විද්වත් හමුව

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ ඇති කිරීම
හමුදා නායකයකුට බාරදීම
භයානක හා අවදානම් දෙයක්‌!
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමනසිරි ලියනගේ

සාකච්චා කළේ පාලිත සේනානායක

යුද හමුදාව දේශපාලනයෙන් වෙන්කර තැබීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය දෙයක්‌ ලෙස ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් මුල් බැසගත් මතයකි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය විශේෂ හා වෙනස්‌ මැතිවරණයක්‌ වෙයි. මේ විශේෂ වෙනස රටේ අනාගතයට කෙබඳු බලපෑමක්‌ ඇති කරයිද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමනසිරි ලියනගේ කරන විග්‍රහයකි මේ.

එක්‌සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. මේ සම්බන්ධය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

මේ දෙපක්‍ෂය අතර ප්‍රතිපත්තිමය සම්බන්ධයක්‌ නෑ. මේ දෙපක්‍ෂය එකට කටයුතු කරන්නේ ජනාධිපති තනතුර අහෝසි කිරීමටත් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමටත් පමණයි. නමුත් ජනාධිපති තනතුර අහෝසි කිරීම පහසු කාරණයක්‌ නෙමෙයි. යම් හෙයකින් ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළොත් මේ ප්‍රශ්නය කොයි අතට යයිද කියල හිතාගන්න බැහැ. විධායක ජනාධිපති තනතුර සහ 13 වැනි ව්‍යවස්‌ථාව පිළිබඳ පැහැදිලි තත්ත්වයක්‌ ප්‍රකාශ වී නැහැ. එම නිසා මේ පක්‍ෂ දෙක එකතුවී රට ගෙනයන්නට උත්සාහ කරන්නේ අවිනිශ්චිත තැනකටයි.

දේශපාලන බල ව්‍යqහයේ ඡන්දයෙන් පත් කෙරෙන ප්‍රධානම තනතුරට හමුදාවන්ට සම්බන්ධ කෙනෙකු ඉදිරිපත් වීම මෙවර ජනාධිපතිවරණයේ දැකිය හැකි විශේෂ හා වෙනස්‌ ලක්‍ෂණයක්‌. මෙය ඔබ දකින්නේ කෙසේ ද?

මා කැමතියි ඔබේ ප්‍රශ්නයට තවත් යමක්‌ එකතු කොට මගේ පිළිතුර ගොනුකරන්න. ජනපති හෝ අග්‍රාමාත්‍ය තනතුරට හමුදාපතිවරයකු ඉදිරිපත්වීම මෙරටට හා ඉන්දියාවට ඔබ සඳහන් කළ පරිදි අලුත් දෙයක්‌. මක්‌නිසාද හමුදාව දේශපාලනයෙන් වෙන්කර තැබීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය දෙයක්‌ ලෙස මෙම රටවල් දෙකේම මුල් බැස ගත් මතයක්‌. මෙවර ජනාධිපති ඡන්දයේ අනෙක්‌ නවමු ලක්‍ෂණය නම් ප්‍රථමවරට මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක්‌ තමන්ගේ අපේක්‍ෂකයකු ඉදිරිපත් නොකිරීමයි. වඩා නිවැරැදිව කියන්නේ නම් අසමත්වීම 1982 සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය නැතිවීම නිසා ඇයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නීතිමය වශයෙන් නොහැකි වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එවැනි තත්ත්වයකට වැටුණේ නැහැ. තම ප්‍රධාන නායකයා රටේ ඡන්දයෙන් පත් කෙරෙන ප්‍රධාන තනතුරට තරග කිරීම ප්‍රධාන පක්‍ෂ දෙක මෙතෙක්‌ පවත්වාගත් සාමාන්‍ය පුරුද්දක්‌. දේශපාලන පක්‍ෂයක සංවිධාන රාමුවක්‌ තුළ කෙනෙකු පෙනී සිටින විට එමගින් අපේක්‍ෂකයා කවරකු වුවත් ඇය හෝ ඔහු ක්‍රියාත්මක වන්නේ අප දන්නා හා හඳුනාගත් ප්‍රතිපත්ති මාලාවක්‌ හා වැඩ රාමුවක්‌ සමඟයි.

