ඇමරිකාව ප්‍රශ්න කරන්න හදද්දී
කළ යුතු දේ ජනරාල් ජවිපෙන් ඇහුවා

ටිල්වින් සිල්වා

ප්‍රභාත් විතාන

ඇමරිකානු අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ජනරාල් සරත් ෆොන්සේකාගෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධය පිළිබඳව ප්‍රශ්න කිරීමට සූදානම්වූ අවස්‌ථාවේදී කළ යුත්තේ කුමක්‌දැයි ජනරාල් සරත් ෆොන්සේකා ජනතා විමුක්‌ති පෙරමුණෙන් විමසා සිටි බවත් කිසිවක්‌ කතා නොකර ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි තම පක්‍ෂය ඔහුට උපදෙස්‌ දුන් බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (20 වැනිදා) පැවසීය.

ටිල්වින් සිල්වා මහතා මෙසේ කියා සිටියේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියකු බවට ආණ්‌ඩුව පක්‍ෂයේ ඇමැතිවරකු කළ චෝදනා පිළිබඳව සිය පක්‍ෂයේ අදහස්‌ දක්‌වමින් ඊයේ බත්තරමුල්ල ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ටිල්වින් සිල්වා මහතා

අපි කවුරුත් දන්නවා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ග්‍රීන්කාඩ්පතක්‌ තිබුණ බව. ඒක ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගන්න කලින් ලැබෙන දෙයක්‌. ඇමරිකානු පුරවැසිකම ලබාගන්න ඔය ග්‍රීන්කාඩ්පත විටින් විට අලුත් කරගත යුතුයි. පසුගිය දිනවල සරත් ෆොන්සේකා මහතා ඇමරිකාවේ පෞද්ගලික සංචාරයකට සහභාගි වුණා. එහිදී එක්‌සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීමකට සූදානම් වුණා. එහිදී ෆොන්සේකා මහතා අපෙන් විමසා සිටියා මේ අවස්‌ථාවේ මොනවද කළයුත්තේ කියලා. අපි ඔහුට දැනුම් දුන්නා ඒ ගැන කිසිම දෙයක්‌ කතා නොකරන ලෙස. එතුමා ඒ කිසිවකට පිළිතුරු නොදී තමන්ට තිබුණු ග්‍රීන්කාඩ් එකත් දමාගහලා නැවත ලංකාවට ආවා.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට පිළිතුරු නොදී තමන්ට තිබුණු ග්‍රීන්කාඩ්පත අහිමි කරගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තරම් ධෛර්යයක්‌ ජනරාල් ෆොන්සේකා මහතාට තිබුණා.

අපි අහනවා ඔය චෝදනා කරන අයගෙන් ඔබ එහෙම කළාද කියලා? ඔය කියන අයගෙන් අපි අහනවා 2002 වසරේ පොදු පෙරමුණෙන් ඉවත්වෙලා නැවත 2005 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස පත්වනතුරු සිටියේ කොහෙද කියලා? රට දරුණු තත්ත්වයකට මුහුණ දුන් වෙලාවේ මව්බිම දාලා පැනල ගිහිල්ලා ඇමරිකාවේ පදිංචිවෙලා සිටිය අය තමයි මේ කතා කියන්නේ. නමුත් ෆොන්සේකා මහතා මේ රට දාලා එක දවසක්‌වත් ගියේ නෑ. යුද්ධයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයේදී ඔහු මේ රටේ සිටියා.

ජනතා විමුක්‌ති පෙරමුණ දේශප්‍රේමී බලවේග හා එකතුවෙලා රටේ ගමන් මග හැරෙව්වට පසුව, මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට තීන්දු කළාට පස්‌සේ ඒ ජයග්‍රහණයේ කොටස්‌කාරයෝ වෙන්නආපු අය තමයි දැන් ඔය කෑගහන්නේ. අඩුම තරමේ ඡන්දයවත් ඉල්ලන්නේ නැතිව, පාර්ලිමේන්තුවටත් ගිහින් ඇමැතිකමකුත් අරගෙන තියෙනවා කිසිම සාදාචාරයක්‌ නැතිව. මේකටද දේශප්‍රේමීත්වය කියන්නේ.

