සංස්‌කරණය : නාරද නිශ්ශංක

මිනිසුන්ට සිනහව දී නිහඬව නික්‌ම ගිය
"සාජන්ට්‌ නල්ලතම්බි"

නාරද නිශ්ශංක


මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක ජනතාව තම රංගනයෙන් මුසපත් කළ නිහාල්සිල්වා නමැති කලාකරුවා ජීවිත රංගනයෙන් නික්‌ම ඊයේ (3 දා) ට වසර 20 ක්‌ පිරුණි. මේ සමරු සටහන ඒ නිමිත්තෙනි.

දවල්ට පායන චන්ද්‍රයා මේ අව්වා. මේ අව්වා
මමයි කනත්තේ ගෘංගයා මේ අව්වා. මේ අව්වා...
ලොකු මහත්තයා මගේ තට්‌ටේ පලාවීදෝ...
මං බය නේ ... මං බය නේ ..

වියෝ වූ අති දක්‍ෂ රංගන ශිල්පියකු පිළිබඳ මතකය ඉහත ගීතය ඇසෙන විට අපට සිහියට නැගෙයි. තට්‌ට හිසකින් යුත් පුද්ගලයකු කාකි ඇඳුමකින් සැරසී කැඩිච්ච සිංහල කතා කරන්නේ ද්‍රවිඩ සාජන්ට්‌වරයකු ලෙස සිංහල වේදිකාවේ කළ ආකර්ශනීය ප්‍රහසනය නිසාම (දස නායකගේ නිහාල් රංජිත් සිල්වා) නිහාල් සිල්වා හෙවත් ශ්‍රී ලාංකීය ජනතාව සාජන්ට්‌ නල්ලතම්බි යන ආදර චරිතයෙන් ඔහුට ආදරය කළ බව අපි දනිමු.

නිහාල් සිල්වා පිළිබඳ මෙරට ප්‍රේක්‍ෂකයන් වඩාත්ම කතා බහ කරන්නට පටන් ගත්තේ අතිශයින්ම ජනප්‍රිය වූ ඔහු රඟ පෑ "සාජන්ට්‌ නල්ලතම්බි" නාට්‍ය වේදිකා ගතවීමෙන් පසුවය. එහි ඔහු රඟපෑ "සාජන්ට්‌" නල්ලතම්බි චරිතයේ අපූර්ව රංගන විලාශයට මෙරට ප්‍රේක්‍ෂකයන් මහත් සේ ආදරය කළහ.

1989 දෙසැම්බර් 3 වැනි දින රාත්‍රී මට අසන්නට ලැබුණේ නිහාල් හමුදා බාධකයක්‌ අසළ වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත්වූ බව කියෑවෙන අතිශයින් වේදනාබර පුවතයි. උදෑසනම සිද්ධිය වූ ස්‌ථානයට ළඟ වන විට එහි රැස්‌ව සිටි විශාල පිරිස්‌ සිද්ධියෙන් දැඩි කම්පාවට පත්ව සිටිනු දුටිමි. නිහාල් පැදවූ අංක 13 ශ්‍රී 3381 දරණ මෝටර් රථය දෙහිවල වැල්ලවත්ත වෙන් කරන පාළම අසල මාර්ග බාධකය අසලදී නොනවත්වා ධාවනය වීම නිසා ආරක්‍ෂක හමුදා වෙඩි තබා ඇති අතර රථය කළුබෝවිල පාරට හැරී විදුලි කණුවක හැපී නතරවී තිබිණි. නිහාල් රඟපෑ නෙයිනගේ සූදුව නාට්‍ය කලක්‌ තිස්‌සේ නවතා තිබී නව නිෂ්පාදනයක්‌ ලෙස යළි වේදිකා ගත වුණේ එදින සවස යාමේදීය. එල්ෆින්ස්‌ටන් රඟහලේදී නාට්‍යය වේදිකා ගත කිරීමෙන් අනතුරුව තම හිතවතුන් තිදෙනෙක්‌ද සමග නිහාල් මේ සිද්ධියට මුහුණ පෑවේ දෙහිවල ඩේෂන් අමරසිංහ නිවසට ගොස්‌ ඇරලා ආපසු එමින් සිටියේදීය. ප්‍රියන්ත විඡේකෝන්, පී. කුලසිංහ, ඩී. ලියනගේ නිහාල් සමග එවිට වාහනයේ සිටියහ.

