පාරලිමේන්තුවෙන්......
එල්ලාවල හිමියන් හා සාහිත්‍යය

එල්ලාවල මේධානන්ද හිමියෝ මැති සබය අමතද්දී බෞද්ධ සාහිත්‍යයේ හෝ ජනප්‍රවාදයේ එන ආදර්ශවත් කතාවක්‌ උපුටා දක්‌වති. ඒ බැව් මීට පෙරද මේ කොළමෙන් අපි කීවෙමු. උන් වහන්සේ ඊයේ මැතිසබය හමුවේ ගෙන හැර පෑවේ පංචතන්ත්‍රයේ කතාවයි.

එක්‌තරා වනයක සිංහයෙක්‌ සහ වෘෂභයෙක්‌ දැඩි ලෙන්ගතුකමකින් බැඳුනා. මේ දෙන්නාගේ ස්‌නේහය දුටු දමනක නමැති නරියා ඔවුන් දෙදෙනා භේදබින්න කළා. කැලයේ මහා විනාශයක්‌ කළා. මේ වගේ ද්වේශ සහගත කුමන්ත්‍රණවලින් සිදුවන්නේ බරපතල විනාශයක්‌. පුද්ගලික පිරිමැහීමට හෝ පරාජිත දේශපාලනයෙන් ගොඩඑන්න අන් අය අතකොළු කර නොගත යුතුයි..." එල්ලාවල හිමියෝ කියද්දී සභා ගැබ හිස්‌ව පැවැතිණි. පක්‍ෂ විපක්‍ෂ සෑම මන්ත්‍රීවරයකුටම පණිවුඩයක්‌ ගෙන ආ මේ කතාව අසා සිටියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්‌, ජනතා විමුක්‌ති පෙරමුණේa මන්ත්‍රී නිපුණආරච්චි සහ ඊළඟට කතා කිරීමට සූදානම්ව සිටි ඇමැති ඩියූ ගුණසේකර පමණි.

මන්ත්‍රීවරන්ගේ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු දෙද්දී වෙනදා මෙන්ම ඊයේද සභාව උණුසුම් විය. ජෝශප් මයිකල් පෙරේරා මහතා සමෘද්ධි පිළිබඳ ප්‍රශ්නයක්‌ ඇමැති ජගත් පුෂ්පකුමාරගෙන් අසා සිටියේය.

"ලැප්ටොප් එකේ දාලා උත්තරේ ගන්න තියෙනවා. ජගත් පුෂ්පකුමාර කීය. "මම හරක්‌ ගැනවත්, ගංජා ගැනවත්, නොවෙයි ප්‍රශ්න කළේ.. ජෝශප් මයිකල් පෙරේරා ද ප්‍රකාශ කළේය.

දෙහිවල සතුන්වත්තේ සතුන් මිය යැම ගැන ඇමැති ගාමිණී ලොකුගේ මහතාගෙන් මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම ප්‍රශ්න අසා තිබිණි.

රෝගී වෙලා මැරෙනවා. ආයුෂ ඉවරවෙලා මැරෙනවා. දැන් නම් හංසයන්ටත් බෙහෙත් කරන්න වේවි......" ලොකුගේ ඇමැතිවරයා කියද්දී ඇමැතිතුමා "මම අතුරු ප්‍රශ්නයක්‌ අහන්නද" දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසුවේය.

"ඔව් අහන්න...." ඇමැතිවරයා කීවේය.

දෙහිවල සත්තුවත්තේ හිටපු හිපපොටේමස්‌ පසුගිය දාක මැරුණා........ දැන් ඒ කූඩුව හිස්‌. ඒකට කාවද දාන්නේ.. දයාසිරි ජයසේකර මහතා කියද්දී සභාව සිනා හඬින් පිරී ගියේය." ඔබතුමා වෙනම ප්‍රශ්නයක්‌ අහන්න. .... මම උත්තරයක්‌ දෙන්නම්....." ලොකුගේ ඇමැතිවරයා කීය.

විපක්‍ෂයේ සිටිමින් මෙතෙක්‌ කලක්‌ ආණ්‌ඩුව වෙනුවෙන් කතා කළ නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා ඊයේ සභාව හරහා ගොස්‌ නිල වශයෙන් ආණ්‌ඩුවට ගියේය. ඒත් ඔහුට ආණ්‌ඩු පක්‍ෂයේ අසුනක්‌ වෙන් කර නොතිබූ නිසා දෙවැනි පෙළේ හිස්‌ව තිබූ ඇමැති ජීවන් කුමාරතුංගගේ අසුනේ හිඳ ගත්තේය. ඔහු සම්මත කර ගැනීම සඳහා යෝජනාවක්‌ ඉදිරිපත් කරන්න නැඟී සිටියේය. කථානායකතුමනි, තවම ඒ මන්ත්‍රීවරයාට අසුනක්‌ නෑ. යෝජනාවක්‌ගෙන එන්න බැහැ... "රවී කරුණානායක මන්ත්‍රීවරයා බාධා කළේය.

"ඔබතුමා ඔය යෝජනාව ඊළඟ දවසේ කරන්න. කථානයක වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතා ඒකනායක මන්ත්‍රීවරයාට කීවේය.

සභාවේ මෙවැනි දෑ වෙද්දී ආණ්‌ඩු පක්‍ෂයේ එක්‌තරා ඇමැතිවරයෙක්‌ සිය අසුනට වී සියල්ල දෙස නිහඬව බලා සිටියේය. වෙනදාට නම් ඔහුව හැසිරවීමට කථානායකවරයාට දැඩි පරිශ්‍රමයක්‌ යොදන්නට සිදුවේ. ඒත් මර්වින් සිල්වා ඇමැතිවරයා මෙසේ නිසොල්මනේ නිශ්ශබ්දව සිටීම ගැලරියේ සිටින අයට මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ටද ප්‍රශ්නයක්‌ විය. සිල්වා මහතාගේ මේ වෙනසට හේතුව කුමක්‌දැයි බොහෝ දෙනාට ගැටලුවකි.

හදිසි නීති විවාදය ආරම්භ විය. පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු බොහෝ දෙනා කතා කළේ ජනාධිපතිවරණය ගැනය. විජිත හේරත් ජවිපෙ මන්ත්‍රීවරයා කතා කරද්දී ආණ්‌ඩුපක්‍ෂයේ ඇමැතිවරුන්ගෙන් බාධා එල්ල විය.

"පොලිසිවලට ගිහිං පස්‌ස පැත්ත පෙන්නනවා. ගොම ගඳයි. මේ හරකා බැඳ දමනු. ඇමැතිවරයෙක්‌ දෙස බලමින් කී විජිත හේරත් මහතා තවත් ඇමැතිවරයකු දෙසට ඇඟිල්ල දිගු කරමින් "ඉස්‌සර සාටකේ කොළ පාටයි... දැන් පිදුරු පාටයි...." යෑයි කීය. සභාව වඩාත් උණුසුම් වූයේ දයාසිරි ජයසේකර මහතා කතා කරද්දීය. ජාතික නිදහස්‌ පෙරමුණ මෙන්ම ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරු ද එක්‌ව ජයසේකර මහතාට අඛණ්‌ඩව බාධා එල්ල කළහ.

අජිත් අලහකෝන්

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v