සැබෑ අභියෝගය කුමක්‌ද?

මනෝඡ් අබයදීර

"එස්‌. බී. ආයිමත් ගෙදර ඇවිල්ලා" එස්‌. බී. කියන්නේ ලංකාවේ දේශපාලනයේ හොඳ කකුලකි. ඔහු ශ්‍රී ලනිපයේ මහ ලේකම්කම අතහැර එජාපයට ගියේ කල් යල් බලාය. 1994 සිට දිගටම පරාජය වූ එජාපය ජයග්‍රහණය කෙරෙවූයේ එස්‌. බී. ඇතුළු කණ්‌ඩායමය. එදා එස්‌. බී. ලා එජාපයට නොයන්න එජාපයද "94 සිට මේ වන තෙක්‌ පැවැත්වූ සියලුම මැතිවරණ පරාජය ය. 2001 දෙසැම්බර් මාසයේ මහ මැතිවරණයක්‌ පවත්වන තැනට කටයුතු යෙදුණේ එස්‌. බී., බන්දුල, ජී. ඇල්., මහින්ද විඡේසේකර ඇතුළු පො. එ.පෙ. ප්‍රබලයන් පිරිසක්‌ එජාපයට යැමෙනි. 2001 සැප්තැම්බර් මාසයේදි පො. එ. පෙ. හා ජ. වි. පෙ. අතර ඇති වූ පරිවාස ගිවිසුම බිඳ දමන්නට සටන් බලවේගයක්‌ නිර්මාණය කරමින් දණින් වැටී තිබූ එජාපය නැඟිට්‌ටවන්නට එස්‌. බී. ලා සමත් විය.

2001 ඔක්‌තෝබර් 9 හා 10 දිනයන්හි එස්‌. බී. ලා පැත්ත මාරු කිරීම නිසා පැවැති පාර්ලිමේන්තුව ඔක්‌තෝබර් 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට සිදු විය. දේශපාලනයේ කල් යල් බලා පිල් මාරු කළ එස්‌. බී. ලා පැවැති මහ මැතිවරණයෙන්, එජාපය ජයග්‍රහණය කරවීය. මේ නිසා රනිල් වික්‍රමසිංහ අගමැති වූ අතර, ඔහුගේ නායකත්වය යටතේ එජාපය ලබාගත් එකම මැතිවරණ ජයග්‍රහණය වූයේ එයය. එදා එජාපයට ජයග්‍රහණයේ මාවත පෑදූ එස්‌. බී. ලා ඇතුළු කණ්‌ඩායම ම දැන් සිටින්නේ මහින්ද සමඟය.

එස්‌. බී. දිසානායක තමන්ට එජාපයේ තිබූ ජාතික සංවිධායකකම හැරපියා යළිත් මහින්ද රාජපක්‍ෂ සමඟ එකතු වූයේ ඇයි?

එස්‌. බී. එජාපයට පැමිණියේ ශ්‍රී ලනිප තමන් දැරූ මහාලේකම්කම ඉවත දමාය. එතරම් කැපවීමක්‌ කරමින් එජාපයට පැමිණි එස්‌. බී. හිර බත් කෑවේ ද එජාපය වෙනුවෙන් කතා කරන්නට ගොස්‌ය. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ට එස්‌. බී. ලබාදුන් එම ජයග්‍රහණය පිළිබඳ කෘතගුණ සැලකුවේ නැත. අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්‌. බී. හිර ගෙදරට යන විට ඔහු සිතුවේ, එජාපයේ සියලු සාමාජිකයන් කොළඹට පැමිණ ඔහු වෙනුවෙන් උද්ඝෝෂණය කරාවි කියාය. නමුත් රනිල් එස්‌. බී. වෙනුවෙන් එවැනි කැපවීමක්‌ සිදු කළේ නැත. සිරෙන් නිදහස්‌ වූ එස්‌. බී. සිතුවේ රනිල් වික්‍රමසිංහ තමන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරාවි කියාය. නමුත් එවැනි කළගුණ සැලකීමක්‌ රනිල්ගෙන් එස්‌. බී. ට ලැබුණේ නැත. මේ සියල්ල තමන්ට නොලැබුණු තැන එස්‌. බී. කල්පනා කළේ රනිල්ගෙන් පසු එජාපයේ නායකයා වන්නටය. ඒ සිහිනය දැක්‌කේ එස්‌. බී. පමණක්‌ නොවේ. එජාපයේ සිටි සියලුම දෙවැනි පෙළේ නායකයෝ ඒ සිහිනය දුටුවෝය.

