තමුන්නාන්සේලාගේ දරුවන් වෙනුවෙන් මා
මේ රට සංවර්ධනය කරලා දෙනවා

ජනපති කියයි

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා
ජනපතිවරණයට එන විට
බිම අතහැරියේ නැති අලියා මාරු වුණා

විමල් වීරවංශ

පියදාස රණසිංහ - අතුරුගිරිය

මම මගේ මවු බිමට ආදරෙයි. එදත් ආදරෙයි. අදත් ආදරෙයි. හෙටත් ආදරෙයි. පළමුව අපේ මවුබිම කියන එක මම පැහැදිලිවම කියනවා. මේ රට නිදහස්‌ කරල දුන්න තමුන්නාන්සේලාට දැන් මටත් යුතුකමක්‌ කරන්න තියෙනව. තමුන්නාන්සේලාගේ දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරල දෙන්න. රටට සුබ අනාගතයක්‌ ඇතිකර දෙන්න.

මම ඔබලාගේ භාරකාරයෙක්‌ මිස රජවරයෙක්‌ නොවෙයි. මම එදත් ඔබගේ හිතවතා, අදත් හිතවතා, හෙටත් හිතවතා, එදත් මහින්ද, අදත් මහින්ද, හෙටත් මහින්ද.

ජපන් අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය ආධාර මත ඉදිකිරීමට යෝජිත කොළඹ පිටත වට රවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩුවෙල කොට්‌ටාව පළමු අදියර සඳහා මුල්ගල තැබීම නිමිත්තෙන් පෙරේදා (07 වැනිදා) සවස කඩුවෙල කොතලාවල පැවැති ජන හමුව අමතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ සුරතින් මුල්ගල තබා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ජනහමුව පැවැතියේ පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදීය.

එහිදී වැඩිදුරටත් ජනහමුව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

ගිය මැතිවරණය පවත්වපු දවසේ නාම යෝජනා පත්‍ර අත්සන් කළෙත් මේ කඩුවෙල භූමියේ ඉඳලා. මේක ජයග්‍රාහී ස්‌ථානයක්‌. ඉතිහාසයේ කොළඹ නගරය මුල්කරගෙන තමයි නායකයෝ බිහිකර ගත්තේ. පහසුකම් ලබාදුන්නෙ කුරුඳුවත්තට කිට්‌ටුව පවුල්වලට. මේ සියලු පිරිස්‌ එන්න පටන් ගත්තේ කොළඹට. ඒ නිසා තමයි එදා කොළඹට කිරි ගමට කැකිරි කියල ගමේ තරුණ තරුණියෝ කෑගැහැව්වේ. එහෙම කාලයක්‌ අපට තිබුණා.

නමුත් අපි අද ක්‍රමානුකූලව කොළඹ නගරයේ පහසුකම් ගමටත් රැගෙන ගියා. එනිසා අද ගමට කිරි කීවත් වරදක්‌ නැහැ. එදා උද්ඝෝෂණය කරපු උදවිය ගමට ගිහිල්ලා කැකිරි කියල බෝඩ් ගහපු. ගමේ ඉස්‌කෝලෙට ගිහිල්ල පන්ති වර්ජනය කරපු නායකයෝ අද කොළඹ හතේ නායකයින්ගේ පස්‌සේ එල්ලිලා වටේ කැරකෙන එක තමයි අපට කණගාටුව.

හැබැයි අපි එවැනි යුගයක්‌ ඇති නොවන්න තමයි මේ වගේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට මුල්ගල තියන්නේ. එදා ඉඳලා තිබුණු මේ කොළඹ සිතියම වෙනස්‌ කළා. නගර සිතියම වෙනස්‌ කළා. දක්‍ෂිණ ලංකාවේ ඉඳලා මාර්ග පද්ධතියක්‌ කොළඹට එනවා. කටුනායකට යන මගීන් මේ මාර්ගය ඔස්‌සේ කොළඹ මග හැරලා කටුනායකට ඉක්‌මනින් යනවා. එදා මිනිස්‌සු හිතුවේ ගුවන් තොටුපල සහ වරාය ගැන විතරයි.

අද අපේ ගම් පළාත්වල පාරවල් හදනවා. ප්‍රාදේශීය සභාව කොන්ක්‍රීට්‌ දානව. ගම නැඟුම ඇතිවනවා. ආණ්‌ඩුව ප්‍රධාන පාරවල් ටික හදනවා. "ඒ" වර්ගයේ "බී" වර්ගයේ පාරවල් ඉදිවෙනවා.

අද මුළු ලංකාවේම පාරවල් කිලෝ මීටර් 95000 ක්‌ විතර තියෙනවා. මේ අතරින් 75% ක්‌ ගමේ පාරවල්, ගමේ පාරවල් හදන්න අද ප්‍රාදේශීය සභාවලට ගමේ අයට බලය දීලා තියෙනවා. ගමත් එක්‌ක මේ විදිහට වැඩකරගෙන යනවා. අද ගමේ පාරවල් හදන්න පෙත්සම් ගහන්න ඕනෑ නැහැ. ගම තීන්දු කරනවා පාර හදන්න.

"ඒක හින්දා සහෝදරවරුනි, අපි ගම විතරක්‌ නොවෙයි ගමේ පාරවල් ටික විතරක්‌ නොවෙයි, මග නැඟුම, ගමනැඟුම විතරක්‌ නොවෙයි මේ රටේ මිනිසුන්ට අපේ රටක්‌ කියන එක නිදහස්‌ කරලා දුන්නා.

අවුරුදු 30 ක්‌ තිස්‌සේ ඇදී ආ කොටි ත්‍රස්‌තවාදය අපි අවසන් කළා. එදා ඒකට තමුන්නාන්සේලා මට වරම දුන්නා. මහින්ද චින්තනය ජයග්‍රහණය කෙරෙව්වා. මහින්ද චින්තනය ගැන පැහැදිලි ලෙස ජනතාවගේ බලාපොරොත්තුව තියෙනවා. අනාගතේ මේ රට සංවර්ධනය කරාගෙන යන්න මේ රට නිදහස්‌ කර ගන්න ජනතාව අපට වරම් දුන්නා.

මගෙන් කවුරුවත් ඇවිත් ඉල්ලුවේ නැහැ පාරක්‌ හදල දෙන්න කියලා. මේ රට උතුරු නැගෙනහිර බේරා දෙන්න කියලයි ඉල්ලුවේ. ගිවිසුම් අත්සන් කරලයි මේව වෙන් කරල තිබුණේ. ගිවිසුම අහෝසි කරලා එහෙ හිටපු අය යවලා මානුෂික මෙහෙයුම ඉදිරියට යන්න අපි පියවර ගත්තා.

ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් මේ ගෞරවය ලැබිය යුතුයි. මේ කොළඹ නගරය බේරිලා තිබුණේ පොලිසිය කටයුතු කරපු ආකාරය නිසා.

රටේ ජනාධිපතිවරයා, අග්‍රවිනිශ්චයකාරවරයා, කථානායක, අගමැති, ඇමැති, මහ ඇමැති, පළාත් සභා ඇමැතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් පටන් ගත්තොත් ජනාධිපති ලේකම් ඇතුළු අනෙක්‌ සියලු දෙනාම දෙපාර්තමේන්තුවල නායකත්වය දරන උදවිය.

ත්‍රිවිධ හමුදාවත් එක්‌තරා දෙපාර්තමේන්තුවක්‌. නාවික, ගුවන්, පාබල මේ සියලු දෙනා මේ ලිස්‌ට්‌ එකේ 26 වැනියා. නැතිනම් 24 වැනියා. ලේකම්වරයා එක පාරටම ඉහළට එනවා. ඒ ඉහළ තැනක්‌ දෙන්න ගිහිල්ල අපි දැන් බැනුම් අහනවා. ඒක මට කරන්න දෙයක්‌ නැහැ.

අපි හුඟක්‌ වෙලාවට උදව් කරන අය අපිට එහෙම කරනවා. ඒ නිසා ඒක ගැන පුදුමවෙන්න කාරණයකුත් නොවෙයි. අපගේ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යනවා. මේ රටේ පාරවල් ටික හැදුනේ නැත්නම් ප්‍රදේශය දියුණු වුණේ නැත්නම් රටේ අනාගත දරුවන්ට උතුරේත් දකුණේත් ගමන් කරන්න බැහැ. මේ ප්‍රදේශය සාමයෙන් තියා ගන්න බැහැ.

