දිගුකල් පවතින කාබනික දූෂක (POPs)
මිනිසා විනාශකිරීමේ මෙහෙයුම අරඹයි

(දිගුකල් පවතින කාබනික දූෂක පිළිබඳව බදුල්ල හා කළුතර දිස්‌ත්‍රික්‌කයන් තුළ සිදු කරනු ලැබූ ව්‍යාපෘති අත්දැකීම් ආශ්‍රයෙනි.)

පෘථිවිය මත ජීවය සම්භවය වූදා පටන් අනේක විධ වෙනස්‌වීම් හරහා පරිණාමයේ උච්චතම පුරුක ලෙසින් මීට වසර 10000 කට පමණ පෙර මිනිසාගේ සම්භවය සිදු වුණා. එතැන් පටන් මිහිමත බුද්ධිමත්ව ජීවියා යෑයි කියා ගන්නා මිනිසා, තමාගේ සුබ සිද්ධිය හා පහසුව සඳහා නොයෙක්‌ ආකාරයේ වෙනස්‌කම් මේ පෘථිවිය මත ඇති කළා. දෛවයේ සරදමකට මෙන් මිනිසා විසින් සිදුකළ ඇතැම් ක්‍රියාකාරකම් පසුකාලීනව මිනිසාගේම විනාශය සඳහා හේතුව විය.

ගෝලීය උණුසුම් වීම නිසා දේශගුණ වෙනස්‌වීමද එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජල ගැලීම්, නියඟය, නායයැම් වැනි ස්‌වාභාවික ආපදා ඇතිවීමද ආහාර අර්බුදය, වසංගත රෝග වැනි විපත්ද, දරිද්‍රතාවය, යුද ගැටුම් වැනි සමාජ හා දේශපාලනික ගැටලු ඇතුළු අර්බුද රැසකට ලෝකය මුහුණදී සිටී. ඒවා අතර අලුතින්ම ඇතිවූ ගැටලුව ලෙසද දිගුකල් පවතින කාබනික දූෂක නිසා මානව සෞඛ්‍යයට හා පරිසරයට සිදුවී ඇති අහිතකර බලපෑම් සඳහන් කළ හැකිය. මේ පිළිබඳව ජනතාව තුළ ඇති දැනුම මදිකම, පවතින නීති ක්‍රියාත්මක නොවීම හා නීතිරීතිවල ඇති අඩුපාඩුකම් නිසා මෙන්ම ඒවායින් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව මිනිසුන් තුළ එතරම් උනන්දුවක්‌ නොමැතිකම හේතු වේ. මෙවැනි කාරණා නිසා දිගුකල් පවතින කාබනික දූෂක සම්බන්ධයෙන් ගත්කල ඒවා දිනෙන් දිනම පරිසරය තුළ ව්‍යාප්ත වෙමින් ඒ හරහා ගැටලු රැසක්‌ ඇති කරමින් පවතී.

දිගුකල් පවතින කාබනික දූෂක (Persistent Organic Pollutants) (POPS) යනු දීර්ඝ කාලයක්‌ පරිසරය තුළ හා ශරීර තුළ නොනැසී (හායනය නොවන) පවතින කාබනික සංයෝගයන්ය. මේවා මානව සෞඛ්‍ය කෙරෙහි හා පරිසරය කෙරෙහි අහිතකර බලපෑම් රැසක්‌ ඇති කරනු ලබයි. වර්තමානයේ දිගුකල් පවතින කාබනික දූෂකයන් ලෙස සංයෝග 12 ක්‌ හඳුනාගෙන ඇති අතර මේවා කිළිටි දුසිම යන නාමයෙන්ද හඳුන්වනු ලබයි. මෙම දිගුකල් පවතින කාබනික දූෂක, සෘජුව නිෂ්පාදන කරන හා වෙනත් ක්‍රියාවල අතුරු ඵල ලෙස හටගන්නා ද්‍රව්‍ය ලෙස දෙයාකාරයකි. නිෂ්පාදනය කරනු ලබන දිගුකල් පවතින කාබනික දූෂක ප්‍රධාන වශයෙන් පලිබෝධ නාශක තුළ හා ඇතැම් කාර්මික රසායනික ද්‍රව්‍ය තුළ අන්තර්ගත වේ. වෙනත් ක්‍රියාවල අතුරු ඵල ලෙස හටගන්නා දිගුකල් පවතින කාබනික දූෂකවලට උදාහරණයක්‌ ලෙස කැළිකසළ දහනයේදී නිකුත් වන ඩයොක්‌සීන් හා ෆියුරන්ස්‌  සඳහන් කළ හැකිය.

