තහනම් දේ හැමටම තහනම් කරමු

ජනතා විමුක්‌ති පෙරමුණේ නියෝජිත සමුළුව කොළඹ විඡේරාම මාවතේ සව්සිරිපායේදී පැවැත්වීමට ඉඩ නොදීම ගැන ඊයේ (08 දා) "දිවයිනේ" සඳහන් විය. සමුළුවේ ප්‍රධානත්වය ගත්තේ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ය. එ.ජා.ප. ය හා ජ.වි.පෙ. ප්‍රසිද්ධ වේදිකාවකට එකවර ගෙන්වා ගැනීම තවමත් දුෂ්කර වී ඇති නිසා ඒ පක්‍ෂ දෙකේ රැස්‌වීම්වලට මාරුවෙන් මාරුවට යමින් එමින් සිටින ජෙනරාල් තැන මේ සිද්ධියත් සමඟම යුද්ධයට වඩා දේශපාලනය තුන් ගුණයක්‌ පමණ දුෂ්කර බව තේරුම් ගන්නට ඇත.

සමාජවාදය කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය විසින් කිසියම් කෙනකුට නරක ලෙස සලකන විට එම තැනැත්තාට යන එන මං නැතිවෙයි. එස්‌. බී. දිසානායක මහතා කියන පරිදි ඔහු එ.ජා.ප.යෙන් එළියට බැස්‌සේ එහි පවතින අධිකාරිවාදී ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඔහුට නරකට සලකන ලද හෙයිනි. පත්කළ මන්ත්‍රී විඡේදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට බැස්‌සේ ශ්‍රී.ල.නි.ප.ය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඔහුට අයහපත් ලෙස සලකන ලද හෙයිනි. කෙසේ වුවද කෙනකු තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කළ යුත්තේ තම අතේ දිග සීමාවට අනුව බවට බටහිර ලෝකයේ කියමනක්‌ තිබේ. ඔහු තම අත දිගහැර වනන විට එය අනෙකාගේ නාසයේ වැදුණොත් එතැනින් යුද්ධය පටන් ගනී.

අප ඉහත සඳහන් ඡේදය ලියුවේ ජනතාව සුළු වශයෙන් දැනුවත් කිරීම සඳහා ය. ඒ අතරම, ජ.වි.පෙ. නියෝජිත හමුවට සව්සිරිපායේ දොර වැසීම ගැන අපගේ විරෝධය පළ කරමු. ජ.වි.පෙ. හැමදාමත් කටයුතු කළේ තමන් පිළිබඳ ඇති දේශපාලන තක්‌සේරුවට අනුව ය. එය වෙනත් අයගේ ඇඟිලි ගැසීම්වලින් තොරව පක්‍ෂය තුළින්ම උපන් තක්‌සේරුවකි.

ළඟ එන ජනාධිපතිවරණයේදී හංසයා ලකුණින් තරග කරන විශ්‍රාමික ජෙනරාල්ට ආධාර කිරීමට ඔවුන් ගත් තීරණය ද එම තක්‌සේරුව තුළ සිට ගත් තීරණයක්‌ බව පෙනෙන්නට තිබේ. එම තීරණය ඔස්‌සේ යන ජනතා විමුක්‌ති පෙරමුණේ ගමන දේශපාලන වනාන්තරයකින් නිමාවට පත් කරන්නේද නැතහොත් දේශපාලන මල්වත්තකින් කෙළවර කරන්නේද යන්න තීරණය කරන්නේ රටේ සිටින ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය මගිනි. එස්‌. බී. දිසානායක පෙරේදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී කීවාක්‌ මෙන් ජාත්‍යන්තර ප්‍රජාව කොපමණ කරණම් ගැසුවත් ශ්‍රී ලංකාවේ මැතිවරණ තුළදී ඔවුන්ට ඡන්දය පාවිච්චි කළ නොහැක. ඡන්දය දීමේ හෝ නොදීමේ පරම අයිතිය ඇත්තේ ජනතාවට ය.

එබැවින් කිසිදු පක්‍ෂයක ප්‍රතිපත්ති ගැන කිසිදු පක්‍ෂයක්‌ කලබල විය යුතු නැත. කිසිදු පක්‍ෂයක්‌ අනෙක්‌ පක්‍ෂයට වාග් ප්‍රහාර එල්ල කළ ද ප්‍රචණ්‌ඩත්වයට යා යුතු නැත. දේශපාලන ප්‍රචණ්‌ඩත්වය ගැන අපට ඉතා නරක ආදර්ශ තිබේ. 1977 දී ඡේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූ විට එ.ජා.ප. ආධාරකරුවන් විසින් ශ්‍රී.ල.නි.ප. ආධාරකරුවන්ගේ ගෙවල් ගිනි තබන ලදී. තමන්ට සතියක්‌ නිවාඩු බවට පැතිර ගිය ආරංචියක්‌ නිසා පොලිසිය ද පැමිණිලි භාර ගැනීමෙන් වැළකී සිටියේ ය. මෙයට වසර කිහිපයකට පෙර පැවැති වයඹ පළාත් සභා ඡන්දයේදී ශ්‍රී.ල.නි.ප. පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ එ.ජා.ප. ආධාරකාරියක නිරුවත් කර පාර දිගේ ඇවිද්දවී ය. ඒ කළ "වීරකමට" වන්දි වශයෙන් ඒ මන්ත්‍රීතුමා අදටත් වැලිකඩ හිරගෙදර ය.

ජනතා විමුක්‌ති පෙරමුණේ අනුරාධපුරයේ කාර්යාලයට මැර පිරිසක්‌ විසින් එල්ල කෙරුණු බලගතු ප්‍රහාරයක්‌ සහ වෙඩි තැබීමක්‌ ගැන ද දැනගන්නට තිබේ. මේ සියල්ල මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාය. වහාම අත්හිටුවිය යුතු නමුත් සෑම මැතිවරණයක්‌ පාසාම දෙගුණ වෙමින් පවත්නා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා ය.

සාධාරණ මැතිවරණයක්‌ සඳහා පොලිස්‌ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 476 ක්‌ රට පුරා පිහිටුවා ඇති බව දැන ගන්නට තිබේ. එහෙත් සෑම විටම සිදුවන්නේ එක්‌ පාර්ශ්වයක කටවුට්‌ ඉතිරි වෙද්දී අනෙක්‌ පාර්ශ්වයේ කටවුට්‌ පොලිසිය විසින් ගලවනු ලැබීම ය. විශ්‍රාම යාගත නොහැකිව සිටින අවාසනාවන්තම මනුෂ්‍යයා වන මැතිවරණ කොමසාරිස්‌තුමා විසින් කෙරුණු නියෝගයකට අනුව රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ඡන්ද ප්‍රචාරක වැඩවල නිරතවීම තහනම් ය. එහෙත් ඔවුහු උඩින් හෝ යටින් එම කටයුතු කරති. අපගේ වැටහීම නම් සාධාරණ පාලකයකු වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා යටතේ මෙවැනි තත්ත්වයක්‌ පැවැතිය යුතු නැති බව ය. යුද ජයග්‍රහණයත් සමඟම මේ රටේ දේශපාලන සංස්‌කෘතිය ද වෙනස්‌ විය යුතු ය.
 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v