මාධ්‍ය නිදහසට
වෙඩි නොතබනු!


ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහස ද තම තම නැණ පමණින් අර්ථ කථනය කිරීම මේ රටේ දේශපාලන සංස්‌කෘතිය තුළ නිදන්ගත රෝගයක්‌ වී තිබේ. දේශපාලනයේදී මේ දෙක පිළිබඳවම කතා කරන්නේත් පෙනී සිටින්නේත් විරුද්ධ පක්‍ෂයේදී ය. ආණ්‌ඩු පක්‍ෂයට යන දේශපාලන කණ්‌ඩායම ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස යන කාරණා දෙකම විපක්‍ෂයට භාරදී යන සංවාද මාතෘකාවන් දෙකකට වඩා වෙනසක්‌ නැත.

අප මේ අටුවාව ලියන්නේද මාධ්‍ය නිදහස පිළිබඳව අප තුළ තිබෙන අවංක අගැයීමත්, එය සුරැකීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වගකීම බවත් තරයේ පිළිගන්නා හෙයිනි. මොනම හේතුවක්‌ නිසා හෝ මාධ්‍ය මර්දනය හා මාධ්‍යවේදීන්ට පහරදීම ද ඝාතනය ද ප්‍රජාතන්ත්‍ර විරෝධී අධම ප්‍රතිචාරයක්‌ බව අපි පැහැදිලිව කියමු.

මේ අනුව ඉකුත් 05 වැනිදා වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ විශේෂ සමුළුව ආවරණය කිරීම සඳහා ගිය ස්‌වාධීන රූපවාහිනියේ හා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශවල මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බව කියන මැර ප්‍රහාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මෙම ප්‍රහාරය පිළිබඳව අදහස්‌ දැක්‌වූ එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම අවස්‌ථාව ආවරණය කිරීම සඳහා මෙම ආයතන දෙකටම ආරාධනා නොකළ බවය. එහෙත් ප්‍රහාරයට ලක්‌වූවන්ට අනුව ඔවුන් එහි ගොස්‌ ඇත්තේ ආරාධනයකට අනුව බව කියති. මේ පරස්‌පර විරෝධී ප්‍රකාශ අපට ගැටලුවකි. එහෙත් මේ ප්‍රහාරය කිසිවකුගේ අනුදැනුම ඇතිව හෝ තමුන්ට ලකුණු දමා ගැනීමට හෝ කරන ලද නීච වැඩක්‌ බව අපගේ විශ්වාසයයි.

අප දන්නා පරිදි කිසිම මාධ්‍යවේදියකු තබා මොළේ කළඳක්‌ තිබෙන මිනිසකුවත් විහින් ඉල්ලා ගෙන ගුටි කෑමට යන්නේද නැත.

කෙසේ හෝ මේ ජරපත් දේශපාලන සංස්‌කෘතිය තුළ මාධ්‍යවේදියා නිරන්තරවම සරණාගතයකුගේ තත්ත්වයටද පත්ව තිබෙනු පෙනේ. මාධ්‍ය නිදහස පිළිබඳ ලියෑවෙන කියෑවෙන හැම විටකම රිචඩ් ද සොයිසා, තේමිස්‌ ගුරුගේ, ප්‍රේම කීර්ති ද අල්විස්‌, රෝහණ කුමාර, ලසන්ත වික්‍රමතුංග පමණක්‌ නොව උපාලි තෙන්නකෝන්, කීර්ත් නොයාර්, පෝද්දල ජයන්ත ඇතුළු තවත් කීප දෙනෙකුගේ නම් ද සාක්‍ෂි ලෙස සඳහන් වන බවද කවුරුත් දනිති.

මේ හැම සිදුවීමක්‌ම ඡේ. ආර්. ජනාධිපතිවරයාගේ සිට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දක්‌වා සිදුවූ දේවල් බවද අපි දනිමු. ඒ හැම පාලන යුගයකදීම මාධ්‍යකරුවා ඝාතනයට හෝ පීඩනයට ලක්‌ව තිබෙන බවද කිව යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම හැර මෙබඳු ප්‍රහාර නතර වූ බවක්‌ද කිව නොහැක. එසේම චන්ද්‍රිකා යුගයේදී මාධ්‍යවේදීන්ට පහර දී ඔවුන්ගේ කැමරා උපකරණවලට අලාභ කළ අවස්‌ථාවේදී මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් වෙනුවෙන් අරමුදලක්‌ ඇති කර රුපියල් ලක්‍ෂයක්‌ පරිත්‍යාග කළ බවද අපට මතකය.

මේ අනුව රිචඩ් ද සොයිසා ඝාතනයේ සිට මෙම රූපවාහිනී මාධ්‍යවේදීන්ට පහරදීම තෙක්‌ වූ සියලු සිදුවීම් මාධ්‍ය නිදහසට වෙඩි තැබීමක්‌ බව අපි කියන්නෙමු. ඒ වෙඩි වලින් මියගිය අය මෙන්ම හිංසාවට ලක්‌වූවෝද වූහ. තවත් කෙනෙක්‌ පිටරටවලට පැන ගත්හ. එසේම ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මාධ්‍යවේදීන් ලෙස රටින් පැනගත් අය ද වූහ. බොරු මරණ තර්ජන පෙන්වා රට පැන ගිය මාධ්‍ය චෞරයෝද වූහ. (ඒවා වෙනම කතා කළ යුතුය.)