එක්‌සත් ජාතික පක්‍ෂය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කරන කොට ඔය අය කොහෙද සිටියේ? සටන් විරාම ගිවිසුම නවත්වන්න අපි පෙළපාලි යනකොට ඔය අය කොහෙද සිටියේ? අපි ගාල්ලෙන්, මහනුවරින් කොළඹට පාගමන් එනකොට ඒවාට දේශප්‍රේමී බලවේගට එකතුවෙන විට ඔය කියන කිසිකෙනෙක්‌ ලංකාවේ සිටියේ නෑ. මව්බිම දැක්‌කේ නෑ. මව්බිම අත්හැරලා ඇමරිකාවේ සිටිය මහත්වරු දැන් ෆොන්සේකා මහතාගේ පුරවැසිකම ගැන කතා කරනවා. ඔන්න දේශප්‍රේමීත්වය.

ග්‍රීන් කාඩ් ගැන කතා කරන ආණ්‌ඩුවේ ඔය පිරිස මාස හයකට වරක්‌ ඇමරිකාවට ගිහින් ග්‍රීන්කාඩ් එක අලුත් කරගෙන එනවා. ඒවා අපි කවුරුවත් දන්නෙත් නෑ. අහන ප්‍රශ්න මොනවද? දෙන උත්තර මොනවද අපි දන්නෑ.

ඒ වගේම මේ ආණ්‌ඩුවේ තවත් ප්‍රබලයෙක්‌ වන බැසිල් රාජපක්‍ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවයක්‌ තියෙනවා. බැසිල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවේත් ලංකාවේ පුරවැසිකම තියෙනවා. අපිට කියන්න බැසිල් රාජපක්‍ෂ මහතාගේ මව්බිම කොහෙද කියලා. ලංකාවද? ඇමරිකාවද? මේකටද දේශප්‍රේමය කියන්නේ? බැසිල් මහත්තයට දේශප්‍රේම දෙකයි. ඒ විතරක්‌ නොවෙයි, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයත් ඇමරිකානු පුරවැසියක්‌. එතකොට ඇමරිකානු පුරවැසියෙක්‌ ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරන්න පුළුවන්. නමුත් ග්‍රීන්කාඩ් එක තිබුණු සරත් ෆොන්සේකා මහතාට කියනවා ඡන්ද ඉල්ලන්න අයිතියක්‌ නෑ කියලා. මේවායින් පේනවා මේ ආණ්‌ඩුව වෙනුවෙන් ප්‍රකාශ කරන අයගේ තත්ත්වය. ඒ වගේම චන්දිමා රාසපුත්‍ර මහතාත් ද්විත්ව පුරවැසියක්‌. එහෙම නම් කොහොමද එයා දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණේ?

අපි මේ දේශප්‍රේමී ආණ්‌ඩුවෙන් අහනවා ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියෙක්‌ නම්, මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ නොවන පුරවැසියකුට හමුදාපතිකම දුන්නේ ඇයි කියලා, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන අයකුට මහින්ද රාජපක්‍ෂ මහතා සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ අණදෙන මූලස්‌ථානයේ නායකත්වය භාරදුන්නේ ඇයි?, ශ්‍රී ලංකාවේ නොවන කෙනාට ඇයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ධුරය දෙන්න හැදුවේ?, ෆොන්සේකා මහතා කියන ආකාරයට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් භාගයක්‌ බාරගන්න කිව්වේ ඇයි? මේ කතාවලින් අද ආණ්‌ඩුවේ බංකොළොත්භාවය කොපමණද කියලා පේනවා.

අපි ඔය මහත්වරුන්ට අභියෝග කරනවා හැකිනම් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වෙලා සැබෑ දේශප්‍රේමීත්වය රටට පෙන්වන්න කියලා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද අදහස්‌ දැක්‌වීය.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.