මාදුගඟ

හැඳින්වීම

ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් ලේඛනයට ශ්‍රී ලංකාවෙන් එක්‌වූ තෙවැනි තෙත්බිම මාදු ගඟයි. ඒ බූන්දල හා ආනවිලුන්දාවෙන් පසුවය. 2004 පෙබරවාරි මස 25 වැනිදා මෙසේ මාදුගඟ රැම්සා තෙත් බිමක්‌ ලෙස නම් කෙරිණි. ඉන්පසු 2006 ජූලි මස 17 වැනිදා අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කළ මෙය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලැබේ. වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටද මෙහි කොටසක නීත්‍යානුකූල අයිතිය පවතී. මාදු ගඟ තෙත් බිමෙහි සම්පූර්ණ විශාලත්වය හෙක්‌ටයාර් 915 (අක්‌කර 2288) කි.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව සමුද්‍රීය උද්‍යාන කාර්යාලය මගින් මෙහි පාලන හා සංරක්‍ෂණ කටයුතු සිදු කෙරේ. බලපිටිය, අම්බලන්ගොඩ හික්‌කඩුව හා ගාල්ල ආශ්‍රිත ප්‍රධාන නගර වේ.

පිහිටීම

දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට අයත්වන අතර, බලපිටිය හා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ යටතට ගැනේ. මාදු ගං මෝය පිහිටා ඇත්තේ ඒ - 2 මාර්ගයේ බලපිටියට නුදුරෙනි.

පිවිසීම

සංචාරක ආකර්ෂණය දිනාගත්, සොබා සෞන්දර්යයෙන් අනූන පරිසර නිකේතනයක්‌ බැවින් විශාල වශයෙන් සංචාරකයන් මෙහි පැමිණේ. ජාතික උද්‍යානයක්‌ හෝ රක්‍ෂිත වනාන්තරයක්‌ නොවන බැවින් මෙහි ඇතුල්වීම සඳහා විශේෂ අවසරපතක්‌ හෝ මුදල් ගෙවීමක්‌ සිදු නොකෙරේ. එබැවින්ම නිශ්චිත ප්‍රවේශ දොරටුවක්‌ද නැත. මාදු ගඟේ පූර්ණ සෞන්දර්යය අත්විඳීම සඳහා බලපිටියේ පිහිටි මෝය අසල සිටම තෙත්බිමට ප්‍රවේශ මාර්ගය වේ. එනමුදු මාදූව හෝ එම මාර්ගය ඔස්‌සේ හෝ තෙත්බිම වටා ඇති කුමන ප්‍රවේශ ස්‌ථානයකින් හෝ මාදු ගඟට ඇතුල්විය හැකිය.

ප්‍රවිශ්ඨවීම සඳහා ඇති ප්‍රදාන ස්‌ථානය ලෙස බලපිටිය දැක්‌විය හැකිය. කොළඹ සිට බලපිටිය දක්‌වා ඇති දුර කිලෝමීටර් 80 කි.

පහසුකම්

බලපිටිය දේශීය - විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ කලාපයක්‌ බැවින් සංචාරකයන් සඳහා නවාතැන්, ආහාර ප්‍රවාහන, රෝහල්, ඉන්ධනහල් වෙළෙඳසල් යනාදී සියලු ආකාරයේ නාගරික අවශ්‍යතා සහ පහසුකම් බලපිටිය ප්‍රදේශයේ ඇත. මාදු ගඟට අයත් රජයේ සංචාරක නිවාස හෝ කඳවුරුබ්ම් නැත.

තෙත්බිම් තුළ ප්‍රවේශ මාර්ග

දූපත් රැසක්‌ වටකොට විහිද යන ජලාශයක්‌ බැවින් මෙහි ප්‍රවේශ මාධ්‍යය ඔරුව සහ යාන්ත්‍රික බෝට්‌ටුවයි. මෙම සේවා සපයන අවන්හල් හා ආයතන රැසක්‌ තෙත්බිම වටා ඇත.

භෞතික ලක්‍ෂණ

හෙක්‌ටයාර් 915 ක්‌ වන මාදුගං තෙත් බිමෙහි හෙක්‌ටයාර් 770 ක්‌, එනම් අක්‌කර 1925 ක්‌ ජල තලයෙන් සමන්විත වේ. තවත් හෙක්‌ටයාර් 145 ක්‌ එනම්, අක්‌කර 363 ක්‌ සමන්විත වන්නේ දූපත්වලිනි.