නිහාල් සිල්වා 1950 ජනවාරි 16 වැනිදා කිරලපනේදී උපත ලැබීය. වැල්ලවත්ත ශ්‍රී වෛශාඛ්‍ය විදුහලෙන් හැටන්හි වටවල මහ විදුහලෙන් ඉගෙනුම ලැබූ හෙතෙම කුඩා කල සිට කලාවට ඉමහත් සේ ආදරය කළේය.

"මගේ අම්මා රෝහල් උපස්‌ථායිකාවක්‌... අම්මට ලැබුණු මාරුවීමක්‌ හින්දා අපි හැටන්වල පදිංචියට ගියා. වටවල ඉස්‌කෝලේ පස්‌සෙ ඉගෙන ගත්තා. තාත්තා සී.ජී.ආර්. එකේ වැඩ කළා. මගේ පවුලේ හත් දෙනයි. අක්‌කලා තුන්දෙනයි, අයියලා තුන්දෙනයි. මං පවුලේ බාලයා. වටවල ඉගෙන ගන්න කොට දෙමළ අය මගේ මිතුරෝ විදියට ආශ්‍රය කළා. මේ නිසා දෙමළ කතා කරන්න පුළුවන් වුණා. අම්මා කොළඹ මහ රෝහලට ආපසු ආපුහම වැඩිදුර ඉගෙන ගන්නවට වඩා මට ආශාව තිබුණේ රඟපාන්න." නිහාල් තම ජීවිත අද්දැකීම් "දිවයින"ට කීවේ එලෙසිනි.

නිහාල් පළමුවරට කිරුලපනේ වේදිකාගත වූ වෙසක්‌ නාට්‍යයක ප්‍රථමවරට රඟපෑවේය. "පුතාට ඉස්‌සෙල්ලාම නාට්‍යයක රඟපාන්න තැනක්‌ දුන්නේ අශෝක සෙනරත් මුදලිගේ මහත්තයා. පුතා තපස්‌වරයෙක්‌ හැටියට වෙසක්‌ නාට්‍යයේ රඟපෑව හැටි දැක්‌කම මට ආශා හිතුණා." පුතාගේ තාත්තා නිහාල්ගේ සාජන්ට්‌ නල්ලතම්බි දකින්න පෙර 1980 නොවැම්බර් 19 වැනිදා නැති වුණා. හිටියනම් ලොකු සතුටක්‌ විඳීවි." නිහාල් සමග අප පිළිසඳර පවත්වත්දී අප සමග එදා කතාබහට එක්‌වූ නිහාල්ගේ අම්මා පැවසූ වදන් කිහිපයකි එA.

නිහාල් නාට්‍ය කලාවට එක්‌වීම සඳහා නොවිඳිනා දුක්‌ වින්ද මිනිසෙකි. සමහර නාට්‍යවල රඟපෑමට තෝරාගෙන ඔහු ඉවත් කෙරිණි. එහෙත් හැම අවස්‌ථාවකම ඔහු ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දුන්නේය. එක්‌ නාට්‍යයකින් ඔහු ඉවත් කළ පසු ඔහු දෑස කඳුළු පුරවාගෙන තම සුමිතුරු සමන්ප්‍රිය මාරසිංහට කතා කළේය. එදා මම නිහාල් අයියට කීවා, අපි කලබල නොවී අලුත් නාට්‍යයක්‌ කරමු කියලා. එA අනුව තමයි අපි සාජන්ට්‌ නල්ලතම්බි කළේ. නිහාල් අයියා වේදිකාවේ දුක්‌විඳපු ගමන් මඟේ වැඩිම කාලය ගත කළේ සුදර්ශියෙ.







සුදර්ශියට කිසියම් සේවයක්‌ කරන්න ඕනෑ කියලා ඔහු කීව හැටි මට මතකයි. නිහාල් තමන්ගේ ජනප්‍රියතාවයෙන් මුදල් පොදි බැඳගෙන ජීවත් වුණේ නැහැ. මනුස්‌සකම රැකගෙන ජීවත් වුණා. ඔහු එයා ගාවට ආව නාට්‍යකරුවන්ට මුදල් උපකාර කළා. ඇතැම් අයට පෝස්‌ටර් පවා මුද්‍රණය කර දුන්නා. අපි එකට දුක සැප බෙදාගත්තා. නිහාල් අයියට මා තුළ තිබුණු ලෙන්ගතුකම සහෝදරත්වය නිසාම "තාත්තා" කෙනකුට වගේ මට සැලකුවේ. එදා නිහාල්ගේ නිසල දේහය අබියස සිට මට එදා සමන්ප්‍රිය කීවේ එවන් කතාවකි.

ඔහුට ප්‍රථම වරට චිත්‍රපටයක රඟපෑමට අවස්‌ථාව දුන්නේ ප්‍රකට චිත්‍රපට දෙබස්‌ රචකයකු වූ පුණ්‍ය බුලත්සිංහලයි. නිහාල් සමග ඔහුගේ ගමේ සිටි අද ජනප්‍රිය නළු විල්සන් කරුණාරත්නත් සමග "හදවත් නැත්තෝ" චිත්‍රපටයේ සමූහ දර්ශනයක ඉතා පුංචි චරිතයක්‌ ඔහුට රඟපෑමට ලැබිණි. චිත්‍රපටයේ මං ඉන්න කොටස බලන්න දහ වතාවක්‌ විතර චිත්‍රපටය බැලුවා. "නිහාල් කීවේ සිනාසෙමිනි." චරිතයක්‌ ලෙස ඉක්‌බිතිව නිහාල් රඟපෑවේ පතිරාජ එල්. එස්‌. දයානන්දගේ ජෝඩු වළලු චිත්‍රපටයේය. ඉන් ඉක්‌බිතිව නිහාල්ට චිත්‍රපට රැසක රඟපෑමට ලැබිණි. යසපාලිතයන් අධ්‍යක්‍ෂණය කළ රෝයි, සෙල්ලප්පෙරුම අධ්‍යක්‍ෂණය කළ "සත්වෙනි දවස" ආරියදාස විතානයන්ගේ කිරිමදුවැල්, ධර්ම ශ්‍රී කල්දේරාගේ "ගිම්හානේ ගී නාදේ" ඩැනී ඩබ්ලිව්. පතිරණගේ කවුළුව හා "සාජන්ට්‌ නල්ලතම්බි" නාට්‍යය සිනමාවට නගමින් ඔහු රඟපෑ "සාජන්ට්‌ නල්ලතම්බි" චිත්‍රපටය (ආනන්ද වික්‍රමසිංහ අධ්‍යක්‍ෂණය කළ) දක්‌වා චිත්‍රපට රාශියක තම කෙටි ජීවිත කාලය තුළ ඔහු රඟපෑවේ අපේ මතකය සිත් තුළ රඳවමිනි. මියයන්න පෙර ඔහු පළමු දින කිහිපය ගත කළේ ද කනත්තේය. එA සාජන්ට්‌ නල්ලතම්බි චිත්‍රපටයේ රඟපෑම උදෙසාය.