දිගුකල් පවතින කාබනික දූෂක අඩංගු පලිබෝධ නාශක0 අටක්‌ හඳුනාගෙන ඇත. ඒවා නම් ඇල්ඩි්‍රන් ල ක්‌ලෝඩේන්  එන්ඩී්‍රන් හෙප්ටක්‌ලෝර් ල ඩයෝක්‌ලෝරේ ඩයිෆිනයිල් ට්‍රයික්‌ලෝරෝ එතේන් ල ඩයල්ඩී්‍රන් ල මිරෙක්‌ස්‌ ල ටෙක්‌සාෆේන් ග කාර්මික රසායන දිගුකල් පවතින කාබනික දූෂකයන් ලෙස ල පොලික්‌ලොරිනේටඩ් බයිෆිනයිල්ස්‌ සහ හෙක්‌සක්‌ලෝරෝබෙන්සීන් යන ඒවාද හඳුනාගෙන ඇත.

දිගුකල් පවතින කාබනික දූෂකවල පොදු ලක්‌ෂණයක්‌ වනුයේ මේවා දීර්ඝ කාලයක්‌ පරිසරය තුළ මෙම සත්ව හා මානව ශරීර තුළ නොනැසී පැවතීමේ හැකියාවකින් යුක්‌ත වීමයි. මේවායේ අර්ධ ජීවි කාලය එනම් මෙම ද්‍රව්‍ය පරිසරයට නිදහස්‌ වූවාට පසු නිදහස්‌ වූ ප්‍රමාණයෙන් අඩක්‌ බවට ජීර්ණය වීමට වසර 10-150 පමණ දක්‌වා වූ දීර්ඝ කාලයක්‌ ගත වේ. එසේම ඒවායේ ඇති තවත් ලක්‌ෂණයක්‌ නම් නිදහස්‌ වූ තැනින් ඉතා ඈත ප්‍රදේශවලට පවා ව්‍යාප්ත වීමේ හැකියාවයි. මෙම කාණ්‌ඩයට අයත් බොහෝමයක්‌ සංයෝගව පවතින වාෂ්පශීලී ගුණාංගය මේ සඳහා ඉවහල් වේ. එසේම මෙම සංයෝග අධික ලෙස මේදයේ දියවීම හේතුවෙන් මානව සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑම් ඇති කරනු ලබයි. තවද ආහාර දාම ඔස්‌සේ සාන්ද්‍රගත වීමට මෙම සංයෝගයන්ට හැකියාව ඇති අතර ඉතා කුඩා සාන්ද්‍රවලින් පවා ඇති විට අධික විෂ සහිත බවක්‌ පෙන්නුම් කරයි.

දිගුකල් පවතින කාබනික දූෂක අඩංගු වන පලිබෝධ නාශක ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නීතියෙන් තහනම් කර ඇතත් තවමත් අප රට තුළ දිගුකල් පවතින කාබනික දූෂක අඩංගු පලිබෝධ නාශක පවතින බව පසුගිය කාලයේ සිදු කරන ලද පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇත. උදාහරණ ලෙස DDඔ නමැති දිගුකල් පවතින කාබනික දූෂකය 1970 වර්ෂයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කිරීම හා 1976 අනිකුත් කටයුතු සඳහා භාවිත කිරීම තහනම් කර ඇති නමුත් මෑතකාලීනව ගොවි බිම් තුළින් ලබාගත් පස්‌ සාම්පල් තුළ මෙම සංයෝගය හමුවී ඇත. එම සංයෝගයන් දිගුකාලීනව ජීර්ණය නොවී පවතින බවට එය හොඳ උදාහරණයකි.

මීට අමතරව පසුගිය වසරේදී අප ආයතනය විසින් බදුල්ල දිස්‌ත්‍රික්‌කය තුළ දිගුකල් පවතින කාබනික දූෂක සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනය ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කරයි. මෙම අධ්‍යයනයේදී වෑල්ඩින් උපකරණ තුළ දිගුකල් පවතින කාබනික දූෂකයක්‌ වන ඡCඊ අඩංගු දැයි පරීක්‌ෂා කරන ලදී. එහිදී අනාවරණය වූ ආකාරයට, පරීක්‌ෂණයට භාජනය කරන ලද වෑල්ඩින් උපකරණවලින් 52% පමණ ප්‍රතිශතයක්‌ ඡCඊ සංයෝග අඩංගු බව තහවුරු විය. මෙම සංයෝග වෑල්ඩින් උපකරණ තුළ එකතු වූයේ කෙසේදැයි යන්න පිළිබඳවද පරීක්‌ෂණය තුළින් සොයා බැලුනු අතර එහිදී භාවිතයෙන් ඉවත් කරන විදුලි ට්‍රාන්ස්‌ෆොaමර් (පරිණාමක) තුළ අඩංගු සිසිල් කාරක තෙල් වෑල්ඩින් උපකරණ සඳහා යොදා ගැනීම මේ සඳහා හේතු වන බව තහවුරු විය. 1986 වර්ෂයට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වන ලද විදුලි ට්‍රාන්ස්‌ෆොaමර් තුළ සහ ධාරිත්‍රක තුළ මෙම සංයෝග අඩංගු බව පරිසර අමාත්‍යාංශය විසින් සිදු කරන ලද අධ්‍යයනය තුළින් මෙයට පෙර අනාවරණය කර ගන්නා ලදී. 1986 වර්සයට පෙර ගෙන්වූ විදුලි ට්‍රාන්ස්‌ෆොaමර් සහ ධාරිත්‍රක තවමත් අප රට තුළ පවතින අතර මේවා සමහරක්‌ භාවිතයේ පවතින අතර සමහර ඒවා භාවිතයෙන් ඉවත් කර ඇත. මේවා තුළ ඇති තෙල් විවිධ වූ අවිධිමත් සහ නීති විරෝධී ආකාරයන් ගෙන් වෑල්ඩින් උපකරණ භාවිත කරන්නන් වෙත ලැබේ. වෙළෙඳපළේ ඇති ප්‍රමිතියෙන් යුත් සිසිලනකාරක තෙල් වෙනුවට ඉවත් කරන ලද ට්‍රාන්ස්‌ෆොaමර් තෙල් භාවිත කිරීමට වෑල්ඩින් උපකරණ භාවිත කරන්නන් පෙළඹී සිටී. මේවා ඉතා අඩු මුදලකට ලබාගැනීමට ඇති හැකියාව හේතුවෙන් ඔවුන් මේ සඳහා පෙළඹී ඇත. එපමණක්‌ ද නොව සමහර වෑල්ඩින් උපකරණ භාවිත කරන්නන් තම ශරීරයේ ඇතිවන තුවාලවල හදිසි ලේ ගැලීම් නතර කිරීම සඳහා විකල්පයක්‌ ලෙස වෑල්ඩින් උපකරණවල ඇති තෙල් තවරා ගැනීම, සුනඛයන්ගේ ශරීරයේ ඇති වන දද කුෂ්ට සුවකිරීම සඳහා ඔවුන්ගේ ඇඟේ තැවරීම වැනි අනාරක්‌ෂිත ක්‍රියා සිදු කරන බව එම පරීක්‌ෂණයේ දී අනාවරණය විය. මෙම අධ්‍යයනය පිළිබඳ සවිස්‌තරාත්මක තොරතුරු ඉදිරියේදී ජනතාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඉහතින් සඳහන් කළ ආකායරට දිගුකල් පවතින කාබනික දූෂක පරිසරයට හා සත්ව ශරීර තුළට ඇතුළු විය හැකි අවස්‌ථා කිහිපයකි. ඒවා නම්,

පලිsබෝධ නාශක භාවිතයේ දී, කැළිකසළ දහනය කිරීමේදී, කෘතිම රබර් වෙඩි බෙහෙත් ආශ්‍රිත නිෂ්පාදනවල අතුරුඵල ලෙස, භාවිතයෙන් ඉවත් කළ ට්‍රාන්ස්‌ෆොaමර් තෙල් සහ ධාරිත්‍රක තුළ අඩංගු තෙල් වෑල්ඩින් උපකරණ සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමෙන්.

දිගුකල් පවතින කාබනික දූෂක ශරීරගත විය හැකි ආකාර කිහිපයකි. එනම් ආමාශගතවීම, ස්‌වසන පද්ධතිය හරහා සම තුළින් සහ මව්කිරි මගින් දරුවන්ට යනාදී ලෙසයි. එසේම ගර්භනී සමයේදී මවගෙන් දරුවාගේ ශරීරයට මේද හරහාද ඇතුළු විය හැකිය. මේවා ශරීරගත වීමෙන් පිළිකා ඇතිවීම, ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වීම, පුරුෂ ප්‍රජනක පද්ධතියේ හෝර්මෝනවල ටෙස්‌ටෙස්‌ටෙරොන්වල අඩුවීම, අංගවිකල දරුවන් බිහිවීම, අක්‌මාවේ ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම, දියවැඩියාව වැනි රෝග ඇතිවීම සහ වර්ධනය හීන වීම වැනි තත්ත්වයන්ටද ගොදුරු වේ.

