‍රපටයේ ඉඳලා නාට්‍යයට එනකොට මං කිසිවක්‌ ගෙනැවිත් නෑ. අනෙක්‌ පැත්තෙන් මා වෙනත් නාට්‍යකරුවන්ට වඩා වෙනස්‌ වෙනවා. ඒ අපරාධකරුවෙක්‌ නොවී කලාකරුවෙක්‌ වීමට මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාව වීම නිසායි.


සාකච්ඡා කළේ - නිරෝෂන් හැඳලගේ
ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත
 




උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
                                                    223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -