ජාතික උරුමයේ මහා සන්නිවේදකයා

සිංහල, පාලි, හා සංස්‌කෘත ඇතුළු පෙරදිග භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාවද ඉගෙනීමෙහි යෙදී සිටි තරුණයකුට 1915 වර්ෂයේදී ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින් පවත්වන ලද ප්‍රාරම්භක විභාගයේදී ඉහළම තැන ලැබූ නිසා "සිංහල තරුණයා" නම් වූ සංගමය මගින් ඔහුට පොතක්‌ තෑගි වශයෙන් ලැබුණේය. මේ පොත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද EඡඨRAඡ්‍යෂ් ZEශඛAභCA "එපිග්‍රැෆියා සිලනිකා" නමැති ග්‍රන්ථයයි. එහි අඩංගු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනයන්ය.

මේ පොතක්‌ තෑගි ලැබීම හා පොතක්‌ තෑගි දීම පසු කලෙකදී ලොව පිළිගත් මහා පුරාවිද්‍යාඥයෙක්‌ මහා භාෂා විශාරදයෙක්‌ හා ඉතිහාසඥයෙක්‌ බිහිකිරීමට පදනම දමන්නේයෑයි කිසිවෙකුත් එදා සිතන්නට නැත. මේ තරුණයාට එදා ඒ පොත ත්‍යාගයක්‌ ලෙසින් ලැබෙන විට යාන්තම් අවුරුදු 19 ක්‌ පමණි. ඒ තරුණයා නම් අන් කිසිවෙකු නොව පසු කලෙක මහාචාර්ය සෙනරත් පරණවිතාන නමින් ලොව ප්‍රකට වූ මහා ප්‍රාඥයාය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන - ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පළ කළ ග්‍රන්ථය - සිරිසමන් විඡේතුංග

(ප්‍රකාශනය - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1996-දෙසැ. පි1)

සෙනරත් පරණවිතාන තරුණයා එදා ලද එම ත්‍යාගය (පොත) පිළිබඳ දෙමළ ශිලා ලිපි පිළිබඳ මහාචාර්යවරයකු වූ කාර්නිකේසු ඉන්ද්‍රපාල මහතා මෙසේ සඳහන් කරයි.

" ඓතිහාසික හා පුරාවස්‌තු අධ්‍යයනය පිළිබඳව ඔහු තුළ තිබූ ඇල්ම නිසා මෙම පොත තෑගි ලැබුණ අවස්‌ථාවේ සිටම එය හදාරන්නට ඇත. සමහරවිට මෙම පොත මගින් ඔහු තුළ ඇති වූ උනන්දුව නිසා ඔහු පසු කලෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සහකාර තනතුර සඳහා ඉල්ලුම් කරන්නටද ඇත. මෙම තනතුරෙන් ඔහුගේ ජීවන වෘත්තිය වෙනස්‌ වූවා පමණක්‌ නොව දේශයට ශ්‍රෝෂ්ඨ විද්වතකුද ලැබුණේය.

(මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්‌මරණ කලාපය - සාහිත්‍යය - සංස්‌කෘතික දෙපාර්තමේන්තුව 1981- පිටුව 41)

මෙම ඉහත සඳහන් සිදුවීමෙන් අපේ තරුණ පරපුරට විශේෂයෙන්ම වර්තමාන තරුණ පරපුරට ඉතා වැදගත් ආදර්ශයක්‌ සැපයූ මේ මනා පඬිරුවන උපත ලබා මේ වසරේ දෙසැ 26 වැනිදාට වසර 113 ක්‌ සපිරේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කිසිදු දිනක පුරාවිද්‍යා විෂය පිළිබඳව සාම්ප්‍රදායිකව විශ්ව විද්‍යාලයක පැවැත්වෙන දේශනවලට සහභාගි වී හෝ විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමක්‌ හෝ සිදු කර නැත. එසේනම් මේ මහා පඬිවරයා ආචාර්ය සෙනරත් පරණවිතාන ලෙසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ (1940-1956) හා මහාචාර්ය සෙනරත් පරණවිතාන ලෙසින් (1957-1964) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළ සේවාව කෙබඳුද යන්න මෙවන් වූ ලිපියකින් විස්‌තර කිරීම කිසිසේත්ම කළ හැක්‌කක්‌ නම් නොවේ.