උතුරේ සාමය උදාකරන්නට, කොටි ත්‍රස්‌තවාදය විනාශ කළා. දුක්‌විඳින දෙමළ ජනතාව නිදහස්‌ කර ගත්තා. ත්‍රිවිධ හමුදාව තමයි ඒක කළේ. අපේ ප්‍රදේශයේ ඉන්නව අත් දෙකින්ම වෙඩි තියන්න පුළුවන් උදවිය. හැබැයි අපට පුරුදු නැහැ වෙඩි තියන්න. පුළුවන් මිනිහට තමයි තුවක්‌කුව දෙන්නෙ. ඒක ඒ අය ලබා ගන්න ජයග්‍රහණය. අපි කාටවත් ගරහන්නෙ නැහැ. ඒ සියලු දෙනාම මේකේ කොටස්‌කාරයෝ. ජනතාවත් කොටස්‌කාරයෝ. ඔබතුමාලා කෑ ගැහැව්වා නම් උද්ඝෝෂණය කළා නම් මේ ජයග්‍රහණ කරන්න පුළුවන්ද? බැහැ. අපි දුන්න ශක්‌තිය තුළින් හැරෙන්න බැහැ. ඉස්‌සරහට යන්නම ඕනෑ.

ලෝකේ හැම තැනින්ම අපිට බලපෑම් ආවා. අපිට හැම නායකයෙක්‌ම කතා කළා. නියෝජිතයෝ ආවා. යුද්ධය නතර කරන්න. මේවා විසඳන්න වෙන ක්‍රම තියනව කියලා කිව්වා.

අවුරුදු 30 ක්‌ බැරි වෙච්ච විසඳුම අපට පුළුවන් කියන එක පැහැදිලිවම ලෝකයට දෙන්න අපට පුළුවන් වුණා.

මේවාට සල්ලි හොයන්න ඕනෑ. බැංකු කඩා හැලෙන විට ගෝල්ඩන්කී එක, සෙලාන් බැංකුව කඩා හැලෙන කොට ඒක ආණ්‌ඩුවට ගන්න අපි කටයුතු කළා. ඒකෙන් බැංකු ක්‍ෂේත්‍රය අපි බේරා ගත්තා. කළමනාකරණය කළා.

තෙල් බැරලය ඩොලර් 148 ට යන කොට ඉරානයට ගිහිල්ල ඒක කළමනාකරණය කරන්න අපට සිද්ධ වුණා. ආහාර හිඟය එන කොට අපිට වගා ග්‍රාමයක්‌ ඇති කරල ලෝකය හරහා එන ආහාර හිඟයට මුහුණ දෙන්නට ජනතාව කුසගින්නෙන් තබන්නෙ නැතුව අපි බේරා ගත්තා.

අපිට ආව අභියෝග ලෝකයේ ආර්ථිකය කඩා වැටෙන කොට ඇමරිකාවේ රස්‌සාවල් නැති වෙනකොට අපිට පුළුවන් වුණා මේ රටේ රස්‌සාවල් දෙන්න.

එක්‌සත් ජාතික පක්‍ෂය කිව්වේ ඔවුන්ගේ ආර්ථිකය ප්‍රතිපත්තියට අනුව ආණ්‌ඩුවේ සේවකයෝ ලක්‍ෂ 6 කට අඩු කරනව කියලා. අපි රස්‌සා ලක්‍ෂ 12 ට වැඩි කළා. ඒක හින්ද සමහරු අපේ ආර්ථික ක්‍රමය එපා කියනවා.

ඒ අය විදුලිය 2010 කපනවා කිව්වා. ඒත් එදා නවත්තලා දාල තිබිච්ච නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ අපි නැවත ඇති කරල කෙරවලපිටිය ආරම්භ කරල ඒකෙනුත් අපි විදුලිය පද්ධතියට විදුලිබලය එකතු කර ගත්තා.

මේවා රටේ අනාගත සංවර්ධනයට. අද ගැන විතරද අපි හිතන්නේ. අද ගැන හිතල හෙටක්‌ ගැන හිතන්නෙ නැද්ද? හෙට නොවෙයි තව අවුරුදු 20 ක්‌ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න තමයි වරායන් 5 ක්‌ අප හදන්න පටන් ගත්තේ. පාරවල් ටික හදන්න පටන් ගත්තෙ. දැන් ඉතින් වරායක්‌ හදන්නත් හොඳ නැහැ. පාලම් බෝක්‌කු හදන්නත් හොඳ නැහැ. පාරේ කාපට්‌ දාන්නත් හොඳ නැහැ. කොන්ක්‍රීට්‌ දාන්නත් හොඳ නැහැ. මොකද ඒ ඔක්‌කොම කරන්නෙ රාජපක්‍ෂ සමාගම. ඒ අය කියන්නෙ ඒකේ කොන්ත්‍රාත් ගන්නෙ මමයි කියලා. මේ මොන කුණුහරුපයක්‌ද?

