1931 සිට අද දක්‌වා පවතින ඡන්ද කොට්‌ඨාස -22 බදුල්ල
කොමිසමෙන් අලූත් ආසනයක්‌!

ඌව පළාතේ අගනුවර වන බදුල්ල පුරවරය ඇතුළත් බදුල්ල ආසනය 1931 සිටම පවතී. තේ වතුවලින් වට වූ බදුල්ල රමණීය නගරයකි.

1931 පැවැති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මෙම බදුල්ල ආසනයට ඩී. එච්. කොතලාවල මහතා පත් වූයේ නිතරගයෙනි. මැතිවරණයෙන් පසුව ඒ මහතා එම මන්ත්‍රණ සභාවේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ කාරක සභාවේ ධුරයකට පත්විණි.

1936 වැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ඩී. එච්. කොතලාවල මහතා නැවතත් ආසනයට ඉදිරිපත් විය. ඔහුගේ එකම ප්‍රතිවාදියා වූයේ වී. සෝමසුන්දරම් මහතාය. මෙහිදී ඡන්ද 15795 ක්‌ ගත් ඩී. එච්. කොතලාවල මහතා සෝමසුන්දරම් මහතා පරදවා වැඩි ඡන්ද 8496 කින් බදුල්ල මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය. නමුත් ඔහුට අයත් "බ්‍රිඡ්විව්" ගොඩනැඟිල්ල බදුල්ල රජයේ සෞඛ්‍ය සේවා කාර්යාලයට බද්දට දී එයින් ලාභ ප්‍රයෝජන ලැබී යෑයි යන චෝදනාව මත ඉදිරිපත් වූ පෙත්සමක්‌ නිසා අධිකරණයෙන් බදුල්ල මන්ත්‍රී ධුරය අහෝසි විණි. නමුත් කොතලාවල මහතාට නැවතත් බදුල්ල ආසනය තරග කිරීමේ අයිතිය ලැබිණි. මේ නිසාම 1936.10.26 වැනි දින බදුල්ල අසුන වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමට දින නියම කර තිබුණි. නමුත් ඩී. එච්. කොතලාවල මහතා නිතරගයෙන් ම බදුල්ල මන්ත්‍රී ධුරයට පත්විණි. මෙහි විශේෂත්වයක්‌ වන්නේ කොතලාවල මහතාගේ මන්ත්‍රී ධුරය අවලංගු කිරීමට පෙත්සම ඉදිරිපත් කළ වී. සෝමසුන්දරම්, වී. රාමනාදන් හා කේ. ඇස්‌. රත්නසාමි යන තිදෙනා නාමයෝජනා ඉදිරිපත් කිරීමට ඇප මුදල් බැඳ තිබූ නමුත් පසුව තිදෙනාම ඉල්ලා අස්‌වීමය. කොතලාවල මහතා නිතරගයෙන් පත්වූයේ එහෙයිනි. ඒ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ කාරක සභාවේ ධුරයකට ද පත්විණි.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල ආසනය මන්ත්‍රීන් දෙදෙනකු තෝරන බහු ආසනයක්‌ බවට පත්වී තිබුණේ සෝල්බරි ව්‍යවස්‌ථාව අනුවය. තවද මේ ආසනය තුළ විශාල වශයෙන් ඉන්දියානු ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද ද තිබිණි. එම මැතිවරණයේදී බදුල්ල ආසනයට ඩී. එච්. කොතලාවල මහතා තරග කළේ නැත. ඔහුගේ ඥති පුත්‍රයකු වූ ඡේ. සී. ටී. කොතලාවල මහතා බොල්ෂේවික්‌ ලෙනින්ස්‌ට්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් විය. ලංකා ඉන්දියානු සංගමයෙන් ඇස්‌. ඇම්. සුබ්බයියා මහතා ඉදිරිපත් කර තිබුණු අතර ජී. බී. කටුගහ හා වී. ඥනපංඩිකන් යන දෙදෙනා ස්‌වාධීනව ඉදිරිපත් වූහ. එ. ජා. පCක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කර නොතිබිණි. ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 27121 ක්‌ ගත් ඇස්‌. ඇම්. සුබ්බයියා (ල.ඉ.ස.) මහතා බදුල්ල බහු මන්ත්‍රී ආසනයේ ෂ වැනි මන්ත්‍රීවරයා ලෙසත්, ඡන්ද 16654 ක්‌ ගත් ඡේ. සී. ටී. කොතලාවල (බො. ලෙ. ප.) මහතා ආසනයේ 2 වැනි මන්ත්‍රීවරයා ලෙසත් පත්වූහ.