ජයසේකර අපොන්සු රචනා කළ "සතුරෝ" හා සම්භාවනීය කාක්‌කෝ මම රචනාකොට නිෂ්පාදනය කළ නාට්‍යයන්. පතිරාජ එල්. එස්‌. දයානන්දගේ කවුරුවත් එන්නේ නැහැ වැනි නාට්‍යවල මට ලැබුණා සැලකිය යුතු චරිත. නීල් අලස්‌ හා අජිත් ජිනදාස මට කීවා හෙලේනා ලෙහ්aතිමතී පින්ලන්ත තානාපති බිරිඳ ගැන. නාට්‍ය ශිල්පිනිය ගැන. නීල් හා අජිත්ගේ කීම නිසා ඇයගේ වැඩමුළුවකට මම ගියා. එA අනුව "පුන්තිලා" නාට්‍යයට සම්බන්ධ වුණා. හෙලේනා ලෙහ්aතිමතී යනු මගේ ජීවිතයේ විශාල භාග්‍යය මට උදාකර දුන්න උතුම් කලාකාරියයි නිහාල් කීවේය.

"පුන්තිලා" නාට්‍යයේ නිහාල් කළ රංගනය ඔහුගේ විශිෂ්ටතම ප්‍රතිභාව ප්‍රතිමූර්ති කරන්නක්‌ විය. හෙලේනා තම "පුන්තිලා" නාට්‍යයේ මංගල දැක්‌මට හෙලේනා ඇරයුම් කළේ අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ටයි. බර්ටෝල් බ්‍රෙෂේට්‌ගෙ පුන්තිලා නාට්‍ය ඇසුරෙන් වේදිකගත වූ මෙම නාට්‍යය නැරැඹූ ආචාර්ය ලෙස්‌ටර් නිහාල් සිල්වා නමැති තරුණ නළුවා ඉතා විශිෂ්ට ලෙස පුන්aතිලා ලෙස රඟපෑවා. එතෙර නළුවකුට නොදෙවෙනි ලෙසින් නිහාල් පුන්තිලාහි රඟපෑවා. පුන්තිලා නාට්‍යය චිත්‍රපටයක්‌ කරන්න නිහාල් යෝජනාවක්‌ මට ගෙන ආවා. "සාජන්ට්‌ නල්ලතම්බි" ලැබෙන ආදායමෙන් එය වර්ණයෙන්ම කරමු කීව නිසා එය ටිකක්‌ ප්‍රමාද වුණා. "පුන්තිලා චිත්‍රපටය කලා නම් ඔහුට ජාත්‍යන්තර මට්‌ටමේ විශිෂ්ටතම රංගන ශිල්පියකු වන්න ප්‍රතිභාව තිබුණා. නිහාල්ගේ වියෝවෙන් ඉක්‌බිතිව ලෙස්‌ටර් පැවසුවේ "ඔහුගේ අභාවය සමස්‌ත රංගන කලාවට මහත් අඩුවක්‌ වූ බවද පළ කරමිනි.

නිහාල්ගේ සාජන්ට්‌ නල්ලතම්බි නාට්‍යය මේ රටේ පුංචි පැලේ සිට රජමැඳුර දක්‌වා ජනප්‍රිය වුණා. නිහාල් තමන්ගේ සාජන්ට්‌ නල්ලතම්බි චිත්‍රපටයේ උසස්‌ පොලිස්‌ නිලධාරියා ලෙස රඟපාන්න මට ඇරයුම් කළා. මම "සතුටින් එය භාරගෙන රඟපෑවා. තමන්ගේ දුක්‌ මහන්සියෙන් ශක්‌තියෙන් ඔහු මේ ගමන ආවා. ඔහු අති දක්‍ෂ නළුවෙක්‌. අග්‍රගණ්‍ය නළු ගාමිණී ෆොන්සේකා නිතර ඔහු ගැන එලෙස කීවේය. නිහාල්ගේ දක්‍ෂතා එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බෙහෙවින්ම අගය කළේය. නිහාල්ගේ රංගනයට ද ඔහු මහත්සේ ප්‍රිය කළේය. ප්‍රේමදාස ජනපති රජය සමයේ ජාතික චිත්‍රපට සංස්‌ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ පදවියක්‌ ද පිරිනැමීය. නිහාල් තම මවට කෙතෙක්‌ සැලකුවේ ද යත් තමාට සිටින එකම වස්‌තුව අම්මා යෑයි හැමවිටම කීවේය. "එදා අම්මා පුංචි පඩියක්‌ අරන් මාව ජීවත් කළා. අපිව රැකබලා ගත්තා. ජීවිතයේ කලකිරෙන වැටෙන හැමවිටකම මගේ කඳුළු පිස දමා මට යෝධයෙක්‌ වගේ ඉදිරියට යන්න ශක්‌තිය වුණේ අම්මායි. නිහාල් කී අයුරු එදා අපට සිහිපත් කළේ නිහාල් ළඟින්ම සිට සුමිතුරකු වූ අද ජනප්‍රිය නළු පාලිත සිල්වායි. නිහාල් අයියා කොහේ හිටියත් අම්මාගේ දුක සැප බැලීම අමතක කළේ නැහැ.