"1921 දී පුරාවිද්‍යා කොමසාරිස්‌ පදවියට පත්වුණු කපිතාන් ඒ. ඇම්. හෝකාට්‌ මහතා යටතේ ශිලා ලේඛන සහකාර වශයෙන් පරණවිතාන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණේ 1923 වර්ෂයේදීය. ඒ වර්ෂයේ ජුනි මාසයේදී අභිලේඛන පිළිබඳ ඉගෙනීම සඳහා ඒ මහතාව ලංකා රජය විසින් ඉන්දියාවට යවනු ලැබීය. පරණවිතාන මහතා නැවත ලංකාවට ගෙන්වා ගැනීමට 1925 මැයි මස හරියේදී පුරාවිද්‍යා කොමසාරිස්‌ හෝකාට්‌ මහතා කල්පනා කළේ වූවද එවකට ඉන්දියාවේ පුරාවිද්‍යාව පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් වූ ශ්‍රීමත් ජෝන් මාෂල් විසින් පරණවිතාන මහතාට මොහොන්දොජාරෝහි කැනීම්වලට සහභාගි වීමට කටයුතු සලස්‌වා තිබුණු නිසා පරණවිතාන මහතාගේ පෙරළා පැමිණීම 1926 අප්‍රේල් මස තෙක්‌ කල් ගියේය.

"මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ සමස්‌ත ශාස්‌ත්‍රිය සේවාවම සලකා බලන විට එය ප්‍රධාන වශයෙන් කොටස්‌ හතරකට බෙදා දැක්‌විය හැකිය. එයින් පළමුවැනි කොටස නම් ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1923 දී ශිලාලේඛන සහකාර ලෙසින් බැඳුණු පසුව ලියන ලද ශාස්‌ත්‍රිය ලිපි ලේඛනයන්ය. ඉන්පසුව 1940 දී පුරාවිද්‍යා කොමසාරිස්‌ ලෙසින් 1956 තෙක්‌ ඔහු විසින් ලියන ලද පොත පත හා ශාස්‌ත්‍රිය ලේඛනයන් දෙවැනි කොටසට අයත් වේ. ඔහු විසින් 1957 සිට 1964 තෙක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙසින් පත්ව සේවය කරන කාලයේදී ලියන ලද ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය ග්‍රන්ථ තෙවැනි කොටසට අයත් වේ. අනතුරුව එතුමා 1965 සිට 1972 ඔක්‌තෝබර් මස 4 වැනිදා අභාවප්‍රාප්ත වනතුරුම ලියන ලද ශාස්‌ත්‍රිය ලිපි ලේඛන හා පොත පත සිව්වැනි කොටසට අයත් වන්නේය. මේ සිව් යුගය තුළදීම එතුමා විසින් කරන ලද සමස්‌ත ශාස්‌ත්‍රිය සේවාව තවමත් පූර්ණ අගැයීමකට ලක්‌ කර නැති බවද මෙහිදී කනගාටුවෙන් වූවද සඳහන් කළ යුතුව ඇත. (පුරාවිද්‍යා සඟරාව - සියවස්‌ සමරු කලාපය සිරිසමන් විෙ-තුංග - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1999 සංස්‌කාරක සටහන)

පුරාවිද්‍යා තනතුරට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය ලැබුවේ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාය. එතුමා වසර 16 ක්‌ (1940 සිට 1956) පුරාවිද්‍යා කොමසාරිස්‌ නම් වූ තනතුර බැබලවීමට සමත් වූ බව ශ්‍රී ලාංකිකයන් පමණක්‌ නොව ලෝකවාසී විද්වත්හුද දැනගත්හ. එතුමාගේ ශාස්‌ත්‍රිය පොත - පත මෙන්ම ලිපි ලේඛන වලින් වැඩි සංඛ්‍යාවක්‌ ඉංග්‍රිසි භාෂාවෙන් ලියා ඇති බව එතුමාගේ ග්‍රන්ථ හා ලිපි ලේඛන මාලාව පිළිබඳ HගAගJ ගුණතිලක මහතා විසින් සකස්‌ කරන ලද ලිපි ලේඛන මාලාව යළි පළකිරීමට පුරාවිද්‍යා සඟරාවේ කතුවරයා ලෙසින් මෙම ලියුම්කරුට අවස්‌ථාව සැලසුණු නිසා 1999 වර්ෂයේ පුරාවිද්‍යා සඟරාවේ (අටවැනි කලාපය) පරණවිතාන අනුස්‌මරණ කලාපයෙන්ද දැකගත හැකිය.