1952 මැතිවරණය වන විට 1949 ඉන්දීය පුරවැසි පනත අනුව ඉන්දීය ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද බලය අහෝසි වී තිබිණි. මේ නිසාම එම මැතිවරණයේදී ලංකා ඉන්දියානු ද්‍රවිඩ සංගමයෙන් අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කළේ නැත. මේ වන විට ල.ස.ස.ප. හා බො.ලෙ.ප. අර්බුදය විසඳී තිබුණු නිසා ඡේ. සී. ටී. කොතලාවල මහතා ඉදිරිපත් වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නායකත්වයෙන් තිබුණු ලංකා සමසමාජ පක්‍ෂයෙන් ය. එ. ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ බිබිලේ හිටපු මන්ත්‍රීවරයකු වූ ඇස්‌. ඒ. පීරිස්‌ මහතා සහ ඇස්‌. බී. ඒකනායක මහතා යන දෙදෙනා ය. එ. ජා. පක්‍ෂයෙන් එසේ අපේක්‍ෂකයන් දෙදෙනෙක්‌ ඉදිරිපත් කළේ බදුල්ල බහු මන්ත්‍රී ආසනයක්‌ වූ නිසාය. ඒ සමඟම අලුත ඇති වූ ශ්‍රී ල.නි. පක්‍ෂයෙන් ටී. ඩී. ඇලෙක්‌සැන්ඩර් මහතා ඉදිරිපත් කෙරිණි. ඇම්. අයි. වී. සයිබු හා කේ. බී. ඇම්. ආරියතිලක යන දෙදෙනා ඉදිරිපත් වූයේ ස්‌වාධීනවය. ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 12450 ක්‌ ගත් ඡේ. සී. ටී. කොතලාවල (ල.ස.ස.ප.) මහතා බදුල්ල බහු මන්ත්‍රී ආසනයේ 1 වැනි මන්ත්‍රීවරයා ලෙස ද, ඡන්ද 12047 ක්‌ ගත් ඇස්‌. ඒ. පීරිස්‌ (එජාප) මහතා ආසනයේ 2 වැනි මන්ත්‍රීවරයා ලෙස ද පත්වූහ.

1956 මැතිවරණයේදී

ඡේ. සී. ටී. කොතලාවල මහතා නැවතත් බදුල්ල බහු මන්ත්‍රී ආසනයට ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉදිරිපත් විය. එ. ජා. පක්‍ෂයෙන් හිටපු මන්ත්‍රී ඇස්‌. ඒ. පීරිස්‌ මහතාත් බණ්‌ඩාරවෙල හිටපු මන්ත්‍රී කේ. වී. ඩී. සුගතදාස මහතාත් ඉදිරිපත් වූහ. 1952 මැතිවරණයේදී බදුල්ල ආසනයට එ. ජා. පක්‍ෂයෙන් තරග කළ ඇස්‌. බී. ඒකනායක මහතා ස්‌වාධීනව ඉදිරිපත් විය. ඒ අනුව ඡේ. සී. ටී. කොතලාවල (ල.ස.ස.ප.) මහතා ඡන්ද 20908 ක්‌ ගෙන බදුල්ල බහු මන්ත්‍රී ආසනයේ 1 වැනි මන්ත්‍රීවරයා ලෙස ද ඇස්‌. ඒ පීරිස්‌ (එ.ජා.ප.) මහතා ඡන්ද 14724 ක්‌ ගෙන ආසනයේ 2 වැනි මන්ත්‍රීවරයා ලෙස ද පත්වූහ. මෙහිදී විශේෂයක්‌ වන්නේ 1956 මැතිවරණයේදී එ. ජා. පක්‍ෂයෙන් ජය ලැබූ මන්ත්‍රීන් 8 දෙනාට ඇස්‌. ඒ. පීරිස්‌ මහතා ද අයත් වීමය. තවත් විශේෂත්වයක්‌ වන්නේ එ. ජා. පක්‍ෂයෙන් තරග කළ බණ්‌ඩාරවෙල හිටපු මන්ත්‍රී කේ. වී. ඩී. සුගතදාස මහතාගේ ඇපය පවා රාජසන්තක වී පැරැදීමය. ඔහුට ලැබී තිබුණේ ඡන්ද 1301 කි.