මාදු ගඟේ පැහැදිලිව හඳුනාගෙන නම්කර ඇති දූපත් ගණන 36 කි. හෙක්‌ටයාර් 39 ක්‌ (අක්‌කර 100) විශාල මහදූව (මාදුව) මේ අතරින් ප්‍රධාන හා විශාලත්වයෙන් වැඩිම දූව වේ. වනගල්මං දූව හෙක්‌ටයාර් 30 (අක්‌කර 75) ක්‌ විශාලත්වයෙන් යුක්‌තය. කොත්දූවේ පුරාණ විහාරස්‌ථානයක්‌ පිහිටා ඇත. දික්‌දූව, මීමා දූව, හොන්දුව, දිමිදුව, එරවන දූව, නයිදූව, මුවන් දූව, වෙරළදුව, ගල්මං දූව, කටුදූව, මඩදූව, ගෝනදූව, තීනිය දූව, හා සතපහ දුව, අනෙකුත් ප්‍රකට දූපත් වේ. මෙයින් සතපහ දූවද ප්‍රකට වන අතර එහි කුඩා ගොඩනැඟිල්ලක්‌ තනා තිබේ.

මාදු ගඟ පෝෂණය කරන ප්‍රධාන ඇළ මාර්ග කිහිපයකි. මාගල ඇළ, ලේනගල ඇළ, උණගස්‌වල ඇළ, සීනිගොඩ ඇළ ඒ අතරින් ප්‍රධානය. මාගල ඇළ ඇතුළු පෝෂිත ඇළ මාර්ග කිහිපයක්‌ම කරන්දෙණිය ප්‍රදේශයෙන් උපත ලබයි.

මාදුගඟ එසේ හැඳින්වුවද, වෙනත් ගඟක්‌ සේ ගලනොයන කලපුවක්‌ සේ නිසල ජලකඳකින් යුත් තෙත්බිමකි. මාදුගං මෝය ඔස්‌සේ කරදිය හා කරදිය මුහුදු ජීවීන්ද සංක්‍රමණය වන බැවින් එය ගඟකට වඩා කලපුවකට සමානකමක්‌ පෙන්වයි.

මාදුගඟ ඉවුරු ගණව වැඩුණු කඩොලාන ශාක ප්‍රජාවකින් සමන්විතය යාබද කුඩා දූපත් තුළ වැඩුණු කඩොලාන ශාක එකම තුරු වදුලක්‌ සේ ශාක වියනක්‌ නිර්මාණය කරන නමුත් බොහෝ ස්‌ථානවල මෙම වියනට යටින් යාහැකි පරිදි දිය අගල් නිර්මාණය වී ඇත.

ඇතැම් දුපත් කඳුගැටමෙන් නිර්මාණය වී ඇත. නයිදූව, දික්‌දූව එවන් දූපත්ය.

ලොකු කුඩා දුපත් 36 ක්‌ අතුරින් මාදු ගඟෙන් වෙන්ව ගොඩබිම් කලාපයට පාළම් මගින් හෝ වෙනත් කෘත්‍රිම ප්‍රවේශ මාර්ග මගින් සම්බන්ධ කළ ඇතැම් දූපත් අද දූපත් වශයෙන් නොසලකා හැර ඇති බවක්‌ පෙන්වයි. එවන් දූපත් අතර පාතමුල්ලට හිමිවන්නේ වැදගත් තැනෙකි. බලපිටියත්, ආඳාදොළත් අතර දුම්රිය මඟ හරහා පාතමුල්ල දූපතට ප්‍රවේශ මාර්ගය ඇත. මෙම දූපත එක්‌ අතකින් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක්‌ ගමන් ගන්නා එකම දූපත ලෙස හැඳින්වෙන අතර මාඳුගඟ තෙත්බිමටම සුවිශේෂී වූ අප රටට ආවේණික වුද රතමිල්ල නම් කඩොලාන ශාකයේ පැරණි ශාක ප්‍රජාවක්‌ ඇති අති වටිනාම භූමිභාගයක්‌ ලෙස සැලකේ. පාතමුල්ල පවුල් 350 ක්‌ පමණ දිවිගෙවන ගම්මානයකි.

කරන්දෙණිය ප්‍රදේශයේ පොල් අතුපළාත නොහොත් පොල්අතු කන්ද මාදුගඟේ ප්‍රධාන ජලපෝෂිතයක්‌ ලෙස සැලකේ.