(පුරාවිද්‍යා අටවැනි කලාපය පිටු 89 සිට 110 දක්‌වා)

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ශාස්‌ත්‍රිය ලේඛනයන් ගැන අදහස්‌ දක්‌වන අපගේද විශ්වවිද්‍යාල ගුරුතුමියක්‌ වන මහාචාර්ය සිරිමා කිරිබුණේ මහත්මිය මෙසේ සඳහන් කරයි.

පරණවිතාන මහතා ශාස්‌ත්‍රිය පර්යේෂණවලට කැපව සිටින්නෙකු බව අවිවාදයෙන් පිළිගනු ලබන්නකි. විශ්මයජනක යෑයි කිවහැකි තරම් කෘතීන් විශාල සංඛ්‍යාවක්‌ ඒ මහතා විසින් පළ කරනු ලැබීමෙන් මේ බව මැනවින් ප්‍රකට වේ. ඉතා වැඩි පොත් සංඛ්‍යාවක්‌ ලියූ පර්යේෂකයා වශයෙන් පරණවිතාන මහතා ලංකාවේ සෙසු සියලුම පර්යේෂකයන් අභිබවා සිටී. පරණවිතාන මහතා මූලික වශයෙන් උනන්දුව දැක්‌වූයේ පුරාවිද්‍යාව කෙරෙහිය. අනාගතයේදී ඒ මහතාගේ අගය මනිනු ඇත්තේද ඒ මහතා පුරාවිද්‍යාව අරභයා කළ සේවය මුල්කොට ගෙනය. එසේ වූවද ඉතිහාසය පිළිබඳ පොත-පත ලිවීම පරණවිතාන මහතාගේ කාර්යයන් අතර ඉතා වැදගත් අංශයක්‌ විය. මෑතක සිට ඒ මහතා ඉතිහාසය ගැන (මේ ලිපිය ලියා ඇත්තේ 1972 වර්ෂයේය.) වැඩි උනන්දුවක්‌ දක්‌වන්නට පටන් ගෙන ඇත.

(සංස්‌කෘති සඟරාව පරණවිතාන අංකය 1972)

මහාචාර්ය සෙනරත් පරණවිතාන ජ්‍යෙෂ්ඨතම ලාංකික පුරාවිද්‍යාඥයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදු මත භේදයක්‌ නැත. අපේ රටේ ගමක ගෙයක හෝ පන්සලක හෝ සභාවක "පුරාවිද්‍යාව" යන වචනයත් සමගම පරණවිතාන මහතාගේ නමත් නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මීට වඩා අමරණීය අනුස්‌මරණ ස්‌මාරකයක්‌ විද්‍යාඥයකුට හෝ ලේඛකයකුට අවශ්‍ය නොවේ. (මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක මහතා ලියූ ලිපිය - සාහිත්‍ය සඟරාව 1981 විශේෂ කලාපය)

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක්‌ අපගේ අතීත උරුමය පිළිබඳ දේශීය ජනතාවට පමණක්‌ නොව ලෝක ජනතාවට ද වටහාදීමේ මහා සන්නිවේදකයකු ලෙසින් අපි දකින්නෙමු. එතුමා නොවන්නට අදත් අපේ සීගිරි කැටපත් පවුරේ ඇති සීගිරි කුරුටු ගී ලංකා ජනතාවගෙන් පමණක්‌ නොව ලෝක ජනතාවගෙන්ද සැඟවී සදහටම විනාශයට පත්වන්නට ඉඩ තිබිණි. සීගිරි කුරුටු ගී පිළිබඳ ඉතා සුවිශාල ග්‍රන්ථ දෙක 1956 වර්ෂයේදී (එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය වර්ෂයේදී) ප්‍රකාශයට පත් කළේය. එය සීගිරි මහා පර්වතය මෙන්ද අතීතය අගයන රසික ජනතාව සිටිනතාක්‌ කල් ඉන්ද්‍ර‚ලයක්‌ සේ පවතිනු ඇත.