1960 මාර්තු මැතිවරණය වන විට බදුල්ල ආසනයේ බහු මන්ත්‍රීන් තේරීම අවලංගු වී එක්‌ මන්ත්‍රීවරයෙක්‌ තෝරන තනි ආසනයක්‌ බවට පත් වී තිබිණි. ඊට හේතු වූයේ 1959 ඇති වූ වෝල්ටර් තල්ගොඩපිටිය නම් ඡන්ද කොට්‌ඨාස බෙදීමේ කොමිසම දුන් තීරණයක්‌ නිසා ය. ඒ අනුව 1960 මාර්තු මැතිවරණයේදී බදුල්ල ආසනයට ඡේ. සී. ටී. කොතලාවල මහතා ල. ස. ස. ප.යෙන් ඉදිරිපත් විය. එ. ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ හිටපු මන්ත්‍රී ඇස්‌. ඒ. පීරිස්‌ මහතා නොවේ. ඊට හේතුව ඔහු වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම අනුව අලුතින් ඇති වූ "පස්‌සර" ආසනයට ඉදිරිපත් වීමය. මේ නිසාම බදුල්ල ආසනයට එ. ජා. පක්‍ෂයෙන් තරගයට පැමිණීයේ ඇස්‌. ඒ. පීරිස්‌ මහතාගේ බිරිඳ වූ ලිලියන් පීරිස්‌ මහත්මියයි. ශ්‍රීලනි පක්‍ෂයෙන් ආයුර්වේද වෛද්‍යවරයකු වූ බී. එච්. බණ්‌ඩාර මහතා ඉදිරිපත් කළේය. බදුල්ල ආසනය තුළ තියුණු තුන්කොන් සටනක්‌ දක්‌නට ලැබිණි. ඡන්ද ප්‍රතිඵලය අනුව බී. එච්. බණ්‌ඩාර (ශ්‍රීලනිප) මහතා ඡන්ද 4775 ක්‌ ද, ඡේ. සී. ටී. කොතලාවල (ල.ස.ස.ප) මහතා ඡන්ද 4499 ක්‌ද, ලිලියන් පීරිස්‌ (එජාප) මහත්මිය ඡන්ද 3549 ක්‌ ද ලබා ගෙන තිබිණි. එම් අනුව බී. එච්. බණ්‌ඩාර මහතා වැඩි ඡන්ද 276 කින් බදුල්ල මන්ත්‍රී ලෙස ජය ගත්තේය.

1960 ජුලි මැතිවරණයේදී බී. එච්. බණ්‌ඩාර මහතා බදුල්ල ආසනයට ශ්‍රිලනිපයෙන් ඉදිරිපත් වූ විට එ.ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ ඊට පෙර තරග කළ ලිලියන් පීරිස්‌ මහත්මිය නොවේ. අපේක්‍ෂකයා වූයේ බදුල්ල පළාත් ආණ්‌ඩු සභාවේ (එකල නගර සභාව නොවීය) සභාපති ලෙස සිටි ඇස්‌. එච්. අබේසේකර මහතාය. වෙනත් අපේක්‍ෂකයෝ නොවූහ. මෙහිදී ඡන්ද 6545 ක්‌ ගත් බී. එච්. බණ්‌ඩාර මහතා අබේසේකර මහතා පරදවා වැඩි ඡන්ද 871 කින් බදුල්ල මන්ත්‍රීවරයා ලෙස ජය ගත්තේය.