අතීත ආගමික හා සංස්‌කෘතික තොරතුරු

මාදු ගඟ තෙත්බිම වැදගත් ධීවර ක්‍ෂේමභූමියකි. කළපු හා අභ්‍යන්තර ධීවර කර්මාන්තයේ පාරම්පරික නිජබිමක්‌ සේ සැලකෙන මාදුගඟ වෙනම ධීවර සංස්‌කෘතියකට හිමිකම් කියයි. මෙහි ජා කොටු, හැඹිලි දැල්, රිටිපන්න, කරක්‌ගෙඩි ගැසීම වැනි මෙරටට ආවේණික ධීවර කර්මාන්තයක්‌ අතීතයේ පටන් සිදුවේ. ඉස්‌සන් අල්ලාගැනීම සඳහා ජා කොටු තැනීම අදද මෙහි බහුලව දක්‌නට ලැබේ. රාත්‍රී කාලයේදී මෙවන් මසුන් මැරීම් බහුලව සිදුවේ. ඒ සඳහා ධීවර කාර්මිකයින් ඔරු - පාරු යොදා ගනී.

කොත්දුව මාදු ගඟේ වැදගත්කම ආගමික හා සංස්‌කෘතිකමය කේන්ද්‍ර ස්‌ථානයයි. එහි කොත්දූව විහාරස්‌ථානය මාදුගඟ අසබඩ දිවිගෙවන බොදුනු ජනයාගේ මුදුන්මල්කඩයි. මෙම පුරාණ විහාරය කලෙක දළදා වහන්සේද වැඩ විසු පුන්‍ය භූමියක්‌ව තිබු බව කියනු ලැබේ. සතුරු ආක්‍රමණ එල්ලවූ ඉංග්‍රීසි පාලන සමයේදී දළදා වහන්සේ මෙහි සඟවා තැබු බවට වාර්තා ඇත.

කොත්දුව නිහඬ, නිසල රමණීය තැනෙක පිහිටා ඇති බැවින් මෙතැන් සිට ලේඛණ කලාවට - කවි කලාවට මෙහෙවරක්‌ වූ බව ඉතිහාසය කියයි. ඔපිසර සංදේශය මෙසේ කොත්දූවේදී රචනා වී ඇති බවත් තවත් සංදේශ කාව්‍යය කිහිපයකටම මෙම ස්‌ථානය යහපත් පසුතලය වී ඇති බවත් කියනු ලැබේ.

ජෛවවිවිධත්වය

වනසතුන්

තෙත්බිම් පරිසර පද්ධතිවලදී දක්‌නට ලැබෙන ඉහළම සත්ව විවිධත්වයක්‌ මාදු ගඟේදී දැකගත හැකිය. කුරුල්ලන්, උභයජීවීන්, මත්ස්‍යයින්, උරගයින්, සමනළුන්, ගොලුබෙල්ලන්, සන්ධිපාදකයින් හා ක්‍ෂීරපායි යන සෑම අංශයකම ජෛවවිවිධත්වය ඒ අතර වේ. මෙහිදී කුරුල්ලන් විශේෂ 115 ක්‌ පමණ දෙනා වාර්තා වී ඇත. ජලාශ්‍රිත හා වනබද යන කාණ්‌ඩ දෙකේම කුරුල්ලෝ ඒ අතර වෙති. පුංචි දියකාවා, ඉන්දියානු මහ දියකාවා, අහිකාවා, කරවැල් කොකා, පුංචි සුදු කොකා, ගවකොකා, මහ සුදු කොකා, අළුකොකා, කණකොකා, රෑ කොකා, මැටි කොකා, අළුපැස්‌තුඩුවා, කොරවක්‌කා, කිරලා වැනි ජලාශ්‍රිත කුරුල්ලෝ මෙහි දුලබ නොවෙති. මුහුදු රාජාලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්‌සා, කුරුලූ ගොයා වැනි මාංශ භක්‍ෂක කුරුල්ලෝද, අළු කොබෙයියා, මයිනා, කහකුරුල්ලා, දෙමලිච්චා, පොල්කිච්චා, පාං කිරිත්තා, කොට්‌ටෝරුවන්, ගෝමර කළපු පිළිහුඩුවා, රන් පිළිහුඩුවා, ගෙල සුදු පිලිහුඩුවා, සිවුරු හොරා, ඇටිකුකුළා වැනි රුක්‌වාසී කුරුල්ලෝද මාදු ගඟ අසබඩ කඩොල් කැළෑවල සැරිසරති.

