එල්.ටී.ටී.ඊ. වත්කම් සම්භාරය
රටේ සංවර්ධනයට යොදා ගන්නවාද?

ජෝශප් මයිකල් පෙරේරා

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

එල්. ටී. ටී. ඊ. ය සතුව තිබී සොයාගත් රත්‍රන්, බැංකු ගිණුම් ඇතුළු වත්කම් සම්භාරය එක්‌ පුද්ගලයකු හෝ පවුලක්‌ සතු වත්කම් නොවන බැවින් ඒවා කඩිනමින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා යෙදවීමට පියවර ගන්නේදැයි විපක්‍ෂයේ සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයාගෙන් විමසීය.

ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙසේද ප්‍රකාශ කළේය.

2009 මැයි මස 18 වන දින එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ආරක්‌ෂක අංශ විසින් සොයා ගනු ලැබූ එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් රත්‍රං විශාල ප්‍රමාණයක්‌ පසුගිය නොවැම්බර් 26 දින ආණ්‌ඩුවට භාරදී ඇති බවට වාර්තා වී ඇත. එමෙන්ම ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකත්වයට පත්වූ කේ. පී. පද්මනාදන් යන අය රජය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු මුදල් හා අනෙකුත් වත්කම් පිළිබඳ සියලු තොරතුරු ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළ බව ද මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

එම හෙළිදරව්වේදී එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු විදේශ රටවල බැංකු ගිණුම් හයසියයක්‌ පමණ ප්‍රමාණයක්‌ තිබූ බව ද හෙළිවී ඇත. එසේම එම සංවිධානය සතුව විශාල ප්‍රමාණයේ නැව් 20 ක්‌ තිබුණු බවත්, ඉන් එකක්‌ අපේ නාවික හමුදාව විසින් විනාශ කර ඇති බවත් වාර්තා විය. ඉතිරි නැව් 19 ට සිදුවූයේ කුමක්‌ද යන්න පිළිබඳව අදටත් කිසියම් තොරතුරක්‌ වාර්තා වී නොමැත. එසේ නම් ඉතිරි නැව් 19 පිළිබඳව රජය කිසියම් තොරතුරක්‌ දන්නේද එම නැව් මේ වනවිට කවුරුන් භාරයේ පවතීද?

එසේම එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු මෙතෙක්‌ හෙළිවී ඇති සියලු වත්කම් පිළිබඳ විස්‌තරාත්මක වාර්තාවක්‌ රජය විසින් මේ වනවිට සකස්‌ කර තිබේද? එම වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරන්නේද? එසේම විදේශ රටවල, එනම් නෙදර්ලන්තය, යුරෝපය, කැනඩාව, ජර්මනිය, වැනි රටවල ඇති එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු වත්කම් ලංකා ආණ්‌ඩුවට ලබා ගැනීම සඳහා රජය විසින් එම රටවලට ලිත ඉල්ලීම් කර තිබේද? එසේ නම් ඒ සියලුම ලිපි ද පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරන ලෙස ඉල්ලා සිටිමි.

මාධ්‍ය විසින් වාර්තා කරන පරිදි එම වත්කම් මේ රටේ මහජනතාව හෝ රණවිරුවන් වෙනුවෙන් යොදවා ඇත්නම් ඒ පිළිබඳව ද සභාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන් මෙම වත්කම් සම්භාරය එක්‌ පුද්ගලයකු හෝ පවුලක්‌ සතු වත්කමක්‌ නොව එය මේ රටේ ජනතාව සතු වත්කමක්‌ බව සඳහන් කරමි. එබැවින් එම වත්කම් කඩිනමින් මෙරටට ලබාගෙන එම මුදල් සම්භාරය මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යොදවා රටේ ජනතාවගේ සුබ සෙත සඳහා පියවර ගැනීමට කටයුතු කරන්නේද? යන්න මෙම ගරු සභාවට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v