ඒ අනුව පරණවිතාන මහතා විසින් ලියන ලදුව දැනට පළ වී ඇති පොත්aවලින් ශ්‍රේෂ්ඨතම ස්‌ථානයෙහි වැජඹෙන්නේ සීගිරියේ කැටපත් පවුරේ තිබූ සීගිරි කුරුටු ගී පිළිබඳව ලියූ වෙළුම් දෙකකින් යුත් ,SෂඨෂRෂ ඨRAFFඔෂ, "සීගිරි ග්‍රැෆිට්‌" නම් ග්‍රන්ථයයි. දැනට භාවිත කරනු ලබන භාෂාවට පැරණිවූත් සිංහලයකින් ලියෑවුණු කුරුටු ගී 685 (හයසිය අසූපහක්‌) එම ග්‍රන්ථයේ ඇතුළත්ය. සීගිරි ගී සියයක්‌වත් කියවන උත්සාහයෙන් පටන්ගත් ප්‍රයත්නයක්‌ මෙතරම් විශාල ගී සංඛ්‍යාවක්‌ එකතුකර ගැනීමෙන් අවසාන වූයේ ඒවා කියවන්නට ඇති අධික උත්සාහයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ඉතා කුඩා අකුරෙන් ලියා ඇති මේ කුරුටු ගී විශාල සෙල්ලිපි ස්‌පර්ශ ලාංඡන ගන්නා අයුරින් ස්‌පර්ශ ලාංඡනවලට ගත නොහැකිය. මේ නිසා කුරුටුගී ස්‌පර්ශ ලාංඡන ගැනීමට පරණවිතාන මහතා විසින්ම වෙනත් ක්‍රමයක්‌ පිළියෙල කරන ලදී. මෙම සීගිරි කුරුටු ගී වල පෙළ හා අර්ථ පමණක්‌ නොව සීගිරි ඉතිහාසය සීගිරි ගී වලට අයත් භාෂාව හා එහි ව්‍යාකරණය එම ගීවලින් ලැබෙන සමාජ තොරතුරු ආදී විස්‌තර රැසක්‌ "සීගිරි ග්‍රැෆිටි" නම් වූ ඒ මහාර්ඝ ග්‍රන්ථයට ඇතුළත් වී ඇත. සීගිරි කුරුටු ගී පිළිබඳව පරණවිතාන මහතාගේ ප්‍රකරණයම පළමු පෙළේ ශාස්‌ත්‍රධරයකු හා ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ඒ මහතාට ශ්‍රේෂ්ඨ ස්‌ථානයක්‌ හිමිවීමම සෑහෙයි.

(පුරාවිද්‍යා - අටවැනි කලාපය - පරණවිතාන අනුස්‌මරණ කලාපය - හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ මාකස්‌ ප්‍රනාන්දු මහතා ලියූ ලිපිය පිටු 87)

අප රටේ දේශීය පුරාවිද්‍යාවක්‌ ගොඩනැගීම පිණිස මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කරන ලද සේවාව බොහෝ විද්වතුන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ කරුණකි. අද මෙන් ප්‍රවාහන පහසුකම් හෝ සන්නිවේදන පහසුකම් නොවූ ඒ යුගයේදී ඔහුගේ ඇප - කැප වීම පිළිබඳ මහාචාර්ය සේනත බණ්‌ඩාරනායක මහතා විසින් කරනු ලබන පහත සඳහන් කරුණු ඉතා වැදගත් වන්නේය.

