තමන්ගේම ගෙට ගිනි තබා
ඒ ගින්නෙන් ගිනි තැපීම


මේ රටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ඉතිහාසයේ සිදු වූ ඉතාම බරපතල පාවාදීම් දෙකක්‌ තිබේ. පළමුවැනි පාවාදීම වූ කලී අත්වැරදීමකි. රනිල් වික්‍රමසිංහ මහතා වසර 2001 දී අගමැති පදවියට පත් වූ කල ඔහුට එරෙහිව සන්නද්ධ කුමන්ත්‍රණයක්‌ සංවිධානය වෙමින් පවතින බවට වැරදි ඔත්තුවක්‌ ලද මෝඩ පොලිස්‌කාරයකු අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ වැටලීම ඒ අත්වැරදීම ය. ඒ වැටලීමට රූපවාහිනි නාලිකා ද කැටුව ඒමට මෝඩ පොලිස්‌කාරයා කටයුතු කළ බැවින් යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් කවරකු ද යන්න එල්. ටී. ටී. ඊ. යට හෙළිදරව් විය. ඒ අනුව එසේ හෙළිදරව් වූ ඔත්තුසේවා නිලධාරීන්ගෙන් වැඩි දෙනා කොටින් විසින් සංහාරය කරන ලදී. පොලිස්‌කාරයාගේ මෝඩකම පාවාදීමක්‌ වන්නේ එතැන් පටන් ය. ඔහු මේ මෝඩකම කළේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් උසස්‌ වීමක්‌ ලබාගැනීමට ය.

ඊළඟ පාවාදීම වූ කලී පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයයි. හමුදාවට යටත් වූ (හෝ අත්අඩංගුවට ගන්නා ලද) මිනීමරු කොටි නායකයන් තිදෙනකු වන පුලිදේවන්, නඩේසන් හා රමේෂ්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කරන ලදැයි ජෙනරාල් සරත් ෆොන්සේකා සති අන්ත ඉංගිරිසි පුවත්පතකට පවසා තිබිණ. පසුව එම ප්‍රකාශයට විරුද්ධව දේශප්‍රේමී කොටස්‌ විරෝධය පළ කළ විට තමන් කී දේ පුවත්පත විසින් වැරදියට වාර්තා කරන ලද බව ජෙනරාල් කීය. එහෙත් අදාළ සති අන්ත පුවත්පතේ කතුවරිය ජෙනරාල් එසේ කී බව අවධාරණය කරමින් ප්‍රවෘත්තිය වෙනුවෙන් පෙනී සිටියා ය. මේ වන විට මේ කතාව දුරදිග ගොස්‌ ඇති අතර පෙර කී තිදෙනා ඝාතනය කිරීම යුද අපරාධයක්‌ සේ සලකා එයට උත්තර බඳින ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. සමහර විට රමේෂ්, පුලිදේවන්, නඩේසන් යන තිදෙනා හමුදාවට භාර වූ විට ඔවුන් නාවා සියොළඟ සුවඳ විලවුන් තවරා බුරියානි කන්නට දෙන්නට ජෙනරාල් බලා සිටියා විය යුතුය. හතරවන ඊළාම් යුද්ධයේදී රජය කළ මෙහෙයුම සාමූQහික වගකීමක්‌ ඇති ක්‍රියාවලියකි. එය කොටස්‌ කර මේ කොටස මේජර් ජෙනරාල් ශවේන්ද්‍රට ය, මේ කොටස ගෝඨාභයට ය. හොඳ හරිය මට ය යනුවෙන් වෙන්කර පෙන්වීමට නොහැකි බව අපගේ අදහසයි. එහෙත් එහිදී සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා මෙන්ම යුද කළමනාකරු ලෙස ආරක්‌ෂක ලේකම්වරයාද කළ මෙහෙවර ලඝූ කළ නොහැකිය.