අද මාධ්‍ය පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක්‌ රාජ්‍ය මාධ්‍ය ගැනත් ඒවයේ සිටින මාධ්‍යවේදීන්ටත් අපහාස කරති. මඩ ගසති. එහෙත් රාජ්‍ය මාධ්‍ය පාලනය කළ වික්‍රමසිංහ ආණ්‌ඩුවලදී සිදුවූයේත් අදට වඩා වෙනස්‌ දෙයක්‌ නොවන බව ජනතාව දනිති. කාපල්ලා, බීපල්ලා, ලියපල්ලා යෑයි උජාරුවට ලීවත් ඒ කාලවලදීත් ඊට වඩා වෙනසක්‌ සිදුවී තිබේද?

මේ තත්ත්වයට මාධ්‍යවේදීන්ට වඩා පාලකයන් වගකිව යුතුය. විරුද්ධ මත නොඉවසන දේශපාලන (අසංස්‌කෘතියක නිදහස්‌ මාධ්‍ය සඳහා ඉඩක්‌ තිබේද?) නිදහස්‌ මාධ්‍ය කෙසේ වෙතත් එබඳු ව්‍යාපාර බිහිවී ඒවා යෑපීම් මාර්ග බවට පත්වන්නේද ඒ නිසාය. හැම ආණ්‌ඩුවක්‌ම කරන්නේ රාජ්‍ය මාධ්‍යවලට හිතවතුන් පත්කර ගැනීමය. ආණ්‌ඩුවලට මෙන්ම දේශපාලනඥයන්ට හා පක්‍ෂවලටද හිතවත් මාධ්‍යවේදීහු සිටිති. රජයට මෙන්ම විපක්‍ෂයටද හිතවත්ව ලියන අය සිටිති.

රජයට පක්‍ෂ මාධ්‍ය මෙන්ම රජයට විපක්‍ෂ මාධ්‍ය ද තිබේ. මුද්‍රිත මාධ්‍ය මෙන්ම විද්යුත් මාධ්‍ය ද තිබේ. ඒ සියල්ලෝම දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව ක්‍රියා කරති. එසේ නොවන මංසුදනන් ලෙස කතා කරන වාචාලයෝ ද මේ දෙතැන්හිම සිටිති. ඇත්ත කතාව එයයි.

මාධ්‍ය ආයතන ගිනි ගන්නේත් මුද්‍රණාලවලට කඩා පනින්නේත් මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වන්නේත් මේ අයහපත් යථාර්ථය තුළය. කලකදි වහලු කලකදි රසවේලු කීවාක්‌ මෙන් මෙම මාධ්‍ය භාවිතය තුළ විවිධ ජවනිකා ද බුද්ධිමත් ජනතාවට සිහිපත් කර ගත හැකිය.

අද රට ඉදිරිපිට මැතිවරණ සූදානමකි. විපක්‍ෂය හා රජය වෙන වෙනම සිය ප්‍රචාරක ව්‍යාපාර දියත් කරමින් සිටිනු පෙනේ. එහෙත් මේ ක්‍රියාදාමය තුළ දේශපාලනඥයන්ට වඩා සාමාන්‍ය ජනතාවටත්, මාධ්‍යවේදීන්ටත් විවිධ පීඩා එල්ල වනු පෙනේ. අනෙක්‌ අතට මේ හැම ක්‍රියාවකදීම රජයට ඇඟිල්ල දික්‌කිරීමද පහසුය. මැතිවරණ කාලවලදී නීතියට වඩා බලය ඉස්‌මතු වේ. යුක්‌තියට වඩා ශක්‌තිය උඩට එය පොලිසිය කරන්නේද අහකබලා ගැනීමය.

මේ නින්දිත ප්‍රහාරය හෙළා දකිමින්ම හෙට අනිද්දා සිට එබඳු දේවල් වැළැක්‌වීමට විධිමත් ක්‍රියාදාමයක්‌ ඉදිරිපත් කිරීම රජයේ හා විපක්‍ෂයේද වගකීමය. වැඩි වගකීම රජයට වුවද විපක්‍ෂයට ද වගකීමක්‌ තිබේ.

මෙම අවස්‌ථාවට ආරාධනා නොකළ බව කියා එයින්ම ඇඟ බේරා ගැනීමට එජාපයට ද බැරිය. මේ මාධ්‍යවේදීන් එතැනට ආවේ එම අවස්‌ථාව ආවරණය කිරීමටය. ඔවුන් ගැන මීට වඩා සැලකිලිමත් වූයේ නම් මෙබඳු අකරතැබ්බයක්‌ද නොවනු ඇත. මහ පාරේ යන අයට මේ වගේ ක්‍රියාකාරකම්වලට මැදිවීමට වුවමනාවක්‌ ද නැත. එසේම මෙම ප්‍රහාරය වුවමනාවෙන්ම කළ අයගේ අරමුණ එජාපයේ කටයුත්තක්‌ ආවරණය සඳහා පැමිණි පිරිසකට මෙබඳු දෙයක්‌ සිදුවීම ඔවුන්ට ද හොඳ මදිය. එජාපය අමාරුවේ දමන්නට කෙනෙක්‌ මෙබඳු දෙයක්‌ කිරීමට ද බැරි නැත. ඒ නිසා අනේ අපි දන්නේ නෑයි කීමෙන් පමණක්‌ සිය සද්භාවය තහවුරු කළ නොහැකි බව අපි අවසන් වශයෙන් සඳහන් කරමු. එසේම මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ද අපි රජයෙන් ඉල්ලමු.

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
     නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.