සරත් ෆොන්සේකා පිළිබඳ ප්‍රශ්නය වන්නේ ඔහු දේශපාලන තලයට අහසින් පහත් වූවකු වීමයි. සංකීර්ණ සමාජ දේශපාලන ගැටලු අබියස ඔහු කෙසේ ක්‍රියා කරයිද යන්න ගැන අපට කළ හැක්‌කේ සමපේක්‍ෂණයක්‌ පමණයි. ජනතාවට මැතිවරණයකදී එවැනි අයුරින් කටයුතු කරන්න බැහැ.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට එන්නේ හමුදාවෙන් හදිසියේ විශ්‍රාම ගත්තකු හැටියටයි. ඔහුගේ දේශපාලන ආගමනය ඔබ විග්‍රහකරන්නේ කොහොමද?

මෙතනදී ඔහු ළඟදී කළ ප්‍රකාශ දෙකක්‌ බෙහෙවින් වැදගත් යෑයි මා සිතනවා. පළමුවැන්න ජනාධිපතිවරයාට සරත් ෆොන්සේකා යෑවූ අස්‌වීමේ ලිපියේ කර තිබූ සඳහන. ඔහු එහි සඳහන් කරනවා හමුදා කුමන්ත්‍රණයක්‌ මගින් වර්තමාන ආණ්‌ඩුව පලවා හැරීමට තමා ක්‍රියා කරන්නේය යන සැකයක්‌ ආණ්‌ඩුවේ ඉහළ කොටස්‌ අතර පැවතුණු බව. ඉන්දියානු රජයට පවා එය දන්වා තිබූ බව ඔහු එහි සඳහන් කරනවා. මෙය සනාථ කරන්න ඔහු කිසිම සාක්‍ෂියක්‌ ඉදිරිපත් කර නැහැ. දෙවනුව ඔහු තම අපේක්‍ෂකත්වය ප්‍රකාශයට පත් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා තමන්ට අවශ්‍ය නම් නන්දිකඩාල් අල්ලා ගත් වහාම කොළඹටත් හමුදා ගෙන ඒමට හැකි කමක්‌ තිබුණු බව මෙය පම්පෝරි කතාවක්‌ විය හැකියි. නමුත් ප්‍රශ්නය මේ ප්‍රකාශන දෙකේ හරි වැරැදි බව නොවේ. වසර විසිපහකට ආසන්න කාලයක්‌ පැවැති යුද්ධය නිසා නිර්මාණය වූ තත්ත්වයක්‌ මෙයින් පෙනෙනවා. විශේෂයෙන් පසුගිය වසර තුන හතර තුළ නිර්මාණය වු තත්ත්වයක්‌.

මේ තත්ත්වයේ පැතිකඩ දෙකක්‌ තිබෙනවා. පළමුවැන්න ආරක්‍ෂක හමුදාව මෙරට දේශපාලන ජීවිතයේ කිසියම් ආධිපත්‍ය තත්ත්වයකට පත්වීම. එනම් තීරණ ගැනීමේ දී යුද්ධය ගැන සිතිය යුතු වුණා පමණක්‌ නොව හමුදා නායකයන් එම ක්‍රියාවලියට සම්බන්ධ කර ගන්නටත් සිදු වුණා. අද වෙනතුරු මෙය සිදු වූයේ සිවිල් නායකත්වයක්‌ යටතේයි. එය පෙන්වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ තවමත් ශේෂ වී ඇති ශක්‌තියයි. කෙසේ වුවත් යුද්ධය හමුදා ප්‍රභූන්ට ස්‌වාධීනත්වයක්‌ හා දේශපාලන බලයක්‌ ලබා දුන්නා. දීර්ඝ යුද්ධයක්‌ පැවැති තත්ත්වයක මෙසේ වීම ස්‌වභාවිකයි.

