|

මෙන්න තවත් වාර්තාවක්!
අපේ මිනිස්‌සු වාර්තා තැබීමට රුසියෝය. වාර්තා තැබීම හෙවත්
වාර්තාගතවීම ද ලේසි පහසු දෙයක් නොවේ. ලෝකයේ සිටින විවිධ
මිනිසුන් හා ගැහැනුන් විසින් තබන ලද වාර්තා ඇතුළත් ප්‍රකට
ග්‍රන්ථයක් ද තිබේ. එය හැඳින්වෙන්නේ "ගිනස් වාර්තා" නමිනි.
ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහාම දුෂ්කර හා අසීරු දේවල් කරන
අය ද සිටිති.
ගිනස් වාර්තා පොතට ඇතුළත් වන අයගේ අරමුණ ප්‍රසිද්ධියයි.
ප්‍රසිද්ධිය සඳහා කෙරෙන දේවල්වලට උනන්දුවක් දක්‌වන අය මෙන්ම ඒවා
ගැන කිසිදු අවධානයක් යොමු නොකරන අය ද සිටිති. "අපට නම්
ප්‍රසිද්ධියක් ඕනෑ නෑ. කාටහරි සේවයක්, යහපතක් වෙනව නම් ඒ ඇති"
කියන අය ද සිටිති. අදත් සිටිති. එදාත් සිටියහ.
හොඳ වයින්වලට ප්‍රචාරයක් අවශ්‍ය නැතැයි යන බටහිර කියමනට පදනම්
වී ඇත්තේ ද කිසිවකුගේ හොඳ වැඩකට මෙන්ම හොඳ දෙයකට ද නිසැකයෙන්ම
ප්‍රසිද්ධියක් ලැබෙන බව විය හැකිය. සීගිරිය ඉදිකළ කාශ්‍යප
රජතුමාට තමන් කරන්නේ ලෝකයේම විස්‌මිත නිර්මාණයක්‌ය යන හැඟීම
නොතිබෙන්නට ඇත.
අපේ ඉතිහාසයේ එබඳු දස්‌කම්, විස්‌කම් කළ ශ්‍රේෂ්ඨ නරපතියෝ සහ
හපන්නුද වූහ. ඒවා දෙස බලද්දී ගිනස් වාර්තා මොන විහිළුවක්‌දැයි
කෙනෙකුට හැඟී යැමට ද බැරි නැත. එහෙත් ගිනස් වාර්තා පොතට යැමේ
දොළදුක් හා අසනීප නිසා පීඩා විඳින අය ද සිටිති. ගිනස් වාර්තා
පොතට ඇතුළත් වී මළත් කමක් නැතැයි සිතන අය ද සිටිති.
ගිනස් වාර්තා පොතට යැම ඉතා අහිංසක සිතිවිල්ලක් හෝ
ප්‍රාර්ථනාවක් විය හැකිය. එහෙත් ඒ සම්බන්ධයෙන් අපගේ ආස්‌ථානය
වන්නේ මිනිස් වර්ගයාට හෝ මානව සමාජයට හෝ කිසිදු ප්‍රයෝජනයක්
නැති වාර්තාවලින් ද ඵලක් නැති බවය. අපට හැඟෙන පරිදි ගිනස්
වාර්තා පොතේ ද එබඳු දෙලොවටම නැති වාර්තා බොහෝ තිබේ.
අද අප ගිනස් වාර්තා ගැන මේ තරම් කතා කළේ නිකම්ම නොවේ. ගිනස්
වාර්තා පොතට නොගියත් එයට ඇතුළත් විය යුතු වර්ගයේ වාර්තා ගැන මේ
රටේ ද බොහෝ විට ආරංචි වේ. අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්‍ෂේත්‍රයන් ඒ
අතින් වාර්තා ගත වන දේවල් කර තිබෙන බව අපගේ විශ්වාසයයි.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද ඇතැම් වාර්තා
ඉතා බරපතල හා මාරක ගණයට ද අයත් කළ හැකි ඒවායි. එහෙත් ඒවා
කුප්‍රකට වාර්තා ගණයට ඇතුළත් වන බව අපගේ අදහසයි. එසේම හිමිකරුවන්
නොමැති ඒ වාර්තා බොහොමයක්‌ම අපේ හිතවත් නිමල් සිරිපාල ද සිල්වා
හා සුසිල් ප්‍රේමජයන්ත යන යහපත් ඇමැතිවරුන්ගේ නමට ඇතුළත් කිරීම ද
සාධාරණ නැත. එහෙත් ඒ කුප්‍රකට වාර්තා බිහිවන්නට අවකාශ සලසා තිබීම
පිළිබඳව නම් අපට රණ්‌ඩුවක් තිබේ.