"මම මේ මඩවලට උත්තර දෙන්න යන්නෙ නැහැ. මඩවලට උත්තර දෙන්න ගියොත් නිකං මමත් මඩකරියෙක්‌ වෙනවා. මට එහෙම වෙන්නෙ ඕනෑ නැහැ. ඒක හින්දා සහෝදරවරුනි මේ රටේ ජනතාව මාව තවම අඳුරනවා. මේ රටේ ජනතාව අවුරුදු 40 ක්‌ මාව හඳුනනවා. මේ පාරවල්වල, පාරවල්වල ඇවිදිලා ඒ තැන්වල ලැගලා පාර තොටේ හැම තැනම ගිහිල්ල ගමේ පාරේ විතරක්‌ නොවෙයි මේ නගරයේ පාරවල්වල හිටපු මිනිහෙක්‌ විදිහට මම හඳුනනවා මේ රටේ ජනතාව.

අවුරුදු 40 ක්‌ තිස්‌සේ හඳුනන ජනතාවක්‌ ඉදිරියේ අද මම කතා කරන්නෙ. මාව අමුතුවෙන් හඳුනලා දෙන්න ඕනෑ නැහැ.

මහජනතාව අතරින් පිරිසක්‌( ඔබතුමයි අපේ මහරජතුමා.

ජනාධිපති( නැහැ නැහැ මම ඔබලාගේ භාරකාරයෙක්‌ මිස රජවරයෙක්‌ නොවෙයි. එදත් ඔබගේ හිතවතා, අදත් ඔබේ හිතවතා, හෙටත් ඔබගේ හිතවතා කියන එක මතක තියා ගන්න. එදත් මහින්ද, අදත් මහින්ද, හෙටත් මහින්ද.

ඒ වගේම තමයි අදත් මම මගේ මවු බිමට ආදරෙයි. එදත් ආදරෙයි. හෙටත් මවු බිමට ආදරෙයි. අපේ පළමුව මවු බිම, කියන එක මම පැහැදිලිවම කියනව. මේක නිදහස්‌ කරල දුන්න තමුන්නාන්සේලාට, දැන් මට යුතුකමක්‌ තියනව තමුන්නාන්සේලාගේ දරුවන් වෙනුවෙන් මේක සංවර්ධනය කරල දෙන්න. රටට සුබ අනාගතයක්‌ ඇති කරන්න. අන්න ඒ සුබ අනාගතය මේ මවු බිමට ළඟා කර දෙන්න මම තමුන්නාන්සේලා එක්‌කත් තමුන්නාන්සේලා මමත් එක්‌ක අත්වැල් කරගෙන ඉදිරියට ගමන් කරනවා කියන එක ගැන මට විශ්වාසයි.

අද මේ අධිවේගී පාර ආරම්භ කළා. ඒ වගේම මේ පාර විවෘත කරන්නෙත් මහින්ද රාජපක්‍ෂ කියල මම පැහැදිලිවම කියනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. පවුසි මහතා - මේ බුද්ධදාස ක්‍රීඩාංගණයට ප්‍රථම වතාවට මේ තරම් ජනතාවක්‌ එකතුවෙලා ඉන්නෙ අපේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාව දෙවන වරටත් මේ රටේ ජනාධිපති හැටියට පත් කරන්න බව මා සතුටින් ප්‍රකාශ කරන්න ඕනෑ.

මම මහාමාර්ග ඇමැති වෙලා හිටිය කාලෙ කොළඹට - මාතර සිට අධිවේගී මාර්ගය ආරම්භ කළා. ඒකෙන් කොටසක්‌ තමයි අද කොට්‌ටාව සිට කඩුවෙල දක්‌වා කොළඹ වටරවුම් මාර්ගය ආරම්භ කරමින් ජනාධිපතිතුමා මුල්ගල තැබුවේ.