දිගුකල් පවතින කාබනික දූෂකවලින් සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සම්බන්ධව රජයට හා අනිකුත් ආයතනවලට මෙන්ම පොදුවේ මහජනතාව වශයෙන් අපටද යුතුකමක්‌ හා වගකීමක්‌ ඇත. එහිදී රජයක්‌ ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි ආයතනවල දායකත්වය ඉතා වැදගත් වේ. දැනටමත් රජය මේ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒවා අතර දිගුකල් පවතින කාබනික දූෂක සංයෝග අඩංගු පලිබෝධ නාශක ගෙන ඒම තහනම් කිරීම, දිගුකල් පවතින කාබනික දූෂකයන් පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්‌ වන ස්‌ටොක්‌හෝම් සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබීම ආදිය හඳුන්වා දිය හැක. එතනින් නොනැවතී මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මෙම ද්‍රව්‍යයන් අන්තර්ගත යෑයි අනුමාන කරන කර්මාන්තශාලා හා ඒවායේ සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්‌ෂාව පිළිබඳ සොයා බැලීම ඉතා වැදගත් වේ. එසේම පනවා ඇති අණ පනත් නීති රීතිවලට යටත්ව කර්මාන්ත ශාලා හිමිකරුවන් ක්‍රියා කරන්නේද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ. සේම පළාත් පාලන ආයතන තුළ ක්‍රමවත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම් ක්‍රියාවට නැංවීම වැදගත් වනවා සේම ප්‍රධාන වශයෙන් කසළ බැහැර කිරීම, කසළ ගිනි තැබීම නතර කළ යුතුය. පලිබෝධ නාශක සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම, කාබනික ගොවිතැන සඳහා ප්‍රජාව යොමුකිරීම සඳහා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද අවශ්‍ය වේ. විශේෂයෙන්ම අබලි ද්‍රව්‍ය එක්‌රැස්‌ කරනු ලබන ස්‌ථාන විදුලිබල මණ්‌ඩලය හා විදුලි පෞද්ගලික සමාගම් සහ ලංකාවට විදුලි ට්‍රාන්ස්‌ෆොaමර් ආනයනය කරනු ලබන ආයතනවල හා භාවිතයෙන් ඉවත් කළ ට්‍රාන්ස්‌ෆොaමර් ගබඩා කර තබා ගන්නා ස්‌ථානවල ඇති භාවිතයෙන් ඉවත් කළ විදුලි ට්‍රාන්ස්‌ෆොaමර් ක්‍රමවත්ව පරිසරයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සැලසීම ඉතා වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් පාරිසරික ක්‌ෂේත්‍රයේ නියුතු රාජ්‍ය නොවන සංවිධානවලටද වගකීමක්‌ ඇති අතර ප්‍රජාව දැනුවත් කිරීම, පරීක්‌ෂණ සිදු කිරීම හා ප්‍රතිපත්ති සම්පාදනයේ දී රජයට අවශ්‍ය තොරතුරු ලබාදීම මෙන්ම රාජ්‍ය පෞද්ගලික හා ප්‍රජා සම්බන්ධීකරණය තුළින් මේවා පාලනය සඳහා කටයුතු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආයතන හා ප්‍රජාව සවිබල ගැන්වීම, රාජ්‍ය නොවන සංවිධානවලට කළ හැකිය. මේ වන විට ජගත් පාරිසරික පහසුකම් සුළු මූල්‍යාධාර වැඩසටහනේ මූල්‍ය අනුග්‍රහය ඇතිව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌ මේ සම්බන්ධව ජනතාව දැනුවත් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් මහජනතාවටද යුතුකමක්‌ හා වගකීමක්‌ පැවරී ඇත. එනම් පලිබෝධ නාශක භාවිතයෙන් හැකිතාක්‌ දුරට ඈත්වීම හා ඒ වෙනුවට කාබනික ගොවිතැන වැනි පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රමවේදයන් කරා යොමුවීම, පලිබෝධ නාශක භාවිතයේ දී ආරක්‌ෂිත ක්‍රම අනුගමනය කිරීම, කැළි කසළ පිළිස්‌සීමෙන් වැළකී පරිසර හිතකාමී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් සඳහා යොමුවීම වැදගත් වේ. එසේම වෑල්ඩින් උපකරණ භාවිතයේ දී ඒවාට ඉවතලන විදුලි ට්‍රාන්ස්‌ෆොaමර් තෙල් යෙදීමෙන් වැළකී නියම ප්‍රමිතියෙන් යුත් සිසිල් කාරක තෙල් යෙදීමද අවශ්‍යය. දිගුකල් පවතින කාබනික දූෂක සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කිරීම, ළමුන් ඉන් ඈත් කොට තැබීමට වගබලා ගැනීම සිදුකළ යුතුය. එමෙන්ම දිගුකල් පවතින කාබනික දූෂක පිළිබඳව නිරන්තර අවධානයෙන් සිට දැනුවත් වීමද ඒ තුළින් ඉන් ඇතිවන අහිතකර ප්‍රතිවිපාකවලින් ඈත්වීමට වගබලා ගැනීමද, පොදු මහජනතාව වන අප සැමගේම වගකීමක්‌ මෙන්ම එය කාලීන අවශ්‍යතාවකි.

අනුරාධ ප්‍රභාත් කුමාර

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.