"ඔහු අපේ පැරණි ගෘහනිර්මාණ ශිල්පය වෙනුවෙන් ඉටුකරන ලද වැඩ කටයුතු දළ වශයෙන් අවධි හතරකට හෝ පහකට බෙදා දැක්‌විය හැකිය. මෙයින් පළමුවන අවධිය නම් 1920 ගණන්වල පරණවිතාන මහතා පුරාවිද්‍යා සේවයට පත්වූ මුල්කාලයයි. මෙහිදී ඔහුගෙන් වාස්‌තු විද්‍යාව පිළිබඳ වැඩි යමක්‌ සිදුවූ බවක්‌ පෙනෙන්නට නැත. 1928 - 1929 කාලයේ සිට 1930 දක්‌වා යුගයේ දෙවන අවධිය ලෙසින් ගත හැක. එනම් 1928 හා 1929 වර්ෂවල අනුරාධපුර යුගයේ ඇතුළු ඔහු කළ කැණීම්වල සිට 1936 දී ස්‌තූපය පිළිබඳ ලෙයිඩ්න් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධය දක්‌වා කාලයයි. මේ අවධිය තුළ පරණවිතාන කළ වැඩවල ප්‍රධාන ලක්‍ෂණ තුනක්‌ දක්‌නට ඇත.

එයින් පළමුවැන්න ඔහු භාවිතයෙන්ම ලංකාවේ වාස්‌තු විද්‍යාවේ විවිධ අංශයන් කීපයක්‌ ගැන අත්දැකීම් ලබාගැනීමය. ප්‍රසිද්ධ ආගමික ගෘහනිර්මාණ, ගලින්, ගඩොලින්, දැවයෙන්, මැටියෙන් කළ පුරාණ ගොඩනැඟිලි රාශියක්‌ම මේ පරීක්‍ෂණවලට භාජනය විය. දෙවැන්න නම් ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳවත් අභිලේඛන පිළිබඳවත් ඔහු ලබාගෙන තිබූ දැනුම් සම්භාරය මෙම ගෘහනිර්මාණ (ස්‌මාරක) තෝරා බේරාගැනීමට යොදා ගැනීමය. තුන්වැන්න ඔහුගේ ප්‍රධාන ලියෑවිලිය. 1936 දී පළමු අනුරාධපුර කැණීම් සහ 1946 දී ලංකාවේ ස්‌තූපය නම් ග්‍රන්ථ විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ ප්‍රධාන ලේඛන ඊට කලින් ඉදිරිපත් කර තිබූ පුරාවිද්‍යාත්මක ප්‍රකාශනවලට වඩා විධිමත්ව ශාස්‌ත්‍රීයව කරන ලද කැණීම් ද ඒවා වාර්තා ගතකිරීමද ඒ කාලය අනුව ලංකාවේ පුරාවිද්‍යා ඉතිහාසයේ වැදගත් නිදසුනක්‌ ලෙස සැලකීමට පුළුවන. "ලංකාවේ ස්‌තූපය" (ස්‌තූප ඉන් සිලෝන්) නම් ග්‍රන්ථය ලාංකික ගෘහනිර්මාණ ඉතිහාසය ගැන පළමුවනවතාවට ක්‍රමවත්ව ලියන ලද කෘතිය ලෙස පිළිගත හැක. ස්‌මිදර්, බරෝස්‌ දෙ බෙලියේ, ජෝන් ස්‌ටිල්, හෙන්රි පාකර්, HගCගඡග බෙල්, වින්සන්ට්‌ ස්‌මිත්, අයර්ටන්, හෝකාට්‌ හා ලොං හර්ට්‌ස්‌ වැනි නිලධාරීන් හා උගතුන් අතින් පරණවිතානයන්ගේ "ස්‌තූප ඉන් සිලෝන්" වැනි කෘතියක්‌ සකස්‌ වූ බවක්‌ දක්‌නට නොලැබේ.