තමන්ගේ දේශපාලනය පුරාම පරාජය වී සිටින්න එජාපයේ ජ්‍යෙෂ්ඨයෝ කැමැති නොවුණ නමුත් ඒ පරාජයන් සියල්ල ඔවුන් ඉවසා සිටියේ, රනිල් නායකත්වයෙන් ඉවත්වී නව මාවතක්‌ ඔස්‌සේ පක්‍ෂය ජයග්‍රහණය කරාවි යන බලාපොරොත්තුව පිටය. ඒ බලාපොරොත්තුව ඉටු නොවන බව එජාපයේ බොහෝ දෙනකු තේaරුම් ගත්තේ 2005 ජනාධිපතිවරණයෙන් පසුවය. පූර්වාදර්ශ අනුව ජනාධිපති බලයක්‌ හමුවූ කෙනකු එහි දෙවාරයම බලය හොබ වන බව දැන ගත් එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු පිරිසක්‌ මහින්දගේ ආණ්‌ඩුවට එකතු වුණේ තමන්ට හැමදාම පරාජයේ රස බලන්නට බැරි නිසාය.

එසේ වුවත් එස්‌. බී. ඉවසුවේය. ඒ ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් පරාජයවූ පසු එජාපයේ බලය අල්ලා ගැනීමටය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ගෙන්වා, තම පක්‍ෂය ඉතිහාසයේ පළමුවරට මැතිවරණයකදී අකුලා තබන්නට රනිල් තීරණය කිරීමත් සමඟම, තමන්ට ඊළඟට නායකයා වන්නට සිදුවන්නේ සාමාජිකයන් නොමැති පක්‍ෂයකට බව එස්‌. බී. තීරණය කරන්නට ඇත. මේ නිසා තම දේශපාලන අනාගතය ගැන සිතා එජාපයෙන් ඉවත්වන්නට එස්‌. බී. තීරණය කළේය.

එස්‌. බී. එහෙම තීරණයක්‌ ගත්තාට එජාපය වැටෙයිද? රනිල්ගේ මාමා හා ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ ඡේ. ආර්. රටේ නායකයා වූයේ ඔහුට වයස අවුරුදු 71 ක්‌ පිරෙද්දීය. තාම රනිල්ට අවුරුදු 60 යි. ඡේ. ආර්. එක්‌ක බලනකොටත් රනිල්ට බලයට ඒමට තව අවුරුදු 10 ක කාලයක්‌ තියෙනවා නේද? එසේ තර්ක කරන දේශපාලන විචාරකයෝ සිටිති.

එහෙනම් එස්‌. බී. හදිස්‌සි වුණාද?

ඡේ. ආර්. පාර්ලිමේන්තුවට පැමිණියේ 1943 වසරේය. එවිට ඡේ. ආර්. ට වයස අවුරුදු 37 කි. රනිල් පාර්ලිමේන්තුවට ආවේ 1977 දීය. එතකොට රනිල්ට වයස අවුරුදු 28 කි. ඡේ. ආර්. එජාපයේ නායකත්වයට පත්වූයේ 1973 දීය. ඊට වසර හතරකට පසු ඡේ. ආර්. හයෙන් පහක පාර්ලිමේන්තු බලයක්‌ එජාපයට ලබාදී එහි ස්‌වර්ණමය යුගය උදා කර දුන්නේය. 1973 ඡේ. ආර්. පක්‍ෂ නායකත්වය බාර ගන්නා විට ඔහුට වයස අවුරුදු 67 කි.