මේ ව්‍යාපෘතිය මිලියන 27000 ක්‌ වියදම් කරල ඉදිකෙරෙන්නෙ අද ජනතාවගේ අවශ්‍යතාව හොඳට තේරුම් අරගෙන වැඩ කරපු අපේ ජනාධිපතිතුමා ලබන මාසේ 28 වැනිදා වන විට ඉර පායනවා විශ්වාස වගේ දෙවන වරට විශාල ජනවරමක්‌ ලබා අපේ නායකයා බවට පත් වෙනවා."

අද ජනාධිපතිතුමාට තරගයක්‌ නැහැ. විපක්‌ෂයෙන් ඉදිරිපත් කරල තියනවලු සුළු අපේක්‌ෂකයෙක්‌. එතුමා දේශපාලනය කියන්නෙ මොනවද කියල දන්නෙ නැහැ. එතුමාට පක්‌ෂයක්‌ නැහැ.

ජනාධිපති ක්‍රමය අහෝසි කරනවලු. මේක කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ අවසරය ඕනෑ.

කඩුවෙල ප්‍රාදේශීය සභා සභාපති සමස්‌ත ලංකා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ජී. එච්. බුද්ධදාස මහතා - අද කඩුවෙල ජනතාවට මහත් ආඩම්බරයකට පත් විය හැකි දිනයක්‌. කඩුවෙල ආසනයට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැමිණිලා වටරවුම් පාරට මුල්ගල තැබීම කඩුවෙල ජනතාවගේ ආදරයට ගෞරවයට පත්වූ අවස්‌ථාවක්‌.

මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා අවුරුදු 04 ක කෙටි කාලයක්‌ තුළ මේ රටේ රාජ්‍ය නායක නායිකාවන් හතරපස්‌ දෙනකුට කරන්න බැරි වෙච්ච අති බිහිසුණු යුද්ධයක්‌ අවසන් කරලා ඒ වගේම රට සංවර්ධනයද කළා.

අද කඩුවෙල ආසනයේ හැම ගමකම - හැම පාරකම කොන්ක්‍රීට්‌ දාන්න අපට පුළුවන් වුණේ මහින්ද චින්තනයේ ශක්‌තියෙන්. අද අපි මහින්ද චින්තනය යථාර්ථයක්‌ බවට පත් කරවමින් කඩුවෙල සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මග පෙන්වීම යටතේ ඒ කටයුතු සිදු කර තියනවා.

කඩුවෙල ආසනය තමයි ලංකාවෙන්ම වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ තියන ආසනය. "ජනාධිපතුමනි, ඔබතුමාට අපේ කඩුවෙලින් අසූ දහසක ඡන්ද ප්‍රමාණයක්‌ නියත වශයෙන්ම ලබාදෙනවා. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා මෙවර ජයග්‍රහණය කරන්නේ 65% කට අධික ජනවරමකින් කියල මම කියනව.

නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා - අපි එකතුවන්නේ ජනාධිපතිතුමා අපේ රටට විජයග්‍රහණය ලබා දුන්න කාල පරිච්ඡේදයේ, ලක්‌ ඉතිහාසයේ රට එකසේසත් කිරීමට, බෙදුනු රට බෙදී යැමට ඉඩ නොදී එක්‌ සේසත් කිරීමට, රන් අකුරෙන් ලියෑවෙන ඉතිහාසයේ වංශ කතාවට නායකත්වය දුන්නෙ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතායි.

එතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්‌සෙ මාතෘ භූමිය ආරක්‌ෂා කිරීමත්, මාතෘ භූමියේ ජනතාවට එක රටක්‌ විදිහට පවතින්නට පුළුවන් තීරණය ගැනීමේ මහා අභියෝගයට කර දුන්න. එතුමා සේනාධිනායකයා හැටියට ඉදිරියට ගමන් කරන නියෝගය නොදුන්න නම් වෙන කාටවත් ඒ නියෝගය දෙන්න බැහැ.

ජනාධිපතිවරු තුන් දෙනෙක්‌ හිටියා ඉස්‌සරහට යන කොට ආපහු යන්න කියල නියෝගය දුන්න. ඒත් ඉදිරියටම යැමේ නියෝගය දුන්නෙ අභියෝගයෙන් අභියෝගයට මුහුණ දුන් මේ අපේ ජනාධිපතිතුමා පමණයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයේ අපේක්‌ෂක ලෙස ඇප මුදල් තැන්පත් කරපු දිනයේම කඩුවෙල ආසනයට පැමිණීම ගැන කඩුවෙල ජනතාව වෙනුවෙන් මගේ ගෞරවය පුදකරනවා.