1965 මැතිවරණයේදී ආසනයට බී. එච්. බණ්‌ඩාර මහතා නැවතත් ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් විය. මෙවර එ.ජා.පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ ඊට පෙර මැතිවරණයේදී තරග කළ ඇස්‌. එච්. අබේසේකර මහතා නොවේ. නවක අපේක්‍ෂකයකු වූ ජිනදාස හෙන්නායක මහතා ය. කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ නායකත්වයෙන් තිබූ ජාතික විමුක්‌ති පෙරමුණෙන් බදුල්ල නාගරික මන්ත්‍රීවරයකුව සිටි පර්සි විඡේකෝන් මහතා ඉදිරිපත් කෙරිණි. නමුත් තරගය තිබුණේ ශ්‍රීලනිපය හා එජාපය අතරය. මෙහිදී ඡන්ද 9358 ක්‌ ගත් බී. එච් බණ්‌ඩාර (ශ්‍රී ල.නි.ප) මහතා ජිනදාස හෙන්නායක මහතා පරදවා වැඩි ඡන්ද 1251 කින් බදුල්ල මන්ත්‍රී ලෙස ජයගත්තේය.

1970 මැතිවරණයේදී බදුල්ල ආසනයට බී. එච්. බණ්‌ඩාර මහතා ශ්‍රී ල.නි.පයෙන් සිවුවැනි වතාවටත් ඉදිරිපත් වූ විට එ.ජා.ප.යෙන් නැවතත් තරග කළේ ජිනදාස හෙන්නායක මහතාය. වෙනත් තරගකරුවෝ නොසිටියහ. මෙහිදී ඡන්ද 12288 ක්‌ ගත් බී. එච්. බණ්‌ඩාර මහතා එ.ජා.ප අපේක්‌ෂකයා පරදවා වැඩි ඡන්ද 3588 කින් බදුල්ල මන්ත්‍රී ලෙස ජය ගත්තේය. පසුව බී.එච්. බණ්‌ඩාර මහතා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජයේ නිවාස හා ඉදිකිරීම් උප අමාත්‍ය ලෙස පත්විය.

1977 මැතිවරණයේදී බී.එච්. බණ්‌ඩාර මහතා පස්‌වැනි වතාවටත් ශ්‍රී.ල.නි.ප. යෙන් ආසනයට ඉදිරිපත් වූයේය. එ.ජා. පක්‌ෂයෙන් ඉදිරිපත් කළේ නවක අපේක්‌ෂකයෙකි. එනම් බදුල්ල එ.ජා. තරුණ සංවිධානයේ නායකයකු වූ ඩී. වින්සන්ට්‌ ඩයස්‌ මහතාය. මෙහිදී ල.ස.ස පක්‌ෂයෙන් චාල්ස්‌ සේනානායක මහතා ඉදිරිපත් කර තිබුණු අතර ස්‌වාධීන අපේක්‌ෂකයකු ලෙස ටී. ඇස්‌ මිස්‌කින් මහතා තරගයට පිවිසුණි. නමුත් තරගය තිබුණේ ශ්‍රී.ල.නි.ප.ය හා එජාප අතරය. මෙහිදී ඡන්ද 10490 ක්‌ ගත් එජාපයේ ඩී. වින්ස්‌ට්‌ ඩයස්‌ මහතා බී.එච්. බණ්‌ඩාර (ශ්‍රී.ල.නි.ප.) මහතා පරදවා වැඩි ඡන්ද 3706 කින් බදුල්ල මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය. 1983 අප්‍රේල් මස සිට වින්සන්ට්‌ ඩයස්‌ මහතා

ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්විය.

1989-02-15 වැනි දින තිබුණු මැතිවරණය පැවත්වූයේ සාමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. වින්සන්ට්‌ ඩයස්‌ මහතා එ.ජා.ප. ලැයිස්‌තුවෙන් බදුල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ නමුත් තේරී පත් නොවීය. එම මැතිවරණයේදී බදුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මන්ත්‍රීන් පත් වූ නමුත් පෙර පරදි බදුල්ල ආසනයෙන් මන්ත්‍රීවරයකු පත් නොවීය.

නන්දලාල් වාකිස්‌ට
 

 

 

 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.