දෙවැනි කාරණය පසුගිය වසර හතර තුළ විශේෂයෙන් යුද ජයග්‍රහණ සමඟ හමුදාව කෙරෙහි ජනාදරයක්‌ පොදුවේ ඇති වුණා. ඇත්තටම මාධ්‍ය මේ තත්ත්වය නිර්මාණය කළා කිව්වොත් එය වඩා නිවැරැදියි. එය හමුදාවන්ට අනික්‌ පැත්තෙන් ඇති කළේ ලොකු හයියක්‌. භාතිය සන්තුෂ් වැනි නව පරපුරේ ගායක ගායිකාවන් පවා මෙම කටයුත්තට හවුල් වුණා. එමෙන්ම එයට ආණ්‌ඩුවේ අනුබලය ද ලැබුණා. යුද්ධය දිනීම මෙවන් සැවොම දායක වූ සාමූහික පරිශ්‍රමයක්‌ හැටියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කළ ප්‍රකාශය සත්‍යයි. මෙම තත්ත්වයන් ස්‌වාභාවික වූවා පමණක්‌ නොවේ යුද අවදියේ එහි ධනාත්මක බවක්‌ තිබුණා. එහෙත් එහි අනතුරක්‌ තිබුණා. හමුදාවේ නායකයන් කොටසක්‌ කල්පනා කර තිබුණා ඇත්තටම හමුදා කුමන්ත්‍රණයකට යැමට. සරත් ෆොන්සේකාගේ කතාව එය තහවුරු කරනවා.

ඔබ කියන්නේ හමුදා කුමන්ත්‍රණයකට ඉඩක්‌ තිබුණු බවක්‌ද?

මට එවැන්නක්‌ තහවුරු කරන්න තොරතුරු නැහැ. මා කියන්නේ යුද තත්ත්වය එවැන්නකට න්‍යායාත්මක ඉඩකඩක්‌ ඇති කළ බවයි. එම න්‍යායාත්මක ඉඩකඩ තේරුම් ගත්විට සිවිල් නායකත්වය එය වැළැක්‌වීමට පියවර ගන්නවා. එමනිසා න්‍යායාත්මක ඉඩකඩ භාවිතයට නොනැගෙන්න පුළුවන්.

ඔබ කියන්නේ එම න්‍යායාත්මක ඉඩකඩ භාවිතයට නැගෙන්නට තිබූ ඉඩ සිවිල් නායකත්වය විසින් අහුරනු ලැබීම නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්ද මාවතට ආ බවක්‌ ද?

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ දෙස හැරී බලන්න. යුද්ධය අවසන් වීමත් සමග සරත් ෆොන්සේකා ජෙනරාල් තනතුරට උසස්‌ කොට ඒකාබද්ධ විධාන මණ්‌ඩලයේ ප්‍රධානියා බවට පත් කළා. එපමණක්‌ නොවේ එම තනතුරෙහි බලතල පනත් සංශෝධනයකින් වැඩිකරනු ලැබුවා එහෙත් සරත් ෆොන්සේකා සඳහන් කරනවා තමාට ලැබුණු බලතල හමුදා තුනෙහි කටයුතු සම්බන්ධීකරණය කිරීම පමණක්‌ බව. ත්‍රිවිධ හමුදා එම හමුදාවන්ට අදාළ තීරණ වෙනමම ස්‌වාධීනව ගැනීම දිගටම සිදු වූ බවයි. ඔහු ඉදිරිපත් කරන චෝදනාව. මෙයින් ඇඟවෙන්නේ කුමක්‌ද? සේනාධිපති ලෙස ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයාගේ බලය ඔහුට නාමිකව ඉතිරි කර එම බලය තමන් අතට ගැනීමට ඔහුට තිබූ උවමනාවයි. වෙනත් වචනවලින් කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අනිවාර්ය චරිතාංගයක්‌ වන මිලිටරි බලය සිවිල් බලයට යටත්ව පවත්වා ගැනීම අහෝසි කිරීම සරත් ෆොන්සේකාගේ උවමනාව වූ බවයි.

නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා පවසන්නේ ඔහු දේශපාලනයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට බවයි. ඔහුට සහය දෙන පක්‍ෂ පවසන්නේත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළ යුතු බවයි?

මම සමාජ විද්‍යාව හදාරන්නෙක්‌. අප නිගමනවලට එන්නේ කවරකු හෝ කියන දේ පමණක්‌ බලා නොවේ. චර්යා රටාවන්, ව්‍යqහයන්, පන්ති සම්බන්ධතාවල ස්‌වභාවයන් ගැන අප බලනවා. හැම ඒකාධිපතියකුම බලයට එන විට කියන්නෙ ඔය දේමයි. මුබාරක්‌ගේ ප්‍රකාශ ආපහු කියවල බලන්න. මම පුරුදුව ඉන්නේ දේශපාලකයන් පොරොන්දු වන දේ බොරු කියා හිතන්නයි. ඔවුන්ගේ ඇත්ත අරමුණු දැන ගන්න එම ප්‍රකාශන සිසාරා යන්නට අප දැනුවත් විය යුතුයි.

ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙස ෆොන්සේකා මහතාගේ ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳ ඔබේ මතය කුමක්‌ද?

මේ පිළිබඳ ඔහු සඳහන් කර තිබෙන්නේ ඔහු ක්‍රියා කරන්නට යන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආර්ථික වැඩපිළිවෙළ ණයට අරගෙනයි. එයින් අදහස්‌ වන්නේ 2002 රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව ගෙන ආ යළි පුබුදමු ශ්‍රී ලංකා කියන වැඩ පිළිවෙල හෝ රනිල් වික්‍රමසිංහගේ අනාගත අභියෝගය කියන වැඩ පිළිවෙල යෑයි මා සිතනවා. මෙය අපේ රටට ඉතාම අවැඩදායක නව ලිබරල් වට්‌ටෝරුවක්‌. එය රටට දියුණු කරන වැඩපිළිවෙලක්‌ නොවෙයි. එය රට අනතුරුදායක එකක්‌. මාස ගණනකට පෙර ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන කළ අධ්‍යයනයක වක්‍ර ආකාරයෙන් විවේචනය කරනවා ඈත පළාත්වලට සම්පත් වැය කරමින් සංවර්ධනයට ගන්නා උත්සාහය ඵලදායක නොවන බව. ඒ තමා නව ලිබරල් ආර්ථික මග. අපට අවශ්‍ය වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය කියන විදිහට ඒකේ එල්ලීම නොවේ එයින් කැඩීමයි.

තිස්‌වසරක යුද්ධයකින් නිදහස්‌ වූ රටක්‌ හැටියට ඔබ හිතන්නේ අද කළ යුතු දේ කුමක්‌ද?

මේ සාකච්ඡාවේදී මා මුලින් සඳහන් කළා යුද තත්ත්වය සමඟ ස්‌වාභාවයෙන්ම ඇති වූ ප්‍රවණතාවක්‌ ගැන යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් ගත් විට එම ප්‍රවණතා යම් ධනාත්මක කාර්යභාරයක්‌ කළ බවත් අප දුටුවා. එම තත්ත්වයන් දිගින් දිගටම පවත්වා ගත යුතු බවක්‌ එයින් කියෑවෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම පශ්චාත් යුද තත්ත්වය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පවත්වා ගැනීමට මෙම තත්ත්වයන් ආපසු හැරවීම අවශ්‍යයි. අද ඇති අභියෝගය නම් යුද්ධය අවසන් වීම මගින් ඇති කෙරුණ අවකාශය නිවැරැදිව තේරුම්ගෙන ආර්ථික සංවර්ධනය සඳහා නිවැරැදි මාවත් තෝරා ගනිමින් සියලු ජාතීන්ට සමාන හා සාධාරණ අයිතීන් ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ ඇති කිරීමට කටයුතු කිරීමයි. ඒ කටයුත්ත මිලිටරි නායකයකුට බාරදීම භයානක අවදානම් දෙයක්‌.

 

 
Powered By -