රනිල් එජාපයේ නායකත්වයට පත් වූයේ 1994 දීය. පක්‍ෂයේ නායකයා ලෙස රනිල් පත්වී දැන් අවුරුදු 15 ක්‌ ගත වී ඇතත් එයට පරිපූර්ණ ජයග්‍රහණයක්‌ ලබාදෙන්නට තවම රනිල්ට හැකියාවක්‌ ලැබී නැත. රනිල්ගේ නායකත්ව කාලය තුළ ලබාගත් එකම මැතිවරණ ජයග්‍රහණය ද ඔහු ලබා ගත්තේ එස්‌. බී. ලාට පිංසිදුවන්නටය. ඡේ. ආර්. ට පක්‍ෂයේ නායකත්වය ලැබුණේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණ අවුරුදු 31 ක්‌ ගත වූවාට පසුවය. නමුත් රනිල්ට පක්‍ෂ නායකත්වය ලැබුණේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණ අවුරුදු 17 ක්‌ ගතවනවිටය. ඡේ. ආර්. ට රනිල්ට තරම් ඉක්‌මනින් පක්‍ෂ නායකත්වය ලැබුණේ නම් ඔහු රනිල්ගේ වයස වනවිට එජාපය රජ ගමනක ගෙන යනවා සිකුරුය. ජෛවීය වයසින් බලන විට ඡේ. ආර්. බලය ලබාගත් වයස හා රනිල්ගේ වයස අතර වසර 11 ක පරතරයක්‌ ඇතත් දේශපාලන වර්ෂ අනුව බලන විට රනිල් සිටින්නේ ඡේ. ආර්. ට වඩා හොඳටම පසුපසිනි. ඒ කියන්නේ දේශපාලනයෙන් රනිල් දැනටමත් ඡේ. ආර්. ට වඩා හොඳටම මහලු වී තිබේ.

එසේ නම්, රනිල්ගේ දේශපාලන පරාජිත භාවය එස්‌. බී. ලාගේ ඉවසීමේ සීමාව නිමා කිරීම අරුමයක්‌ නොවේ. රනිල්ට සැමදාම වැඩියෙන්ම අපල ගෙනාවේ ජනාධිපතිවරණයන්ය.

1978 විධායක ජනාධිපති තනතුර ඇති දා පටන් එම පාර්ලිමේන්තුවේ අගමැති වූ දෙදෙනකු හැර අන් සියල්ලෝම ජනපති වුහ. එයිනුත් පක්‍ෂ නායකයකු වී රටේ ජනාධිපති තනතුරට පත්වන්න බැරි වුණේ රනිල්ට පමණය. 78 න් පසු අගමැතිකම ලැබී ජනාධිපති වන්නට බැරි වූ අනෙක්‌ පුද්ගලයා රත්නසිරි වික්‍රමනායකය. නමුත් රත්නසිරි කිසිදිනෙක පක්‍ෂ නායකයකු වූයේ නැත. රනිල් ගත්තද රත්නසිරි ගත්තද මේ දෙදෙනාම "ර" යන්නෙන් හා "වි" නම ලියෑවෙන අයයි. ඒ කියන්නේ ඔවුන්ගේ භාවිත නම් කෙටි කර ලියූ විට ර. වි. ය. මේ දෙදෙනාටම ජනාධිපති වන්නට නොහැකිවීමේ අපූර්වත්වය ඒ සමඟම තිබීම දෛවෝපගත සිදුවීමකි.

1993 ජනාධිපති ප්‍රේමදාසගේ ඝාතනයත් සමග රනිල් අගමැති විය. ජනාධිපති විඡේතුංග වයස්‌ ගත වීමත්, ඔහු ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකිරීමත් නිසා ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය රනිල්ගේ අතට ලැබී තිබුණේය. එජාපයේ ජ්‍යෙෂ්ඨයන් වූ, ලලිත් ඝාතනයවී තිsබීමත්, ගාමිණී එජාපයෙන් ඉවත්ව සිටීමත් රනිල්ට එජාපයේ අපේක්‍ෂකත්වය අතට ලැබීමට හේතු වී තිබිණි. 1994 මහ මැතිවරණයෙන් එජාපය පරාජයට පත්වූ විගසම, අරලියගහ මන්දිරයේ තිබූ තමන් සතු දෑ අහුරාගෙන රනිල් ඉක්‌මන්ම ගෙදර පැමිණියේ තව නොබෝ දිනකින්ම ජනාධිපති මන්දිරයට යැමට තමන්ට ඇති හැකියාව ගැන සිහින දුටු නිසා විය යුතුය. නමුත් 1994 ජනාධිපතිවරණයේදී එජාපයේ අපේක්‍ෂකත්වය රනිල්ට හිමි නොවීය. පක්‍ෂයෙන් එළියට ගොස්‌ සිටි ගාමිණි නැවත ගෙදර පැමිණ රනිල් "අතේ තිබූ" ජනාධිපති අපේක්‍ෂකත්වය තමාගේ "කටේ දමා" ගත්තේය.