ඔහු නැති වුණා කියා කීවාම අපිට අපේ ජීවිතය නැති වුණා වගේ දැනුණා. මිනිස්‌සු ජීවත්වෙන්නේ අනපේක්‍ෂිත දුක්‌ කරදර පිරුණු ලෝකයක. එහෙම ලෝකයක මිනිසුන්ට මොහොතකට හරි සතුටක්‌ සිනහවක්‌ අපිට දෙන්න පුළුවන් වුණොත්... නිහාල් අයියා කිව්වා. මේ අනපේක්‍ෂිත ලෝකයේම නිහාල් සිල්වා කියන උතුම් මනුෂ්‍යයාත් අපට නැති වුණා." ඔහුගේ වියෝව දරාගත නොහැකිව එදා කඳුළු සලමින් පාලිත සිල්වා පැවසූ අයුරු මට අද මෙන් මතකය. 1985 ඔක්‌තෝබර් 29 වැනිදා කොළඹ ජෝන් ද සිල්වා රඟහලේදී හා හා පුරා කියා රංගගතවීම ඇරැඹුණු "සාජන්ට්‌ නල්ලතම්බි" දර්ශන වාර දහසකට අධික සංඛ්‍යාවක්‌ වේදිකාගත වූයේ මෙරට මෙන්ම එතෙර ශ්‍රී ලාංකීය ජන හදවත් අමන්දානන්දයට පත් කරමිනි. අදින් වසර 20 කට පෙර වියෝවූ නිහාල් සිල්වා නමැති අප මිත්‍ර රංගන ශිල්පියා අවසන් ගමන් ගිය මොහොතේ නිදහස්‌ චතුරශ්‍රය අසල භූමි භාගයක ඔහුගේ අවමඟුල් උළෙල පැවත් වූයේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ කලාකරුවන් ඇතුළු රසික ජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

දේශපාලනඥයන් හැටියට අපට කරන්න අසීරු කටයුත්තක්‌ නිහාල් සිල්වා මහතා තම ජීවිත කාලයෙන් ඉටු කළා. තමන්ගේ ජනතාවට රංගනයෙන් හෝ සතුට සැනසීම මොහොතකට හරි ලබාදීම. එA පිනම එතුමන්ට ඇති... "එතුමන්ගේ වියෝව රටටත් ජාතියටත් හෙළ කලාවටත් පාඩුවක්‌" එවක ජනාධිපතිවරයා එහිදී කීවේය. මෙම සටහන එම අවමඟුල් උළෙලේදී කතා කළ යසපාලිත නානායක්‌කාරයන් කළ සඳහනකින් අපි නිමා කරමු" නිහාල් කවදාවත් මට දුරකථනයෙන් කතා කර රිසීවරය තබනවිට චෙරියෝ... බායි... කීවේ නැහැ. "බුදු සරණයි" කීවා. නිහාල්ගේ ජීවිතය අකල්හි නැතිවීම අපට දරාගත නොහැකි වේදනාවක්‌. ඔහු ජීවත්ව සිටිය යුතුව තිබූ මිනිසෙක්‌... කලාකරුවෙක්‌ෘ"




 

 
Powered By -