උරගුන් අතරින් පිඹුරා හා කිඹුලා යන විශාලතම උරගයෝ සහ කබරයා, තලගොයා, කටුස්‌සන්, සිකනලූන්, හූනන්, මෙන්ම නයා, කරවලූන්, මාපිලන් වැනි උරගයෝද මාදු ගං තෙත් බිමේ වෙසෙති. විල්මුවා, දිය බල්ලා, හඳුන් දිවියා. රන් හෝතඹුවා, මුගටියා, ඉත්තෑවා, බළල් දිවියා, වල්ඌරා, වඳුරා, වැනි ක්‍ෂීරපායින් මෙහි වෙසීම මාදු ගඟට මහත් වටිනාකමකි. කුඩා මත්ස්‍ය විශේෂ මෙන්ම, ඉස්‌සන්, කකුළුවන් වැනි කවච මසුන් සඳහා මාදුගඟ තෝතැන්නකි. මෙවන් බොහෝ මසුන් කළපුවක්‌ සේ ක්‍රියාත්මක වන මාදු ගඟට පැමිණෙන්නේ තම ජීවනචක්‍රයේ තවත් පියවරක්‌ ගතකරනු පිණිසය. එබැවින්ම ධීවර කර්මාන්තය සඳහා මාදුගඟ වැදගත් සේවාවක්‌ සපයයි.

ශාක විවිධත්වය

මාදු ගඟේ ප්‍රධානතම ශාක ප්‍රජාව කඩොලානයි. මෙහිදී කඩොලාන ශාක විශේෂ 14 ක්‌ හඳුනාගෙන ඇති බවට වාර්තා තිබුනද ලෝක සංරක්‍ෂණ සංගමය මගින් කරනු ලැබ ඇති ජෛවවිවිධත්වය ඇගයීම්වලදී ශාක විශේෂ 302 ක්‌ හඳුනාගෙන ඇත. මාදුගඟේදී හමුවන කඩොලාන අතරින් බොහොමයක්‌ වර්ග සුලබ ඒවාය. කිරල, මහකඩොල්, මල් කඩොල්, පුංකණ්‌ඩ, ගොඩ කිරල වැනි ශාක අතරේ ගිංපොල් වැනි තාලවර්ගයේ හොඳ කඩොල් ශාක ප්‍රජාවක්‌ද කැරංකොකු වැනි මීවන වර්ගද මෙයින් වාර්තාවේ. එහෙත් කඩොලාන අතර ශ්‍රී ලංකාවේදී හමුවන අති දුලබ කඩොලාන විශේෂයක්‌ වන රතමිල්ල හමුවන්නේ මාදු ගඟෙන් පමණි. පාතමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම ශාකයේ පැරැණි ප්‍රජාවක්‌ දන්නට ලැබේ. මීට අමතරව මාදු ගඟ ප්‍රධාන ජලාශ ඉවුරේ සහ දුපත් වල සීමිත ස්‌ථාන කිහිපයකද රතමිල්ල ශාකය හමුවේ. වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති මෙම ශාකය රතු දත්ත වාර්තාවට ඇතුලත්ව ඇත.

කඩොලාන ශාකවලට අමතරව වෙනත් භෞමික ශාකද මෙම තෙත්බිම් ආශ්‍රිතව හා දුපත් තුළ දක්‌නට ලැබේ. කටුදූවේදී යෝද පුස්‌වැලක්‌ වාර්තාවීම සුවිශේෂ සංසිද්ධියකි. තෙත් කලාපීය වැසි වනාත්රවලදී හමුවන මෙම ශාකය තෙත්බිම් ආශ්‍රිතව බොහෝ සෙයින් දුලබය. එහෙත් මෙම පුස්‌වැල වසර සිය ගණනක්‌ පැරණි, දැවැන්ත වුවකි. ඇතැම් දූපත් ජනාවාසවීම හේතුවෙන් හා වගාවන්ට යොදාගැනීම නිසා ගෙවතු ශාක සහ කු=රුඳු වැනි වගා පවතී. දික්‌දුව මෙවැනි කුරුඳු වගා සහිත ගොඩබිමකි.

මාගල ඇළ, ලේනගල ඇළ, උණගන්වල ඇළ, වැනි තැන්වල මානෙල්, නෙළුම්, හයිඩි්‍රල්ලා වැනි ජලජ ශාකද බහුලය.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - වාසල සේනාරත්න

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.