චන්ද්‍රිකාගේ පළමු ජනාධිපති ධුර කාලය නිමා වන විට රනිල්ට පක්‍ෂය තුළ ජනාධිපති අපේක්‍ෂකත්වය සහතික වී තිබුණි. මේ සමඟම රට තුළ ද රනිල්ට යම් ජනප්‍රියත්වයක්‌ ඇති වී තිබිණි. නමුත් 1999 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන දින, චන්ද්‍රිකාට එල්ල වූ බෝම්බ ප්‍රහාරය රනිල්ගේ සිහින සුණු විසුණු කළේය. එවර ද රනිල්ට ජනාධිපති පුටුවේ උණුසුම ලැබිය නොහැකි විය.

නමුත් රනිල් ගණන් හැදුවේ, ඊළඟ වාරය ගැන සිතාය. චන්ද්‍රිකාගෙන් පසු ශ්‍රී ලනිපය ජනප්‍රියතාවයෙන් පහළට වැටී එහි ඊළඟ නායකයන්ට පක්‍ෂය ජයග්‍රහණ කර ගැනීමට නොහැකි වෙතැයි රනිල් කල්පනා කළේය. මේ නිසා රනිල් වේලාසනින්ම ජනාධිපතිවරණයට ලැහැස්‌ති විය. 2006 දී ජනාධිපතිවරණය පැවැත්වීමට චන්ද්‍රිකා කටයුතු යොදා තිබුණද තමන්ට නිසැකවම "ජය හිමිවෙන" ජනාධිපතිවරණය 2005 දී ලබා ගැනීමට රනිල් පෙළපාලි ගියේය. ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවක්‌ මගින් 2005 වසරට ජනාධිපතිවරණයක්‌ ලැබිණි. රනිල්ගේ ගණන් හැදිලිද බිඳ වැටී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තනතුරට පත් විය.

දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ එජාපයේ අර්බුද මතුවීමත්, තිස්‌වසරක්‌ පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය මහින්ද විසින් විනාශ කිරීමත් නිසා ජනාධිපතිවරණය තමන්ට ලෙහෙසි නොවන බව රනිල් තේරුම් ගත්තේය. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදු කළ සංග්‍රාමයේදී රනිල් සිටියේ ත්‍රස්‌තවාදයට එරෙහි වූ ස්‌ථාවරයක නොවේ. මේ නිසා එම ජයග්‍රහණයේ තනි අයිතිකරු බවට පත්වූයේ මහින්දය. මේ නිසා රනිල් සිටියේ ඇතුළෙත් ගිනි, පිටත් ගිනි තත්ත්වයකය.

තමන් ජනාධිපතිවරණයට තරග කර පරදින තෙක්‌ බලා සිටින එජාපයේ දෙවැනි පිල පිරිස එක්‌ පැත්තකින්ද සිටීම නිසා ඊළඟ ජනාධිපතිවරණය පරාජය වුවහොත් තමන්ට ජනාධිපතිකම පමණක්‌ නොව පක්‍ෂ නායකත්වය ද නැති වන බව රනිල් තේරුම් ගත්තේය. මේ නිසා රනිල්ට අවශ්‍ය වූයේ ජනාධිපතිවරණය මඟ හැරීමටය. තමන් ජනාධිපතිවරණය මඟ හැර එජාපයෙන් වෙන කෙනකු ඒ සඳහා අපේක්‍ෂකයා ලෙස පත් කළහොත් ඔහු ඡන්දයෙන් දිනුවත් පැරදුණත් පක්‍ෂ නායකත්වය ඔහු අතේය. මේ නිසා ජනාධිපතිවරණය කල්දා ගැනීමට රනිල් උත්සාහ කළේය. ජනාධිපතිවරණයක්‌ කලින් නොතබන ලෙස කියමින් මහින්දට පස්‌ස දොරින් රනිල් පණිවුඩ එව්වේ ඒ නිසාය. නමුත් ජනාධිපතිවරණයක්‌ පැවැත්වෙන ලකුණු සියල්ල මහින්ද ප්‍රදර්ශනය කළේය. ඊළඟට රනිල් තමන්ගේ බේරුමට ලැහැස්‌ති කර ගත්තේ, පොදු අපේක්‍ෂක මන්ත්‍රයයි. ඒත් ඡන්දය කට ළඟට එනතෙක්‌ රනිල්ගේ කරුමයට කර ගසන පොදු අපේක්‍ෂකයකු පැමිණියේ නැත.