ඉකුත් 18 වැනිදාත් (18.12.2009) අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් ඒ වර්ගයේ
බරපතල වාර්තාවක් අපට ලැබිණි. එයින් කියෑවුණේ ගනේමුල්ල විද්‍යාකර
විදුහල් විභාග මධ්‍යස්‌ථානයට රැගෙන ගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ
ඉතිහාස ප්‍රශ්න පත්‍ර පාර්සලයක් මහ පාරේ තිබී හමු වූ බවය. මහමඟ
ගමන් කළ වාහනවලට යට වෙමින් තිබුණු එකී ප්‍රශ්න පත්‍ර පාර්සලය
කිසියම් ත්‍රිරෝද රියෑදුරකු විසින් සොයා ගන්නා ලදුව පසුව
ගනේමුල්ල පොලිසියේ මැදිහත්වීමකින් ද අනතුරුව විභාග මධ්‍යස්‌ථානයට
ලැබී ඇත.
කෙසේ හෝ එයින් සිදුවීමට ගිය බරපතල සිද්ධියක් වැළකී ගියේය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ යනු මේ රටේ ජාතික මට්‌ටමෙන් පැවැත්වෙන
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම ද සහිත විභාගයකි. එහෙත් ඒ වගකීම
නිසි ලෙස ඉටුකිරීමට ක්‍රමවේදයක් නැද්ද? අපේ අධ්‍යාපන බලධාරීහු
නම් බ්‍රහ්ම කතා දොඩන්නෝය. ඔවුන්ගේ කතාවේ ප්‍රමාණයට නොව එයින්
දශම ගණනකට තරම්වත් වැඩක් සිදුවේ නම් අපට මේ දේවල් ලිවීමට වන්නේ
නැත.
අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් නැති, සැලැස්‌මක් නැති බොහෝ
ක්‍රියාකාරකම් රටම දනී. ගිනස් පොතට නොගියත් ඒ වර්ගයේ දේවල් වෙනම
පොතක හෝ ලියා තැබිය යුතු බව අපට සිතේ. කුමක් වුවත් ඒවා යළි
සිහිපත් කර අධ්‍යාපන බලධාරීන්ගේ පිත ඇවිස්‌සීමට අපි උත්සාහ
නොකරමු. එහෙත් අපි එක් දෙයක් කියමු.
අධ්‍යාපනය යනු ජාතියකට මඟපෙන්වන්නා වූද ජාතියක ගමන් මඟ සකසන්නා
වූද බුද්ධිමතුන් සම්පාදනය කරන උතුම් සේවාවකි. ඒ සේවය වගකීමකින්
තොරව එපා වාහෙට හොදි බෙදීමක් බවට පත්ව තිබීම ජාතියේ අවාසනාවකි.
මේ සිද්ධියෙන් කියෑවෙන්නේ ද ඊට වඩා වෙනස් දෙයක් නොවේ.
අනෙක් අතට අධ්‍යාපනයේ තිබෙන කුදු මහා සියලු දෝෂයන්ම මෙම ප්‍රශ්න
පත්‍රය පිටින් හැරිය යුතු යෑයි අපි යෝජනා නොකරමු. එහෙත් මේ දේවල්
මේ මට්‌ටමට වැටී ඇත්තේ අධ්‍යාපනයේ ඉහළ සිටම තිබෙන නොසැලකිල්ලත්,
අවිධිමත්භාවයත් නිසාද යන්න අපි විමසමු.
|