කෙසේ හෝ ජෙනරාල්ගේ එම ප්‍රකාශයෙන් වැදගත් ප්‍රශ්නයක්‌ පැනනඟී. කොටි ත්‍රස්‌තවාදීන් මැරීමට ජෙනරාල් ඔතරම් විරුද්ධ නම් එම සිද්ධිය වූ අවස්‌ථාවේදීම ඉල්ලා අස්‌වීමට ජෙනරාල්ට තිබිණ. එහෙත් යුද්ධය නිම වී, තෑගි බෝගත් ලැබී, අලුත් තනතුරකුත් ලැබෙනතුරු ජෙනරාල් කට පියාගෙන සිටියේ ය. අපගේ වැටහීමට අනුව ජෙනරාල්ගේ ප්‍රකාශය ඔහුගේම ගෙට ඔහු විසින්ම ගිනි තබනු ලැබ ඒ උණුසුමින් ගිනි තැපීම හා සමාන ය. ඒ අතර පුවත්පතට තමා කළ ප්‍රකාශය වැරදි ලෙස වාර්තා කර ඇති බව කීමෙන් එම ප්‍රවෘත්තිය නිශ්ක්‍රීය කිරීමට ඔහු ගන්නා උත්සාහය සමාන වන්නේ මිනිසකුට වෙඩි තබා එම වෙඩි උණ්‌ඩය ඉල්ලා අස්‌කර ගන්නා බවට කරන ප්‍රකාශයකට ය.

දැන් ජෙනරාල් මුළු මහත් රටම අමාරුවේ හෙළා තිබේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු සිය සාමූහික වගකීම පැහැර හැර ආරක්‍ෂක ලේකම් සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බිලි දීමට ඔහු උත්සාහ කළ බව පෙනේ. මෙහිදී මීට පෙර ද අප විසින් සඳහන් කෙරුණ කාරණයක්‌ කියමු. දිවයිනට නැති වන්නට ඇත්තේ රට ජාතිය හා ආගම පමණි. මේ රටේ ඒකීයත්වය සම්බන්ධයෙන් මේ පුවත්පත දැඩි ස්‌ථාවරයක සිටියේය. ඒකීය රටක්‌ තුළ සියලු ජන කොටස්‌ සම අයිතීන් සහිතව ජීවත් විය යුතු බව අපගේ වැටහීම විය. එහෙත් මෙතැනදී ඒකීය රට යන සංකල්පයට අභියෝග එල්ල වී ෆෙඩරල්, වෙනම රාජ්‍ය යනාදිය ගැන කියන්නට පටන් ගත් විට ඒවා කියූ අය සමඟ අපි ගැටුනෙමු. රටේ බලය බෙදාහැරිය යුතු බව පිළිගන්නා අතර එහි සීමා තිබිය යුතු බව ද අපි පිළිගන්නෙමු. ඒ අදහසට විරුද්ධ වූ විට අපි විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සමඟ ගැටුණෙමු.

ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව අරගල කළෙමු. ජනාධිපති චන්ද්‍රිකා සමඟ හැපුනෙමු. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමඟ ප්‍රශ්න ඇති කර ගත්තෙමු. අපට ප්‍රශ්නයක්‌ නොතිබුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ජ.වි.පෙ. සමඟ පමණි. රට නොකැඩීම හා ත්‍රස්‌තවාදය විනාශ කිරීම යන කාරණාවලදී ජනාධිපති රාජපක්‍ෂ හා ජ.වි.පෙ. සමඟ අපේ අදහස්‌ ගැලපුණේ ය. අද ජ.වි.පෙ. සිටින්නේ රට කැඩිය යුතු බවට කියූ පිල සමඟ ය. මේ නිසා අද ජ.වි.පෙ. සමඟ මතවාදී ප්‍රශ්නයක්‌ අපට තිබේ. මහින්ද රාජපක්‍ෂ මේ රට කැඩීමට හෝ වෙනත් ආකාරයකින් වෙනම රාජ්‍යක්‌ තැනීමට හෝ උත්සාහ කළොත් අපි එදාට ඔහුට ද විරුද්ධ වෙමු. රට දැය තරම් වටිනා දෙයක්‌ තවත් කොහිද?

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v