සියල්ල අවසානයේදී රනිල්ටම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුවෙන පරිසරයක්‌ නිර්මාණය විය. ඒ සමඟ ම වෙන දෙයක්‌ වෙච්චාවේ" කියා රනිල් තරග බිමට පිවිසීමට පටන් ගත්තේය. ඒ අනුව ඔහුගේ ප්‍රචාරක කටයුතු හෙවත් කැම්පේන් එකද ආරම්භ විය. ගමින් ගමට, දොරින් දොරට, රනිල් අපට තේමා පාඨය කරගත් එම ප්‍රචාරක කටයුත්ත ඔස්‌සේ රැස්‌වීම් තබන්නට පවා රනිල් කටයුතු කළේය.

රනිල්ට සැමදාම කරුමයක්‌ වූ ජනාධිපතිවරණයට ඔහුට මෙවර මුහුණ දිය නොහැකි වූ විට ඒ කරුමෙට කර ගසන්නට කෙනකු ඉදිරිපත් විය. පොදු අපේක්‍ෂකයා යෑයි කෑ ගසමින් සිටින විට ඇත්තටම පොදු අපේක්‍ෂකයකු ඉදිsරියට ආවේ රනිල් ද නොසිතූ ලෙසය. කොටියා එනෝ, කොටියා එනෝ කියමින් බොරුවට කෑ ගසන විට ඇත්තටම කොටියකු පැමිණීමට සමාන තත්ත්වයකට රනිල්ට මුහුණ දීමට සිදුවිය. රනිල්ට පොදු අපේක්‍ෂකයකු ඕනෑ වූයේ ඡන්දය දිනන්නට නොවේ. කරුමයෙන් ගැලවීමටය.

සරත් ෆොන්සේකා එජාපයේ හා ජවිපෙ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වීමත් සමග එජාපය ඉතිහාසයේ කිසිදු දිනෙක මුහුණනොදුන් ලෙස මැතිවරණයකට තරග නොකරන තත්ත්වයක්‌ ඇති විය. මෙය එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හා පාක්‍ෂිකයන්ගේ කනස්‌සලට හේතු විය. අපි කවදත් අලියාට කියූ එජාපාක්‍ෂිකයන්ට හංසයා මත්තේ හැපෙන්නට විය. එජාපයේ ඊළ ඟ වැටීම පටන් ගත්තේ එතැනින්ය.

1994 සිට එකක්‌ හැර අන් සෑම මැතිවරණයක්‌ම පරාජයවී, දැන් ඡන්දයකටද එජාපය ඉදිරිපත් නොවන විට එහි ජ්‍යෙෂ්ඨයෝ පක්‍ෂය අත්හැර යැම වැළැක්‌විය හැකිද?

මෙම පරාජිතාවලිය තුළ තරුණ පිරිස්‌ පක්‍ෂයට එකතුවීම අවම වීමත්, පක්‍ෂයේ සිටින පිරිස්‌ එයින් ඉවත් වීමත් නිසා එජාපය අද තිබෙන්නේ නියං කාලයක සිඳී යන ළිඳක තත්ත්වයකය.

2005 දී මේ තත්ත්වය දැක එජාපයේ පිරිසක්‌ ඉන් ඉවත්ව මහින්දට එකතු විය. දැන් 2009 දී ජෝන්ස්‌ටන්, එස්‌. බී. ඇතුළු තවත් පිරිසක්‌ පක්‍ෂයට ආයුබෝවන් කියමින් සිටිති.

මේ තත්ත්වය තුළ එජාපයට දැන් සිදුව තිබෙන්නේ සරත් ෆොන්සේකා ජයග්‍රහණය කරවීමේ අභියෝගය භාර ගැනීමට නොව මේ පක්‍ෂය බේරා ගැනීමේ අභියෝගය භාර ගැනීමය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v