පරණවිතාන පඬිවරයාගේ වැඩකටයුතුවල තුන්වැනි අදියර නම් වාස්‌තු විද්‍යා පර්යේෂණ අතිශයින්ම දියණු වූ අවස්‌ථාවයි. පරණවිතාන 1940 දී පළමුවන ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්‌ ලෙසින් පත්විය. එතැන් සිට 1956 දක්‌වා ඔහු පුරාණ ස්‌ථාන දෙතුන් සියයක්‌ පරීක්‍ෂා කර කැණීම් ගණනාවකින් ස්‌මාරක ගණනාවකින් මතුකරමින් පුරාණ ගොඩනැඟිලි කීපයක්‌ හඳුනාගෙන මුල්වතාවට ඒවා පිළිබඳ ගැඹුරින් පරීක්‍ෂා කළේය. ඔහුට කලින් මෙවැනි වැඩ කොටස්‌ ඉටු කළ HගCගඡග බෙල් විසින් අවුරුදු විසිතුනක්‌ තුළ අනුරාධපුරේ, මිහින්තලේ සහ සීගිරියේ ඉටුකරන ලද කැණීම්වලින් අපේ පුරාණ ගෘහනිර්මාණ ශිල්පයට අයත් විශාල ස්‌මාරක රාශියක්‌ මතුකර ඒවා විස්‌තර වාර්තා ගත කර ඇතත් HගCගඡග බෙල් පරණවිතාන පඬිවරයා තරම් අර්ථ නිරූපණ විග්‍රහයක්‌ද නිගමනද ඉදිරිපත් කර නැත.

පුරාණ ස්‌මාරක පරීක්‍ෂා කර බලන විට පරණවිතාන ඔහුගේ පුළුල් හා සියුම් සංස්‌කෘතික, වාග් විද්‍යාත්මක හා ඓතිහාසික දැනුම එම ස්‌මාරකයන්ගේ අර්ථ නිරූපණය සඳහා යොදා ගත්තේය. මේ අනුව 1940 සිට 1956 දක්‌වා ඔහුගේ පුරාවිද්‍යා පාලන වාර්තාවල ලංකාවේ පුරාණ ගෘහනිර්මාණ අලුත් විද්‍යාත්මක ආකල්පයකින් පෙනී සිටියි. HගCගඡග බෙල්ගේ වාර්තා හා සැසඳීමෙන් මෙය පැහැදිලි කර ගත හැක. මේ බුද්ධිමත් දැක්‌ම පරණවිතාන පරීක්‍ෂා කිරීමට තෝරාගත් ස්‌ථාන තුළින්ද ඔහුගේ වාර්තා හා පර්යේෂණ ලිපි ලේඛන ඇසුරින් කැපී පෙනේ.

(සාහිත්‍යය - 1981 - පිටු අංක 30 - 31)

අප මෙසේ අද මෙවන් වූ විද්වතෙකු පිළිබඳ සඳහන් කරන්නේ අද වනවිට එදා 1957 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඇරඹූ විශ්විවිද්‍යාල පුරාවිද්‍යා අධ්‍යයන පරීක්‍ෂණය නිසා බිහිවී ඇති තරුණ පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ දැනගැනීමට පමණක්‌ නොව ඔවුන්ගේ මේ යුගයේ කාර්යභාරය පිළිබඳ ස්‌වයං ශික්‍ෂණයක්‌ සඳහා බවද සඳහන් කරනු කැමැත්තෙමි. අද වනවිට පුරාවිද්‍යා, ජාතික කෞතුකාගාර, මධ්‍යම සංස්‌කෘතික අරමුදල හා ජාතික ලේඛනාරක්‍ෂක යන රාජ්‍ය ආයතනවලද විශ්වවිද්‍යාලවලද පුරාවිද්‍යා හා ඉතිහාසය මෙන්ම ශ්‍රී ලාංකික සංස්‌කෘතිය පිළිබඳ හැදෑරීමේ යෙදෙන විද්වත් තරුණ පිරිස පිළිබඳ මීට වඩා වැඩි අවධානයක්‌ යොමු විය යුතු කාලය ද උදාවී ඇති බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. ඉහත සඳහන් අප උරුමය පිළිබඳ වූ රාජ්‍ය ආයතන වලින් සිදුකෙරෙන මෙහෙය ලඝූකොට නොතැකිය යුතුව ඇත. ඒ සඳහා ඇප - කැපවන තරුණ විද්‍යාර්ථීන්ගේ ගාමක බලවේගයන් පරණවිතාන පඬිවරයා වැනි විද්වතුන් පෙන්වා දුන් මාර්ගයට යොමු කිරීමේ වගකීම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ වැඩිහිටි විද්වතුන්ගේ වගකීමක්‌ බවද මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.

සිරිසමන් විඡේතුංග
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v