කඩුවෙල ආසනය ලංකාවේ තනි ආසනයක වැඩිම ඡන්ද තියන කොට්‌ඨාසයක්‌. එය එක්‌ ලක්‌ෂ පනස්‌ නව දහසක්‌, අපි කඩුවෙල ආසනයෙන් 70% කට ඉහළ ඡන්ද ප්‍රතිශතයක්‌ මෙවර ජනාධිපතිතුමාට ලබා දෙනවා.

ජාතික නිදහස්‌ පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා - ජනාධිපතිවරණයකට රට යොමු වෙලා තියන වෙලාවෙ ඉතිහාසයේ පළවෙනි වතාවට අලියා ජනාධිපතිවරණයට එන්නෙ නැතිව කර ඇරලා තියන වෙලාවෙ, මේ ටික කියන්න ඕනෑ. අලිය මෙච්චර කල් හොම්බෙන් ගියා. මග ඇරල ගියේ නැහැ. හොම්බෙන් ගියත් අලිය වගේ හිටියා. සත්ව සන්හතියෙ ඉන්න බලසම්පන්නම සතා තමයි අලියා.

ලෝකයේ ත්‍රස්‌තවාදී රැළේ හිටිය බලසම්පන්නම ත්‍රස්‌තවාදියා කම්මුතු කරලා මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට එන කොට මෙච්චර කාලයක්‌ බිම අත හැරියෙ නැති අලියා මාරු වුණා. අලියට බැරි වැඩේ කරන්න කොහෙවත් ඉන්න කුරුල්ලෙකුට පුළුවන්ද? අද අලියා සටන් බිම මග හැරල තියන වෙලාවක්‌. වික්‍රමසිංහ මහත්තයා බැලුවා අලිය දාල මේ වැඩේට නිකං නෝන්ඩි වෙන්න ඕනෑ නැහැ කියලා. දැන් ඒ කුරුල්ල වටේ ජනතා විමුක්‌ති පෙරමුණේ සීනුවයි ඔක්‌කොම එල්ලලා.

ලෝකයේම බලසම්පන්න විනාශකාරී ත්‍රස්‌තවාදය පරාජය කරලා 2005 ජනාධිපතිවරයා ජනවරමෙන් සැබෑ අර්ථය නිර්මාණය කළ නායකයෙක්‌ හැටියටයි ජනාධිපතිතුමා ජනාධිපතිවරණයකට ඇවිල්ල ඉන්නෙ."

"දැන් කියනව මේක ඒකාධිපති ආණ්‌ඩුවක්‌ලු. ප්‍රජාතන්ත්‍ර විරෝධීලු. කොටි ත්‍රස්‌ත නායකයන්ගේ ප්‍රජා අයිතිය නැති කළාද නැහැ. අර අසූවේ වැඩ වර්ජකයන්ට බයිසිකල් ෙච්න් වලින් ගැහුවද? නැහැ. අසූ තුනේ කළු ජූලිය ඇති කළා වගේ මේ රටේ දෙමළ ජනතාවට පීඩාකාරී දේ කරනවද? නැහැ. දේශපාලන පක්‌ෂ තහනම් කළාද? නැහැ. මැතිවරණ සිතියම අකුලලා දැම්මද? නැහැ.

ප්‍රජාතන්ත්‍ර විරෝධීයි කියල කියන්නෙ මොකද? මේ රටේ හිටපු මිනීමරු පැසිස්‌ට්‌වාදී ත්‍රස්‌තවාදී ව්‍යාපාරයට ගැලපෙන භාෂාවෙන් කතා කරලා ඉවරයක්‌ කරපු හින්දයි.

මහාමාර්ග ඇමැති ටී. බී. ඒකනායක, නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක, ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ, විදේශ කටයුතු පිළිබඳ ඇමැති රෝහිත බෝගොල්ලාගම, නිවාස ඇමැති ගීතාංජන ගුණවර්ධන, සමුපකාර වෙළෙඳ ආහාර ඇමැති බන්දුල ගුණවර්ධන, බස්‌නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්‌ටර් බෙත්මගේ, මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌ වූහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v